රජ වාසල නිලධාරියකු වීම විශාල වරප්‍රසාදයක් විදිහට තමයි ඒ කාලෙ සැලකුණේ. දැන් කාලෙ වගේ අධ්‍යාපන සුදුසුකම් එහෙම ඒවාට බලපෑ බවක් නම් පේන්නෙ නැහැ. උඩරට පැරණි ලේඛනවල ආණ්ඩුවේ නිලධාරින් හඳුන්වා තිබෙන්නේ නිලමක්කාර තැනැත්තන්, නිලමක්කාර තැන් විදිහටයි. රජුගේ ඇමැති මණ්ඩලය සහ දිසාවවරුන් වගේ පරිපාලන නිලවලට අමතර ම තමයි මේ පිරිස රාජකාරි ක්‍රමයට සේවය කළේ. මේ ඒ අතරින් අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ කාලයේ රාජධානියේ පැවති වැදගත් තනතුරු කිහිපයක් හඳුන්වා දීමක්.
ගජනායක නිලමේ
රජුගේ ඇත් පන්තිය භාර නිලය වන්නේ ගජනායක නිලමේ යි. එය සංකේතවත් කරමින් දළදා පෙරහරේ සියලු අලි, ඇතුන් භාර ව ගජනායක නිලමේ අදත් ගමන් කරනවා. දියවඩන නිලමේ, චාරිත්‍රානුකූලව ගජනායක නිලමේට පිරිනමන රන් අංකුසය එනම්, හෙණ්ඩුව අතැතිව තමයි ඔහු ඇතකු පිට නැගී පෙරහරේ ගමන් කළ යුත්තේ.
රජ කාලෙ නම් ඔහු සමඟ මහකොඩිය නම් ධජයත් රැගෙන ගිය බව සඳහන් වෙනවා. ඔහුට වඩා පහත් නිලයක සිටි කුරුවේ ලේකම් නමැති නිලධාරියා ඇතුන් අල්ලා ගැනීම බාර ව සිටි අතර ගජනායක නිලමේ ඒ සම්බන්ධ ලියකියවිලි ද භාර ව කටයුතු කෙරුවා.
අදත් පුරාණ චාරිත්‍ර සිහිපත් කරමින් ගජනායක නිලමේ පෙරහරේ මුලින්ම ගමන් කරනවා. රන් අංකුසය අහස දෙසට යොමු කර තේජාන්විත විලාසයකින් ඔහු ඇතු පිට සිටින අතර ගජනායක ධූරයට හිමි හිස් වැස්මෙන් ද වර්ණවත් වස්ත්‍රලින්ද සැරසී සිටිනවා.
මහ ලේකම් මහත්මයා
රජුගේ ලේකම් කාර්යංශය පාලනය කළේ මොහුයි. එය හරියට අද ජනාධිපති ලේකම් වගේ තනතුරක් බව පේනවා. ඔහු යටතේ ලේකම් මුහන්දිරම් කෙනෙක් සහ සුළු නිලධාරින් කිහිප දෙනෙක් කටයුතු කළා. මේ නිලධාරින් පණිවිඩ ගෙන යාම හා ආඥා ප්‍රකාශයට පත් කිරීමද සිදු කළා. ලේකම් මිටිය හා පන්හිද සමඟ ලේකම් ඇසළ පෙරහරේ ගමන් කළ බව ජෝන් ඩොයිලිගේ වාර්තාවල දැක්වෙනවා.
මහදියවඩන නිලමේ
රාජකීය නාන කාමරය බාර ව සිටියේ මහ දියවඩන නිලමේ යි. උල්පැන්ගේ කියලයි එයට කියන්නේ. අද අපට රජුගේ උල්පැන්ගෙය දකින්න නැතත් බිසෝ උල්පැන්ගේ නම් පසුගිය කාලයේ සංස්කෘතික ත්‍රිකෝණ කැණීම්වලින් මතු කර ගත්තා. මහනුවර වැවට යාබද ව තමයි එය පිහිටා තිබෙන්නේ. අද එතැන දකින්න නම් ලැබෙන්නේ ඉංග්‍රීසි කාලෙ ඉදිකරපු දෙමහල් ගොඩනැගිල්ලක්. රජුගේ උල්පැන්ගෙය රජවාසල සංකීර්ණය තුළ ම තමයි පිහිටා තිබුණේ.
රජතුමා නෑවීමත් ස්නානයෙන් පසු ව හිස පීරන එකත් කළේ මහදියවඩන නිලමේ යි. ඔහු රජුගේ අනුමැතිය ඇතිව සට්ටාඹිවරුන් දහ දෙනකු සහ පණිවිඩකාරයන් දහදෙනෙක් පත් කළ බව සඳහන් වෙනවා. උල්පැන්ගෙට සම්බන්ධ ව පවුල් 500ක් පමණ සිටියා. ඔවුන්ගේ උප ප්‍රධාන පිරිසට තමයි සට්ටාඹිවරුන් කියන්නේ. සට්ටාඹිවරුන් දෙදෙනෙක් නිතරම මාලිගයේ සේවයට රැඳී සිටිය යුතු වුණා. සට්ටාඹිවරුන් කෙනෙකු ගෙනෙන ජලය ඇතැම් විට රජුගේ හිසට වත්කරන ලද්දේ නිලමේ විසින්. සාමාන්‍යයෙන් එම රාජකාරිය බාර වුණේ සට්ටාඹි කෙනකුටයි. රජු ස්නානයෙන් පසු හිස පීරා බේත් තෙලක් හිස ගල්වන ලද බවත් පැවසෙනවා.
සළුවඩන නිලමේ
රජු නිතර ම විචිත්‍ර ආයිත්තම්වලින් සැරසී සිටි බව පැරණි පින්තුර දෙස බලන විට පේනවා. රජුගේ ඇඳුම් බාර ව සිටි නිලධාරියාට තමයි සළුවඩන නිලමේ කියන්නේ. ඔහු රජු ඇඳුම් අඳින් විට අවශ්‍ය ආවතේව කළා. එයට වෙනම කාමරයක් ද වෙන් ව තිබුණා. ඒකට කිව්වෙ හළු මණ්ඩපය කියලා. උල්පැන්ගෙට යාබදවයි ඒක තිබුණේ.
මහ සැතපෙන ගෙයි මුහන්දිරම්
රජුගේ පෞද්ගලික ආවතේව කටයුතු සඳහා යොදවා සිටි පිරිස හැඳින්වුණේ අප්පුහාමිවරුන් යනුවෙන්. එම පිරිස භාර ව කටයුතු කළේ සැතපෙන ගෙයි මුහන්දිරම්. මොහු යටතේ ලේකම් මහත්මයෙක් සහ කංකානම් නිලමේ කෙනෙක් ද සිටියා. ලේකම් මහත්මයාගේ ප්‍රධාන රාජකාරිය වුණේ රජු සාමාන්‍යයෙන් පළඳින ආබරණ ආරක්ෂා කිරීමයි. කාංකානම් නිලමේට වෙන් ව තිබූ රාජකාරිය වුණේ රජුගේ ශරීර ආරක්ෂාවට සිටි පිරිසේ අණ දෙන්නා වශයෙන් කටයුතු කිරීමයි. මේ නිලතල දෙක ම ඉතා බැරූරුම් වුණා. රජුගේ විශ්වාසය දිනා ගෙන කටයුතු කළ යුතු නිසායි ඒ.
අතපත්තු මඩුවේ මුහන්දිරම් නිලමේ
අතපත්තු මඩුව කියලා කිව්වේ රජුගේ කාමරය අසල තිබූ රජුගේ සේවයට වෙන් කළ තවත් කාමරයක්. එහි සේවය සඳහා අප්පුහාමි නමින් හැඳින්වුණු 48 දෙනකු සිටි බව සඳහන් වෙනවා. ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කර ඇත්තේ අතපත්තු මඩුවේ මුහන්දිරම්. මෙම පිරිස රජුගේ පණිවිඩ ගෙන යාම ද කළා. එමෙන් ම ප්‍රසිද්ධ උත්සව වැනි අවස්ථාවලදී රජුගේ තේජස විදහා දැක්වෙන රනින් කළ සන්නාහ උසුලාගෙන ගියෙත් මේ පිරිසයි.
රන් ආයුධ මඩුවේ ලේකම් මහත්මයා
මාලිගයට නුදුරින් පිහිටි රන් ආයුධ මණ්ඩපය නම් ගොඩනැගිල්ල වෙන් කර තිබුණේ මාලිගයේ ආයුධ ගබඩා කර තැබීම සඳහයි. මෑතකදී ප්‍රතිසංස්කරණය කළ මෙම ගොඩනැගිල්ල අද දළදා මාලිගයේ මාධ්‍ය අංශයට වෙන් ව තිබෙනවා. මෙහි තිබෙන ආයුධ ගැන වාර්තා තබා ගෙන ඒවා නඩත්තුව බාර වුණේ රන් ආයුධ මඩුවේ ලේකම්ටයි. ඔහු යටතේ 48 දෙනකු සේවය කර තිබෙනවා. රන් ආයුධ මඩුවට සේවය කළ කම්මල්කාරයන් ලවා ආයුධ අලුත්වැඩියා කර හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාම ද ඔහුගේ වගකීමක් වුණා.
මුළුතැන්ගෙයි රාජකාරිවලට සම්බන්ධ නිලමක්කාරයෝ
බුලත්වඩන නිලමේ – මුළුතැන්ගෙයි රාජකාරිවල ප්‍රධානියා වුණේ මොහුයි.
මුළුතැන් රාළ – රජුගේ මහ වාසල මුළුතැන්ගෙයි ප්‍රධාන වූ ඇතුළු කට්ටලේ නිලමක්කාරයා මුළුතැන් රාළ නමින් හැඳින්වුණා. රාජ භෝජන පිළියෙළ කරවීමේ සියලු රාජකාරිය භාර නිලධාරියා මුළුතැන් රාළයි. ඔහු රජුගේ විශ්වාසය දිනා ගත් අයෙක් වුණා.
පිහන රාළ – සේවකයන් ලවා ව්‍යංජනවලට කුළුබඩු ආදිය යොදන සැටි කියා දෙමින් විධාන කරන තැනැත්තා පිහන රාළ ලෙස හැඳින්වුණා. ඔහු වර්තමාන කෝකියකුගේ කාර්යභාරය ඉටු කළ කෙනෙක්.
මඩප්පු නිලමේ – මොහුට බාර වී තිබෙන්නේ රන් මණ්ඩය ( ආහාර බෙදන හෙප්පුව වැනි උපකරණය) රජු ඉදිරියේ තබා ඒ මතුයෙහි කෙසෙල් කොළයක් එළීමයි.
බත්වඩන නිලමේ – මොහු මුකවාඩම් බැඳගෙන ව්‍යංජන තිහකින් යුත් රාජ භෝජනය රන් හැන්දෙන්, කෙසෙල් කොළය එලූ රන් මණ්ඩයට බෙදනවා.
රජතුමන් විශේෂ ආහාරයක් ගන්නා වාරයක් පාසා ම මඩප්පු නිලමේ රාජ මණ්ඩයෙහි තිබූ කෙසෙල් කොළය ඉවත් කර අලුතෙන් කෙසෙල් කොළ එළිය යුතුයි. රජතුමා ආහාර ගෙන අවසන් වෙන විට ආලත්ති බාන්නන් රජතුමන්ට ආසිරි වැඩිය යුතු වෙනවා. ඔවුන් රජුට නොපෙනෙන ලෙස සිරි ආසිරි වදන් කියා පිටත් ව යන බව සඳහන් වෙනවා.
අගු බලන්නා – අගු යන්නෙහි තේරුම රස යනුයි. අගුය, අග්‍ර භෝජනය යනුත් රාජ භෝජනයට නමක්. අගු බලන්නා යන නමින් හැඳින්වෙන්නේ රාජකීය අග්‍ර භෝජනයේ රස විමසා බලන කෙනාටයි. රජතුමාට පිළියෙළ කළ රාජ භෝජනයට සතුරන් විෂ යොදනු ඇතැයි යන සැකය නිසා පුරාණයේ සිට සිංහල රජුන් හා මෞර්ය වංශික රජුන් තමන්ට භෝජනය පිළිගන්වන්නට පෙර රස බැලීමට සේවකයකු යෙදවූ බව ඉතිහාසයෙහි සඳහන් වෙනවා. ඒ චාරිත්‍රයට අනුව මහනුවර රජුන්ගේ රාජ මන්දිරයෙහි ද රාජ භෝජනය රස බැලීම පිණිස යෙදවූ නිලධාරීයකු සිට තිබෙනවා.