අප්පුහාමිට හමුවූ පනාකඩුව තඹ සන්නස

1948 වසරේ පෙබරවාරි මස පනාකඩුව නම් දුෂ්කර ගම්මානයක ඉඩමක් කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නැමැත්තාට නුහුරු යමක් තම උදැල්ලේ වැදුණු බව දැනුනි. මේ කුමක්දැ යි සොයා බැලූ විට ඔහුට තහඩු තුනක් හමුවිය. අප්පුහාමි මෙයත් රැගෙන තම නිවෙස වෙත ගියේ මෙම තහඩුවල කුමක් හෝ වටිනාකමක් ඇතැයි ඔහු සිතු නිසාවෙන්. නිවස වෙත ගොස් ගොරකා දමා තහඩුවල බැඳී තිබූ ඔක්සයිඩ පටලය ඉවත් කළ විට එහි නොදන්නා අකුරු ජාතියක් ලියා ඇති බව දැකගන්නට පුළුවන්කම ලැබුණි. නමුත් එහි සමහර අකුරු කියවීමටත් හැකියි. මේ වන විට අප්පුහාමි හට නිධානයක් ලැබී ඇතැ යි ගම පුරා ප්‍රචාරය වී තිබීම නිසා ගමෙන් වැඩිමනක් අප්පුහාමිගේ නිවස වටා එක්රොක් විය.

ගමෙහි සිටි උගතා වූ කොප්පරකොටුවේ වෙද මහතා ද මෙය පරික්ෂා කර බැලුවේ ය. ගම්මුන් පැවසුවේ නම් මෙම තහඩුවල කොටා ඇත්තේ මන්තර බව යි. මේ කෙසේ වෙතත් අප්පුහාමිට අවශ්‍ය වුයේ මෙහි රත්තරන් ඇත්දැ යි දැනගැනීමට යි. ඒ නිසා ඔහු තහඩුවක කොනකින් කුඩා කොටසක් කපාගෙන අකුරැස්සේ පිහිටි රත්තරන් වැඩපලකට ගොස් මෙය පරික්ෂා කර බැලූ පසු අනාවරණය වූයේ මෙහි රත්තරන් නොමැති බවත්, ඇත්තේ තඹ පමණක් බවත්. මෙමගින් අප්පුහාමිගේ සියලු බලාපොරොත්තු සුන් විය.

කරෝලිස් අප්පුහාමි මහතා (sampathhamuwa.blogspot.com)

මෙම තහඩුවල කිසිදු වටිනාකමක් නැතැ යි සිතූ අප්පුහාමි, තහඩු තුන කොට්ට උරයක ඔතා වී මල්ලක දැම්මේ ය. මෙසේ ටික කලක් ගත වූ විට අප්පුහාමි තදබල ලෙස අසනීප වූ අතර පවුලට ද නොයෙක් කරදර ඇතිවිය. ගමේ සිටියවුන් කියා සිටියේ මේ සියල්ල සිදු වූයේ තහඩු කැබලි නිසා බව යි. එබැවින් අප්පුහාමි මෙම තහඩු කැබලි තුන බෙංගමුව චෙතියකන්දරාරාමයේ විහාරාධිපතිව සිටි මොලොක්ගමුවේ සරණපාල හාමුදුරුවන්ට ලබා දුන්නේ ය. මෙයිනුත් තරමක් කලක් ගිය විට අප්පුහාමිගේ නිවෙසට පොලිසියෙන් පැමිණි නිසා මේ සිදුවන්නේ කුමක්දැ යි ඔවුන්ට සිතා ගත නොහැකි විය. ඔවුන් සමග පැමිණියේ පුරාවිද්‍යා කොමසාරිස් වූ සෙනරත් පරණවිතාන මහතා ය. ඔහු එහි පැමිණ විස්තර කළේ අප්පුහාමි සොයාගත් තඹ සන්නස විශාල වටිනකාමකින් යුක්ත වන බවත්, මෙය මහා විජයබාහු රජු විසින් තමන්ව කුඩා කල දී හදාවඩාගත් සෙනෙවියෙකුට තෑගි බෝග දුන් ආකාරය ලියවුනු සන්නසක් බවත් ය. පනාකඩුව ග්‍රාමයේ දී මෙය සොයාගත් නිසා මෙයට පනාකඩුව තඹ සන්නස ලෙස නම තැබුවේ ය.

මෙම සන්නසෙහි දිග අඩි 1යි අගල් දෙකහමාරකි. පළල අගල් 3ක් වන අතර ඝනකම අගලකින් අටෙන් එකකි. එක් පත්ඉරුවක අක්ෂර පේලි හත බැගින් තිබේ. රෝහණ දේශය පාලනය කරමින් සිටි මොග්ගල්ලාන රජුට සහ ලොඛිතා බිසවට කිත්ති, මහින්ද, රක්ඛිත, සහ මිත්‍රා යනුවෙන් දරුවන් හතර දෙනෙක් විය. කිත්ති කුමරුවා කුඩා කල ආරක්ෂා කළේ බුද්ධරාජ නොහොත් බුදල්නා නමැති සෙනෙවියා විසිනි. පසුකාලීනව මහා විජයබාහු ලෙස රජකමට පත් වන කිත්ති කුමරු රුහුණේ සිට සේනා රැස් කර, එකල ආක්‍රමණිකයන් ලෙස සිටි චෝලයන් රටින් පලවා හරිනු ලබනවා. පනාකඩුව තඹ සන්නස පිරිනමන්නේ ඉහත සදහන් කළ බුදල්නා නමැති සෙනෙවියාට යි. රජතුමාගේ බසින් මානුෂීය හැඟීම් ජනිත කරවන ආකාරයට කෙටියෙන් සන්නස ලියා තිබේ. පරණවිතාන මහතා පවසන්නේ තම ආඥාවක් යටතේ ලියවුණු ලේඛණයකින් තමන් ගැන තමන්ම සඳහන් කරන රජකු මුල්වරට හමුවූයේ පනාකඩුව තඹ සන්නසින් බව යි.

අප්පුහාමි ඇතුලු පවුලේ උදවිය. (lakdivanews.com)

බුදල්නා තමන්ට කළ උපකාරය ගැන සන්නසෙහි මෙසේ සදහන් වේ; ‘‘රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන් අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජෝත්තමයාණන් වහන්සේ ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා මුල් පල ආහාරවලින් පෝෂණය කොට පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා’’.

අප්පුහාමි හට රු.500ක ත්‍යාගය ලැබීම ගැන ලංකාදීප පුවත්පතේ පලවූ ලිපිය (lakdivanews.com)

මහලු වයසෙහි සිටි බුදල්නා හට මෙම සන්නස ප්‍රදානය කර ඇත්තේ ක්‍රි.ව. 1087 හෝ ඊට අසන්න වර්ෂයක විය යුතු යි. එතැන් පටන් එකිනෙකා අතට පත්ව අවසන කුඹුරකින් මෙම සන්නස අප්පුහාමි අතට පත් වන්නේ ඉන් වසර 850කටත් පසුව යි. දිනක් අප්පුහාමිගේ නිවසට පැමිණි කිහිපදෙනෙක් මෙම සන්නස සොයාගැනීම නිසා අප්පුහාමිට ලබාදෙන ත්‍යාගය ගැන කතාබහ කළේ ය. ලබා දෙනවාට කැමති ඉඩම් අක්කර 50ක් ද නැතහොත් රුපියල් 500ක්දැ යි අප්පුහමිගෙන් ඇසූ විට අප්පුහාමි පිළිතුරු දුන්නේ රුපියල් 500 ලැබීමට කැමති බව යි. ඉන් ටික දිනකට පසු ඩි.එස්. සේනානායක අතින් අප්පුහාමිට රුපියල් 500 ලැබුණි. මුදල් මෙසේ ලැබුණත් අප්පුහාමි ඇතුළු පවුල ගොවිතැන අතහැරියේ නැත. පනාකඩුව තඹ සන්නස ගැන පාසල් පෙළ පොත්වල පවා සදහන් වුව ද මෙම සන්නස සොයා ගත ආකාරය ගැන දන්නේ අතලොස්ස යි. මෙම ලිපිය එම අඩුපාඩුව පිරිමැහිම සදහා යි.

මුලාශ්‍රයයන්:

1)ඉතිහාසයක් වෙනස්කළ පනාකඩුව තඹ සන්නස - lakdivanews.com

2) පනාකඩුව තඹ සන්නස - දේව මයිකල් ද සිල්වා

3)කළගුණ දත් පළමු වන විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස - දිවයින පුවත්පත

කවරයේ පින්තූරය - පනාකඩුව තඹ සන්නසෙහි ඡායාරූපයක් (lakdivanews.com)

Related Articles

Exit mobile version