පුරාතනයේ සිටි රජවරුන් තම රාජ්‍ය පාලනය සාර්ථක කර ගැනීම සදහා විවිධ වූ උපක්‍රම උපයෝගී කර ගන්නා ලදී. අනුරාධපුරයේ සිට පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, රයිගම, සහ කෝට්ටේ යන රාජධානිවලට අගනුවර වෙනස් වූයේ ආක්‍රමණ නිසාවෙනි. රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය සැබෑ අයුරින් දැනගැනීම සදහාත් රටේ යහපත් පාලනයක් ගෙන යාම සදහාත් විදේශ බලවේග වලින් රට ආරක්ෂා කරගැනීම සදහාත් ආදී දෑ සදහා විශේෂ ප්‍රතිපත්තියක් වශයෙන් “චර පුරුෂ සේවය” ක්‍රියාත්මක විය. මෙම ලිපියෙන් ලංකාවේ චර පුරුෂ සේවය ක්‍රියාත්මක වූ අවස්ථාවන් කිහිපයක් ගැන සොයා බලමු.දුටුගැමුණු රජුගේ මව වූයේ විහාරමහා දේවියයි. ගැමුණු කුමරු ඇගේ කුස පිළිසසිඳ ගත් පසු ඇයට අමුතු ආකාරයේ දොළක් උපන්නේය. එනම් දොළොස්දහසක් භික්ෂූන්ට දන් දී ඉතිරි වූ මී වළදන්නත්, අනුරාධපුරයේ උපුල් කෙතින් ලද නොමැළවුණු මල් පැලදීමටත්, එළාර රජුගේ ශ්‍රේෂ්ඨතම රණකාමියාගේ හිස මත හිඳගෙන එම හිස සුන් කළ කඩුව සේදූ ජලය බීමටත් ය. මෙකල අනුරාධපුරය පාලනය කලේ එළාර බැවින් මෙම ක්‍රියාව ලේසි පහසු එකක් නොවීය.
මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සදහා කාවන්තිස්ස රජු යොදාගත්තේ වේළුසුමන යෝධයාව යි. රජු විසින් පිටුවහල් කරන ලද්දෙකු ලෙස තලන ලද වේළුසුමන එළාර රජු වෙත යවන ලදී. ඔහුගේ ආගමනයෙන් බොහෝ සතුටට පත් එළාර රජු ඔහුව තම හමුදාවට බඳවා ගන්නා ලදී. අස් ගාලේ අස්ගොව්වා සමඟ මිත්‍ර වූ වේළුසුමන උපුල් කෙතින් මල් රැගෙන අශ්වයෙක් පිට නැගී, තමා වේළුසුමන බවත් තමන් පැමිණියේ එළාර රජුට සේවය කිරීමට නොවන බවත් පවසා එතැනින් පිටව ගොස් සැඟව සිටියේය. මෙයින් කිපුණු එළාර රජු තම හොදම සෙබළාව වේළුසුමන මරා දැමීම සදහා පිටත් කර හැරියේය. සැඟව සිටි වේළුසුමන තම කඩුවෙන් එම සෙබලාගෙ හිස කඳෙන් වෙන් කොට, ඔහුගේ ලෙය තැවරුණු කඩුව දුටුගැමුණු රජු වෙත ගෙන යන ලදී.. මෙහිදී වේළුසුමන තම චරපුරුෂ කාර්යය ඉතා සාර්ථක අයුරින් සිදු කළේය.
උඩරට රජවරුන්ගේ, විශේෂයෙන් දෙවන රාජසිංහ රජුගේ, චරපුරුෂ කාර්යයන් ගැන බොහෝ කතා ඇත. දිනක් රජු තම මුරකාවල් වල තත්ත්වය පිරික්සීමට මඟියෙකු ලෙස වෙස්වලාගෙන මානකොළ නම් කඩයිම වෙත ගියේය. මගියා එම කඩයිම පසු කිරීමට ඉල්ලා සිටිය දී ඒ සිටින්නේ මගියෙකු ලෙස වෙස් වළාගත් රජු බව නොදත් හේවායෙක් රජුට එම කඩයිම පසු කිරීමට ඉඩ ලබා දීම ප්‍රතික්ෂේප කළේ ය.. කෙතරම් පැවසුවත් අවසරය ලබා නොදුන් හෙයින් හොර රහසේ මුදල් දී ඔහුව නම්මවා ගැනීමටද රජු උත්සාහ කරන නමුත්, එම හේවායා එයට ද එකඟ නොවීය. මෙහිදී තම සැබෑ බලය භාවිතා නොකළ රජු නැවත මාළිගය වෙත ඇදුනේය. පසුදින රජු විසින් එම හේවායාට තෑගි බෝග යවා රාජ්‍යයට ඇති පක්ෂපාතීත්වයට ප්‍රශංසා කළ බව පැවසේ.
දෙවන රාජසිංහ රජු ගැන තවත් කතාවක මෙසේ සඳහන් වේ. රජවාසල අවට පෘතුගීසි හේවායෙක් වෙස්වළාගෙන සිටින බව තොරතුරක් ලැබුනු විට රජු සාමාන්‍ය වැසියෙක් ලෙස වෙස්වළාගෙන අස්හලෙන් අශ්වයෙක් රැගෙන වනයේ සැඟව සිට තොරතුරු සොයා බැලීය. එසේ තොරතුරු සොයා බලා ආපසු එන අතරතුර දී අශ්වයා හදිසියේම මියැදුනි. එමනිසා රජුට රජ වාසල වෙත පැමිණිය යුතු වූයේ ඇවිදිමිනි.
වාසලට එන අතරතුරදී ඇඳිරි වැටුනු නිසාවෙන් ගමෙහි පිහිටි කුඩා නිවෙසක රාත්‍රිය ගත කිරීමට සිතා ගත් රජු ගමගෙදරක දොරට තට්ටු කළේය. දොර විවෘත කළ ගෙහිමියා පැමිණ සිටින්නේ වැදගත් තැනැත්තෙක් බව දුටු පමණින් දැන පිලෙහි රාත්‍රිය ගත කිරීමට අවසර දෙන ලදි. රජු නිදාගෙන සිටිනා විට නිවසේ ගෙහිමියා හොරෙන් රජු වෙත පැමිණ මෙහි සිටින්නේ සුවිශේෂී පුද්ගලයෙක් බව දැන රජු නිදා සිටියදීම ඔහුගේ නිය විද රතු ගලක් පළඳවන ලදී. උදෑසන අවදි වූ රජු තම කකුලේ මහපට ඇගිල්ලේ යම් වෙනසක් ඇති බව දැනී ඒ බව සොයා බැලූ විට තමන් නිදා සිටියදීම තමන්ට නොදැනී ගෙහිමි රන්කරුවා නියෙහි රතු ගලක් පළඳා ඇති බව දිටීය. මෙයින් බොහෝ සතුටට පත් රජු වාසලට ගොස් එම රන්කරුවාව ගෙන්වා තෑගි බෝග දුන් බව සදහන් වේ. ලිපිය මුලදී අප විහාරමහා දේවිය සම්බන්ධ කතාවක් පවසන පැවසුවෙමු. චරපුරුෂ සේවය ගැන විහාරමහා දේවියගේ මව සම්බන්ධ සිදුවීමක් ද තිබේ. විහාර මහා දේවියව නැවක පා කර හරින්නට සිදු වූයේ ද චරපුරුෂ සේවයක් අසාර්ථක වූ නිසාවෙනි. එකල කැලණිය මූලික කර ගනිමින් කැලණි තිස්ස රජු තම පාලනය ගෙන ගියේය. ඔහුගේ මළණුවන් රජුගේ අගබිසව සමඟ අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගියේය. රජුට මෙම පුවත හසුවේ යැයි සිතා එම කුමරු සිටියේ දුර බැහැරය. මෙම කුමරු කැලණියේ සිටි මහතෙරුන්ගෙන් අක්ෂර කලාව ඉගෙන ගෙන සිටි අතර ගුරුවරයා මෙන්ම එක හා සමානව අක්ෂර ලිවීමට හැකියාවක් ද ඔහුට විය.අගබිසව වෙත තල්පතක පෙම් හසුනක් ලියූ කුමරු චරපුරුෂයෙකු ලවා අගබිසවට එම තල්පත ලබා දීමට යැව්වේය. එම චරපුරුෂයා සංඝයා වහන්සේ කෙනෙකු මෙන් වෙස්වලාගෙන මහතෙරුන් වඩින දානයකට පැමිණියේය. රජු හා අගබිසව ද එයට පැමිණි අතර චරපුරුෂයා අගබිසව අසලින් එම තල්පත වැටීමට සලස්වා එතැනින් නික්ම ගියේය. අවාසනාවකට මෙන් එම තල්පත අගබිසවට පෙර අහුලා ගත්තේ කැලණි තිස්ස රජුයි. එම තල්පතෙහි අත් අකුරු මහතෙරුන්ගේ අත් අකුරු වලට බොහෝ සෙයින් සමාන වූ නිසා එම මහතෙරුන් ව පැසෙන තෙල් කටාරමකට දැමීමට රජු කටයුතු කළේය.
සිරිසඟබෝ රජකම අතහැර එය ගෝඨාභයට ලබා දී වනගත විය. එනමුත් සිරිසඟබෝ නැවත සේනා සංවිධානය කරමින් රජකම ලබා ගනීවි යැයි ගෝඨාභය තුල බියක් හට ගැනිණි. මේ හේතුවෙන් ඔහු සිරිසඟබෝගේ හිසට මිලක් නියම කළේ ය. අවසානයේ සිරිසඟබෝගේ සැබෑ හිස ගෙනා මගියා ගෝඨාභයගේ චරපුරුෂයෙක් බව කියැවේ. ගජබාහු රජු සොලී දේශය ආක්‍රමණය කළේ ද චරපුරුෂ සේවයේ නිරතව සිටිය දී ලද තොරතුරක් නිසාවෙනි. එමෙන්ම, මහනුවර යුගයේ දී යුරෝපීය ජාතිකයන් උඩරට රාජ්‍ය බලය අල්ලා ගැනීමට එහි තොරතුරු සොයා බැලීම සඳහා පැවිද්දන්, මුස්ලිම් අයවලුන්, සහ මුදලි මුහන්දිරම්වරුන් ලෙස වෙස්වලාගෙන සිටි බව ද, එසේ සිටිය දී හසු වූවන් උඩරට රජුගෙන් දැඩි දඬුවම් ලැබූ බවද ඩේවි තම දිනපොතේ සදහන් කර තිබේ. චරපුරුෂයන් පණිවිඩ හුවමාරු කර ගැනීම විශේෂ සංඥා ක්‍රම භාවිතා කළ බව ද පැවසේ. එයත් ඇතුළුව, ලංකාවේ චරපුරුෂ සේවය පිලිබඳව තවත් කතා වෙනම ලිපියකින් පවසන තුරු මෙතැනින් නවතිමු
මූලාශ්‍ර:
1) මහාවංශය2) උඩරට විත්ති – පී. ඇම්. පී. අභයසිංහ3) සංස්කෘතික පුරාණය – 1 වෙළුම (1995) 4) මග දිගට ජනකතා – ඩී. පී. වික්‍රමසිංහ
කවරයේ පින්තූරය – තල්පතේ සිද්ධිය කැළණි විහාර සිතුවමක් ලෙස (Amila Tennakoon)