අභ්‍යවකාශය තරණය කරන්නට, එහි සැරිසරන්නට කුඩා කාලයේ සිට අප බොහෝ දෙනා තුළ පවතින්නේ නොතිත් ආශාවක්. එවැනි වෘත්තියක නිරතවීම මෙන්ම එක්වරක් හෝ එවැන්නක අත්දැකීම විඳගැනීමට ලැබීම කෙතරම් ආශ්වාදජනකදැ යි අපට සිතී ඇත්තේ වරක් දෙවරක් නොවේ. කෙසේ නමුත් සක්වල සවාරි හා සබැඳි ව්‍යාපෘතීන්වල චමත්කාරයට යටින් මහත් වූ අවදානමක් ගැබ්ව තිබෙනවා. එක් අංශු මාත්‍රයක අතපසුවීමක් හෝ කාර්මික දෝෂයක් මිලියන ගණනක දේපළක් මෙන්ම ජීවිත ගණනාවක් විනාශ කිරීමට සමත්. 1986 වසරේ මෙවැනි ආශ්වාදජනක අත්දැකීමක් විඳගන්නට මාන බලමින් සිටි ඇමෙරිකානු ජාතික ගුරුවරියකට එවන් අවාසනාවන්ත ඉරණමකට ලක් වීමට සිදු වුණා. ඇය ඇතුළු තවත් සය දෙනෙකුට ජීවිතය අහිමි වූයේ ඔවුන් ගමන් ගත් චැලේන්ජර් ෂටලය ගුවන් ගත වී කෙටි කලකින් පුපුරා යාම නිසා යි.
සක්වල තරණයට පෙම්බැඳි ගුරුවරියක්
නිව් හැම්ෂයර්හි ගුරුවරියක වූ ක්‍රිස්ටා මැකෝලිෆ් කුඩා කල සිටම තාරකා විද්‍යාවට හා අභ්‍යවකාශ තරණයට පෙම්බැඳි අයෙකු වුණා. 1948 දී උත්පත්තිය ලද ඇය වසර ගණනාවක් ගුරුවරියක වශයෙන් කටයුතු කරද්දීම තාරකා විද්‍යාව පිළිබඳවත් උනන්දුවෙන් පසු වුණා.
1984 දී නාසා ආයතනය විසින් තමන්ගේ නවතම අභ්‍යවකාශ චාරිකාවට ගගනගාමියෙකු හෝ විද්‍යාඥයෙකු නොවන අයෙකු සහභාගී කරවීමට තීරණය කළ අතර මේ සඳහා අයඳුම්පත් කැඳවනු ලැබුවා. මේ අනුව තෝරා පත්කර ගැනෙන්නා එලෙස අභ්‍යවකාශ ගත වෙන පළමු සාමාන්‍ය පුරවැසියා බවට පත්වෙන හෙයින් මේ පිළිබඳව ලොව පුරා මහත් උනන්දුවක් ඇති වුණා. නන් දෙසින් ගලා ආ අයඳුම්පත් 10,000ක ප්‍රමාණයක් ඇතුළත ක්‍රිස්ටාගේ අයඳුම්පත ද ඇතුළත් වුණා. අයඳුම්පත් බාර දී නොබෝ කලෙකින් නාසා ආයතනය විසින් ක්‍රිස්ටා අමතනු ලැබුවා. චැලේන්ජර් අභ්‍යවකාශ යානා චාරිකාව සඳහා දහස් ගණනක අයඳුම්පත් අතුරින් ක්‍රිස්ටා තෝරාගෙන ඇති බැව් දැනගත් ඇයගේ සතුට නිම්හිම් නැති වුණා.
ක්‍රිස්ටා හට චැලේන්ජර් චාරිකාවට සහභාගී වෙන අනෙකුත් ගගනගාමීන් සමග පුහුණුවක් ද ලබා දීමට නාසා ආයතනය තීරණය කළ අතර පුහුණුව සිදු කෙරෙන සමයේ දී, අභ්‍යවකාශ ගත වූ විට හා නිරෝධායන කටයුතු සිදු වන විට වාර්තා තබාගන්නට ඇය හා එකඟතාවයකට පැමිණුනා. ක්‍රිස්ටාගේ බලාපොරොත්තුව වූයේ චැලේන්ජර් චාරිකාව සාර්ථකව අවසන් වූ පසු ඇය ලත් අත්දැකීම් පිළිබඳව ලොව පුරා දේශන පැවැත්වීමට යි.
චැලේන්ජර් ව්‍යාපෘතිය පිළිබඳව
1976 දී නාසා ආයතනය විසින් ලොව ප්‍රථම නැවත භාවිතයට ගත හැකි අභ්‍යවකාශ යානය නිපදවනු ලැබුවා. එය අහ්‍යවකාශ ෂටලය යනුවෙන් පොදුවේ හැඳින්වූ අතර මුලින්ම අභ්‍යවකාශ ගත කළ මේ යානාව ‘කොලොම්බියා’ නම් වූවා. එය 80 දශකයේ මුල් භාගයේ දී පැය 54ක අභ්‍යවකාශ මෙහෙයුමක් සාර්ථකව නිමා කොට නැවත පෘථිවියට පැමිණියා.
නාසා ආයතනය මඟින් අභ්‍යවකාශ ගත කළ දෙවන යානය වන චැලෙන්ජර් නම් යානය 1983 වසරේ අප්‍රේල් මස 4 වැනි දා මුලින්ම ගුවන්ගත වූ අතර, 1986 චාරිකාවට පෙර 9 වරක් සාර්ථකව මෙහෙයුම්වල නිරතව තිබුණා.
අභ්‍යවකාශ ගමනට පෙර සූදානම
1986 ජනවාරි මස සැලසුම් කර තිබුණු දස වන චැලේන්ජර් චාරිකාව සඳහා ක්‍රිස්ටා මැකෝලිෆ්ට අමතරව අභ්‍යවකාශ තරණයෙහි නිපුණත්වයට පැමිණි ගගනගාමීන් වන රිචඩ් ස්කොබී, මයිකල් ජේ. ස්මිත්, ජුඩිත් රෙස්නික්, එලිසන් ඔනිසුකා, රොනල්ඩ් මැක්නයර් හා ග්‍රෙග් ජාවිස් සහභාගී වුණා. මාස ගණනාවක සාර්ථක පුහුණුවෙන් පසු ගමන අරඹන දිනය ලෙස 1986 වසරේ ජනවාරි 20 වන දින තීන්දු කෙරුණා. කෙසේ නමුත් ෆ්ලොරීඩාහි කැනෑවරල්තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවට කාලගුණය එතරම් යහපත් නොවුණු නිසා එය දින කිහිපයකින් කල් දැමීමට නාසා ආයතනයට සිදු වුණා. මීට යම් යම් තාක්ෂණික ගැටලුත් බලපෑවා.
අනතුර
1986 ජනවාරි මස 27 වැනි දා වන විට කාලගුණ තත්ත්වය යහපත් වූ හෙයින් 28 වැනි දා උදේ 11.39ට චාරිකාව ආරම්භ කිරීමට තීන්දු කෙරුණා. ජනවාරි 28 වැනි දා ද ෆ්ලොරීඩාව අවට ශීතල කාලගුණයක් පැවති අතර, යානයේ පැවති කාර්මික දෝෂ නිසියාකාරව නඩත්තු කර තිබූ හෙයින් චාරිකාව යොදාගත් පරිදි ආරම්භ කිරීමට නාසා ආයතනය තීරණය කරනවා. කෙසේ නමුත් කාර්මික ශිල්පීන් බලයලත් නිලධාරීන්ට පවසන්නේ යානයේ රොකට් බූස්ටර්වල සන්ධි මුද්‍රා තබන ලද O හැඩැති මුදු පිළිබඳව වඩාත් විමසිලිමත් වන ලෙස යි. මේවා ශීතල කාලගුණය හමුවේ දුර්වල වී ක්‍රියා විරහිත විය හැකි බවට අනතුරු ඇඟවුණු අතර ඒවා නැවත පරීක්ෂා කිරීමෙන් පසු සෑහීමකට පත් වූ ඉහළ නිලධාරීන් යොදාගත් වේලාවට ෂටලය ගුවන් ගත කරන ලෙස දන්වනවා.
යොදාගත් පරිදිම පෙ.ව 11.39ට ෂටලය ගුවන්ගත වන අතර එය ගුවන්ගත වී තත්පර 73ක් ගත වන විට ගිනි ජාලාවක් බවට පත් වී පුපුරා යන්නේ එහි ගමන් කළ ක්‍රිස්ටා මැකොලිෆ් ඇතුළු සියලු දෙනාට සිය දිවිය අහිමි කරමින්. මෙය සියැසින් දැකගන්නට තරම් ක්‍රිස්ටාගේ පවුලේ උදවිය සහ මිතුරු මිතුරියන් අවාසනාවන්ත වූ අතර මෙය සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශය කළ බැවින් තවත් මිලියන ගණනකගෙ නෙත ගැටුණා. මේ වන විට ක්‍රිස්ටා 37 හැවිරිදි වියේ පසු වුණා.
අනතුරෙහි පසු විපරම
සිය ඇස් ඉදිරිපිට දිගහැරුණු චැලෙන්ජර් යානයේ අවාසනාවන්ත ඉරණමෙන් ඇමෙරිකානුවන් ලතැවෙද්දී මේ පිළිබඳව සොයා බලන්නට එවකට ඇමෙරිකානු ජනපතිව සිටි රොනල්ඩ් රේගන් වහාම කොමිසමක් පත් කරනවා. මේ කොමිසමට සඳ මත පා තැබූ මුල්ම මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝන්ග් ද ඇතුළත් වෙනවා.
නිසි අධ්‍යනයකින් පසු හෙළි වන්නේ ශීතල කාලගුණයට නිරාවරණය වී යානයේ ස්ථාවර රොකට් බූස්ටරයේ නිළ මුද්‍රා තැබූ O හැඩයේ මුදු අකර්මන්‍ය වුණු බව යි. මේ හේතුවෙන් ගිනිදළු ඒවායින් පිටතට පැමිණ යානයේ බාහිර ඉන්ධන ටැංකියට හානි සිදු කර ඇති බවත්, එහෙයින් යානය පුපුරා ගිය බවත් තීරණය කෙරුණා.
මේ දුර්වලතාවය පිළිබඳව කාර්මික ශිල්පීන් විසින් අනතුරු අඟවා තිබිය දී, බලයලත් නිලධාරීන් එය එතරම් සලකා බලා තිබුණේ නැහැ. මේ සුළු අත්වැරැද්ද නිසා විශේෂඥ ගගනගාමීන් 6 දෙනෙකුත්, ක්‍රිස්ටා මැකොලිෆ් ගුරුවරියත් ලෝකයට අහිමි වුණා. අභ්‍යවකාශ ගතවන්නට සිටි මුල්ම සිවිල් වැසියාගේ ඉරණම අවාසනාවන්ත අයුරින් විසඳුණේ ඒ ආකාරයෙනුයි.
මෙම අනතුරෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි කෙටි කාලයකට නාසා ආයතනය විසින් මිනිසුන් සහිත යානා අභ්‍යවකාශ ගතකිරීම නවතනු ලැබුවා. ඒ කාලය තුළ අභ්‍යවකාශ යානාවල විශාල වෙනස්කම් කිහිපයක්ම සිදු කරනු ලැබුවා. 1988 දී නැවතත් මිනිසුන් සහිත ෂටල අභ්‍යවකාශ ගත කිරීම ඇරඹුණා.
කවරයේ පින්තූරය- NASA