යුද්ධයක දී සිදුකෙරුණ පළමු විෂ වායු ප්‍රහාරය

යුධ බිමේ දී සාම්ප්‍රදායික අවි මෙන්ම, සාම්ප්‍රදායික නොවන අවි ද භාවිතා වෙනවා. අප සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික අවි ලෙස සලකන්නේ ගිනි අවි, ග්‍රෙනේඩ ආදී දේ යි. සාම්ප්‍රදායික නොවන අවි අතර න්‍යෂ්ටික අවි, රසායනික අවි, සහ ජීව විද්‍යාත්මක අවි ද වෙනවා.

යුධ බිමේ දී රසායනික අවියක් ලෙස විෂ වායු ප්‍රහාරයක් පළමු වරට සාර්ථක ව දියත් කළේ ජර්මනිය යි. ඒ පළමු ලෝක යුද්ධය අතරතුර 1915 දී යි. පළමු ලෝක යුද්ධය තුළ දී ජර්මනිය මෙන්ම බ්‍රිතාන්‍යය ද බටහිර පෙරමුණේ දී විෂ වායු ප්‍රහාරයන් එල්ල කළා.

1915 අප්‍රේල් 22 වන දා ජර්මානුන් විසින් එල්ල කළ පළමු විෂ වායු ප්‍රහාරය සඳහා යොදාගත්තේ ක්ලෝරීන් වායුව යි. එම ප්‍රහාරය එල්ල වූයේ ඊප්‍ර හි දෙවන සංග්‍රාමය (Second Battle of Ypres) ආරම්භයේ දී යි.

බටහිර පෙරමුණ සහ යුධ අගල්

පළමු ලෝක යුද්ධය ආරම්භ වුණේ 1914 ජූලි 28 වන දා ඔස්ට්‍රියා-හන්ගේරියාව විසින් සර්බියාව ආක්‍රමණය කිරීමත් සමග යි. දින කිහිපයක් ඇතුළත ඔස්ට්‍රියා-හන්ගේරියාව පාර්ශවයෙන් ජර්මනියත්, සර්බියාව පාර්ශවයෙන් ප්‍රංශය සහ රුසියාවත් යුද්ධයට ඇතුල් වුණා. මේ අතර ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා ජර්මනිය බෙල්ජියම හරහා පැමිණීමත් සමග බ්‍රිතාන්‍යය ද ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කළා.

අගෝස්තු මාසයේ දී ජර්මන් සේනාංක බෙල්ජියම හරහා ප්‍රංශයට කඩා වැදුණා. පැරිස් අගනුවර ද ජර්මන් හමුදා අතට පත් වීමේ අවදානමක් ඇති වූ අතර ප්‍රංශ රජය බෝර්ඩෝ නගරය වෙත පළා ගියා. නමුත් සැප්තැම්බර් මුල දී මාර්න් නදී සංග්‍රමය විසින් ජර්මන් ආක්‍රමණය නවතා දමනු ලැබුණා.

මාර්න් නදියෙන් පසුබැස ගිය ජර්මන් සේනා නැවතුණේ ඊට උතුරින් වූ අයින් නදිය තරණය කිරීමෙන් පසුව යි. අයින් නදියේ දකුණු ඉවුරේ තරමක දුරක් ගිය තැන උස්බිම් ප්‍රදේශයක් වුණා. ජර්මානුන් මෙම ප්‍රදේශය ආශ්‍රිත ව යුධ අගල් සාරා ආරක්ෂාව තහවුරු කරගත්තා. සිව් වසරක් පුරා බටහිර පෙරමුණේ ප්‍රධාන ලක්ෂණය වූ යුධ අගල්වල ඇරඹුම වූයේ එය යි.

මුහුද සඳහා තරග දිවීම​ (themaparchive.com)

මෙම යුධ අගල්වලට ඍජු ව පහර දීම අසීරු බව තේරුම් ගත් ප්‍රතිවාදීන් ඊට එහායින් හමුදා මෙහෙයවා එම යුධ අගල් පිටුපසින් මතු වීමට උත්සාහ කළා. මෙවිට අනෙක් පාර්ශවය එම මාර්ගය හරස් කළා. ඉන්පසු, ඔවුන් ද එම උත්සාහය ම ගත්තා. මේ ආකාරයෙන් දෙපාර්ශවය ම​ එකිනෙකාගේ යුධ අගල් මඟ හරින්නට උත්සාහ කළා. ඊට පිළිතුරු ලෙස අත්ලාන්තික් සාගරය දෙසට ම යුධ අගල් සාරන්නට දෙපාර්ශවය විසින් ම කටයුතු කළා. කිසිදු පාර්ශවයකට අනෙකා අභිබවා යාමට නොහැකි වූ අතර, මෙය​ නැවතුණේ දෙපාර්ශවයේ ම යුධ අගල් අත්ලාන්තික් සාගරය හමු වූ අවස්ථාවේ යි. මෙම අදියර “මුහුද සඳහා තරග දිවීම” ලෙස හඳුන්වනවා.

මුලින්ම සරල අගල් වූ බටහිර පෙරමුණේ යුධ අගල් පසු ව සංකීර්ණ අගල් පද්ධති ලෙස වර්ධනය වුණා. ඒවා කටුකම්බි වැටවල් ආදියෙන් ආරක්ෂා කෙරුණා. මීළඟ වසර හතර තුළ විවිධ සටන්වල දී මෙම අගල් අල්ලා ගැනීම සඳහා සිය දහස් ගණන් සෙබළුන් සහ නිලධාරීන් නිරර්ථක ව මියගියා. නමුත් එක් පාර්ශවයකටවත් එම අගල් බිඳගෙන වේගයෙන් ඉදිරියට යාමට හැකි වූයේ නැහැ.

අලුත් ආයුධ සඳහා ඉල්ලුම

මෙම නව යුධ තත්ත්වයට දෙපාර්ශවයෙන් එකකවත් යුධ නායකත්වයට සාර්ථක ව පිළිතුරු දීමට හැකි වූයේ නැහැ. මේ අනුව අලුත් ක්‍රම සහ අලුත් ආයුධ පිළිබඳ ද සොයාබැලීමට යුධ බලධාරීන් කටයුතු කළා. විෂ වායු ප්‍රහාරයන් පිළිබඳ ද සලකා බලන ලද්දේ ඒ අතරවාරයේ යි.

ජර්මානුන් 1914 දී සහ 1915 ජනවාරියේ දී විෂ වායු ප්‍රහාරයන් එල්ල කිරීම පිළිබඳ අත්හදා බැලීම් සිදුකර තිබුණා. නමුත් ඒවා කෙතරම් අසාර්ථක වූයේ ද යත්, එම ප්‍රහාර පිළිබඳ මිත්‍ර රටවල් දැනගත්තේ යුද්ධාවසානයෙන් පසු ජර්මානුන් ඒ බව හෙළි කළ විට යි.

ෆ්‍රිට්ස් හාබර් (Archiv der Max-Planck-Gesellschaft, Berlin)

ජර්මන් යුධ පර්යේෂණ කටයුතු සිදුකළ දක්ෂම අයෙකු වූයේ රසායන විද්‍යාඥයෙකු වූ ෆ්‍රිට්ස් හාබර් නමැත්තා යි. හාබර් බෙහෙවින්ම ප්‍රකට ව සිටින්නේ ඇමෝනියා නිෂ්පාදනය කරන කාර්මික ක්‍රමවේදය සොයාගැනීම හේතුවෙන්. ඔහු 1918 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ද දිනා ගත්තා. නමුත් වැඩි දෙනා නොදන්නා කරුණ වන්නේ විෂ වායුවක් ලෙස යුධ පෙරමුණේ දී ක්ලෝරීන් භාවිතා කිරීමේ ක්‍රමවේදය ද නිර්මාණය කරන ලද්දේ ඔහු වන බව යි.

මින් පෙර සිදුකරන ලද අත්හදා බැලීම් අසාර්ථක වූ හෙයින් ජර්මන් යුධ බලධාරීන් හේබර්ගේ ක්‍රමය පිළිබඳ විශාල විශ්වාසයක් තැබුවේ නැහැ. මෙය යුධමය අතින් ජර්මනියට සිදු වූ වරදක්.

ඊප්‍ර අඩකවය

මුහුද දෙසට තරග දිවීම ඉංග්‍රීසි ඕඩය කිට්ටුව බෙල්ජියමේ ෆ්ලාන්ඩර්ස් ප්‍රදේශයේ නැවතුණේ ජර්මන් සටන් පෙරමුණට මිත්‍ර පාක්ෂික පාලනය යටතේ වූ අඩකවයක ප්‍රදේශයක් කාවදින පරිදි යි. මෙම අඩකවයේ කේන්ද්‍රය වූයේ ඊප්‍ර නම් බෙල්ජියානු නගරය යි. දුම්රිය මංසන්ධියක් ලෙස ඊප්‍ර නගරය වැදගත් ස්ථානයක් වුණා. 1914 ඔක්තෝබර් 18 වන දා සිට මෙම ප්‍රදේශයට දරුණු ජර්මන් ප්‍රහාර එල්ල වුණා. මෙය ඊප්‍ර හි පළමු සටන ලෙස හඳුන්වනු ලබන අතර ෆ්ලාන්ඩර්ස් ප්‍රදේශයේ සිදු වූ සටන් ගණනාවක ප්‍රධානම සටන මෙය වුණා. ජර්මන් ප්‍රහාරය දරුණු වූ නමුත් එම වසර අවසන් වෙද්දීත් සටන් පෙරමුණ විශාල වෙනසකට ලක් වූයේ නැහැ.

යුද්ධය අතරතුර ඊප්‍ර නගරය (historycentral.com)

යුධ පෙරමුණක අඩකවයක් යනු ආරක්ෂා කිරීම පහසු ස්ථානයක් නොවෙයි. නමුත් ඊප්‍ර නගරය වැදගත් වූ හෙයින් මෙම ස්ථානයෙන් පසුබැසීමට මිත්‍ර සේනාංකවලට ද අවශ්‍ය වූයේ නැහැ.

1915 දී ද ජර්මානුන් බටහිර පෙරමුණේ සිය පළමු දැවැන්ත ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් වූයේ ඊප්‍ර අඩකවය වෙත යි.

ඊප්‍ර හි දෙවන සටන

ඊප්‍ර හි නවතම ප්‍රහාරය ඇරඹීමට නියමිත වූයේ 1915 අප්‍රේල් 22 වන දා සවස යි. මේ වන විට අඩකවය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය​ ආරක්ෂා කිරීමට මිත්‍ර රටවල් කිහිපයක හමුදා යොදවා තිබුණා. අඩකවයෙන් උතුරු දෙසට ඇදී ගිය ඊසර් (Yser) නදිය ආශ්‍රිත ව වූ මායිම ආරක්ෂා කළේ බෙල්ජියානුවන් විසින්. අඩකවයේ උතුරු ප්‍රදේශයේ ප්‍රංශ ඩිවිෂන දෙකක් රැඳී සිටි අතර, එහි නැගෙනහිර ප්‍රදේශයේ කැනේඩියානු ඩිවිෂනයක් සහ බ්‍රිතාන්‍ය ඩිවිෂන දෙකක් රඳවා තිබුණා.

ක්ලෝරීන් වායු ප්‍රහාරය සාර්ථක වේයැ යි සම්පූර්ණ බලාපොරොත්තු තබා නොතිබුණ හෙයින්, ජර්මන් බලධාරීන් තීරණය කළේ අඩකවයේ කොටසකට පමණක් මුල් ප්‍රහාරය එල්ල කිරීමට යි. මේ අනුව එහි උතුරට වන්නට වූ ග්‍රේෆන්ස්ටාෆෙල් ගම්මානය ආශ්‍රිත ප්‍රදේශයට මුල් ප්‍රහාරය එල්ල වුණා. එහෙයින් ඊප්‍ර හි දෙවන සටනේ ආරම්භක අවස්ථාව ග්‍රේෆන්ස්ටාෆල් සටන ලෙස ද හඳුන්වනවා.

ක්ලෝරීන් වායුව මුදා හැරීම (Hulton Archive/Getty Images)

අප්‍රේල් 22 වන දා සවස 5ට ප්‍රහාරය ඇරඹුණා. සාමාන්‍ය කාලතුවක්කු ප්‍රහාරයට සමගාමී ව ක්ලෝරීන් වායුව ද මිත්‍ර හමුදා වෙත මුදාහැරුණා. එදින කිලෝමීටර් 7ක් පමණ වූ පෙරමුණකට ක්ලෝරීන් ටොන් 168ක් නිදහස් කෙරුණා. මේ සඳහා වායු බහාලුම් 6000ක් යොදාගැනුණා.

එම අවස්ථාවේ පැවති සුළඟ සමග​, ක්ලෝරීන් වායුව කහ​-කොළ දුමාරයක් ලෙස මිත්‍ර හමුදා ස්ථානයන්ට ඇදුණා. එය සාමාන්‍ය වාතයට වඩා බරැති වූ හෙයින් පොළවට සමීප ව රැඳුණා. එහෙයින් ප්‍රදේශයේ වූ ප්‍රංශ සහ ඇල්ජීරියානු සෙබළුන් දැඩි පීඩනයකට හසුවුණා. ඔවුන් ශ්වසනාබාධ​ හෝ අක්ෂි ආබධවලට ලක් වූ අතර, ක්ලෝරීන් විෂ වීමෙන් කොටසක් මියගියා. අනෙක් පිරිස ප්‍රදේශයෙන් පලා ගියා. මෙම ස්ථානයන් හරහා ජර්මානුන් වේගයෙන් ඉදිරියට ඇදුණා.

මෙම අවස්ථාවේ ජර්මන් හමුදාවල ඉදිරි ගමන නවතා දැමුවේ ප්‍රදේශය කරා පැමිණි කැනේඩියානුවන් විසින්. තුන් පැත්තකින් තමන්ට ප්‍රහාර එල්ල වන විට කැනේඩියානු සේනා ජර්මන් ප්‍රහාරය මැඩ පැවැත්වීමට සමත් වුණා. උපක්‍රමික ව වැදගත් වූ පිල්කෙම් උස් බිම් ජර්මානුන් අතට පත් වුණත් එතැනින් ඔබ්බට ඔවුනගේ ගමන වළකා දැමුණා.

ඊප්‍ර සටනට පෙර සහ පසු යුධ පෙරමුණ​ (Public Domain)

ඊප්‍ර හි දෙවන සංග්‍රාමයේ වෙනත් අවස්ථා කිහිපයක දී ද ජර්මානුන් ක්ලෝරීන් ප්‍රහාර එල්ල කළා. සෙන්ට් ජුලියන් හි දී අප්‍රේල් 24 වන දා එල්ල කෙරුණ ප්‍රහාරය එවැන්නක්.

කෙසේ නමුත් කල් යද්දී යුධ පෙරමුණේ සෙබළුන් විවිධ උපක්‍රම මඟින් ක්ලෝරීන් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීමට පුරුදු වුණා. මුත්‍රාවලින් පෙඟවූ රෙදිකඩ ඇස් හා නාසය ආරක්ෂා කිරීමට යොදාගැනීම එවැන්නක්. එහි වූ ඇමෝනියා ක්ලෝරීන් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා මෙසේ ආරක්ෂාව සැලසුණා. ඇතැමුන් සාමාන්‍ය ලේන්සු ආදිය භාවිතා කළා. මාස කිහිපයක් ගතවෙද්දී ක්‍රමවත් මුහුණු ආවරණ පෙරමුණෙහි සෙබළුන් වෙත නිකුත් කෙරුණා.

මැයි මස 25 වන දා වන විට ඊප්‍ර හි දෙවන සටන නිමවුණා. ජර්මානුන් එහි දී යම් සාර්ථකත්වයක් ලද නමුත් ඊප්‍ර නගරය අල්ලාගැනීමට ඔවුන් අසමත් වුණා. යම් හෙයකින් සමස්ථ අඩකවයට ම අප්‍රේල් 22 වන දා ක්ලෝරීන් ප්‍රහාර එල්ල කළේ නම් සටනෙහි ප්‍රතිඵලය මීට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබුණා.

කවරයේ පින්තූරය: ක්ලෝරීන් ප්‍රහාරයට ලක් වූ සෙබළු (Wikimedia Commons)

මූලාශ්‍රයයන්:

  • The First World War by B.H. Liddell Hart
  • The Great War Youtube Channel

 

Related Articles

Exit mobile version