මිහින්තලේ කන්දට නැගි විට පෙනෙන වනතුරු අතරින් පැතිර යන වැව් අතර විශාලම වැව මහකනදරාව යි. මේ වැව සහ ඒ වටා පිහිටි නටබුන් දැකගැනීමෙන් ඔබට අපුරු අත්දැකීමක් ලබාගත හැකි වනු නිසැක යි. මිහින්තලෙත් වැඳ පුදාගෙන කනදරා වැව නටබුන් පහසුවෙන් නැරඹීමටත් ඔබට පුළුවන්. මිහින්තලේ හන්දිය පසුකරගෙන ත්‍රිකුණාමලය පාරේ කෙත්වතු අතරින් කි. මී. 3ක් පමණ යන විට කනකදරා වැව හමුවෙනවා. මේ මහා මාර්ගය දිව යන්නේ වැව දෙකට බෙදා, ඉංග්‍රීසි යුගයේ දී පස් ගොඩකර තැනූ කන්ඩියක් හරහා යි. වැව් බැම්මට පිවිසීමට නම් ඔබ කනදරා හන්දියෙන් හැරී තවත් කි. මී. 3ක් ගම්මාන හරහා ගමන් කළ යුතු යි.
මහකනදරාව
ඓතිහාසික වටිනාකමක් සඟවාගත් මේ වැව ආශ්‍රිතව ගොවි පවුල් 3500කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. බොහෝ ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ කෘෂිකර්මාන්තය යි. වැවෙහි අක්කර අඩි 36,000ක ජල ධාරිතාවයක් රැඳවිය හැකි යි. වැවෙහි ගබඩා කරන ජලය යල-මහ දෙකන්නයටම නිකුත් කරනවා. ඉන් වගා කරන කුඹුරු ප්‍රමාණය අක්කර 6,100ක්.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පාලන සමයේ සි. පී. ද සිල්වා වාරිමාර්ග ඇමැති කාලයේ, මහකනදරා වැවෙහි අලුත්වැඩියා කටයුතු සිදුකර තිබෙනවා. වැව් බැම්ම දිගින් කි. මී. 2.8ක්. මෑතක දී යලිත් වැව් බැම්මේ ප්‍රතිසංස්කරණයක් සිදු කළා. වැව් තලයෙහි විශාල ගස් කඳන්, ගල්පර්වත රාශියක් දක්නට තිබීම එහි සුන්දරත්වය ඉහළ නංවන කරුණක්.
ඉතිහාසයට අනුව මෙම වැව තනා තිබෙන්නේ මහසෙන් රජු (275-301) විසින්. කනදරා ඔය හරස් කිරීමෙන් එයට ජලය ලබාගෙන තිබෙනවා. කාණවාපී යනුවෙන් එකල එය හඳුන්වා තිබෙනවා. 1 වන සේන රජු (833- 855) කාණවාපිය මිහින්තලේ විහාරය උදෙසා පූජා කර තිබෙනවා. ඊළඟට රජ පැමිණි දෙවැනි සේන මෙහි ජල ධාරිතාව වැඩි කිරීමට වේල්ල උස්කර බඳවා තිබෙනවා. හතරවැනි මහින්ද රජු ද මෙහි ජලය මිහින්තලේ විහාරයේ ප්‍රයෝජනයට පැවරූ බව මිහින්තලේ සෙල්ලිපිවල සඳහන් වෙනවා. පොළොන්නරු යුගයේ දී විජයබාහු සහ පරාක්‍රමබාහු යන රජවරුන් මහනකනදරාව ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. කාණවාපී වැව් බැම්ම රියන් 1600ක් දික්වූ බව පරාක්‍රමබාහුගේ සෙල්ලිපියක දැක්වෙනවා.
වැවෙහි ස්නානය කිරීමත් අපූරු අත්දැකීමක් විඳගත හැකි අවස්ථාවක්. ඒ සඳහා ගම්වැසියන් භාවිත කරන නාන තොටුපොළක් යොදාගැනීමට සැලකිලිමත් විය යුතු යි. වැවෙහි ගැඹුර ගැන අපට අවබෝධයක් නැති නිසා එහි දී ප්‍රවේසම් වීම උචිත යි. වැව් බැම්ම මතට මිහින්තලා කඳුවැටියේ සොඳුරු දර්ශනයක් ද දැකගත හැකියි.
අභයභූමිය
මේ අවට පරිසරයේ ඇති වැදගත්කම නිසා 1966 දෙසැම්බර් 9 දා වැවෙහි උපරිම ජල මට්ටමේ සිට මීටර 122ක දුරක් කනදරා වැව අභය භූමිය ලෙස ප්‍රකාශ කළා. වැව වටා වූ වන තීරයේ මුවන්, ගෝනුන් ඇතුළු ක්ෂීරපායීන් රැසක් දිවි ගෙවනවා. ඉඳහිට අලිඇතුන් ද මෙහි පැමිණෙනවා. පක්ෂින් නැරඹීමටත් වැව අවට කදිම යි. මොණරා මෙහි ඉතා සුලබව රංචු වශයෙන් දැකගත හැකි යි. දියකාවන් සිය ගණනින් මෙහි හැසිරෙනවා. සැවුල්පෙද දියසැනා, නිල් කිතලා, මහ දියකාවා, අහිකාවා, මහසුදු කොකා, කණකොකා, කරවැල් කොකා, ලතුවැකියා, විවරතුඩුවා, පාදිලිමානාවා, හැඳිආලාවා, සියක්කාරයා ඇතුළු ජලාශ්‍රිත පක්ෂින් වර්ග රාශියක් මෙහි දිවි ගෙවනවා.
ගලේ පන්සල
කනදරා වැව් බැම්ම පසුකර පිටවානෙන් පැන තවත් කි. මී. 1ක් පියමං කළ විට මේ විහාරයට පැමිණිය හැකි යි. එහෙත් වැවේ ජලය වැඩි කාලයට මේ පාරෙන් යාමට බැහැ. ඒ සමයට කනදරාව සිට කුඩාගම දක්වා දිවයන බොරළු මාර්ගයේ ගමන් කිරීමෙන් විහාරයට පැමිණීමට පුළුවන්.
ගලේ පන්සල පිහිටා ඇත්තේ වැවට නෙරාගිය ගල්පර්වත බහුල තුඩුවක් මත යි. පන්සල පිහිටුවා ඇත්තේ වැව ඉදිකිරීමටත් පෙර ක්‍රිස්තු පූර්ව යුගයේ බව එහි පිහිටි සෙල්ලිපිවලින් පැහැදිලි වෙනවා. මිහින්තලේ කන්දේ ලෙන් කරවූ ආසන්න වකවානුවක මෙහි ලෙන් ද කරවා භික්ෂූන් වහන්සේට පූජාකර තිබෙනවා. මුලින්ම භාවනානුයෝගී භික්ෂූන් සිටි වනගත ආරණ්‍යයක් වූ එය, අනුරාධපුර මධ්‍ය කාලය වන විට ගොඩනැගිලි සහිත දියුණු විහාරයක් බවට පත්ව තිබෙනවා. කටාරම් කෙටූ ලෙන් 8ක් මෙහි පිහිටා තිබෙනවා. ලෙන් දෙකක් විහාරයේ සංඝාවාස සඳහා භාවිත කර තිබෙනවා. අනෙක් ලෙන් දැනට පවතින්නේ වනගතව යි.
විහාරය පිහිටි කඳුගැටය මුදුනේ මෑතක දී බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර තිබෙනවා. එයට නුදුරින් ද්විත්ව වේදිකා සහිත පධානඝර ගොඩනැගිල්ලක නටබුන් දැකගත හැකි යි. අවට නටබුන් පිරික්සීමේ දී පෙනෙන්නේ එවැනි ගොඩනැගිලි කිහිපයක්ම වනයට යට වී තිබෙන බව යි. පධානඝර තිබීමෙන් පෙනෙන්නේ අනුරාධපුර යුගයේ මධ්‍ය භාගයේ දී මෙය දියුණු ආරණ්‍යයක් වශයෙන් පැවති බව යි.
මෑතක දී ඉදිකළ විහාරයක් සහ සංඝාරාම ගොඩනැගිල්ලක් ද මෙහි දැකගත හැකි යි.
ලොකුම ගල්පාලම
පුරාණ කම්කරුවාගේ දක්ෂකම සිහිපත් වන, මේ වන තෙක් දැනගෙන ඇති ඉතාම හොඳ නිදර්ශනයක් වන, පුරාණ කළුගල් පාලමක් සංගිලිකනදරාවේ දියදොරටුවට යාර 300ක් දුරින් පිහිටා තිබෙන බව ආර්. එල්. බ්‍රෝහියර් 1930 දශකයේ සඳහන් කරනවා.
හොඳින් ආරක්ෂා වී ඇති මෙම ගල්පාලම වෙතට විහාරයේ සිට ගම්මානය මැදින් වැටී ඇති ගුරුපාරෙහි කි. මී. 1.5ක් ගමන් කිරීමෙන් ළඟා වීමට පුළුවන. එය වෙත පැමිණීමට නම් ගැමියකුගෙන් මඟ සලකුණු අසාගත යුතුයි. පාලම මතින් දැනටත් ගමන් කළ හැකි යි. එයට යටින් දැනටත් ජලය ගලා බසිනවා. පාලම ඉදිකර තිබුණේ පුරාණ කනදරා ඔය හරහා යි. වැව තනා තිබෙන්නෙත් කනදරා ඔය හරස් කිරීමෙන්. මෙය අනුරාධපුරයේ සිට මිහින්තලේ හරහා ගෝකණ්න (ත්‍රිකුණාමලය) වෙත වැටී තිබූ ප්‍රධාන මාර්ගයේ ඉදිකර තිබු එකක්. අශ්ව රථයකට වුව පාලම හරහා ගමන් කළ හැකි පරිදි එය තනා තිබෙනවා. අද මේ අවට එළවළු වගාබිම් සහ වනවදුලු පැතිර තිබෙනවා.
කනදරා ඔය පාලම දිගින් අඩි 80ක් පමණ වෙනවා. පළලින් අඩි 8ක්. කණු 42ක් මත ගල්පුවරු අතුරා එය ඉදිකර තිබෙනවා. මතුපිට ඇතිරූ ගල්පුවරු අඩි 5සිට 6 දක්වා දිගකින් ද, අඩි 1.5ක් පමණ පළලින් ද යුක්ත යි. පුවරුවක ඝනකම අඟල් 8ක්.
මෙවැනි පාලම් 13ක්ම අනුරාධුරය හරහා ගලන මල්වතු ඔය හරහා ද වැටී තිබුණා. මේ අතරින් ගැල් ගමන් කළ හැකි වූයේ උතුරු හා නැගෙනහිර ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධ ගල් පාලම් හරහා පමණ යි. ප‍්‍රධාන ගල් පාලම් දෙකට අමතරව ගලින් කරන ලද තවත් පාලම් 4ක නටබුන් සොයා ගෙන තිබෙනවා. අවම වශයෙන් අඩි 6-8 දක්වා පමණ පළලින් යුතුයැ යි අනුමාන කළ හැකි, එක්වර මඟීන් 4-5කට එක පෙළට ගමන් කළ හැකි මෙම පාලම් විසුද්ධිමග්ගයේ ජම්හසේතු නමින් හඳුන්වා තිබෙනවා.
ආශ්‍රිත මූලාශ්‍රයයන්:
වැනසෙන වනපෙත්- කුසුම්සිරි විජයවර්ධන
රජරට ප්‍රවේණිය- එච්. ඒ. පී.අභයවර්ධන
Archaeological Survey of Ceylon- 1968-69