කාර්මික විප්ලවය ලොවට ගෙන දුන් අහිතකර ප්‍රතිවිපාක

1760 සිට 1840 දක්වා කාලය තුළ එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය සහ අනිකුත් යුරෝපා රටවල කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති වූ කැපී පෙනෙන දියුණුව කාර්මික විප්ලවය යනුවෙන් හැඳින්වේ. එතෙක් මිනිස් ශ්‍රමය යොදා ගෙන ක්‍රියාත්මක වූ නිෂ්පාදන කර්මාන්ත ගණනාවක් සඳහා යන්ත්‍ර සූත්‍ර බිහි වීම සමඟ කාර්මික විප්ලවය ආරම්භ විය.

රෙදි විවීම සඳහා වන යන්ත්‍ර සූත්‍ර, දුම්රිය එන්ජින් සහ යපස් උණු කිරීම සඳහා වන යන්ත්‍ර සූත්‍ර වැනි දියුණු තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර සූත්‍ර ගණනාවක් එකල බිහි වූ අතර ඒ නිසා ඉහත රටවල සෑම අස්සක් මුල්ලක් පාසා නව කර්මාන්තශාලා බිහි විය. මෙහි ප්‍රතිපලයක් ලෙස එතෙක් ග්‍රාමීය ප්‍රදේශවලට වී කෘෂිකර්මාන්තය සහ වෙනත් ස්වයං රැකියාවල යෙදෙමින් සිටි දහස් ගණන් ජනතාව නගරබද ප්‍රදේශවලට සංක්‍රමණය වූයේ කර්මාන්තශාලාවල රැකියාවක් සොයා ගැනීමේ අරමුණිනි.

කාර්මික විප්ලවය නිරූපණය කෙරෙන සිතුවමක් – www.britannica.com

කාර්මික විප්ලවය සමඟ සැලකිය යුතු වශයෙන් එම රටවල ආර්ථිකය සංවර්ධනය වූ අතර නව රැකියා අවස්ථා ද විශාල වශයෙන් බිහි විය. එවැනි යහපත් ප්‍රතිවිපාකවලට අමතර ව කාර්මික විප්ලවය නිසා ක්ෂේත්‍ර ගණනාවක ඇති වූ අයහපත් ප්‍රතිවිපාක ද ගණනාවක් තිබේ. මෙම ලිපිය කාර්මික විප්ලවය නිසා ඇති වූ එවැනි අහිතකර ප්‍රතිවිපාක කිහිපයක් පිළිබඳ යි.

කම්කරුවන් ගත කළ දුෂ්කර ජීවිතය

කාර්මික විප්ලවය සමඟ එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය සහ අනිකුත් යුරෝපා රටවල බොහෝ ප්‍රදේශ නාගරීකරණය වූ බැවින් එම ප්‍රදේශවලට වෙනත් දුරබැහැර පෙදෙස්වල සිට සංක්‍රමණය වූ පුද්ගලයන්ට ප්‍රමාණවත් සහ සුදුසු නිවාස පහසුකම් නොවී ය. 1830 වසරේ දී රජයේ සෞඛ්‍ය නිලධාරියකු වූ වෛද්‍ය විලියම් හෙන්රි ඩන්කන් එංගලන්තයේ ලිවර්පූල් හි සිදු කළ අධ්‍යයනයක දී අනාවරණය වී ඇත්තේ එහි ජනගහනයෙන් තුනෙන් එකක් පමණ එකල ජීවත් වූයේ පස් සහිත ගෙබිම සහිත කුඩා නිවෙස් හෝ කාමරවල බව යි. එම නිවෙස්වල වාතාශ්‍රය ලැබීම ඉතා අවම මට්ටමක පැවති අතර සනීපාරක්ෂක පහසුකම් ද කිසිත් නොවී ය.

කුඩා කාමරයක කිහිප දෙනෙක් රැඳීසිටින අයුරු – www.socratic.org

සමහර ප්‍රදේශවල කුඩා කාමරයක් තුළ පුද්ගලයන් 15 කට වැඩි ප්‍රමාණයක් නවාතැන් ගත් බවත්, ඔවුන් සියලු දෙනා එක වැසිකිළියක් භාවිත කළ බවත් කියැවේ. එමෙන් ම පිරිසුදු ජලය නොමැති වීම සහ කාණු පද්ධති නිරන්තරයෙන් උතුරා යාම නිසා විශාල පිරිසක් කොලරාව වැනි වසංගත රෝගවලට ද ගොදුරු වී තිබේ.

සේවකයන්ට නිසි පෝෂණයක් නොලැබීම

එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ කපු නිෂ්පාදන කම්හල් ආශ්‍රිත ව සේවය කළ සේවකයන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ ව 1832 වසරේ දී අධ්‍යයනයක් කළ භෞත චිකිත්සකවරයකු වූ ජේම්ස් පිලිප්ස් එම සේවකයන්ගේ ආහාර රටාව පිළිබඳ ව දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ. ඔහු සඳහන් කළේ ඉතා අඩු වැටුපක් ලැබූ සේවකයන්ගේ උදෑසන ආහාරය බොහෝ විට තේ හෝ කෝපි කෝප්පයක් සමඟ පාන් කැබැල්ලක් වූ බව යි.

ඔවුන්ගේ දිවා ආහාරය තැම්බූ අර්තාපල්, බටර් හෝ බේකන් කැබලි කිහිපයක් විය. සේවා කාලයෙන් පසු ව සමහර සේවකයන් නැවතත් තේ හෝ කෝපි කෝප්පයක් පානය කළ අතර රාත්‍රී ආහාරය සඳහා පාන් කැබැල්ලක්, අර්තාපල් හෝ ඕට්ස් ධාන්‍ය ස්වල්පයක් ආහාරයට ගත්හ. නිසි පෝෂණයක් නොලැබීම නිසා ඔවුන් බොහෝ විට උදරාබාධවලින් පෙළුණු බවත්, ඔවුන්ගේ ශරීරය සුදුමැලි ස්වරූපයක් ගත් බවත් පිලිප්ස් සිය අධ්‍යයනය මඟින් හෙළි කර තිබේ.

කාර්මික විප්ලවය ඇති වූ කාලයේ කම්කරුවන් ජීවත් වූ නිවාස – www.blendspace.com

අතෘප්තිමත් ජීවන රටාව

කර්මාන්තශාලාවල සේවය කිරීමට දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි සේවකයන්ට ඉතා අසීරු ජීවන රටාවකට හැඩගැසීමට සිදු විය. කම්හලේ නළා හඬ ඇසෙන විට ම සේවයට වාර්තා කිරීමට ඔවුන්ට සිදු වූ අතර සුළු හෝ ප්‍රමාදයක් වුවහොත් ඔවුන්ගේ එදින වැටුප හිමි නොවී ය. වඩාත් අවාසනාවන්ත කරුණ වන්නේ ප්‍රමාද වී සේවයට වාර්තා කළ සමහර සේවකයන්ට දඩ මුදලක් ද ගෙවීමට සිදු වීම යි.

රැකියාවේ යෙදෙන අතරතුර ද ඔවුන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු විය. මඳකට හෝ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා විරහිත කිරීමට  ඔවුන්ට අවසරයක් නොතිබූ බැවින් වෙනත් අයකු පැමිණෙන තෙක් මඳක් හෝ විවේක ගැනීමට සේවකයන්ට හැකියාවක් නොවී ය.

විශාල යන්ත්‍රයක් – www.ecomusee.qc.la

ගම්බද ප්‍රදේශවල තමන්ට අවශ්‍ය පරිදි කෘෂිකාර්මික කටයුතුවල යෙදුණු ඔවුන්ට වැඩ පරීක්ෂකවරුන් ගණනාවක් යටතේ සේවය කිරීමට සිදු වූ අතර වැඩ පරීක්ෂකවරුන් සේවකයන්ට සැලකුවේ කිසිදු ගරුත්වයකින් තොරව ය. කර්මාන්තශාලාවල සේවය කිරීම කොතරම් අසීරු වූයේ ද යත් කාර්මික විප්ලවය පිලිබඳ පොතපතෙහි සඳහන් වන්නේ එක සේවා මුරයක් නිම කිරීමෙන් අනතුරු ව වෙනත් කිසිදු කාර්‍යයක් කිරීමට සේවකයන්ට ශක්තියක් නොතිබූ බව යි.

අනතුරුදායක සේවා ස්ථාන

කාර්මික විප්ලවය නිසා ඇති වූ තවත් අහිතකර ප්‍රතිවිපාකයක් ලෙස අනතුරුදායක සේවා ස්ථාන හැඳින්විය හැකි ය. කාර්මික විප්ලවය පිළිබඳ ව බොහෝ තොරතුරු ඇතුළත් වන ‘Changing Hands’ ග්‍රන්ථයේ සඳහන් වන්නේ එකල කර්මාන්තශාලාවල සේවය කළ බොහෝ දෙනකුට යන්ත්‍ර සූත්‍රවලට හසු වීම නිසා අත් සහ ඇඟිලි අහිමි වූ බව යි.

සමකාලීන පුවත්පත් වර්තාවක දැක්වෙන්නේ 1830 වසරේ දී එක්තරා කර්මාන්තශාලාවක සේවකයකුගේ අතක් යන්ත්‍රයකට හසු වීම හේතුවෙන් එම අතේ ඇඟිලි සියල්ල කැබලිවලට වෙන් වූ බව යි. ඔහු එම අනතුර නිසා ජීවිතක්ෂයට පත් නොවූවත් පසුකාලීන ව ඇති වූ කම්පනය නිසා මියගොස් තිබේ. ඊට අමතර ව ගල් අඟුරු පතල්වල සේවය කළ පුද්ගලයන් ද ගෑස් පිපිරීම් වැනි අනතුරුවලින් නිරන්තරයෙන් තුවාල ලැබූ සහ ජීවිතක්ෂයට පත් වූ බව කියැවේ.

අතක් අහිමි වූ අයෙක් – www.pinterest.com

ළමා ශ්‍රමිකයෝ

කාර්මික විප්ලවයට පෙර සිට ළමයින් සේවයේ යෙදවීම සිදු වුවත් කාර්මික විප්ලවය සමඟ මහා පරිමාණයෙන් ළමා ශ්‍රමය සූරා කෑම ආරම්භ වී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය සහ අනිකුත් යුරෝපා රටවල ජීවත් වූ වීදි දරුවන් සහ දිළිඳු පවුල්වල දරුවන් මේ ආකාරයෙන් රැකියාවල යෙදුණු අතර ඔවුන්ට දීර්ඝ වේලාවක් සේවයේ යෙදීමට සිදු විය. ඒ නිසා අධ්‍යාපනය ලැබීමේ අවස්ථා ද ඔවුන්ට අහිමි විය. කුඩා ළමයින් වුවත් ඔවුන්ට වැඩිහිටියන් කරන දුෂ්කර සහ අනතුරුදායක රැකියාවල යෙදීමට සිදු වීම අවාසනාවන්ත කරුණකි.

1832 වසරේ දී ජෝන් බ්‍රවුන් ලියූ පොතක එකල ළමා ශ්‍රමිකයන් ගත කළ දුෂ්කර ජිවිතය විස්තර කර ඇත්තේ මේ අයුරිනි:

“රෙදි මෝලක සේවය කළ දස හැවිරිදි දැරියක් වූ මේරි රිචඩ්ස් ගේ ඒප්‍රණය යන්ත්‍රයකට හසු විය. ක්ෂණයකින් ඇය මහා හඬක් නගමින් බිමට පතිත වූ අතර ඇගේ හඬ අතිශයින්ම හදවත කම්පා කරවන ආකාරයේ එකක් විය,”

 ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය බෙවර්ලි ලේමියර් වරෙක සඳහන් කර ඇත්තේ කාර්මික විප්ලවය ලොවට ගෙන දුන් වඩාත් ම අහිතකර ප්‍රතිවිපාකය ළමා ශ්‍රමය බරපතල ලෙස සූරා කෑම බව යි.

ළමා ශ්‍රමිකයෙක් සේවයේ යොදවා ඇති අයුරු – www.historycrunch.com

කාන්තාවන්ට වෙනස්කොට සැලකීම

සියවස් ගණනාවක් තිස්සේ පවතින ලිංගිකත්වය පදනම් කරගෙන වෙනස්කොට සැලකීම අතිශයින් උග්‍ර වූ කාල සීමාවක් ලෙස කාර්මික විප්ලවය ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා වන කාලසීමාව හැඳින්විය හැකි ය.

කාර්මික විප්ලවය සිදු වූ කාලයේ කර්මාන්තශාලාවල සේවය කළ සේවිකාවන්ට ගෙවා ඇත්තේ සේවකයන්ට ගෙවූ වැටුපෙන් හරි අඩකි. ඊට හේතුව කාන්තාවන් රැකියාවක් කරන්නේ පවුල් නඩත්තු කිරීමට නොව ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය නොවන දෑ මිල දී ගැනීමට පමණක් බවට වන මතයක් සමාජගත වී තිබීම යි.

කම්හලක සේවය කරන කාන්තාවක් -www.industrialrevolution.weebly.com

පාරිසරික විනාශය

කාර්මික විප්ලවය නිසා ඇති වූ තවත් භයානක ප්‍රතිවිපාකයකි- මහා පරිමාණ වශයෙන් පරිසරය දූෂණය වීම. එකල කර්මාන්තශාලා බොහොමයක් ගල් අඟුරු භාවිතයෙන් ක්‍රියාත්මක වූ අතර ගල් අඟුරු පිළිස්සීමේ දී ඇති වූ දුම නිසා වායු දූෂණය ශීඝ්‍රයෙන් වැඩි විය. ඒ නිසා බොහෝ පිරිසකට ස්වසන ආබාධ වැලඳුණු බව ලේඛක හ්‍යු මිලර් සිය වාර්තාවල සඳහන් කළේය.

ගල් අඟුරු දහනය වැඩි වශයෙන් සිදු වූ ප්‍රදේශවල පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී තිබේ. ඊට අමතර ව ෆොසිල ඉන්ධන දහනය නිසා කාබන් විශාල වශයෙන් වායුගෝලයට එක විය. එකල සිදු වූ පරිසර හානිය කොතරම් ද යත් 2016 වසරේ දී විශේෂඥයන් පිරිසක් සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දේශගුණික විපර්යාස ඇති වීම ආරම්භ වූයේ 1830 දශකයේ දී බව යි. 

කම්හල්වලින් පිටවන දුම – www.pinterest.com

 

කවරයේ පින්තූරය- කාර්මික විප්ලවය නිසා ඇති වූ අහිතකර ප්‍රතිවිපාකයක් වන ළමා ශ්‍රමිකයන් සේවයේ යොදවා ඇති අයුරු - www.britannica.com

මූලාශ්‍ර:

www.history.com/ Patrick J. Kiger

www.industrialrevolution.weebly.com

www.britannica.com

www.hhistorycrunch.com

Related Articles

Exit mobile version