1592 වසරේ දී මහනුවර රජු බවට පත්වුණු පළමු විමලධර්මසූරිය රජතුමා වසර 12ක් එම රාජධානිය පාලනය කළා. තරුණ අවධියේ දී කොනප්පු බණ්ඩාර ලෙසින් හැඳින්වුණු මෙම රජතුමා එක් යුගයක අවුස්ත්‍රියාවේ දොන් ජෝන් යන නමින් පෘතුගීසීන් සමග වාසය කළා. ඔහුට පෘතුගීසින් සමග ජීවත්වීමට සිදුවුණේ පළමු රාජසිංහ රජතුමා කොනප්පු බණ්ඩාරගේ පියා වුණු වීරසුන්දර බණ්ඩාර සෙනෙවියාව බොරු වලක දමා මැරවීම නිසා යි. රාජසිංහ රජුගෙන් බේරීමට පෘතුගීසින් වෙත පළාගිය කොනප්පු බණ්ඩාරව අවුස්ත්‍රියාවේ දොන් ජෝන් යන නමින් බෞතීස්ම කරවා යුධ ශිල්ප උගන්වනු ලැබුවා.
පෘතුගීසීන්ගෙන් ශිල්ප ඉගෙනගත් දොන් ජෝන් දක්ෂ සටන්කරුවෙකු බවට පත්වුණා. නමුත් පසු කලෙක පෘතුගීසීන්ට ද්‍රෝහි වුණු දොන් ජෝන්, “පළමු විමලධර්මසූරිය” නමින් මහනුවර රජකමට පත්වුණා. එතුමා 1594 දන්තුරේ සටනේ දී පෘතුගීසීන්ව අන්ත පරාජයකට පත්කළා. එනිසා පෘතුගීසීන් විමලධර්මසූරිය රජතුමා සමග දැඩි වෛරයකින් පසුවුණා. සිංහලයන් විමලධර්මසූරිය රජතුමා වටා එකතු වී සිටි නිසා යුද්ධ කර රජතුමාව පරාජය කිරීමට අපහසු බව පෘතුගීසීන් දැනගෙන සිටියා. එවැනි තත්ත්වයක් යටතේ උඩරට රජතුමාව විනාශ කිරීමට කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමට ජෙරනිමෝ ද අසවේදු ප්‍රමුඛ පෘතුගීසි පිරිස තීරණය කළා.
රජතුමා සහ පෘතුගීසීන් අතර ඇතිවුණු සාම ගිවිසුම
1594 දන්තුරේ සටනින් පසුව පෘතුගීසීන් සහ විමලධර්මසූරිය රජතුමා අතර කුඩා සටන් රාශ්‍රියක් ඇතිවුණා. වර්ෂ 1600 වන විට දෙපාර්ශවයම අඛණ්ඩව සටන් කිරීම නිසා හෙම්බත් වී සිටියා. එසේම නොකඩවා ඇතිවුණු සටන් නිසා පාර්ශවයන් දෙකටම දැඩි හානි සිදුව තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සටන් විරාම ගිවිසුමකට රජතුමා සහ පෘතුගීසීන් කැමැත්ත පළ කළා. රජතුමා සටන් විරාම ගිවිසුමට එකඟ වුණේ නුදුරු අනාගතයේ දී නියත වශයෙන්ම උඩරටට එල්ල වීමට නියමිතව තිබුණු පෘතුගීසි ආක්‍රමණයකට පෙර සිටම සූදානම් වීම සඳහා යි. පෘතුගීසීන් සටන් විරාම ගිවිසුමට එකඟ වුණේ ගෝවෙන් ආධාර ලබාගෙන කන්ද උඩරට රාජධානියට එරෙහිව ප්‍රබල ආක්‍රමණයක් දියත් කිරීම සඳහා සූදානම් වීමට යි.
පෘතුගීසීන් ගිවිසුම කඩ කරයි
1601 වසරේ දී ගෝවේ ප්‍රතිරාජයා වුණු අයිරෙස් ද සල්දඤ්ඤා විශාල ආධාරක සේනාවක් කොළඹට එවනු ලැබුවා. ඉන්පසු සාම ගිවිසුම උල්ලංඝනය කළ අසවේදු එවකට උඩරට රාජධානියට අයත්ව තිබුණු සත් කෝරළයට පහර දී, එහි මිනිසුන්ගේ වස්තුව කොල්ල කා, සිඟිති දරුවන් පවා අමානුෂිකව මරා දමමින් විශාල විනාශයක් සිදුකළා.
සාම ගිවිසුම තඹ දොයිතුවකට මායිම් නොකරමින් පෘතුගීසීන් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් විමලධර්මසූරිය රජතුමා දැඩි ලෙස කෝපයට පත්ව සිටියා. එනිසා රජතුමා ඉන්දියාවෙන් කුලී හමුදාවක් ගෙන්වාගෙන පෘතුගීසීන්ට අයත්ව තිබුණු සතර කෝරළේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කළා. නමුත් ඉන්දීය කුලී හමුදාව පෘතුගීසීන්ගේ යුධ ශක්තිය හමුවේ අසීරු තත්ත්වයකට පත්වුණා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ කුලී හමුදාවේ වැඩි දෙනෙකු අසීරුවෙන් දිවි බේරාගෙන යලි උඩරට දක්වා පසුබැසීම යි.
පෘතුගීසීන් උඩරට ආක්‍රමණය කිරීමට පැමිණෙයි
1602 වසරේ දී විශාල පෘතුගීසි සේනාවක් කන්ද උඩරට ආක්‍රමණය කිරීමට පැමිණියා. ජෙරනිමෝ ද අසවේදු වසර කිහිපයක් තිස්සේ මෙම ආක්‍රමණය හොඳින් සැලසුම් කර තිබුණා. පෘතුගීසීන් දීවෙල සහ අට්ටාපිටිය යන ස්ථානවල අළුතින් බලකොටු ඉදිකළේ උඩරටට පිවිසෙන මාර්ගවල බලය තහවුරු කරගැනීම සඳහා යි. උඩරට අල්ලාගැනීමට පැමිණි පෘතුගීසි සේනාව බුද්ධස්සගොඩ, අළුත්නුවර, සහ ගනේතැන්න යන බලකොටු අසීරුවෙන් අල්ලාගෙන බලන කොටුව වටා කඳවුරු බැඳගත්තා. පෘතුගීසි සේනාවේ ඊළඟ සැලසුම වුණේ බලන බලකොටුව අල්ලා ගැනීම යි.
සිමොන් පිඤ්ඤෝ
උඩරට ආක්‍රමණය කිරීම සඳහා පැමිණි ලස්කිරිඤ්ඤ හමුදාවේ ප්‍රධාන සෙනෙවියා වුණේ සිමොන් පිඤ්ඤෝ නැමැති පෘතුගීසි ජාතිකයා යි. සටනට ඉතාමත් දක්ෂයෙකු වුණු පිඤ්ඤෝ විවාහ වී සිටියේ සීතාවක කලක් රජකම් කළ නිකපිටියේ බණ්ඩාර රජුගේ සොයුරිය සමග යි. මොහු කොතරම් රණකාමියෙකු වුණත් එක් සටනක දී එල්ල වුණු දරුණු පහරක් නිසා ඇසක් අන්ධ වුණා. එනිසා පිඤ්ඤෝගේ මුහුණ විරූපීව දිස්වුණා. එකල සිමොන් පිඤ්ඤෝ රණකාමියෙකු ලෙස ප්‍රසිද්ධව සිටි නිසා, ඔහුගේ රුව සමන් දේවාලයේ ගල් ලෑල්ලක පිහිටුවා ඇති සෙල්ලිපියේ ද දක්නට ලැබෙනවා.
එදා උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණි අසවේදු ප්‍රමුඛ පිරිස ලෙහෙසියෙන් පරාජය කිරීමට නොහැකි බව විමලධර්මසූරිය රජතුමාට අවබෝධ වුණා. එනිසා රජතුමා සිමොන් පිඤ්ඤෝ තමාගේ පැත්තට නම්මවා ගැනීමට සැලසුමක් සකස් කළා.
විමලධර්මසූරිය රජතුමා සහ පිඤ්ඤෝ අතර රහස් සාකච්ඡාවක්
පළමු විමලධර්මසූරිය රජතුමා පෘතුගීසි සෙනෙවියෙකු වුණු සයිමන් පිඤ්ඤෝ වෙත තල්පතක් යවමින් පවසා සිටියේ සටනේ දී ඔහුට සහාය වුණොත් සීතාවක රාජධානිය ලබාදෙන බව යි. නමුත් සීතාවක රාජධානියේ පාලන බලය ලැබීමෙන් පිඤ්ඤෝ සෑහීමකට පත්වුණේ නැහැ. එනිසා ඔහු රජු වෙත තවත් තල්පතක් යවනු ලැබුවා. එම තල්පතෙහි සඳහන්ව තිබුණේ යුද්ධයේ දී සහාය ලබාදීමට නම් ඔහුට පහතරට සිංහල ප්‍රදේශවල පාලන බලය අවශ්‍ය බව යි. රජතුමා ඒ සඳහා කැමති නම් ගිවිසුම අත්සන් කිරීම සඳහා නියෝජිතයන් පස් දෙනෙකු බලන බලකොටුවට එවිය හැකි බව පිඤ්ඤෝ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
රහසිගත කුමන්ත්‍රණයක් සැලසුම් වෙයි
විමලධර්මසූරිය රජතුමා සහ පිඤ්ඤෝ අතර සිදුවුණු තල්පත් හුවමාරුව පිළිබඳව ජෙරනිමෝ ද අසවේදු දැනගෙන සිටියා. ඒ පිඤ්ඤෝ රජතුමා එවූ සියළුම තල්පත් අසවේදුට පෙන්වූ නිසා යි. නමුත් පිඤ්ඤෝ සිය නායකයා වුණු අසවේදුට එම තල්පත් පෙන්වූ බවක් විමලධර්මසූරිය රජතුමා දැනගෙන සිටියේ නැහැ. එනිසා රජතුමාත් දිගින් දිගටම පිඤ්ඤෝ සමග තල්පත් හුවමාරු කරගත්තා. විමලධර්මසූරිය රජතුමා පෘතුගීසි සෙනෙවි පිඤ්ඤෝගේ බහට රැවටී ඇති බව අසවේදුට අවබෝධ වුණා. එනිසා ඔහු විමලධර්මසූරිය රජතුමාව ජීවග්‍රහයෙන් අල්ලාගැනීමට හෝ ක්ෂණිකව මරා දැමීමට සැලසුමක් සකස් කළා. එම සැලසුම ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ පිඤ්ඤෝගේ නියෝජිතයන් ලෙස බලන බලකොටුව වෙත යාමට නියමිත්ව තිබුණු නියෝජිතයන් පස්දෙනාට යි. ඔවුන්ගේ සැලසුම වුණේ කලවාවල කිණිසි සඟවාගෙන ගොස් ඒවායෙන් ඇණ රජතුමාව මරා දැමීමට යි.
මනුවෙල් ඩයස්ට කුමන්ත්‍රණයක් පිළිබඳව ඉව වැටෙයි
මුලින් සිංහලුන්ට හසුවූ පෘතුගීසි සිරකරුවෙකුව සිටි මනුවෙල් ඩයස් පසුව විමලධර්මසූරිය රජතුමාගේ හිත දිනාගත්තා. එනිසා පසු කලෙක ඔහු රජතුමාගේ ප්‍රධාන සෙනෙවියෙකු බවට ද පත්වුණා. එක්තරා දිනයක මනුවෙල් ඩයස් හමුවුණු රජතුමා පිඤ්ඤෝ සමග හොර රහසේම ඇති කරගත් ගිවිසුම පිළිබඳව හෙළිදරව් කළා. එය ඇසීමෙන් ඩයස් මහත් සේ කලබලයට පත්වුණා. ඒ සිමොන් පිඤ්ඤෝ කුමන ආකාරයේ පුද්ගලයෙක්දැ යි ඩයස් දැනසිටි නිසා යි. රජතුමා හමුවේ කරුණු දැක්වූ ඩයස් අවධාරණය කර සිටියේ ඔහු පෘතුගීසීන් හමුවට ගොස් මෙහි ඇත්ත නැත්ත දැනගෙන එනතුරු ගිවිසුම අත්සන් කිරීම කල්දමන ලෙස යි. රජතුමා මැනුවෙල් ඩයස්ට ඇහුන්කම් දෙමින් ගිවිසුම අත්සන් කිරීම ටික දිනකට කල් දැමීමට සිදුවන බව පිඤ්ඤෝට ලියා යැව්වා.
කුමන්ත්‍රණය හෙළිදරව් වෙයි
සාකච්ඡාව පරිදිම අසවේදු හමුවට ගිය මනුවෙල් ඩයස් හඬාවැළපෙමින් පවසා සිටියේ මිථ්‍යාදෘෂ්ටික විමලධර්මසූරිය රජතුමා ඔහුට බොහෝ හිරිහැර කළ බව යි. එසේම රජතුමා සමස්ථ පෘතුගීසි ජාතියටම නින්දා කළ බවත් ඩයස් පවසා සිටියා. එම නින්දා අපහාස විඳගෙන සිටි තමා අවස්ථාවක් ලැබුණු විගසම පළා ආ බව ඔහු පවසා සිටියා.
මනුවෙල් ඩයස්ගේ වදන් ඇසීමෙන් අසවේදුගේ ඉවසීමේ සීමාව පැන්නා. එනිසා ඔහු විමලධර්මසූරිය රජතුමාට පරුෂ වචනයෙන් බැනවදිමින් ඔහුගේ සෙල්ලම් ළගඳීම අවසන් වන බවට පුරසාරම් දෙඩුවා. මනුවෙල් ඩයස්ගේ රඟපෑමට සම්පූර්ණයෙන්ම රැවටුණු අසවේදු රජතුමාට එරෙහිව දියත් කිරීමට සැලසුම් කර තිබෙන කුමන්ත්‍රණය ඩයස්ට හෙළිදරව් කළා. කුමන්ත්‍රණය පිළිබඳව හෙළිදරව් කළ අවස්ථාවේ දී මනුවෙල් ඩයස් බොරු සතුටක් පෙන්වා නැවතත් අසවේදු මුළා කළා.
විමලධර්මසූරිය රජතුමාගේ ජීවිතය බේරෙයි
කුමන්ත්‍රණය පිළිබඳව සියලුම තොරතුරු අකුරක් නෑර දැනගත් ඩයස් සෙනෙවියා එය විමලධර්මසූරිය රජතුමා වෙත දන්වා යැවුවා. විමලධර්මසූරිය රජතුමා පෘතුගීසි සෙනෙවි සිමොන් පිඤ්ඤෝ වෙත දන්වා සිටියේ බලන බලකොටුවේ දී ගිවිසුම අත්සන් කිරීමට තමන් සූදානම් බව යි. එදා සැලසුම් කර තිබුණු අයුරින් පිඤ්ඤෝගේ මරාගෙන මැරෙන භටයන් පස්දෙනා කලවාවල සඟවාගත් කිණිසි සහිතව රජතුමාව හමුවීමට බලන බලකොටුව වෙත ගියා. පිඤ්ඤෝගේ භටයන් බලන බලකොටුව වෙත පිටත්ව යාමෙන් පසුව අසවේදු නොඉවසිල්ලෙන් බලා සිටියේ විමලධර්මසූරිය රජතුමා මියගිය පුවත ලැබෙන තුරු යි.
නමුත් ඒ වන විට මනුවෙල් ඩයස් කුමන්ත්‍රණය පිළිබඳව සියලුම තොරතුරු හෙළිකර උපක්‍රමශීලීව ආපසු රජු වෙත පැමිණ තිබුණා. එදා බලනට පැමිණි පිඤ්ඤෝගේ නියෝජිතයන්ව වෙන වෙනම ගෙන පරීක්ෂා කළ විට ඔවුන්ගේ කලවාවල සඟවා තිබුණු කිණිසි අසුවුණා. එම පෘතුගීසීන් පස්දෙනා රජුගේ අණ පරිදි මරා දමනු ලැබුවා.
විමලධර්මසූරිය රජතුමා කුමන්ත්‍රණයෙන් බේරීමත් සමග පෘතුගීසීන් මහත් සේ තැති ගත්තා. විමලධර්මසූරිය රජතුමා මාස කිහිපයකට පසුව පැවති බලන සටනෙන් ජය ලබා උඩරට සතුරන්ගෙන් බේරාගත්තා.