ගුවන් යානා වාහක නෞකා බොහෝ අයට හුරුපුරුදු ඇති. ඒත් ගුවන් යානා වාහක සබ්මැරීනත් ලෝකේ නිෂ්පාදනය වෙලා තියෙනවා ද? ජපානය ලෝකෙටම හොර රහසේ නිර්මාණය කළ එවැනි ගුවන් යානා වාහක සබ්මැරීන කීපයක්ම දෙවන ලෝක යුද්ධය අවසන් වූවාට පසුව අමෙරිකාව සොයාගන්නවා. සැබවින්ම ඔවුන් ඒවා කුමක්ද කියාවත් මුල්වරට දකින අවස්ථාවේදී දැනුම්වත් නැහැ. ඒ වන විට ලෝකයේ එතරම් විශාල ගුවන් යානා වාහක සබ්මැරීනයක් නිර්මාණය කර නොතිබුණු නිසායි. “ටෝපිඩෝ ඩයිව් බෝම්බර්” නම් ගුවන්යානා රැගෙන යා හැකි මෙම සබ්මැරීනය දෙවන ලෝක යුද්ධයේදී භාවිත කළේ නම් යුද්ධයේ අවසානය මීට වඩා වෙනස් වන්නට තිබූ බව අමෙරිකානුවන් හඳුනා ගන්නවා. ජපනුන් ඒවා යුද්ධයේදී භාවිත නොකළේ ඇයිද යන්න ප්‍රශ්නයක්.
ගුවන් යානා වාහක නෞකා ගැන ලියැවුනු තවත් ලිපියක් මෙතැනින් කියවන්න.
ජපානය පර්ල් වරායට පහර දෙයි
1941 දෙසැම්බර් මාසයේදී ජපාන අධිරාජ්‍යය, අමෙරිකාවට අයත් පර්ල් වරාය වෙත හදිසි පහරදීමක් සිදු කරනවා. එමගින් සිදුවන්නේ ඒ වන තෙක් තවත් යුද්ධයක් කෙරෙහි උනන්දුවක් නොදැක්වූ අමෙරිකානු ජාතිය දෙවන ලෝක යුද්ධයට ඈඳා ගැනීමක්. ජපනුන් පර්ල් වරායට පහර දුන් දිනට පසු දිනයේම අමෙරිකාව ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. ඉන්පසු ඔවුන් තමන්ගේ සියලු කර්මාන්ත බලය යොදවා යුද උපකරණ නිෂ්පාදනය ඉතා ශීඝ්‍රයෙන් අරඹනවා. ඔවුන්ගේ නැව්, යුධ ටැංකි සහ ගුවන් යානා නිෂ්පාදනය කොතෙක්ද කියනවා නම් කෙටි කාලයක් තුළ ජපානයේ යුද ශක්තිය වැළලීමට තරම් ඒවා ප්‍රමාණවත් වූවා.
අමෙරිකාවට අනුව ජපනුන් පර්ල් වරායට පහර දීමේ සිදුවීම හුදෙක් සිත් පිත් නැති නිවට සහ ජාතියක් කුපිත කරවන ප්‍රහාරයක් වනවා. ජපානයට අනුව මෙය සම්පුර්ණයෙන් වෙනස් අරමුණක් පෙරදැරි කරගත් එකක්. ඔවුන් සැබවින්ම බලාපොරොත්තු වුණේ එක්සත් ජනපදය සමග මහා පරිමාණ යුද්ධයකට යාම වළක්වා ගැනීමයි. ඒ වන විට ජපාන අධිරාජ්‍යය නැගෙනහිර සහ ගිනිකොණ දිග ආසියාව පුරා කෘර ලෙස තම අණසක පතුරවමින් සිටි නිසා කිසියම් හෝ මොහොතක එක්සත් ජනපදය එයට මැදිහත් වනු ඇති බවට ඔවුන් දැන සිටීම හේතුවෙන්. මේ නිසා පර්ල් වරායට පහර දීම සැලසුම් කිරිමේ මහා මොළකරු වූ ජපාන අද්මිරාල් ඉසොරොකු යමමොටෝ බලාපොරොත්තු වූයේ එම ප්‍රහාරයෙන් ඇමෙරිකාවේ යුද නැව් ඇතුළු උපකරණ හැකි උපරිම ප්‍රමාණයක් විනාශ කිරීමයි. එමඟින් අමෙරිකාව තවත් මාස 6කට වත් ජපානය සමඟ යුද්ධයකට පැමිණීමෙන් ඈත් කර තබන්න ඔහු අපේක්ෂා කළා. අද්මිරාල් යමමොටෝ විශ්වාස කළ තවත් කාරණයක් වුයේ පර්ල් වරාය ප්‍රහාරය අමෙරිකාවට ප්‍රබල පහරක් වුවහොත් ඇතැම් විට ඔවුන් ජපානය සමඟ සාමයකට එළඹෙනු ඇති බවයි.
ඇමෙරිකාවේ යුද ශක්තිය තමන් බොහෝ ලෙස අවතක්සේරු කළ බව වැටහෙන්නට අද්මිරාල් යමමොටෝට වැඩි කාලයක් ගතවන්නේ නැහැ. ඔවුන් නුදුරේදීම ජපානය මුළුමනින්ම ආක්‍රමණය කරනු ඇතැයි සිතන යමමොටෝ වෙනස්ම උපක්‍රමයක් සැලසුම් කරනවා. යුද්ධය ජපානයට ගෙන එනවා වෙනුවට එය අමෙරිකාවේ නගරවලට ගෙන යෑමයි ඔහුගේ සැලැස්ම වන්නේ. ඇමෙරිකානු හමුදා ඒ වන විටත් ජපානය පිළිබඳ උපරිම විමසිල්ලෙන් සිටින නිසා අමෙරිකාව වෙත ළඟා වීමට නම් අතිශය රහස් අවියක් අවශ්‍ය බව යමමොටෝ අවබෝධ කරගන්නවා.
ගුවන් යානා වාහක සබ්මැරීන
සබ්මැරිනයක සිට ගුවන් යානා ගුවන් ගත කිරීමේ සංකල්පය මුලින්ම ආරම්භ වන්නේ පළමු ලෝක යුද්ධ සමයේදීයි. මුල්වරට ජර්මනිය එවැන්නක් අත්හදා බලනවා. ඒ සඳහා භාවිත වෙන්නේ FF 29 මුහුදු ගුවන් යානා සහ යූ බෝට් සබ්මැරීනයි. පසුව ප්‍රංශය, එක්සත් රාජධානිය සහ අමෙරිකාව මෙවැනි අත්හදා බැලීම් සිදුකළත් සාමාන්‍යයෙන් එක් සැහැල්ලු ගුවන් යානයක් පමණක් ඒවායින් ගුවන්ගත කෙරුණා. අද්මිරාල් යමමොටෝගේ අදහස වුයේ ගුවන් යානා කීපයක්ම ගුවන් ගත කළ හැකි සබ්මැරීන බළ ඇණියක් නිර්මාණය කිරීමයි. එවිට සතුරාට අනපේක්ෂිත දරුණු ප්‍රහාරයක් එල්ල කර සැඟවී යා හැකියි.
1942 මාර්තු මාසයේ සිට ජපාන ඉංජිනේරුවන් මෙම සබ්මැරීනයේ සැලසුම් කටයුතු අරඹනවා. එය නම් කර තිබුණේ I-400 ලෙසයි. මෙම සබ්මැරීනයක්, සම්පුර්ණ පරිමාණයේ ටෝපිඩෝ ඩයිව් බෝම්බර් ගුවන් යානා රැගෙන යා හැකි ලෙස සකස් කළ යුතු බව ඔවුන්ට පනවා තිබූ ප්‍රධාන කොන්දේසියක්. සබ්මැරීන දිගින් අඩු නිසා ගුවන් යානා ගුවන් ගත කිරීමට කැටපෝල දියත් කිරීමේ ක්‍රමවේදයක් ද සැලසුම් කළ යුතු වුණා. ගුවන් යානා සබ්මැරීනයට යළි ගොඩබස්වා ගැනීමටත් ක්‍රමවේදයක් සකස් විය යුතුයි. කෙසේවෙතත් ඉංජිනේරුවන්ට මුහුණ දීමට සිදුවූ විශාලම අභියෝගය වුණේ මීටර 12 ක පමණ පළලක් (Wingspan) ඇති ටෝපිඩෝ ඩයිව් බෝම්බර් ගුවන් යානා සබ්මැරීනය තුළ තබන්නේ කෙසේද යන්නයි. මේ නිසා ඔවුන්ට I-400 සඳහාම සුවිශේෂී වූ ටෝපිඩෝ ඩයිව් බෝම්බර් ගුවන් යානා නිර්මාණය කිරීමට සිදුවනවා. ඒවායේ දෙපස පියාපත් හැකිළීමට දිග හැරීමට හැකි ලෙස නිර්මාණය කිරීමටයි ඒ අනුව සැලසුම් කෙරෙන්නේ.
රහස් ආයුධයක් ලෙස මෙම ගුවන් යානා වාහක සබ්මැරීනය භාවිත කිරීමට නම් කිලෝමීටර දහස් ගණනක් දුර පිහිටි ඉලක්ක වෙත ගොස් නැවත ජපානය වෙතම පැමිණීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ සැපයුම් ප්‍රමාණයක් මෙම සබ්මැරීන සතු විය යුතු වනවා. අමෙරිකාවේ නැගෙනහිර වෙරළේ ඇති නගරවලට පහර දීමට යමමොටෝ සැලසුම් කර තිබුණේ I-400 සබ්මැරීන ඉන්දියන් සාගරය හරහා අත්ලාන්තික සාගරයට යැවීමෙනුයි. එවන් දුරක් ගොස් නැවත ජපානයට පැමිණීමට නම් මේවා සතුව ඉන්ධන ලීටර මිලියන 2ක වත් ධාරිතාවක් තිබිය යුතුයි. මේ නිසා මෙය සුවිසල් සබ්මැරීනයක් ලෙස ඉදිකිරීමට සිදුවුණා. එහි දිග ජර්මානු “යූ බෝට්” සබ්මැරීනයට මෙන් දෙගුණයක් පමණ වූ අතර සබ්මැරීනයේ බඳ ද්විත්ව කුහර ආකාරයෙන් නිර්මාණය කෙරුණා. මේ හේතුවෙන් I-400 එකකින් විස්ථාපනය කරන ජල පරිමාව අමෙරිකාව නිර්මාණය කර තිබූ විශාලම සබ්මැරීනයෙන් (Gato සබ්මැරීනය) විස්ථාපානය කරන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ වනවා. ලොව මෙතෙක් බිහිවූ විශාලතම සබ්මැරීනය වන සෝවියට් ටයිෆුන් සබ්මැරීනය (1981) ඒ වන විට නිර්මාණය වී තිබුණේ නැහැ.
සබ්මැරීනයේ ඉතිහාසය ගැන දැනගන්න අප පළ කළ තවත් ලිපියක් මෙතනින් කියවන්න.
I-400 හි යුද ශක්තිය
අශ්ව බල 7700 ක ඩීසල් එන්ජිමකින් සහ අශ්ව බල 2400 ක විද්‍යුත් මෝටරයකින් බල ගැන්වුණු මෙම සබ්මැරීනය ඉදිරිපස මිලිමීටර 533 විශ්කම්භයක් ඇති ටෝපිඩෝ නිකුත් කළ හැකි නළ 8ක් ස්ථානගත කර තිබෙනවා. සබ්මැරීන තට්ටුවේ පිටුපස කොටස මත මිලිමීටර 140 තුවක්කුවක් ද මැද කොටසේ එනම් ගුවන්යානා අංගනය දෙපසින් මිලිමීටර 25 ත්‍රිත්ව ගුවන් යානා නාශක අවි තුනක් සහ තනි ගුවන් යානා නාශක අවියක් ද සවි කර තිබෙනවා. මේ සියල්ලටම වඩා I-400 සතු ඉහළම ආයුධය වන්නේ එහි සඟවාගෙන සිටින ටෝපිඩෝ ඩයිව් බෝම්බර් ගුවන් යානා ත්‍රිත්වයයි. සතුරන් කිසි ලෙසකින් වත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් දියත් කිරීමට මේවා උදව් වනවා.
I-400 රහසිගතව ඉලක්කය ආසන්නයට ළඟා වුණු පසු කාර්මිකයන් ගුවන් යානා ත්‍රිත්වයේ එන්ජිම්වලට උණුසුම් තෙල් සැපයීම අරඹනවා. එවිට ඒවා ඉක්මනින් ගුවන්ගත කළ හැකියි. ඉන්පසු ඉලක්කයට කිලෝමීටර 200-300 ක පමණ දුරකින් සබ්මැරීනය මුහුද මතුපිටට පැමිණෙනවා. ගුවන් යානා අංගනයේ සිට පළමු ගුවන් යානය සබ්මැරින් තට්ටුව මතට පැමිණෙන්නේ ඉන් අනතුරුවයි. කාර්ය මණ්ඩලය ගුවන් යානයේ එන්ජිම ක්‍රියාත්මක කර එහි තටු දිගහැරීමත් ජලය මත පාවීම සඳහා අවශ්‍ය පාද සවි කිරීමත් සිදු කරනවා. ඉන්පසු සම්පීඩිත වායු කැටපෝල විදිනය ආධාරයෙන් ගුවන් යානය ගුවන් ගත කෙරෙන අතර සෙසු ගුවන් යානා ද මේ පියවර අනුගමනය කිරීමෙන් පසු සිය ඉලක්කය වෙත ගමන් අරඹනවා. සබ්මැරීනය මුහුදු මතුපිටට පැමිණ මිනිත්තු 30ක් ඇතුළතදී ගුවන් යානා ත්‍රිත්වය ම ගුවන්ගත කළ හැකි බවයි පැවසෙන්නේ.
I-400 සඳහා ම විශේෂයෙන් සෑදූ ටෝපිඩෝ ඩයිව් බෝම්බර් ගුවන් යානායකට ජපාන නාවික හමුදාව සතු විශාලම බෝම්බය හෝ ටෝපිඩෝව රැගෙන යා හැකියි. ගුවන්යානා නැවත පැමිණෙන තුරු සබ්මැරීනය මුහුද යට ස්ථානගත කෙරෙනවා. ගුවන් යානා මුහුදු ගොඩබෑම සිදු කළ පසු සබ්මැරීනයේ තට්ටුව මත ඇති හැකිළීමට සහ දිගහැරීමට හැකි හයිඩ්‍රොලික් දොඹකරය ආධාරයෙන් ඒවා ඔසවා යළි ගුවන් යානා අංගනයට ඇතුළු කරනවා.
I-400 සබ්මැරීනය යුද්ධයට භාවිත නොකළේ ඇයි?
මෙම සබ්මැරීනය නිර්මාණය කිරීම ආරම්භ කරන මොහොතේදී බොහෝ දෙනා එය දුටුවේ අද්මිරාල් යමොමොටෝගේ විහිළුවක් ලෙසයි. විශේෂයෙන් යුද්ධයක් මැද දී යුද පිටියක දැවැන්ත සබ්මැරීනයක් වතුරෙන් මතුපිට විනාඩි 30ක් තබාගෙන සිටීම, අවදානම බලෙන් ගෙන්වා ගැනීමක් ලෙසයි බොහෝ දෙනා පෙන්වා දුන්නේ. එවැනි විරෝධතා යමොමොටෝ කනකට හෝ ගත්තේ නැහැ. මෙම සුවිසල් සබ්මැරීනය සැලසුම් කිරීම සඳහා විශාල කාලයක් ගතවීම හේතුවෙන් නිෂ්පාදනය ආරම්භ කිරීමට සිදුවුයේ 1943 දීයි. ඒ වන විටත් ජපානය සිටියේ යුද්ධයේ පරාජය අබියසයි. 1942 ජූනි 3 – 6 දිනවලදී සිදුවූ “මිඩ්වේ ගැටුමේදී” (Battle of Midway) දැවැන්ත පරාජයකට ලක්වූ ජපාන නාවික හමුදාව තෙල් සහ වෙනත් සැපයුම් හිඟතාවයකට පත්වනවා. ඒ නිසාද I-400 සබ්මැරීන ඉදිකිරීම තවදුරටත් කල් ගිය බවයි සඳහන් වන්නේ.
‘පැසිෆික් සයුරේ ඉරණම විසඳූ මිඩ්වේ සටන’ වීඩියෝව මෙතැනින් නරඹන්න
අද්මිරාල් යමමොටෝ ද නිපදවා අවසන් කළ I-400 සබ්මැරීනයක් දැකගැනීම සඳහා ජීවතුන් අතර සිටියේ නැහැ. 1943 දී දකුණු පැසිෆික් කලාපයේ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටි ඔහු ගමන් ගත් ගුවන් යානය අමෙරිකානු හමුදා බිම හෙළීම හේතුවෙන් ඔහු ජිවිතක්ෂයට පත්වනවා. මේ නිසා I-400 සබ්මැරීන 18ක් නිර්මාණය කිරීමේ සැලැස්ම වෙනුවට අවසානයේ නිර්මාණය වන්නේ ඒවා 5ක් පමණයි. එයිනුත් සම්පුර්ණ කෙරෙන්නේ 3ක් පමණයි. I-400, 401 සහ 402 නමින් හැඳින්වෙන ඒවා 1945 දී සේවයට වාර්තා කළා. සබ්මැරීන ඉතා සුළු ප්‍රමාණයකින් ඇමෙරිකාවේ නගරවලට පහර දීමේ සැලැස්ම ජපානය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. එය සියදිවි නසාගැනීමක් ලෙසයි ඔවුන් දකින්නේ.
I-400 සහ I-401 සබ්මැරීන යොදාගෙන සිදු කළ එකම මෙහෙයුම වන්නේ පැසිෆික් සාගරයේ බටහිරට වන්නට පිහිටි යුලයිති (Ulithi) නම් දිවයිනට පහර දීමයි. එහි අමෙරිකානු නාවික හමුදා කඳවුරක් පිහිටා තිබුණා. සබ්මැරීන අදාළ ඉලක්කය වෙත ළඟා වූ නමුත් 1945 සැප්තැම්බර් මාසයේදී ජපානය යටත්වීමට තීරණය කළ නිසා එම මෙහෙයුමත් අතරමග ඇණ හිටිනවා.
I-400 සබ්මැරීනයේ අවසානය
ජපානය යටත් වීමෙන් සති දෙකකට පසු අමෙරිකානු හමුදාවලට පළමුවරට I-400 සබ්මැරීනයක් ජපාන වෙරළේදී නෙත ගැටෙනවා. ඒ ජපානය සිය සියලුම යුද යාත්‍රා අමෙරිකානු නිරීක්ෂණයට තබා තිබූ අවස්ථාවේදීයි. අමෙරිකානුවන් එය ගුවන් යානා වාහක සබ්මැරීනයක් බව එක්වනම හඳුනාගන්නේ නැහැ. ඔවුන් සිතන්නේ එය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉදි කළ විශාල ප්‍රමාණයේ සබ්මැරීනයක් බවයි. ඉතා ඉක්මනින් I-400 යනු කුමක්ද සහ ඒ වෙනුවෙන් ජපානය සතුවූ සැලැස්ම කුමක්ද යන්න ඔවුන් අනාවරණය කරගන්නවා. මෙම සබ්මැරීනයේ භයානකම අවබෝධ කරගත් අමෙරිකාව ප්‍රකාශ කරන්නේ එය දෙවන ලෝක යුද්ධයේ නිවැරදි මොහොතේදී භාවිත කළේ නම් යුද්ධයේ ප්‍රතිඵලය බොහෝ දුරට වෙනස් වන්නට තිබූ බවයි.
සෝවියට් දේශය ජපානයේ මෙම සබ්මැරීන විශ්ලේෂණය කිරීම සඳහා 1946 දී ඉඩ ඉල්ලා තිබුණා. අමෙරිකාවෙන් එයට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සිදු කරන්නේ ඒවා හවායි සහ ජපාන වෙරළ ආසන්නයේදී විනාශ කර මුහුදුබත් කර දැමීමයි. ඒවා මුහුදබත් කළ නිවැරදි ස්ථාන පවා රහසක් ලෙස තබා ගැනෙනවා. එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් හානියට පත්ව තිබූ I-402 ගෝටේ දූපත් ආසන්නයේදී 1946 අප්‍රියෙල් 1 වන දින මුහුදුබත් කළ අතර අනෙක් සබ්මැරීන දෙක පර්ල් වරායට ගෙන ගොස් 1946 මැයි සහ ජුනි මාසවලදී පුළුල් ලෙස අධ්‍යයනයට ලක් කරනවා. 2005 දී I-401 සබ්මැරීනය සොයා ගත් අතර I-400 සහ I-402 සබ්මැරීන පිළිවෙලින් 2013 සහ 2015 දී සොයා ගන්නවා. දෙවන ලෝක යුද්ධයේ ඉරණම පවා වෙනස් කළ හැකිව තිබූ ගුවන් යානා වාහක සබ්මැරීන ලෝකයෙන්ම සැඟවී ගියේ ඒ ආකාරයටයි.