දෙවුන්දර ප්‍රෞඪ ඉතිහාසය දැකගන්න

පැරණි රෝහණ රාජධානියේ කොටසක් වූ දෙවුන්දර පිහිටා තිබෙන්නේ මාතර සිට කි. මී. 8ක් දුරින්. දිවයිනේ දකුණු තුඩුවේ පිහිටි මේ පෙදෙස ගැන 7 වැනි සියවසේ සිට ඓතිහාසික මූලාශ්‍රවල දැක්වෙනවා. පුරාණ මූලාශ්‍රවල මෙය සඳහන් වන්නේ “දේවනගර” ලෙසයි. මහාවංශය සඳහන් කරන්නේ ක්‍රි. ව. 657 දී රෝහණයේ ස්වාධීන පාලකයා වූ දප්පුල දේවනගරයේ විහාරයක් කරවූ බවයි. දප්පුල රජු දෙවිනුවර ප්‍රාදේශීය රාජධානිය බවට පත්කර ගෙන මේ අවට පාලනය කර තිබෙනවා.

කිහිරැලි පිරිවෙනේ නටබුන්- කුසුම්සිරි විජයවර්ධන

පැරණි ගල්කණු සහ නටබුන් සහිත මෙහි තිබෙන 9 වැනි සියවසට අයත් සෙල්ලිපියක මේ එක් විහාරයක් “කිහිරැලි පිරිවෙන” නමින් දැක්වෙනවා. සිව්වැනි අග්ගබෝධි (7 සියවස), මානවම්ම (7 සියවස), පළමුවන වික්‍රමබාහු (11 වැනි සියවස), පළමුවැනි විජයබාහු (11 වැනි සියවස) වැනි රජවරුන් කිහිප දෙනෙක් ගැනම මෙහි ඉතිහාසයේ සඳහන් වෙනවා. පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රජු මේ විහාරය ප්‍රතිසංස්කරණය කළ බව ඔහුගේ සෙල්ලිපිවල සඳහන්.

පැරණි විහාරයට අයත් කොරවක්ගලක්- කුසුම්සිරි විජයවර්ධන

දඹදෙනියේ දෙවන පරාක්‍රමබාහු රජු දෙවිනුවර විහාරය පිළිසකර කරවා තිබෙනවා. කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජුත් දෙවිනුවර විහාරයට ගම්බිම් පුදා තිබෙනවා. පෘතූගීසි යුගයේ මේ විහාරය මෙන්ම දේවාලයත් කඩාබිඳ දැමුවා. අද දෙවිනුවර දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ද ගැවසෙන පුරවරයක්. කතරගම යන ගමන් දෙවිනුවරත් වැඳ පුදාගැනීමට වැඩිදෙනෙක් පැමිණෙනවා. ඔවුන්ම මඟ පෙන්වීමක් කිරීමයි මේ ලිපියේ අරමුණ වුණේ.

දෙවිනුවර රජ මහා විහාරය

ඔත් පිළීම විහාරයේ නටබුන්- කුසුම්සිරි විජයවර්ධන

මාතර-තංගල්ල මාර්ගය අද්දරම දැකගත හැකි විහාරය පිහිටා තියෙන්නේ දේවාලයට යාබදවයි. විහාරයට පිවිසීමට විශාල තොරණක් මාර්ගය අද්දර ඉදිකර තිබෙනවා. එයට නුදුරින් විශාල හිටි බුද්ධ ප්‍රතිමාවක්ද මෑතකදී තනා තිබෙනවා. මේ විහාරය දඹදෙනියේ පණ්‌ඩිත පරාක්‍රමබාහු සමයේ දී විශාල දියුණුවකට ලක්‌වූ පුදබිමක්. චෛත්‍ය, ප්‍රතිමා, මන්දිර, බෝධිවෘක්ෂ, ධර්මශාලා, උපෝස්ථාගාර ආදී සියලු විහාරංගවලින් එය සමන්විතව තිබූ බවයි ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිදරව් වන්නේ. එමෙන්ම මෙම විහාරය ඔත්පිළිමගෙය හා හිටි පිළිම ගෙයකින් යුක්තව තිබුණු බවත් සඳහන්.

මෙහි පිහිටි කුඩා දාගැබ දප්පුල හෙවත් දාපුලුසෙන් රජු කරවූ බව සැලකෙනවා. දාගැබ දේවාල භූමි මට්ටමට වඩා අඩි 12ක් උස් වූ, අඩි 160ක් පමණ වටප්‍රමාණයකින් යුත් භූමිභාගයක් මැද පිහිටා තිබෙනවා. සංඝාරාමය අසල පැරැණි ඔත්පිළිම ගෙයි නටබුන් දක්නට පුලුවන්. ඒ අසලම නූතන විහාර මන්දිරය ඉදිකර තිබෙනවා. ක්‍රි.ව. 1302 දී කුරුණෑගල රාජධානිය කර ගත් හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින් ඔත් පිළිම විහාරය කරවූ බව මහාවංශයේ සඳහන් වෙනවා. හතරවන බුවනෙකබාහුගේ සෙනෙවියකු විහාරයේ හිටි බුද්ධ ප්‍රතිමාවට තුන් මහල් විහාර මන්දිරයක් ඉදිකරවා තිබෙනවා.

9 වන සියවසට අයත් සෙල්ලිපියක් ද, 7 වැනි විජයබාහුගේ සෙල්ලිපිය ද, 15 වන සියවසට අයත් 6 වන පරාක්‍රමබාහුගේ සෙල්ලිපිය ද දෙවිනුවර ඉතිහාසයට සාක්ෂි සපයන මූලාශ්‍රයන් කිහිපයක්. පැරණි විහාරයට අයත් කළුගල් කුලුනු, සඳකඩ පහණ, කොරවක් ගල්, කැටයම් පුවරු ආදියත් අපට දැකගැනීමට පුලුවන්.

විශිෂ්ට ගල් උළුවස්ස

දඹදෙනි යුගයට අයත් ගල් උළුවස්ස- කුසුම්සිරි විජයවර්ධන

අප රටේ ගල් උළුවහු අතරින් විශිෂ්ටතම කැටයම් සහිත උළුවස්ස දෙවුන්දර දී දැකගත හැකියි. මේ උළුවස්ස විහාරයේ මාවත්මඩුව නම් කළුගල් කුලුණු සහිත නටබුන් ගොඩනැගිල්ලට නුදුරින් පිහිටුවා තිබෙනවා. ඉතා සියුම් කැටයම් සහිත එය දඹදෙනි යුගයේ කැටයම් කලාවට මනා උදාහරණ සපයන බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුර පවසනවා.

උළුවස්සේ කැටයම්- කුසුම්සිරි විජයවර්ධන

වාමන රූප, නටන වයන මිනිස් රූප, අසරුවන් සහිත, ලියවැල් ආදී මෝස්තර රටා එහි නිරූපිතයි.

විෂ්ණු දේවාලය

දේවාල ගොඩනැගිල්ල- Wikipedia.org

උපුල්වන් හෙවත් විෂ්ණු දෙවියන් වැඩ වාසය කරන බවට බැතිමතුන් විශ්වාස කරන පුදබිම නොහොත් ප්‍රධාන දෙවොල් බිම තමයි දෙවිනුවර. දෙවිනුවර අද වඩාත් ප්‍රකට විෂ්ණු දේවාලය නිසයි. විශාල බැතිමතුන් පිරිසක් වන්දනාමාන කිරීමට, බාරහාර වීමට දිනපතා එහි ඇදී එනවා. එම දේවාලය මගින් වාර්ෂිකව මහ පෙරහරක් ද පැවැත්වෙනවා. දප්පුල රජතුමා (ක්‍රි.ව. 660 – 644) ‍උපුල්වන් ‍දෙවියන්ට කැපකර කර වූ ‍දෙ‍වොල ‍මෙය බවට විශ්වාසයක් පවතිනවා.

දේවාලයේ ගල්කැටයමක්- කුසුම්සිරි විජයවර්ධන

‍කෝ‍ට්ටේ අවධි‍යේ රචිත සන්‍‍දේශ කාව්‍යයන්හි ‍දෙවිනුවර උපුල්වන් ‍දෙ‍වොල පිළිබඳව බෙ‍හෙවින් ‍සඳහන් වෙනවා. උපුල්වන් දේවාලයේ ඇති දේව ප්‍රතිමා ‍මෙන්ම සිතුවම් ද සුවි‍ශේෂී වෙනවා. අලුත්නුවර ‍දෙවියන්, සමන් දෙවියන්, පත්තිනි ‍දේවිය, වල්ලි අම්මා, හා ‍දෙවොල් ‍දෙවියන්‍‍ගේ ප්‍රතිමා ‍‍මේ තුළ දක්නට ලැ‍බෙනවා. ‍දෙ‍වො‍ලේ අන්තරාල‍යේ හා ප්‍රදක්ෂිණා පථයේ දශ අවතාර, ශිව, ග‍‍නේෂ, පත්තිනි, ශිව වටුක, ශිව තාණ්ඩව, රාශි ‍දොළහ, නවග්‍රහ මණ්ඩලය ආදී සිතුවම් දැකගත හැකියි.

පෘතුගීසින් වැනසූ මේ දේවාලය ලන්දේසි යුගයේ දී, එනම්, 1728 දී නැවත ගොඩනගා පුද පූජා පැවැත්වීම ආරම්භ කළ බව ඉතිහාසය පවසනවා.

ගල්ගණේ

ගෙඩිගේ ගොඩනැගිල්ල-  panoramio.com- Chandana Gunasena

විහාර භුමියේ සිට කි. මී 1ක් පමණ දුරින් උස්බිමක පිහිටා තිබෙන මෙම ගොඩනැලිල්ල සම්පූර්ණ කළුල්‍ගලින් ගෙඩිගේ සම්ප්‍රදායට අනුව ඉදිකරන ලද්දක්. පොළොන්නරු යුගයේ ශිව දේවාල සිහිපත් කරවන මෙම ගොඩනැගිල්ල අද සංරක්ෂණය කරන ලද පුරාවිද්‍යා ස්මාරකයක්. නමුත් එය නැරඹීමට නම් යන්නේ කලාතුරකින් කෙනෙක් පමණයි. මෙම ගොඩනැගිල්ල පැරණි උපුල්වන් දේවාලය වියයුතු බව එහි කැණීම් මෙහෙයවූ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරනවා. පසුකාලීනව මෙයට නුදුරින් ගල්ගණේ නමින් විහාරයක් ද ඉදිකර තිබෙනවා.

දෙවුන්දර තුඩුව

මිනින්දෝරු දෙපාර්ත්මේන්තුවේ මායිම් ටැඹ-btoptions.lk

ශ්‍රි ලංකාවේ දකුණු කෙළවර සලකුණු කරන්නේ දෙවුන්දර තුඩුවයි. එම මායිම සලකුණු කරමින් මිනින්දෝරු දෙපාර්තමේන්තුව කුඩා කළුගල් ටැඹක් එහි පිහිටුවා තිබෙනවා. දෙවුන්දර ප්‍රදීපාගාරය අසල බිමේ මුහුද පැත්තට වන්නට එම ටැඹ දැකගත හැකියි.

උසම ප්‍රදීපාගාරය

ප්‍රදීපාගාරය ගුවනින් – tlc.lk

දෙවුන්දර නගරයේ සිට කි. මී. 1.2ක් දුරින් ඉතා සුන්දර බිම්කඩක පිහිටා ඇති මෙය අප රටේ උසම ප්‍රදීපාගාරය වන අතර, අග්නිදිග ආසියාවේ උසම ප්‍රදීපාගාර අතරින් එකක් ද වෙනවා. දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත්. කලින් අවසර ගැනීමෙන් එයට පිවිස නැරඹීමටත් ඔබට පුළුවන්. ප්‍රදීපාගාරය මීටර් 49 (අඩි 161) ක් උස වන අතර මහල් 7 කින් හා කවුළු 14 කින් ද යුක්තයි. එහි ඉහළට යන තෙක් පියගැට 196 ක් සහිතයි.

ප්‍රදීපාගාරයේ තවත් දසුනක්- visitmatara.blogspot.com

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය සර් ජේම්ස් නිකලස් ඩග්ලස් විසින් නිර්මාණය කර තිබෙනවා. ඉදිකිරීම් කටයුතු ඉම්පීරියල් ලයිට්හවුස් සර්විස් හි විලියම් ඩග්ලස් විසින් ආරම්භ කර ඇත්තේ 1887නොවැම්බර් මාසයේදි යි. කළුගල්, ගඩොල්, හා වානේ ඇතුළු සියලු ගොඩනැගිලි ද්‍රව්‍ය එංගලන්තයේ සිට ගෙන්වන ලද ඒවා බවයි සඳහන් වන්නේ. ස්කොට්ලන්තයේ ඩල්බීටී සහ කෝන්වෝල් හි පෙන්‍රින් යන ප්‍රදේශ වල පිහිටි කළුගල් කොරි මගින් මෙයට කළුගල් සපයා ගෙන තිබෙනවා. ප්‍රදීපාගාරය 1890 මාර්තු මස දී අවසන් කර විවෘත කළා.

ප්‍රදිපාගාරයේ සිට දෙවුන්දර බොක්ක පෙනෙන අයුරු- visitmatara.blogspot.com

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය හා බාබෙරින් ප්‍රදීපාගාරය ඉදි කිරීමට වැය වූ වියදම පවුම් 30,000ක්. අද දෙවුන්දර විදුලි බුබුළු 40 ක් අන්තර්ගත කර ඇති අතර එකක් වොට්ස් 1000ක වෝල්ටීයතාවකින් යුක්තයි. ඒවා රාත්‍රියේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර අලුයම උදාවන විට ක්‍රියාවිරහිත වෙනවා. එහි ආලෝක ධාරාව නාවික සැතපුම් 30 ක් දක්වා විහිදෙනවා. සිංහල සිනමාවේ ප්‍රසිද්ධ “එක් ටැම් ගෙය” චිත්‍රපටය රූ ගතකළෙත් මෙම ප්‍රදීපාගාරය ආශ්‍රිතවයි.

කතා ගෙතුණු පොකුණු

ගල්ගණේ විහාරස්‌ථානය ආසන්නයේ හා දෙවුන්දර පූජා භූමිය තුළ අරුම පුදුම කතා බැඳුණු පොකුණු කිහිපයක්‌ද දක්‌නට ලැබෙනවා. ගල්ගණේ විහාරස්‌ථානයට මඳක්‌ එපිටින් පොකුණු හතරක් පිහිටා තිබෙනවා. මෙම පොකුණුවලට අපූරු නම් යෙදී තිබෙනවා. එක්‌ පොකුණක්‌ “සූනියම් පොකුණ” යි. තවෙකක් “කජුගහ පොකුණ” යි. “ගල්ලන්ද”, හා “හාමුදුරුවන් නාපු පොකුණ” නමින් තවත් පොකුණු දෙකක් ද තිබෙනවා. දෙවුන්දර පූජා භූමියට අයත් වාව්ව ප්‍රදේශයේ “කහදිය පොකුණ” නමින් තවත් පොකුණක්‌ පිහිටා තිබෙනවා. මේ පොකුණු වටා විවිධ කතා පුවත් ද ගෙතී තිබෙනවා.

දෙවුන්දර රජකම් කළ ප්‍රදේශීය පාලක දප්පුල රජු විසින් දෙවුන්දර නගරය තුළ ගලින් කරන ලද ළිං හතක්‌ හා වැව් පොකුණු හතක්‌ ඉදිකොට ඇති බව ජනප්‍රවාද පවසනවා. නමුත් ඉතිහාසයෙන් නම් එයට සාධක හමුවන්නේ නැහැ.

ආශ්‍රිත මූලාශ්‍ර:

ශ්‍රී ලංකාවේ රජමහා විහාර- කුසුම්සිරි විජයවර්ධන

දිවයින 2011-2-6 දකුණු ලක ඉම දෙවුන්දර

පුරාවිදු පරියේසන- පරණවිතාන

archaeology.gov.lk

කවරය- දෙවුන්දර විෂ්ණු දේවාලය -කුසුම්සිරි විජයවර්ධන

Related Articles

Exit mobile version