වර්තමානයේදී බොහෝ විට ඡන්දයකින් තෝරා පත් කර ගන්නා රාජ්‍ය නායකයන් සපුරාලිය යුතු අවම වයස් සීමාවක් ඒ ඒ රටවල් නිර්දේශ කර තිබේ. එබැවින් ළමා වියේ පසුවන අයකු රාජ්‍ය නායකයකු ලෙස තේරී පත්වීමේ සම්භාවිතාවක් වර්තමාන ලෝකයේ නොමැත.
අතීතයේ රටවල රජවරුන් හෝ රැජනන් ලෙස තෝරා පත් කර ගත් අයට එවැනි වයස් සීමාවක් පනවා නොතිබිණි. රාජ්‍යත්වය දැරූ සිය මව්පියන්ගේ හෝ වෙනත් ඥාතිවරයකුගේ ඇවෑමෙන් ඔවුහු නිරායාසයෙන් ම රාජ්‍යත්වයට පත් වූහ. ඒ නිසාම ළා බාල වියේ සිටිය දී කිරුළ දැරූ රජවරුන් සහ රැජනන් පිළිබඳ ඉතිහාසය පුරාවට සඳහන් වේ. මෙම ලිපිය ළමා වියේදී ම රජකම් කළ එවැනි පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ යි.
1). 13 වැනි ටොලමි- ඊජිප්තුව
ඊජිප්තුවේ ටොලමි රාජ වංශයේ 13 වැනි රජු වන ටොලමි ඉතා කෙටි කාලයක් තුළ ඓතිහාසික චරිත කිහිපයක් සමඟ ගැටුණු අයෙකි. ක්‍රිස්තු පූර්ව 15 දී ප්‍රථම වරට රාජ්‍යත්වයට පත් වන විට ඔහුගේ වයස අවුරුදු 12ක් විය. කෙසේ වෙතත් ඉතා කෙටි කාලයක් තුළ සිය සහෝදරිය වූ ක්ලියෝපැට්‍රා තමන්ට වඩා ජනතාව අතර ප්‍රසිද්ධ වෙමින් තිබෙන බව සිතූ ඔහු එය වැලැක්වීම සඳහා සැලසුමක් සකස් කළේ ය. ඒ වන විට ඔහු එවකට පැවති චාරිත්‍රයක් අනුව ක්ලියෝපැට්‍රා සමග විවාහ වී සිටි බවත් කියැවේ. එම සැලසුමට අනුව අධිකරණයේ ඉහළ තනතුරු දැරූ කිහිප දෙනකු සමඟ කුමන්ත්‍රණය කළ ඔහු ක්ලියෝපැට්‍රා ඊජිප්තුවෙන් පිටුවහල් කර දැමී ය.
ඒ කාලය වන විට ජූලියස් සීසර් සමඟ සටන් වැදුණු රෝම පාලකයකු වූ පොම්පේ රැකවරණය පතා ඊජිප්තුවට පැමිණ සිටියේ ය. සීසර්ගේ සිත දිනා ගත හැකි වේ යැයි සිතූ ටොලමි පොම්පේ මරා දැමීමට අණ දුන්නේ ය. කෙසේ වෙතත් එම සැලසුම අසාර්ථක විය. ටික කලකට පසු ඊජිප්තුවට පැමිණි සීසර් ක්ලියෝපැට්‍රා සමඟ සාමදාන වන ලෙස ටොලමිට බලපෑම් කළේ ය. ටොලමි, සීසර්ට විරුද්ධව ඊජිප්තු හමුදාවක් මෙහෙය වූ නමුත් එම සටනින් විශාල පරාජයක් ලැබීමට ඔහුට සිදු විය. සීසර් සමඟ ඇති වූ යුද්ධය අතරතුර පලා යාමට තැත් කළ ටොලමි නයිල් ගඟේ ගිලීම නිසා මරණයට පත් වී තිබේ.
2). ෆ්‍යුලින් අධිරාජ්‍යයා- චීනය
1643 දී සිදු වූ සිය පියාගේ අභාවය සමඟ එවකට පස් හැවිරිදි වියේ පසු වූ ෆ්‍යුලින් චීනයේ රාජ්‍යත්වයට පත් විය. ඔහු ඉතා කුඩා වියේ පසු වූ බැවින් වසර කිහිපයක් යන තෙක් චීනය පාලනය කළේ ඔහුගේ මාමා කෙනකු වූ ඩෝගන් ය. 1650 දී ඩෝගන් මිය ගිය බැවින් 12 හැවිරිදි ෆ්‍යුලින් සෘජුව ම රට පාලනය කිරීම ආරම්භ කළේ ය. සතුරන් බලය උදුරා ගැනීමේ අවදානමක් ඇති බව ඉතා හොඳින් වටහා ගත් ඔහු අධිකරණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පුද්ගලයන් කිහිප දෙනකු සමඟ එක්ව ක්විං රාජවංශයේ බලය තහවුරු කර ගැනීමේ අරමුණින් දේශපාලන සන්ධානයක් පිහිටුවී ය.
ෆ්‍යුලින් ඉතා විවෘත අදහස් දැරූ පාලකයකු ලෙස වර්තමානයේ දී පවා ප්‍රසිද්ධ ය. ඔහු විද්‍යාව සහ තාරකා විද්‍යාව වැනි දේ හැදෑරීම සඳහා සැලැකිය යුතු කාලයක් ගත කළ අයෙකි. විවිධ ආගම් සම්බන්ධයෙන් ඉතා සමානාත්මතාවයෙන් යුතු ප්‍රතිපත්තියක් අනුගමනය කළ පාලකයකු ලෙස ද ඔහු සැලැකේ. ඔහු 1652 දී පස්වැනි දලයි ලාමා වෙනුවෙන් විශාල පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබේ. ඕස්ට්‍රියානු ජාතික, මිෂනාරී මතධාරියකුගෙන් නිරන්තරයෙන් උපදෙස් ලබා ගත් නමුත් කිසිදු අවස්ථාවක ඔහු ක්‍රිස්තියානි දහම වැලඳ ගත්තේ නැත. රෝගී තත්ත්වයක් නිසා වයස අවුරුදු 22 දී ඔහු මිය ගිය බවත් ඉන් අනතුරුව ඔහුගේ පුත්‍රයා වසර 60කට වැඩි කාලයක් සිහසුන දැරූ බවත් කියැවේ.
3). එලගබලස් – රෝමය
එලගබලස් රෝමයේ රාජ්‍යත්වයට පත් වූයේ වයස අවුරුදු 15 දී වන අතර ඔහුගේ සිව් අවුරුදු පාලන සමය අතිශයින් ම පරිහාණියට පත් වූ යුගයක් ලෙස සැලැකේ. සිරියාවේ උපත ලැබූ ඔහුට රෝමයේ රාජ්‍යත්වයට පත් වීමට හැකි වූයේ ඔහුගේ මව, තමන් රෝම අධිරාජ්‍යයකුගේ අනියම් බිරිය බව ප්‍රකාශ කිරීම නිසාවෙනි. රෝමයේ අගනුවරට ළඟා වීමටත් පෙර සිරියානු ජනතාව අදහමින් සිටි දෙවි කෙනකු රෝමයේ ප්‍රධාන දෙවියා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔහු ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් විය.
ලිංගිකත්වය සම්බන්ධ කරුණු නිසා ද ඔහු සමාජය තුළ විශාල කතිකාවතක් ඇති වීමට හේතු විය. ඊට හේතුව ඔහු කාන්තාවන් මෙන් ඇඳුම් ඇඳීමට ප්‍රිය කිරීම සහ සිය රියදුරා සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යාම බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වේ. පිරිමි පුද්ගලයන්ට පමණක් වෙන් වූ ස්ථානවලට යාමට සිය මවට අවසර දීම නිසා ඔහු රෝමයේ දේශපාලන ක්ෂේත්‍රයේ ද අපකීර්තියට පත් විය.
ජීවිත කාලය පුරාවට කන්‍යාවක් ලෙස සිටිය යුතු බවට සැලකෙන ආගමික නිකායකට අයත් කාන්තාවක් විවාහ කර ගැනීම සමඟ ඔහු වඩාත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් විය. 18 වැනි වියේදී ඥාති සොහොයුරකු අතින් ඝාතනයට ලක් වූ ඔහු පසුකාලීන ව රෝම ඉතිහාසයේ වඩාත් අසාර්ථක පාලකයෙක් ලෙස ප්‍රසිද්ධ විය. කෙසේ වෙතත් සමහර පාර්ශවයන්ගේ මතය වන්නේ ඔහු තුළ පැවැති සුළු අඩුපාඩු, දේශපාලන හේතු මත අතිශයෝක්තියෙන් යුතුව විවිධ පුද්ගලයන් සමාජගත කළ බව යි.
4). ටූටන්කාමන්- ඊජිප්තුව
වඩාත් කතාබහට ලක් වන ඊජිප්තු පාලකයෙක් වන ටූටන්කාමන් ක්‍රිස්තු පූර්ව 14 වැනි සියවසේ දී රාජ්‍යත්වයට පත් විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු නවයක් හෝ දහයක් වූ බැවින් උපදේශකයන්ගේ මඟපෙන්වීම මත පාලන කටයුතු සිදු කර තිබේ. ඔහුගේ පාලන සාමය එතරම් වැදගත් එකක් නොවූවත් ඔහු සිය පියා පනවා තිබූ නීති රීති ගණනාවක් අහෝසි කළේය.
විශේෂයෙන්ම දේව සංකල්ප පිළිබඳ සිය පියා පනවා තිබූ බොහෝ නියම ඔහු අවලංගු කර තිබේ. වයස අවුරුදු 19 දී ඔහු අභිරහස් ලෙස මිය ගිය අතර ඊට වසර 3,200කට පසු, එනම් 1922 දී, ඔහුගේ සොහොන් ගැබ සොයා ගැනීම ලෝක ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. පුරාණ ඊජිප්තුවේ රාජකීය චාරිත්‍ර විධි පිළිබඳ ව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ඔහුගේ සොහොන් ගැබ ඉතිහාසඥයන්ට මඟ විවර කර දී තිබේ.
5). මේරි රැජන- ස්කොට්ලන්තය
වයස අවුරුදු 18 සම්පූර්ණ වීමටත් පෙර රටවල් දෙකක රැජන ලෙස කටයුතු කරන්නට ස්කොට්ලන්තයේ මේරි කුමරියට හැකි විය. සිය පියාගේ මරණයෙන් පසු 1542 දී ස්කොට්ලන්තයේ රැජන බවට පත් වන විට ඇගේ වයස දින හයක් පමණි. රටක් පාලනය කිරීමට කිසිසේත් ම නොහැකි වයසක පසු වූ බැවින් ලෝක දේශපාලනය තුළ ඇය විශාල වශයෙන් කතාබහට ලක් වූ බව කියැ වේ. එංගලන්තය සහ ස්කොට්ලන්තය එකතු කිරීමේ අරමුණින් – නිසි වයස සපිරුණු පසු ඇය සිය පුත්‍රයා වූ එඩ්වඩ් කුමරුන්ට විවාහ කර දීමට එංගලන්තයේ අටවැනි හෙන්රි රජු තීරණය කළේ ය. කෙසේ වෙතත් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඊට විරුද්ධ වූ බැවින් හෙන්රි රජු ස්කොට්ලන්තය ආක්‍රමණය කළේ ය. එම කාලය තුළ මේරි කුමරිය විවිධ මාළිගාවල රඳවා තබා තිබේ.
විවිධ දේශපාලන හේතු නිසා 1548 දී පස් හැවිරිදි කුමරිය ප්‍රංශයට පිටත් කර හැරීමට ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව තීරණය කළ අතර එතැන් පටන් ඇය සැලකිය යුතු කාලයක් ප්‍රංශයේ ගත කළා ය. ඇය වයස අවුරුදු 16 දී ප්‍රංශයේ දෙවැනි ෆ්‍රැන්සිස් කුමරු සමඟ විවාහ වූවා ය. ෆ්‍රැන්සිස් රාජ්‍යත්වයට පත් වීමත් සමඟ ඇය ප්‍රංශයේ රැජන ලෙස කටයුතු කළා ය.
1561 දී ෆ්‍රැන්සිස් මිය ගිය බැවින් ස්කොට්ලන්තයට නැවත පැමිණි මේරි, ස්කොට්ලන්තයේ රැජන ලෙස කටයුතු කළේ ඉතා කෙටි කලක් තුළ රටවල් දෙකක රැජන ලෙස කටයුතු කළ අයකු බවට පත් වෙමිනි. අවස්ථා දෙකක දී නැවත විවාහ වූ ඇය 1567 දී ඇති වූ කැරැල්ලක් හේතුවෙන් ස්කොට්ලන්තය අතහැර එංගලන්තයට පලා ගියා ය. එහිදී ඇයට වසර 19ක් සිරභාරයේ සිටීමට සිදු විය. අවසානයේ පළමු එළිසබෙත් රැජන බලයෙන් පහ කිරීම සඳහා වූ කුමන්ත්‍රණයකට සහය දැක්වීමේ චෝදනා මත මේරිගේ හිස ගසා දැමූ බව කියැවේ.
6). හතරවැනි බෝල්ඩ්වින්- ජෙරුසලම
1161 දී උපත ලැබූ හතරවැනි බෝල්ඩ්වින් රජු සිය පියාගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත් වූ අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 15කි. ඔහු උපන් දා සිට ලාදුරු රෝගයෙන් පෙළුණු නමුත් අවස්ථා කිහිපයකදී ම සතුරු ආක්‍රමණවලින් ජෙරුසලම මුදා ගත් බව කියැවේ. වරක් ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන් ලෙස කටයුතු කළ සලාදීන් නමැත්තා ජෙරුසලම ආක්‍රමණය කළ අතර බෝල්ඩ්වින් රෝගී තත්ත්වය මධ්‍යයේ වුව ද එම සටනින් ජය ගත්තේ ය. අවස්ථා කිහිපයක දී එවැනි සතුරු හමුදා සම සටන් වැදීමට ඔහුට සිදු වූ අතර පසුකාලීනව ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න විය. ලාදුරු රෝගය උත්සන්න වීම නිසා 1185 දී එවකට 24 හැවිරිදි වියේ පසු වූ බෝල්ඩ්වින් රජු මිය ගියේ ය.