පළමුවැනි විජයබාහු, සියවසක් පමණ පැවති චෝල පාලනයෙන් ලංකාව මුදාගෙන ලංකාවේ අගරජු බවට පත්වෙන්නේ 1073-74 කාලයේ දී යි. නමුත් ඔහු වර්ෂ 1055 දී රෝහණයේ රජකමට පත්වෙනවා. ඒ නිසා ඔහුගේ රාජ්‍ය කාලය පටන් ගන්නේ 1055 සිට යි.
ඉතිහාසයේ වෙනත් කිසිම රජෙකු විජයබාහු රජු තරම් බාධක කම්කටොලු අත්විඳ නැහැ. චෝල පාලනයේ තර්ජනවලින් නටබුන් වූ වෙහෙරවිහාර ප්‍රතිසංස්කරණය කිරීමටත්, බුදු සසුන නගා සිටුවීමටත් මේ රජ්ජුරුවෝ පෙරමුණ ගත් බව මහාවංශය සඳහන් කරනවා. විජයබාහු රජු අවුරුදු 73ක් ජීවත්වී, සිය 55 වැනි රාජ්‍ය වර්ෂයේ දී (1110) මියයනවා. රණශූරත්වයෙන් මේ රජුට සමකළ හැකි අන් රජෙක් නොමැති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරනවා. සිංහලයාට නිදහස ලබාදුන්නේ මේ රජු බවත්, සිංහල ජාතිය ගොඩනැගූ අය අතර ප්‍රධාන ස්ථානය ඔහුට ලැබෙන බවත් ඉතිහාසඥ නීලකණ්ඨ ශාස්ත්‍රී පවසනවා. විජයබාහු රජුගේ මතකය රැඳි සිහිටවන කිහිපයක් ගැන සොයාබැලීමට ගත් උත්සාහයක් මේ.
වාකිරිගල බලකොටුව
විජයබාහු රජු පොළොන්නරුවේ සොලී ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීමේ දී පොළොන්නරුව අල්ලා ගත්තේ, සේනා සංවිධානය කර පලුට්ඨගිරියේ දී කළ ගරිල්ලා සටනකින්. ඒ බව සැලවූ දකුණු ඉන්දියාවේ වීරරාජේන්ද්‍ර නම් චෝල රජු මෙරට චෝල සාමන්තයාට ආධාර සේනා එව්වා. ඒ සේනාව සමග කළ දරුණු සටනින් සිංහල සේනාව පැරදෙනවා. මේ නිසා විජයබාහු රජුට ආරක්ෂාව පතා සැඟව පලා යාමට සිදුවුණා. ඔහු වනගතව සැඟව සේනා ප්‍රතිසංවිධානය කරන අතරතුර යළිත් චෝලයන් තමන් ලුහුබැඳ එන බව ආරංචි වී, වාතගිරි පර්වතයට (වාකිරිගල) පලාගොස් බලකොටුවක් තනා තුන් මාසයක් සටන් කළා. රජ වූ පසුවත් කැරලි අවස්ථාවල දී යළිත් වාකිරිගලට පැමිණ සේනා සංවිධානය කර ජයගත් බව සඳහන් වෙනවා.
මාවනැල්ලේ සිට අරණායක පාරේ ගොස් උස්සාපිටිය හන්දියෙන් දකුණට හැරී, ගල්අතර පාරේ ගමන් කර වාකිරිගලට ළඟාවිය හැකියි. මාවනැල්ලේ සිට දුර කි. මි. 10ක්. වාකිරිගල රජමහා විහාරය පසුකර ගොස් රබර්වතු අතරින් ගමන් කර පර්වතය මතට ගමන් කළ හැකි වුණත් ඒ සඳහා නිශ්චිත මාර්ගයක් නම් නැහැ. අඩි 1000ක පමණ උසකින් යුත් කඳුගැටය, පිහිටි බිමේ සිට එක්වරම ඉහළ නගින හුදකලා කන්දක්. එයට පිවිසීම දුෂ්කරවීමත්, අවට කඳු අතර සැඟව තිබීමත් නිසා සතුරකුට ලේසියෙන් ළඟාවිය නොහැකියි. පුරාවිද්‍යා රක්ෂිතයක් වූ මේ කන්ද මත කැලෑව වැවී තිබෙනවා. එහි කැණීම් කර නැති නිසා පැරණි නටබුන් දැකගැනීමත් අසීරු යි. ගල්කණු කිහිපයක් පමණක් දැකගත හැකියි. පර්වතයේ ප්‍රාකාරවල සලකුණු, ගල්කැපූ සලකුණු ආදිය තිබෙනවා. මේ වටිනා ස්මාරකය නිදන් හොරුන්ගේ රජ දහනක් වී ඇති බව ද අපට පෙනුණා. ඒ නිසා මෙය කැණීම් කර සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බව හැඟුණා.
විජයබාහු මාලිගය
අනුරාධපුරයේ නටබුන් අතර පිහිටි එකම රජ මාලිගය වන්නේ විජයබාහු මාලිගය යි. නමුත් එය නැරඹීමට නම් යන්නේ කලාතුරකින් කෙනෙක් පමණ යි. සංඝමිත්තා මාවතේ ගොස් දකුණට හැරී ටික දුරක් යනවිට මෙම නටබුන් ගොඩනැගිල්ල අපට දැකගත හැකියි.
අටේ අගරජු වීමෙන් පසු විජයබාහු අනුරාධපුරයේ මාලිගයක් ඉදිකර, සිය අභිෂේක උත්සවය එහි පවත්වනවා. නමුත් රජු එහි වාසය කරන්නේ ටික කලයි. “පැරණි ගොඩනැගිලිවලින් එකතු කර ගත් ද්‍රව්‍ය යොදා තනනු ලැබූ චාම් මාලිගාව වනාහි සිය වසක් පමණ කාලයක් විදේශීය පාලනයකට යටත්ව තිබීමත්, රටේ නිතර නිතර යුද්ධ හේතුකොට ගෙන රට දුප්පත්ව පැවති කාලයෙන් පසු මේ රටේ පැවති තත්ත්වයට බෙහෙවින් ගැලපෙන්නකි,” යනුවෙන් ලංකාවිශ්වවිද්‍යාලයයීය ලංකා ඉතිහාසය සඳහන් කරනවා (1 කාණ්ඩය, 11 භාගය, 408 පිට).
මෙහි බිම් සැලැස්ම පඩුවස්නුවර රජ මාලිගයේ බිම් සැලැස්මට තරමක් සමාන යි. ගොඩනැගිල්ලේ විශාලත්වය උතුරේ සිට දකුණට අඩි 128ක් ද නැගෙනහිර සිට බටහිරට අඩි 216ක් ද වෙනවා. මෙහි බිත්ති අඩි කිහිපයක් උසට ඉතිරිව පවතිනවා. ඒවායේ චිත්‍ර ඇඳ තිබූ බවට සලකුණු දකින්න පුළුවන්. ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව දෙපස සංඛ හා පද්ම රූප සහිත මුරගල් තිබෙනවා. ඇතුළු ගැබ කිහිපයක් සහිත මෙම ප්‍රාසාදය මහල් කිහිපයකින් යුත්තව පැවති බවට සාධක තිබෙනවා. එහි ඉහළ මහලට නගින පියගැට පෙළ තවමත් දැකගත හැකියි. මාලිගයට පිවිසෙන ප්‍රධන වාහල්කඩ පිහිටා ඇත්තේ එහි සිට අඩි 300ක් පමණ දුරින්. දැන් මහාමාර්ගය වැටී ඇත්තේ මාලිගාව සහ වාහල්කඩ මැදින් නිසා මාලිගා බිම දෙකට බෙදිගිහින්.
අටදාගේ
පොළොන්නරුවේ සිට රට පාලනය ආරම්භ කළ රජු රාජ්‍ය පාලනයේ සංකේතය වශයෙන් සැලකෙන දළදා වහන්සේ සඳහා මාලිගයක් තනනවා. එය හඳුන්වන්නේ අටදාගේ නමින්. එම ගොඩනැගිල්ල දළදාගේ බව සනාථ කරන වේලයික්කාර පුවරු ලිපිය ඒ අසලම පිහිටුවා තිබෙනවා. එහි සඳහන් වන්නේ විජයබාහු රජුගේ ඇවෑමෙන් දළදා මාලිගය ආරක්ෂා කිරීමට වේලයික්කාර කුලී හේවායන්ට පැවරූ බව යි. රජුගේ අණ පරිදි නගරගිරි දේව සේනාපති විසින් දළදා පාත්‍රා ධාතුන් වහන්සේලාට මාලිගයක් ඉදිකරවූ බවත් සෙල්ලපියේ දැක්වෙනවා. ගොඩනැගිල්ල තැනීමෙන් පසු අභයගිරියේ තැන්පත් කර තිබූ ධාතුන් වහන්සේලා රැගෙනවිත් මෙහි තැන්පත් කර තිබෙනවා.
පොළොන්නරුව දළදා මළුවේ හැටදාගේ අසල පිහිටි අටදාගේ දෙමහල් ගොඩනැගිල්ලක්. එහි දිග අඩි 75ක් ද පළල අඩි 45ක් ද වෙනවා. ඉහළ මාලය දළදා වහන්සේ තැන්පත් කිරීමට වෙන්වූ අතර පහළ මාලය ප්‍රතිමා මන්දිරයක් වුණා. ගොඩනැගිල්ලට ඇතුළු විය යුත්තේ චාම් කොරවල්ගල් දෙකක් සහිත පියගැට හතරක් නැගීමෙන්. එහි පාමුල හුණුගලින් කළ සඳකඩ පහණක් තිබෙනවා. මෙම සඳකඩ පහණේ අනුරාධපුර යුගයට අයත් ලක්ෂණ දකින්න පුළුවන්. පොළොන්නරුවේ සෙසු සඳකඩ පහණවල ගව රූප නොතිබුණත් මෙහි තිබෙනවා. ඒ අසලම පාදොවනයක් ඇත්තේ බැතිමතුන්ට පා දෝවනය කරගෙන ඇතුළුවීමට යි. ප්‍රවේශ මණ්ඩපයට පිවිසෙන කළුගල් උළුවස්ස ද ඉතිරිව පවතිනවා. එම උළුවස්ස ලීස්තරවලට බෙදා කැටයම් කර තිබෙනවා. ප්‍රවේශ මණ්ඩපය නැගෙනහිරින් තවත් දොරටුවක් දැකගත හැකියි. මෙහි පිටත ගඩොල් බිත්තියක් ඝනකමින් අඩි 3 අඟල් 2ක් ද ඇතුළත බිත්තියක් ඝනකමින් අඩි 2 අඟල් 6ක් ද වෙනවා. ඉහළ මාලය දරා සිටීමට අවශ්‍ය නිසා බිත්ති ඝනකමින් වැඩිකර ඉදිකර තිබෙන්නට ඇති. ගොඩනැගිල්ලේ දෙවන මහල කළුගල් කුලුනු මත දැවයෙන් කළ ඉදිකිරීමක් බව පේනවා. ඒ සඳහා සිටවූ කුලුනු 54ක් දැකගත හැකියි. පියස්ස මැටි උළුවලින් සෙවිලි කර තිබූ බව අවටින් හමුවන උළුවලින් පැහැදිලි වෙනවා. ඉහළ මහලට පිවිසෙන පියගැට පෙළේ කෙටසක් ද අදත් ඉතිරිව පවතිනවා.
පිළිම ගෙයි තිබූ ප්‍රතිමා අතරින් අද දැකගත හැක්කේ එක් හිටි බුදු පිළිමයක් පමණ යි. අභය මුද්‍රාවෙන් යුත් එහි එක් අතක් කැඩීගිහින්. පොළොන්නරුවේ පළමුවන දළදා මන්දිරය වූ මෙය ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ සඳහන් කරනවා:
සිංහලයන්ගේ වෙහෙරවිහාර පිළිබඳ වාස්තු විද්‍යාව ශත වර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ නිහඬව තිබීමෙන් අනතුරුව ගොඩනංවන ලද මෙය අනුරාධපුරයේ ගොඩනැගිලි අනුව සාදා ඇත. ඒ ගොඩනැගිලිවල නිර්මාණ ක්‍රමයත්, ලීස්තරවල විස්තර විභාග හා සැලැස්මත් මෙහිදී අනුගමනය කර තිබේ.
(ලංකාවිශ්වවිද්‍යාලයයීය ලංකා ඉතිහාසය 1 කාණ්ඩය, 11 භාගය, 560 පිට)
පනාකඩුව තඹ සන්නස
1948 පෙබරවාරි මාසයේ දිනක මොරවක පනාකඩුව ගමේ කරෝලිස් අප්පුහාමි නම් ගොවියකුට කුඹුර කොටද්දී තඹතහඩු තුනක් හමුවුණා. ඔහු සිතුවේ නිධානයක් ලැබුණු බව යි. පසුව හෙළි වුණේ එය පළමුවැනි විජයබාහු රජු සැඟව සිටි කාලයේ රැකබලාගත් බුදල්නා නම් පුද්ගයකුට දීමනා ලබාදුන් ඉතා වාදගත් ලියවිල්ලක් බව යි. මෙය කියවා අර්ථ පැහැදූ එවකට පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතන මෙසේ සඳහන් කර තිබෙනවා:
ලංකාව සතු වටිනාම ඓතිහාසික ලේඛනය මෙයයි. එය මහා විජයබාහු රාජ්‍යානුශාසනයේ 27 වැනි වර්ෂයේ නිකුත් කරන ලද්දකි. මෙතෙක් හෙළිවී ඇති පැරණිම තඹ සන්නස මෙය වේ. එහි අඩංගු කරුණු අනුව එය ලංකාවේ මෙතෙක් හෙළිවී ඇති ඒ ගණයේ ලේඛන අතර අද්වීතිය සුවිශිෂ්ට ස්ථානයක් දරයි.
(සෙනරත් පරණවිතාන- පුරාවිදු පරියේසණ, 215 පිට)
පත්ඉරු තුනකින් යුත් මේ තඹ සන්නස මහ රජකු නිකුත් කළ හැඟීම්බර ලේඛනයක ආකාරයක් ගන්නවා. තඹ පතක දිග අඩියකුත් අඟල් දෙකහමාරක් ද පළලින් අඟල් තුනක් ද වෙනවා. තමා කුඩා කාලයේ රැකබලාගෙන ඇතිදැඩි කරමින් සොලී පාලනය පැරදවීමට ආධාර කළ රුහුණේ යුද හමුදා නිලධාරියකුට වරප්‍රසාද පිරිනැමීමට මෙය නිකුත් කළත්, එහි මානුෂික හැඟීම් කුළුගන්වන කරුණු නිසා එය විශේෂත්වයක් ගන්නවා.
මේ තඹ සන්නසේ කොටසක්:
සොළී දෙමළුන්ගෙන් පැමිණි උවදුරු නිසා අප සතු රජය අපට අහිමිව අප වනගතව කඳුකරයේ සැඟව සිටිය දී රුහුණේ දණ්ඩනායක සිත්නරුබිම් බුදල්නාවන් සිය පිරිවරසෙන් ආධාර කොටගෙන අප පිය මහාසාමි මුගලන්වහන්සේ ඇතුළු රජපවුලේ අප හැමදෙනා ආරක්ෂා කළේය. ඔහු අප බාල කාලයේ දී ඇතිදැඩි කළේය. මහ වනයෙන් සොයාගත් අල මුල් පලා වර්ගවලින් අප පෝෂ්‍ය කළේය. යන යන තැන අප සොයමින් සැරිසරන සතුරන්ගෙන් අප රැකගත්තේය.
(පුරාවිදු පරියේසණ, 219 පිට)
කළගුණ දන්නා රජු බුදල්නාවන්ට හා පවුලේ අයට ලබාදුන් වරප්‍රසාද වුණේ මේවා යි.
ඔහුගෙන් පැවතෙන්නන්ට දඩගැසීමක් හෝ හිරබාරයට ගැනීමක් හෝ ඉඩම් රාජසන්තක කිරීමකික් දඬුවම් කළ නොහැකියි. මහා අපරාධයක් කළ ද තුන් වරක්ම සමාව දිය යුතු යි. රාජද්‍රෝහී වරදකට අසුවුණ ද අභයදානය දිය යුතු යි.
තමා විසින් නිකුත් කළ ලේඛනයකින් තමාගේ නැතිබැරි කාලය ගැන අනාවරණය කළ පළමු ලේඛනය මෙය නිසා එය ඉතා ප්‍රකට වුණා. පනාකඩුව ගමටත් විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. සන්නස සොයාගත් ගොවියාට රු. 500ක ප්‍රදානයක් ද ආණ්ඩුවෙන් ලබාදුන්නා. මෙම සන්නස කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අඹගමුව සෙල්ලිපිය
විජයබාහු රජු රජකිරුළු දරා අවුරුදු 38කට පසුව තමයි මේ ගිරිලිපිය පිහිටුවා තිබෙන්නේ. නාවලපිටිය ගිනිගත්හේන මාර්ගයේ 6 වැනි කි. මී. කණුව ළඟින් හැරී මිටර් 300ක් පමණ ගමන් කළ විට සෙල්ලිපිය කෙටූ ගල්කුල හමුවෙනවා. එම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක්. උඩබුලත්ගමට අයත් අඹගමුව ගමේ අකුරුකෙටූකන්ද නම් ස්ථානයේ තමයි සෙල්ලිපිය තිබෙන්නේ. අඹගමුව ශ්‍රී පාදස්ථානයට අයත් ගම්වරයක්. අඹගමුව ශිලා ලේඛනයේ සඳහන් තොරතුරු මහාවංශයේ තොරතුරු සමග ද සැසදෙන නිසා මෙය වටිනා ඓතිහාසික ලේඛනයක් ලෙස සැලකිය හැකියි.
සාමකාමී පාලකයකු ලෙස රජුගේ ගුණාංග, උතුර යටත්කරගෙන සිටි දෙමළ බලය මැඩපැවැත්වීම, ශ්‍රී පාදස්ථානයේ වැඩිදියුණු කිරීම්, වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනයට සැලසූ පහසුකම් ආදිය මෙහි විස්තර වෙනවා. අවසානයේ සඳහන් වන්නේ රාජ සභාවෙන් නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක කළ නිලධාරින්ගේ නාම ලේඛනය යි. එවකටත් හැටන් ගිනිගත්හේන පාර ශ්‍රිපාදය වන්දනා කිරීමේ ප්‍රධාන මාර්ගය ලෙසින් පැවති බවත්, බොහෝ දුෂ්කරතා විඳිමින් වන්දනාකරුවන් ශ්‍රීපාදය වන්දනා කළ බවත් මේ සෙල්ලිපියෙන් හෙළිවෙනවා. රජු ඒ අපහසුකම් අඩු කිරීමට පහසුකම් රාශියක් ලබාදී තිබෙනවා. භික්ෂූන්වහන්සේට ප්‍රණීත දාන පහසුකම් ඇති කිරීම, අබල දුබලයන්ට දාන පිරිනැමිම, ශ්‍රී පාද මාර්ගයේ අන්තිම පස්ගව්වේ ගව්වෙන් ගව්වට දාන ශාලා පිහිටුවීම ඒ සේවාවලින් කිහිපයක්.