දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී හිට්ලර්ගේ නායකත්වය යටතේ සිටි නාට්සීවාදීන්ගේ කුරිරු ග්‍රහණයෙන් යුදෙව්වන් සිය දහස් ගණනක් බේරා ගත් යුදෙව්වන්ගේ ජර්මානු ගැලවුම්කරුවා : ඔස්කා ෂින්ඩ්ලර් ගැන අපි පසුගිය දිනෙක කතා කළා. ඒ කාලයේ දී ම ඉංග්‍රීසි ජාතික තැරැව්කරුවෙකු වූ නිකොලස් වින්ටන් නාට්සි වද කඳවුරුවලින් චෙක් ජාතික දරුවන් 669 දෙනෙක් (එයින් වැඩි පිරිසක් යුදෙව්වන්) ගලවා ගැනීමට සමත් වුණා. නමුත් අඩ සියවසක් ගත වන තුරු ද ඔහුගේ මෙම ක්‍රියාව කිසිවෙක් දැන සිටියේ නැහැ.
සත්ක්‍රියාව හෙළිදරව් වීම
පසු කාලීන ව ඔහුගේ බිරිඳ වන ග්‍රේටා, ඔවුන්ගේ නිවසේ අට්ටාලය පිරිසිදු කරමින් සිටින විටක දී එහි තිබුණු පැරණි ලිපි පෙට්ටියක් පරීක්ෂා කර ඇති අතර බේරා ගත් දරුවන්ගේ නම් ඇතුළත් ලේඛනයක් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් එවන ලද ලිපි මිටියක් ඇයට හමු වී ඇත්තේ එහි දී යි. ඒ වන තුරු ම දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී ඔහු යුදෙව්වන් බේරා ගැනීමට සිදු කරන ලද දායකත්වය ඇය ද දැන සිටියේ නැහැ.
1938 දී ආරක්ෂිත ගමන් මාර්ගයක් ඔස්සේ බ්‍රිතාන්‍යයට ගෙන එන ලද චෙක් ජාතික දරුවන් සඳහා නිකොලස් වින්ටන් නිවෙස් සොයා දී ඇති අතර ඔහුගේ මෙම ක්‍රියාදාමය ‘චෙක් දරුවන් ප්‍රවාහනය’ යනුවෙන් හඳුන්වනු ලබනවා. ඔහු යුදෙව්වන් බේරා ගැනීමට ලබා දුන් දායකත්වය හේතුවෙන් මාධ්‍ය ඔහු ව හඳුන්වන්නේ ‘මහා බ්‍රිතාන්‍යයේ ෂින්ඩ්ලර්’ ලෙස යි.
වින්ටන්ගේ ජීවන ගමන
1909 මැයි 19 වැනි දින උපන් නිකොලස් වින්ටන් සිය දිවියේ තෙවැනි දශකයට පිය නගමින් සිටිය දී 1938 වර්ෂයේ අවසන් කාලයේ දී චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් නුවර සංචාරයක යෙදුණේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කළ මිතුරෙකුගේ ආරාධනාවක් මත යි. එවකට ඔහු ලන්ඩන් කොටස් හුවමාරුවේ ලිපිකරුවෙක් ලෙස සේවය කළා.
චෙකොස්ලොවැකියාවට ළඟා වූ නිකොලස් වින්ටන් ව ඔහුගේ බ්‍රිතාන්‍ය ජාතික මිතුරන් සාදරයෙන් පිළි ගත් අතර ඔවුන් අලුතෙන් ආරම්භ කරන ලද සරණාගත කඳවුරේ කටයුතු සඳහා ඔහුගේ සහය ඉල්ලා තිබෙනවා.
ප්‍රාග් හි මාස කිහිපයක් ගත කළ අතර එහි දී ඔහුට පෙනී ගියේ නුදුරේ දී ම සිදු වන නාට්සි ආක්‍රමණය හේතුවෙන් සරණාගතයින්ගේ ජීවිතවලට දැඩි අවදානමක් ඇති බව යි. මේ ගැන හොඳින් කල්පනා කර බැලූ නිකොලස් වින්ටන් අවසානයේ දී නාට්සීන්ගේ ග්‍රහණයෙන් සරණාගත දරුවන් මුදා ගැනීම සඳහා ඔහුට ගත හැකි සෑම උත්සාහයක් ම දැරීමට තීරණය කර තිබෙනවා. පසු කාලීන ව ඒ ගැන සිහිපත් කරමින් නිකොලස් වින්ටන් කියා සිටියේ මෙවැනි දෙයක්: “කොමිසම කටයුතු කරමින් සිටියේ අනතුරට භාජනය විය හැකි වැඩිහිටියන් පිළිබඳ ව යි. කඳවුරුවල සිටි පුද්ගලයන් දිගින් දිගට ම මට පැවසුවේ කිසිවෙක් දරුවන් සඳහා කිසිවක් නොකරන බව යි.”
අසරණ වූ දරුවන්ට තනියම පිහිට වෙයි
මේ අනුව නාට්සීන් හේතුවන් අවදානමට පත් වී සිටින යුදෙව් පවුල්වල දරුවන්ට උපකාර කිරීම සඳහා නිකොලස් වින්ටන් තනි වම සංවිධානයක් නිර්මාණය කළ අතර එහි ප්‍රධාන කාර්යාලය පැවතුණේ ප්‍රාග් නුවර වෙන්ස්ලස් චතුරස්‍රයේ ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ යි.
මේ කාලයේ දී ම මහා බ්‍රිතාන්‍යයේ මන්ත්‍රී මණ්ඩලය නීතියක් සම්මත කරමින් වයස අවුරුදු 17 ට අඩු සරණාගතයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර ලබා දී තිබෙනවා. නමුත් ඔවුන්ට එසේ ඇතුළු විය හැක්කේ ඔවුන්ට බ්‍රිතාන්‍යයට පැමිණි පසු නවාතැන් ගැනීමට ස්ථානයක් සහ පවුම් 50 ක මුදලක් ඇපයක් ලෙස (පසු ව යළිත් තම රටට යාමේ දී භාවිත කළ හැකි වන සේ) තැන්පත් කිරීමේ හැකියාවක් පවතිනවා නම් පමණ යි.
කෙටි කාලයක් තුළ දී ‘වෙන්ස්ලස් චතුරස්‍රයේ ඉංග්‍රීසි ජාතිකයා’ ගැන ආරංචිය පැතිර ගිය අතර දෙමව්පියන් සිය ගණනක් හෝටලය වටා රැස් වුණේ නාට්සි ආක්‍රමණයට පෙර තමන්ගේ දරුවන්ගේ නම් නිකොලස් වින්ටන්ගේ ලේඛනයට ඇතුළු කිරීමේ අරමුණ ඇති ව යි.
පසු කාලීන ව නිකොලස් වින්ටන් සඳහන් කළේ මුල් කාලයේ දී එය නිශ්ඵල දෙයක් ලෙස පෙනී ගිය බව යි. “සෑම කණ්ඩායමක් ම අනෙක් අයට වඩා ඔවුන්ගේ අවශ්‍යතාවය බලවත් බව පැවසුවා.” කෙසේ හෝ 1939 මුල් මාස කිහිපය තුළ දී ප්‍රාග් හි පිහිට වූ සංවිධානයේ කටයුතු අවසන් කළ නිකොලස් වින්ටන් හැකි ඉක්මනින් ලන්ඩන් නුවර බලා ගියේ බ්‍රිතාන්‍යයේ දී සිදු කළ යුතු කටයුතු මෙහෙයවීම සඳහා යි.
ලන්ඩනයේ සිට කළ මෙහෙවර
ලන්ඩනය බලා ගිය නිකොලස් වින්ටන්ගේ මූලික ම අවශ්‍යතාවය වුණේ චෙකොස්ලොවැකියාවේ සිටින දරුවන් බ්‍රිතාන්‍ය බලා ගෙන ඒමට ප්‍රවාහන ක්‍රමයක් සපයා ගැනීම යි. ඒ සඳහා චෙකොස්ලොවෙකියානු සරණාගතයන් සඳහා වන බ්‍රිතාන්‍ය කමිටුවේ සහ ‘සීඩොක්’ නම් චෙකොස්ලොවෙකියානු සංචාරක ආයතනයේ සහය ලබා ගැනීමට ඔහුට හැකි වුණා.
ඉන් පසු ව ඔහු වෙහෙස වුණේ චෙකොස්ලොවැකියානු දරුවන් භාර ගැනීමට කැමති සහ ඔවුන් වෙනුවෙන් පවුම් 50 ක් ඇපයක් තැන්පත් කළ හැකි කැපකරු පවුල් සොයා ගැනීම සඳහා යි. එයට අමතර ව චෙකොස්ලොවැකියාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණීම සඳහා ප්‍රවාහන ගාස්තු දැරිය නොහැකි දුප්පත් දරුවන් සඳහා ප්‍රවාහන ගාස්තු සෙවීමට ඔහු උපකාර කර තිබෙනවා.
එසේ ම එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස කටයුතු කළ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ සහය ඇති ව මුදවා ගත් දරුවන්ගෙන් කොටසක් ඇමෙරිකාව යැවීමට ද නිකොලස් වින්ටන්ට හැකියාව ලැබුණා.
යුද්ධය දරුණුවට ම ඇවිලී යන අතරවාරයේ ප්‍රාග් සිට ලන්ඩන් බලා ගමන් කළ දුම්රිය අටක් ඔස්සේ දරුවන් 669 ක් ප්‍රවාහනය කිරීමට ඔහුට හැකියාව ලැබුණා. නව වැනි සහ විශාලත ම දුම්රිය, තවත් දරුවන් 250 ක් සමග ලන්ඩනය බලා පිටත් වීමට නියමිත තිබුණේ 1939 සැප්තැම්බර් 3 වැනි දින යි. එදින ම බ්‍රිතාන්‍යය දෙවැනි ලෝක සංග්‍රාමයට එක් වූ වූ අතර එම දුම්රියට ප්‍රාග් නුවරින් පිටත් වීමට හැකියාවක් ලැබුණේ නැහැ.
“බ්‍රිතාන්‍යය දෙවැනි ලෝක සංග්‍රාමයට එක් වූ ආරංචිය ලැබී පැය කිහිපයක් ඇතුළත දුම්රිය අතුරුදන් වුණා. ඒ දුම්රිය දිනෙකට පෙර ගමන් ඇරඹුවා නම් එයට ලන්ඩන් බලා පැමිණීමට තිබුණා. එම දරුවන් 250 දෙනා යළිත් දැක ගැනීමට ලැබුණේ නැහැ. එය ඉතාමත් සංවේගජනක හැඟීමක්.” ඒ නව වැනි දුම්රිය පිළිබඳ නිකොලස් වින්ටන්ගේ මතකය යි. ඉන් පසු ව නාසීන් විසින් චෙක් දරුවන් 15,000 කට අධික ප්‍රමාණයක් ඝාතනය කර තිබෙනවා.
වින්ටන් වෙනුවෙන්
ලන්ඩනය බලා ළඟා වූ දරුවන් සියලු දෙනා ම ඉංග්‍රීසි ජාතික කැපකරු දෙමව්පියන්ගේ භාරයට පත් කරන ලද අතර දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී සිදු වූ වාර්ගික සංහාරයෙන් ඔවුන් ව ආරක්ෂා කර නිසි අධ්‍යාපනයක් ලබා දීමට එම දෙමව්පියන් කටයුතු කළා. එසේ හැදී වැඩුණු යුදෙව් දරුවන් අතර පසු කාලීන ව ලෝක ප්‍රසිද්ධ වූ ගණිතඥයින්, ගත් කතුවරුන්, කවියන්, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් මෙන් ම දේශපාලඥයින් ද සිටිනවා.
2001 සැප්තැම්බර් මාසයේ දී ඔහුගේ කතාව ඇතුළත් චිත්‍රපටයක් ප්‍රාග් නුවර දී එළි දක්වන ලද එහි එම උත්සව සභාවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස නිකොලස් වින්ටන් සහභාගී වුණා. මියුරියල් එමානුවෙල් සහ වේරා ගිසින් විසින් රචිත ඔහුගේ චරිතාපාදනය ප්‍රකාශයට පත් වුණේ ද එම වසරේ දී ම යි. එයට අමතර ව 2002 වර්ෂයේ දී ‘The Power of Good : Nicholas Winton’ නමින් ඔහු ගැන වාර්තා චිත්‍රපටයක් ද එළි දක්වා තිබෙනවා.
නිකොලස් වින්ටන් විසින් සිදු කරන ලද සේවය සඳහා බ්‍රිතාන්‍යයෙන් මෙන් ම චෙක් රාජ්‍යයෙන් ද ඔහු වෙත බොහෝ සම්මාන පුද කර ඇති අතර දෙවැනි එළිසබෙත් රැජින 2002 දෙසැම්බර් මාසයේ දී ඔහු වෙත නයිට් පදවියක් පිරි නැමුවා. ජීවන ගමනේ සියවස සම්පූර්ණ කළ සර් නිකොලස් වින්ටන් 2015 ජූලි 1 වැනි දින මෙලොව හැර ගියේ වයස අවුරුදු 106 ක්ව තිබිය දී යි.
කවරයේ පින්තූරය : (independent.co.uk)