අදහස් බෙදාගැනීම පහසු කරමින් චීනයෙන් බිහි වූ මුද්‍රණ යන්ත්‍ර

සමරූපී පොත්පත්, තොරතුරු පත්‍රිකා, හා පුවත්පත් වැනි මුද්‍රණය කරන ලද අදහස් එකිනෙකා අතර හුවමාරු කරගැනීම සඳහා මඟ පාදමින් නිර්මාණය වූ ‘මුද්‍රණ යන්ත්‍රය’ මිනිස් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. පුරාණ චීන සමාජයේ මහත් පෙරළියක් ඇති කළ එය, 15 වැනි සියවසේ දී යුරෝපා මහද්වීපය තුළ ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගත්තේ වඩාත් වැඩි දියුණු වෙමින්. ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිෂ්පාදනය කළේ කවදා, කවුරුන් විසින් ද යන ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු නොමැති වුව ද, දැනට සොයාගෙන ඇති පැරණි ම මුද්‍රිත ලේඛනය චීනයෙන් හමු වී ඇති අතර එය අයත් වන්නේ ක්‍රි. ව. 1 වැනි සහස්‍රයට යි.

චීනයේ ඩූහ්වාං ප්‍රදේශයෙන් හමු වූ ටැන්ග් රාජ සමයේ දී (ක්‍රි. ව. 868 දී පමණ) මුද්‍රිත ‘වජ්‍ර සූත්‍රය’ නම් බෞද්ධ ග්‍රන්ථය, ලොව පැරණි ම මුද්‍රිත ග්‍රන්ථය ලෙස සැලකෙනවා. එය මුද්‍රණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ‘අච්චු මුද්‍රණය’ (block printing) නම් ක්‍රමවේදය යි. එහි දී පිටපැත්තට සිටින සේ දැවමය පුවරුවල අතින් කැටයම් කරන ලද අච්චු යොදාගෙන පොත් මුද්‍රණය කිරීම සිදුකරන අතර, පිටපත් රාශියක් මුද්‍රණය කළ හැකි වුව ද වෙනත් ග්‍රන්ථයක් මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ නොහැකි බැවින් මුද්‍රණ ක්‍රියාවලියෙන් අනතුරුව අදාළ අච්චුව ඉවත දැමීමට සිදු වී තිබෙනවා.

(© The British Library) ‘වජ්‍ර සූත්‍රය’ ග්‍රන්ථයේ කොටසක්

කෙටි කලෙකින් ම චීන සමාජය තුළ මුද්‍රණ ශිල්පය අතිශය ජනප්‍රිය වී ඇති අතර,  ක්‍රි. ව. 972 වන විට පිටු 130,000 කින් සමන්විත වූ ත්‍රිපිටකයේ චීන පරිවර්තනය පවා මුද්‍රණය කිරීමට1 චීන වැසියන් සමත් වී ඇති බව යි වාර්තා වන්නේ. එයට අමතර ව දැවමය අච්චු යොදාගනිමින් ඔවුන් ගණිතමය වගු, වාග් මාලා මාර්ගෝපදේශන, ශබ්දකෝෂ, පංචාංග ලිත්, සහ ආචාර ධර්ම සංග්‍රහයන් පවා මුද්‍රණය කර තිබෙනවා.

බී ෂෙන්ග්ගේ අකුරු අච්චු

පසුකාලීන ව අච්චු මුද්‍රණයේ දී භාවිතා කරන ලද දැවමය අච්චු අපතේ දැමීම වෙනුවට විකල්ප ක්‍රමයක් හඳුන්වා දී ඇත්තේ ක්‍රි. ව. 970 – 1051 අතර කාලයේ චීනයේ යින්ග්ෂෑන් ප්‍රදේශයේ වාසය කළ බී ෂෙන්ග් නම් නව නිපැයුම්කරුවා විසින්. ඒ අනුව සම්පූර්ණ පිටුවක් අන්තර්ගත වූ දැවමය අච්චු ඉවත දමා එක් එක් අකුර සඳහා වෙන් වෙන් අච්චු භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා. එහි දී සිදු වී ඇත්තේ කුඩා මැටි පුවරුවක් මත කැටයම් කරන අකුරු අච්චුව පුලුස්සා ගැනීමෙන් අනතුරු ව වචනයක් සැකසෙන අයුරින් යකඩ රාමුවක් මත තැන්පත් කර, යකඩ තහඩුවකට තබා තද කිරීම යි.

(© Ancient Pages) පුරාණ චීන අකුරු අච්චු

බී ෂෙන්ග්ගේ මුද්‍රණාලය ගැන මුල් වරට තොරතුරු වාර්තා කර ඇත්තේ ක්‍රි. ව. 1086 දී ෂෙන් කුඕ නම් විද්‍යාඥයා විසින්. ඔහු වාර්තා කර ඇත්තේ දැවමය අච්චු පහසුවෙන් තෙතමනය උරා ගන්නා බැවින් සහ ඒ මත තීන්ත නිසි පරිදි තැන්පත් නොවන බැවින් බී ෂෙන්ග් විසින් දැවමය අච්චු භාවිතා නොකරන ලද බව යි. කෙසේ වුව ද චීන හෝඩියේ අකුරු 40,000ක් පමණ පවතින බැවින් බී ෂෙන්ග් විසින් හඳුන්වා දුන් අච්චු අකුරු ක්‍රමවේදය ද වැඩිකල් භාවිතයේ පැවතී නැහැ.

නැවතත් අච්චු මුද්‍රණ ශිල්පයට

ක්‍රි. ව. 1297 දී චීන මහේස්ත්‍රාත්වරයෙකු වූ වෑන්ග් චෙන් විසින් අච්චු මුද්‍රණය යොදාගනිමින්  කෘෂිකර්මය සහ ගොවිතැන් සිරිත් ගැන ‘නුන්ග් ෂූ’ නම් ග්‍රන්ථය මුද්‍රණය කිරීමෙන් පසු ව, නැවත වරක් අච්චු මුද්‍රණ ශිල්ප ක්‍රම භාවිතයට පැමිණ තිබෙනවා. වෑන්ග් චෙන් විසින් දැවමය අච්චු වැඩි කාලයක් තබාගත හැකි උපක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, වඩාත් කාර්යක්ෂම ව සහ වේගයෙන් මුද්‍රණ කටයුතු සිදු කිරීම සඳහා කැරකෙන මේසයක් ද නිර්මාණය කර ඇති බව යි වාර්තා වන්නේ.

(© Wikimedia Commons) ‘නුන්ග් ෂූ’ පුස්තකයේ කොටසක්

වෑන්ග් චෙන්ගේ ‘නුන්ග් ෂූ’ පුස්තකය සැලකෙන්නේ මහා පරිමාණයෙන් මුද්‍රණය කරන ලද ලොව ප්‍රථම ග්‍රන්ථය ලෙස යි. එය යුරෝපා මහද්වීපයට පවා අපනයන කර ඇති අතර, චීනයෙන් බිහි වූ මුද්‍රණ යන්ත්‍රය සහ මහා පරිමාණ මුද්‍රණ ක්‍රමවේදයන් පිළිබඳ තොරතුරු යුරෝපීයයන් දැනගන්නට ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවට සැකයක් නැහැ.

නොසිතූ ලෙස අනාවරණය වූ ගුටෙන්බර්ග්ගේ මුද්‍රණාලය

නමුත් වෑන්ග් චෙන් විසින් වැඩි දියුණු කරන ලද මුද්‍රණ ක්‍රමවේද හඳුන්වා දී වසර 150ක් ගතවන තුරු ම යුරෝපා මහද්වීපයෙන් මුද්‍රණාලයක් ගැන තොරතුරු වාර්තා නොවූ අතර, වරකට අකුර බැගින් යොදාගනිමින් මුද්‍රණය කිරීමේ ක්‍රමයක් සොයාගැනීම සඳහා රටවල් කිහිපයක ම කාර්මිකයන් උත්සාහ කර තිබෙනවා. දේශපාලන හේතූන් මත ජර්මනයෙන් පිටුවහල් කරන ලද යොහැනස් ගුටෙන්බර්ග් නම් රන්කරුවා ප්‍රංශයට පැමිණ මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කිරීම අරඹා ඇත්තේ ක්‍රි. ව. 1440 සිට යි. අංග සම්පූර්ණ මුද්‍රණ යන්ත්‍රයක් ලොවට හඳුන්වාදීමේ දැඩි ආශාවෙන් පසු වූ ගුටෙන්බර්ග්, තමන් නිපදවන ලද මුද්‍රණ යන්ත්‍රය ප්‍රසිද්ධියට පත් නොකර තවත් වර්ධනය කිරීමට උත්සාහ දරමින් සිටිය දී එය නිපදවීම සඳහා මුදල් ආයෝජනය කරන ලද ඔහුගේ ව්‍යාපාර හවුල්කරු මියගොස් තිබෙනවා. ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ ඒ සම්බන්ධයෙන් පැවති බූදල් නඩුකරයේ දී යි.

(© International Printing Museum) ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයේ නූතන අනුරුවක්

ගුටෙන්බර්ග් විසින් දැව වෙනුවට ලෝහ යොදාගනිමින් අකුරු අච්චු සහිත මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කර ඇති අතර, ක්‍රි. ව. 1452 දී ඔහු, යොහැනස් ෆස්ට් නම් ණයකරු සමග හවුල් ගිවිසුමක් ඇති කරගෙන මුද්‍රණාලයක් ආරම්භ කර තිබෙනවා. එහි මුද්‍රණය කරන ලද ප්‍රථම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ බයිබලය යි. පළමු මුද්‍රණයේ දී ඔහු පිටු 1,300 කින් යුතු බයිබල් 180ක් මුද්‍රණය කර ඇති අතර, ඒ සඳහා අකුරු අච්චු 300ක් සහ කඩදාසි 50,000ක් යොදාගත් බව යි වාර්තා වන්නේ. ගුටෙන්බර්ග් විසින් මුද්‍රණය කරන ලද බයිබලයේ ඇතැම් කොටස් වර්ණ යොදාගනිමින් මුද්‍රණය කර ඇති අතර, එයින් පිටපත් 21ක් සම්පූර්ණයෙන් ම සුරක්ෂිත ව පවතිනවා.

(© Kevin Eng) ගුටෙන්බර්ග්ගේ බයිබලය

යුරෝපය පුරා පැතිරුණු මුද්‍රණ ශිල්පය

ගුටෙන්බර්ග්ගෙන් පසු ව ඉතාලි ජාතිකයන් මුද්‍රණ යන්ත්‍ර නිපදවීම අරඹා ඇති අතර ක්‍රි. ව. 1470 වන විට මුද්‍රණ ශිල්පය, වාණිජමය කාර්මාන්තයක් වශයෙන් ඉතාලිය තුළ ජනප්‍රිය වී තිබෙනවා. එසේ ම 15 වැනි සියවස අවසන් වන විට ක්‍රමයෙන් මුද්‍රණ යන්ත්‍ර, ස්පාඤ්ඤය සහ පෘතුගාලය තුළ ද පැතිරී ගියා. විලියම් කැක්ස්ටන් නම් බෙල්ජියමේ වාසය කළ ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දී ඇත්තේ ක්‍රි. ව. 1476 දී යි. පසු ව ඔහු වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර තුළ මුද්‍රණාලයක් ස්ථාපිත කර ක්‍රි. ව. 1491 දී සිදු වූ ඔහුගේ මරණය තෙක් එංගලන්ත රජ පවුලේ ප්‍රධාන මුද්‍රණකරු ලෙස කටයුතු කරන ලද බව සඳහන්.

(© University Library of Heidelberg) ලොව ප්‍රථම පුවත්පත

මුද්‍රණ යන්ත්‍රයේ දියුණුවත් සමග ජර්මනියෙන් ලොව ප්‍රථම පුවත්පත බිහි වුණා. ‘Relation aller Fürnemmen und gedenckwürdigen Historien’ නම් වූ එය මුල් වරට මුද්‍රණය කරන ලද්දේ ක්‍රි. ව. 1605 දී යි. පුවත්පතකට වඩා තොරතුරු පත්‍රිකාවක ස්වරූපය ගත් එය මුද්‍රණය කිරීම සඳහා යොහාන් කැරොලස් නම් ප්‍රකාශකයා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. එසේ අරඹන ලද පුවත්පත් කෙටි කලෙකින් ම යුරෝපය තුළ ජනප්‍රිය වී ඇත්තේ සාමාන්‍ය ජනතාව අතර අදහස් සහ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මංපෙත් විවර කර දෙමින්.

මූලාශ්‍රය :

1 පොතේ කතාව / ධනපාල ගුණසේකර / විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

කවරයේ පින්තූරය: © Alamy Stock Photo

Related Articles

Exit mobile version