පළමු ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වුණේ 1788/89 කාල වකවානුවේ දී යි. එම ජනාධිපතිවරණයෙන් පසුව ජෝර්ජ් වොෂින්ටන් එරට පළමු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණා. එක්සත් ජනපදය සිය පළමු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව ගෙවුණු වසර 231 තුළ තවත් ජනාධිපතිවරණයන් 58ක් පවත්වනු ලැබුවා. ඒවායෙන් ජයග්‍රහණය කළ ජනාධිපතිවරුන් 45 දෙනෙකුට ඇමරිකාව පාලනය කිරීමේ අවස්ථාව ලැබුණා. එම ජනාධිපතිවරුන් අතරින් වැඩිදෙනෙකු සම්පූර්ණ ධුර කාලය අවසන් කළත්, නව දෙනෙකුට එය අවසන් කිරීමට හැකිවුණේ නැහැ. රිචඩ් නික්සන් ජනාධිපතිවරයා සිය ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස් වුණු අතර, ඉතිරි ජනාධිපතිවරුන් අට දෙනා ජනාධිපතිධුරය දරමින් සිටි කාල සීමාව තුළ දී මිය ගියා. ඉන් ජනාධිපතිවරු සිව්දෙනෙකු ඝාතනය කෙරුණා. ඉතිරි අය ලෙඩ රෝග වැළඳීම නිසා මරණයට පත්වුණා.
විලියම් හෙන්රි හැරිසන්
විග් පක්ෂය නියෝජනය කළ විලියම් හැරිසන් මුල්ම වරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණේ 1836 වසරේ දී යි. ඡන්ද විද්‍යාල නියෝජිතයන් 73ක් පමණක් හිමිකරගත් මොහු ඩිමොක්‍රටික් අපේක්ෂක මාටින් වෑන් බියුරන් හමුවේ පරාජයට පත්වුණා.
ඉන් වසර 4කට පසුව පැවති ජනාධිපතිවරණයේ දී වෑන් බියුරන් සහ විලියම් හැරිසන් යළි හමුවුණා. එවර ජනාධිපතිවරණයේ දී විශාල ජනප්‍රසාදයක් හිමිකරගත් හැරිසන් ඡන්ද විද්‍යාල නියෝජිතයන් 294ක් අතරින් 234ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ අනුව විග් පක්ෂයෙන් බිහිවුණු පළමු ජනාධිපතිවරයා වීමේ ගෞරවය ඔහුට හිමි වුණා. 1841 මාර්තු 4 වැනිදා ඇමරිකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දුන් හැරිසන් ඒ වන විට 68 හැවිරිදි වියේ පසුවුණා.
හැරිසන් ජනාධිපතිවරයා සිය තනතුරේ දිවුරුම් දී දින 22ක් ගතවුණු පසුව හදිසියේම අසනීප වුණා. වෛද්‍යවරුන් පවසා සිටියේ ඔහු නියුමෝනියා රෝගයෙන් පෙළෙන බව යි. ඉක්මනින්ම ක්‍රියාත්මක වෙමින් වෛද්‍ය ප්‍රතිකාර කළත් ජනාධිපතිවරයාගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. දින 9ක් පුරාවට මරුවා සමග සටන් කළ හැරිසන් ජනාධිපතිවරයා අප්‍රේල් 4 වැනිදා අභාවයට පත්වුණා. ඒ අනුව ඇමරිකානු ඉතිහාසය තුළ කෙටිම කලක් ජනාධිපතිධුරය දැරූ පුද්ගලයා ලෙසින් ඔහු ඉතිහාසයට එක් වුණා. හැරිසන්ගේ අභාවයෙන් පසුව උප ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කළ ජෝන් ටයිලර්ට ජනාධිපතිධුරය හිමිවුණා.
සැකරි ටේලර්
1848 වසරේ නොවැම්බර් 7 වැනිදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේ දී විග් පක්ෂයෙන් තරග වැදුණේ සැකරි ටේලර් නම් අපේක්ෂකයා යි. ඩිමොක්‍රටික් පක්ෂ ඉදිරිපත් වුණු ලුවිස් කාස් නම් අපේක්ෂකයා සමග කරට කර සටනක නිරත වුණු ටේලර් ඇමරිකාවේ 12 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා. එහි දී ටේලර්, ඡන්ද විද්‍යාල නියෝජිතයන් 163ක් දිනාගන්නා විට ලුවිස් දිනාගත්තේ නියෝජිතයන් 127ක් පමණ යි. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ටේලර් 1849 වසරේ මාර්තු 4 වැනිදා සිය තනතුරේ දිවුරුම් දුන්නා.
ඉන් පසුව වසරකට වැඩි කාලයක් රාජකාරි කළ මෙම ජනාධිපතිවරයා 1850 වසරේ ජූලි 4 වැනිදා, එනම් ඇමරිකානු දිනයේ දී, වොෂින්ටන් ස්මාරකය ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කිරීමේ උත්සවයකට සහභාගි වුණා. එම උත්සවය අතරතුර ජනාධිපතිවරයා අමු පළතුරු සහ අයිස් කළ කිරි විශාල වශයෙන් පරිභෝජනය කළා. එම උත්සවය අවසන් වී දින කිහිපයකින් ජනාධිපතිවරයා දරුණු ආහාර ජීර්ණ රෝගයකට ගොදුරු වුණා. ඔහුට වැළඳී තිබුණේ කොළරා රෝගය යි. වෛද්‍යවරුන් කණ්ඩායමක් දින කිහිපයක් තිස්සේ ජනාධිපතිවරයාට ප්‍රතිකාර කළත් ජූලි 9 වැනිදා වන විට තත්ත්වය වඩාත් අයහපත් අතට හැරුණා. එදින රාත්‍රී 10.35ට පමණ ඔහු සදහටම දෙනෙත් පියාගත්තා. ටේලර් ජනාධිපතිවරයාගේ හදිසි අභාවයෙන් පසුව එවකට උප ජනාධිපති තනතුරේ කටයුතු කළ මිලාර්ඩ් ෆිල්මෝර් ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දුන්නා.
ඒබ්‍රහම් ලින්කන්
1854 වසරේ දී රිපබ්ලිකන් පක්ෂය ආරම්භ කිරීමට මුල් වුණු ඒබ්‍රහම් ලින්කන් එම පක්ෂයෙන් බිහිවුණු මුල්ම ජනාධිපතිවරයා ලෙසින් ඉතිහාසගත වුණා. 1860 වසරේ දී මුල්ම වරට ජනාධිපතිවරණයක් සඳහා තරග කළ ලින්කන් ඡන්ද විද්‍යාල නියෝජිතයන් 303ක් අතුරින් 180ක් ජයග්‍රහණය කළා. ඔහු ජනාධිපතිධුරයට පත් වී වහල් ක්‍රමය අහෝසි කිරීමට ක්‍රියා කළ නිසා 1864 ජනාධිපතිවරණයේ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වුණා. ඒ ඡන්ද විද්‍යාල නියෝජිතයන් 212ක් දිනාගනිමින්. දෙවන වරටත් බලයට පත්වුණු මෙම ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ 1865 වසරේ මාර්තු 4 වැනිදා යි.
ඔහු දෙවන වරටත් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී දින 40ක් යන විට අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නා. වොෂිංටන් නුවර ෆෝර්ඩ් රංග ශාලාවේ දී ලින්කන්ගේ හිසට වෙඩි තබණු ලැබුවා. ඒ ජෝන් විල්ක්ස් බූත් නම් ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය නළුවෙක්. ලින්කන්ට වෙඩි තබා මඳ වේලාවක් ගිය පසුව එහි පැමිණි ශල්‍ය වෛද්‍ය චාල්ස් ලීල් කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කළත් තුවාලය මාරාන්තික එකක් වුණා. එම නිසා අප්‍රේල් 15 වැනිදා උදෑසන ලින්කන් සදහටම දෙනෙත් පියාගත්තා. ලින්කන්ව ඝාතනය කළ පුද්ගලයා ඇතුළු පිරිසේ මුල් සැලසුම වුණේ ඔහුව පැහැරගැනීම යි. නමුත් අවසානයේ දී ලින්කන්ව ඝාතනය කිරීමට තීරණය කළා. එයට හේතු වුණේ ලින්කන් වහල් ක්‍රමය අහෝසි කිරීම යි. ලින්කන් හදිසියේ මිය යාම හේතුවෙන් උප ජනාධිපති ඇන්ඩෘ ජොන්සන්ට ජනාධිපතිධුරය හිමිවුණා.
ජේම්ස් ගාෆීල්ඩ්
1880 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ ගාෆීල්ඩ් ඡන්ද විද්‍යාල නියෝජිතයන් 369 අතුරින් 214ක් ජයග්‍රහණය කරමින් ඇමරිකාවේ 20 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා. 1881 වසරේ මාර්තු 4 වැනිදා ඔහු ජනාධිපති තනතුරේ දිවුරුම් දුන්නා.
දිවුරුම් දීමෙන් මාස 4කට පසුව වොෂින්ටනයේ දුම්රිය ස්ථානයක් අසල දී ඔහුට සහාසිකයෙකු විසින් වෙඩි තබනු ලැබුවා. වෙඩි තැබුවේ චාල්ස් ගයිටෝ නම් රිපබ්ලිකන් පක්ෂයේම ආධාරකරුවෙක්. ගයිටෝ, ප්‍රංශය හෝ ඔස්ට්‍රියාව යන රටවල් දෙකෙන් එකක තානාපති තනතුරක් බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් ගාෆීල්ඩ් ජනාධිපතිවරයා එම පත්වීම ලබාදුන්නේ නැහැ. ඉන් දැඩි කෝපයට පත්වුණු ගයිටෝ ජනාධිපති ගාෆීල්ඩ්ට වෙඩි තැබුවා. ජූලි 2 වැනිදා වෙඩි ප්‍රහාරයට ලක්වුණු ගාෆීල්ඩ් සැප්තැම්බර් 19 දක්වා ජීවත් වුණේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ යි. ගාෆීල්ඩ්ගේ ජීවිතය බේරාගැනීමට විශාල උත්සාහයක නිරත වුණත් එය සාර්ථක වුණේ නැහැ. ඔහුගේ මරණයෙන් පසුව චෙස්ටර් ආතර්ට ඇමරිකානු ජනාධිපති තනතුර හිමිවුණා.
විලියම් මැකින්ලි
1896 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ විලියම් මැකින්ලි ඡන්ද විද්‍යාල නියෝජිතයන් 271ක් ජයග්‍රහණය කරමින් ඇමරිකාවේ 25 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා. ඉන් වසර 4කට පසුව පැවති ජනාධිපතිවරණයේ දී යළිත් ජනතා විශ්වාසය දිනාගත් මැකින්ලි ජනාධිපතිවරයා ඡන්ද විද්‍යාල නියෝජිතයන් 292ක් ජයග්‍රහණය කළා. ඒ අනුව 1901 මාර්තු 4 වැනිදා යළි ජනාධිපති තනතුරට පත්වුණු මැකින්ලි මාස 5ක් යනතුරු කිසිදු ගැටළුවකින් තොරව රාජකාරි කටයුතුවල නිරත වුණා.
වසර 5කට ආසන්න කාලයක් ඇමරිකානු ජනාධිපතිධුරය දැරූ මැකින්ලිගේ අවාසනාවන්ත දවස එළඹුණේ 1901 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි. ඒ සැප්තැම්බර් 6 වැනිදා බෆලෝහි පැවති පෑන්-ඇමරිකන් ප්‍රදර්ශනය නැරැඹීමට ගිය දිනයේ යි. එදා ප්‍රදර්ශනය භූමිය තුළ සිටි ජනාධිපතිවරයාට වෙඩි තැබුවේ ලියොන් සොල්ගෝස් නම් පුද්ගලයෙක්. ඔහු විසින් තැබූ එක් වෙඩි උණ්ඩයක් ජනාධිපතිවරයාගේ උදරය තුළට කිඳා බැස්සත් එය සොයාගැනීමට හැකිවුණේ නැහැ. උණ්ඩයක් ශරීරයේ රැඳීම නිසා ඇතිවුණු සංකූලතා හේතුවෙන් විලියම් මැකින්ලි ජනාධිපතිවරයාට සිය ජීවිතය අහිමි වුණා. සැප්තැම්බර් 14 වැනිදා සිදුවුණු එම මරණයෙන් පසුව තියඩෝර් රූසවෙල්ට්ට ජනාධිපති තනතුර හිමිවුණා.
වොරන් ජී හාර්ඩින්ග්
ජනාධිපති තනතුරේ කටයුතු කරමින් සිටිය දී මියගිය සිව්වන රිපබ්ලිකන් ජනාධිපතිවරයා වුණු හාර්ඩින්ග් 1920 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ඡන්ද විද්‍යාල ආසන 531ක් අතුරින් 404ක් දිනාගත්තා. එදා 29 වැනි ඇමරිකානු ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වුණු හාර්ඩින්ග් බලයට පැමිණි දින සිට පෙරළිකාර තීරණ ගනිමින් ජනතා ආකර්ෂණය දිනාගත්තා. එම නිසා ඔහු 1923 වසරේ දී ඇමරිකාව පුරා සංචාරය කිරීමට තීරණය කළේ සිය ප්‍රතිපත්ති පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා යි.
එම සංචාරය අතරතුර ඇලස්කාවට ගිය හාර්ඩින්ග් එහි සංචාරය කළ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා බවට ඉතිහාසගත වුණා. අඛණ්ඩව සංචාරයේ යෙදුණු හාර්ඩින්ග් ජනාධිපතිවරයා සැන් ෆ්‍රැන්සිසිකෝ ප්‍රදේශයේ දී අසනීප තත්ත්වයට පත්වුණා. මස්පිඬු පෙරලීම, අජීරණය, උණ, සහ හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ කිහිපයකින් ඔහුට පීඩා විඳින්නට සිදුවුණා. එය ආහාර අජීරණයක් හෝ ආහාර විෂ වීමක්යැ යි අනුමාන කළ වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රතිකාර කළත් සුවයක් ලැබුණේ නැහැ. අවසානයේ දී ඔහු හෘදයාබාධයක් වැළඳීමෙන් මරණයට පත්වුණේ 1923 වසරේ අගෝස්තු 2 වැනිදා යි. ඔහුගේ මරණයෙන් පසුව කැල්වින් කූලිජ් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.
ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට්
ඇමරිකානු ඉතිහාසය තුළ දක්නට ලැබුණු ප්‍රබලතම ජනාධිපතිවරයෙකු වන ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් වසර 12කට වැඩි කාලයක් ඇමරිකාව පාලනය කළා. සාමාන්‍යයෙන් එරට ජනාධිපතිවරයෙකුට ජනාධිපති තනතුර දැරිය හැක්කේ අවස්ථාවන් දෙකක දී පමණ යි. නමුත් රූසවෙල්ට් අවස්ථාවන් හතරක දී ජනාධිපති තනතුරට පත්වුණා. 1932 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කළ රූසවෙල්ට් ඡන්ද විද්‍යාල නියෝජිතයන් 531ක් අතුරින් 472ක් ජයග්‍රහණය කළා. 1933 වසරේ මාර්තු 4 වැනිදා ඇමරිකාවේ 32 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් මොහු කඩා වැටී තිබුණු ඇමරිකානු ආර්ථිකය ගොඩනැගුවා.
එම නිසා 1936 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ඡන්ද විද්‍යාල නියෝජිතයන් 531ක් අතුරින් 523ක්ම දිනාගත්තේ රූසවෙල්ට් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය යි. ඔහුගේ දෙවන ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණු කාල සමය වන විට දෙවන ලෝක යුද්ධය ආරම්භ වී තිබුණා. එදා ලෝකයේ පැවති තත්ත්වය නිසා යළි ජනාධිපතිවරණයකට තරග වැදීමේ අවස්ථාව ඔහුට හිමිවනවා.
එම ජනාධිපතිවරණයේ දී ඡන්ද විද්‍යාල 531ක් අතුරින් 449ක් ජයග්‍රහණය කළ රූසවෙල්ට් යළිත් වරක් ජනාධිපතිධුරයට පත්වුණා. ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ මෙම ජනාධිපතිවරයා සිය තෙවන ධුර කාලය අවසන් කළේ 1944 වසරේ නොවැම්බර් මාසයේ දී යි. නමුත් ඒ වන විට දෙවන ලෝක යුද්ධය අවසන් වී තිබුණේ නැහැ. එම නිසා රූසවෙල්ට්ට සිව්වන වරටත් ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ආරාධනා ලැබුණා. ඒ අනුව සිව්වන වරටත් ජනාධිපතිවරණයට තරග වැදුණු මොහු ඡන්ද විද්‍යාල නියෝජිතයන් 432ක් ජයග්‍රහණය කළේ නැවත වරක් ජනාධිපතිධුරයට පත්වෙමින්. සිව්වන වරටත් බලයට පත්වන විට 63 හැවිරිදි වියේ පසුවුණු ජනාධිපතිවරයා යම් අසනීප තත්ත්වයන්ගෙන් පෙළුණා. 1945 වසරේ අප්‍රේල් 12 වැනිදා එම අසනීප තත්ත්වය උත්සන්න වී ඔහු මියගියේ හදිසියේම මොළයේ ඇතිවුණු අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා යි. රූසවෙල්ට්ගේ අභාවයෙන් පසුව, උප ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කළ හැරී එස්. ටෲමන්ට ජනාධිපතිධුරය හිමිවුණා
ජෝන් එෆ්. කෙනඩි
1960 ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජෝන් එෆ්. කෙනඩි ඉදිරිපත් වන විට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වුණේ රිචඩ් නික්සන් නම් අපේක්ෂකයා යි. නික්සන් ඊට පෙර වසර 8ක් අයිසන්හවර් ජනාධිපතිවරයා යටතේ උප ජනාධිපතිධුරය දරා තිබුණා. එම නිසා කෙනඩි සහ නික්සන් අතර ජනාධිපතිවරණ සටන තියුණු මුහුණුවරක් ගත්තා. එහි දී ඡන්ද විද්‍යාල නියෝජිතයන් 537 අතුරින් 303ක් ජයග්‍රහණය කළ කෙනඩි ඇමරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.
එකල 43 හැවිරිදි වියේ පසුවුණු කෙනඩි ඇමරිකාවෙන් බිහිවුණු ලබාලතම ජනාධිපතිවරයා බවට පත්වුණා. එම නිසා ඔහු ජනතා ආකර්ෂණය නොඅඩුව දිනාගත්තා. 1961 වසරේ ජනවාරි 20 වැනිදා සිය තනතුරේ රාජකාරි ආරම්භ කළ කෙනඩිට 1963 වසරේ නොවැම්බර් 22 වැනිදා අවාසනාවන්ත දිනයක් වුණා. එදා ටෙක්සාස් ප්‍රාන්තයේ ඩැලස් නුවර පැවති උත්සවයක දී විවෘත මෝටර් රථයක ගමන් කරමින් සිටි කෙනඩිට අසල ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිටි ලී හාවි ඔස්වල්ඩ් නම් පුද්ගලයෙක් වෙඩි තබනු ලැබුවා. එහි දී ඝාතකයා නිසි එල්ලය ගෙන තැබූ වෙඩි පහරවල් ත්‍රිත්වය නිසා ජෝන් කෙනඩිට මරණය උරුම වුණා. ඔහුගේ මරණයෙන් පසුව උප ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දුන්නා.