නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බිසන්ටියන් අධිරාජ්‍යය කඩා වැටීමට පටන් ගැනීමත් සමග සුළු ආසියාවේ අලුත් බලවේගයක් ඉස්මතු වුණා. ඒ ඔටෝමන් තුර්කිවරු යි. මොන්ගොල් ආක්‍රමණ හේතුවෙන් මධ්‍යම ආසියාවෙන් සංක්‍රමණය වූ තුර්කික් ගෝත්‍රයක් වූ ඔටෝමන්වරු, තමන්ට පෙර පැමිණි සෙල්ජුක්වරුන්ට වඩා ඉස්ලාමයට සමීප කොටසක් වුණා. ඔවුන් වැදගත් ලෙස සැලකූයේ ඉස්ලාමීය නොවන කණ්ඩායම් සමග සටන් කර ඔවුන් විනාශ කිරීම යි.
1204 දී බිඳ වැටුණ බිසන්ටියම 1261 දී ප්‍රතිස්ථාපනය කළ පසු ඔවුන් බෝල්කන් ප්‍රදේශ සමහරක ද සිය බලය පැතිර වූවා. එහෙත්, තුර්කි ගෝත්‍ර තවදුරටත් සුළු ආසියාව කරා පැමිණෙමින් තිබුණා. මෙසේ පැමිණි ඔටෝමන්වරු බිසන්ටියම් දේශසීමාව අසල කුඩා ප්‍රදේශයක සිය පාලනය තහවුරු කරගත්තේ 14 වන සියවස මුල දී යි.
ඔටෝමන්වරුන් මුලින්ම යුරෝපයේ බලය තහවුරු කරගත්තේ 1354 දී ගැලිපොලි අල්ලා ගැනීමෙන්. මීළඟ දශකයක කාලය තුළ අද්‍රියනෝපල් (වර්තමාන එඩර්නා), ප්ලොව්දිව් ආදී ප්‍රදේශයන් හි බලය ඔටෝමන්වරුන් අතට පත් වුණා. පළමුවන මුරාද් සුල්තාන් ධුරයට පත් වූ පසු අද්‍රියනෝපල් නගරය ඔටෝමන් අගනුවර බවට පත් කරනු ලැබුණා.
ඔටෝමන්වරුන් විසින් අල්ලා ගත් ප්‍රදේශයන්ට බටහිරින් සර්බියානු පාලනය යටතේ වූ ප්‍රදේශයන් වුණා. මේ අනුව, ඔටෝමන්වරුන්ට මීළඟ අභියෝගය වූයේ සර්බියාව යි. ඔටෝමන්වරුන් තර්ජනයක් වීමට පෙර ඔවුන් පරාජය කිරීමට මෙහි දී සර්බියානුවන් සැලසුම් කළා.
1371 දී, මුරාද්ගේ හමුදා සුළු ආසියාවේ රැඳී සිටි අවස්ථාවක සර්බියාවේ වුකසින් රජු අද්‍රියනෝපල් දෙසට විශාල සේනාවක් සමග පැමිණියා. ඇතැම් අනුමානයන්ට අනුව සර්බ් සේනාංකය 70,000ක් තරම් විශාල වුණා. මෙම පිරිස මරිට්සා නදිය අසබඩ කඳවුරු බැඳගත්තා.
මෙම සේනාංකයට මුහුණ දීමට තරම් තුර්කි සේනාංකයක් ඔවුන්ගේ යුරෝපීය පාලන ප්‍රදේශයන් හි වූයේ නැහැ. එහෙයින් වුකසින් රජු ද තම කඳවුරට විශාල රැකවල් යෙදීමක් කළේ නැහැ. මෙය ඔහු විසින් කළ බරපතල වරදක් වුණා. 1371 සැප්තැම් බර් 26 වන දා රාත්‍රියේ දහසක පමණ තුර්කි අසරුවන් පිරිසක් සර්බ් කඳවුරට කඩාවැදී මහත් ව්‍යසනයක් සිදුකළා. වුකසින් රජු ද මරණයට පත් වූ අතර, විශාල සර්බ් පිරිසක් මියගියේ දියේ ගිලීමෙන්.
සර්බියන් රදලයින් රැසක් මෙම සටනින් මියගිය අතර මෙහි ප්‍රතිඵලය ලෙස, ඉතිරි වූ බොහෝ සර්බ් රදලයින් තුර්කීන්ට යටහත් පාලකයින් බවට පත් වුණා. මේ අතර එක් අයෙකු වූයේ මොරේවියානු සර්බියාවේ (මොරාවා නදිය අසබඩ සර්බ් ප්‍රදේශ) ලසාර් කුමරුවා යි.
කෙසේ වෙතත්, 1380 දශකය මැද දී මුරාද්ගේ සේනාංක යළිත් සුළු ආසියානු ප්‍රදේශයන් හි සිටිය දී ලසාර් තුර්කි අධිපතීත්වයට එරෙහිව කැරලි ගැසුවා. ඔහු සමග තවත් සර්බ් කුමරුවන් ද එක් වුණා. 1386 දී ප්ලොච්නික් සටනේ දී ලසාර් විසින් කුඩා තුර්කි හමුදාවක් පරාජය කළා. ඉන් දෙවසරකට පසු, 1388 දී තවත් තුර්කි සේනාවක් සර්බියානුවන් අතින් පරාජය වුණා. මේ අතර තුර්කි බලයට එරෙහි වූවන් ලසාර් කෙරෙහි බලාපොරොත්තු වර්ධනය කරගන්නට වුණා. ඔහු සර්බ් මෙන්ම වෙනත් රදලයන් ද සහිත පුළුල් සන්ධානයක් ගොඩනැගුවා.
මුරාද් මෙම තර්ජනය අවසානයක් කරන අටියෙන්, සිය පුත්‍රයින් වූ බයසිඩ් සහ යාකුබ් සමග විශාල හමුදාවක් රැගෙන 1389 දී සර්බියාව වෙත පැමිණියා. ඔවුන් ජූනි මාසයේ දී ප්‍රිස්ටීනා නගරය කරා ළඟා වුණා. ඔවුන් සමග සටන් වැදීමට පැමිණි සර්බියානුවන් නගරයට තරමක් ඈතින් කොසොවෝ තැනිතලාවේ ස්ථානගත වුණා.
දෙපාර්ශවයේ හමුදා
දෙපාර්ශවයේ හමුදා ශක්තීන් පිළිබඳ විවිධ අනුමානයන් තිබෙනවා. සාමාන්‍යයෙන් විශ්වාස කරනුයේ තුර්කි සේනාංකය වඩා විශාල වූ බව යි. එය 30,000 – 50,000ක් අතර වන්නට ඇතැ යි අනුමාන කෙරෙන අතර, සර්බියානු සේනාංකය 30,000කට වඩා විශාල නොවූ බව යි විශ්වාස කෙරෙන්නේ.
තුර්කි හමුදාවේ සැහැල්ලු අසරුවන් ද, සෙපාහි අශ්වාරෝහකයන් ද වූ අතර සාමාන්‍ය පාබල සේනා මෙන්ම එයට දශක කිහිපයකට පෙර මුලින්ම පිහිටුවන ලද බව කියන ජැනිසරි විශේෂ බලකායන් ද වුණා. සුල්තාන්ගේ ආරක්ෂක බලකාය වූ ඔවුන්ට පාබල සහ අසරු ඒකක සිටියා.
මේ අතර සර්බ් හමුදාව යුරෝපීය පන්නයේ එකක් වුණා. එහි අසරුවන් ද, පාබල සේනා ද වුණා. සර්බ් සේනාවේ මධ්‍යය ලසාර් විසින් මෙහෙය වූවා. එහි ඉදිරිපෙළ අසරුවන් ද, දෙවන පෙළ පාබල සේනාංක ද වුණා. සර්බ් සේනාවේ වම් පස ව්ලැට්කෝ වුකොවිච් විසින් ද, දකුණුපස වුක් බ්‍රැන්කොවිච් විසින් ද මෙහෙයවනු ලැබුණා. බ්‍රැන්කොවිච් යනු එම ප්‍රදේශයේ සර්බ් රදල පාලකයා වුණා.
ඔටෝමන් සේනාවේ මධ්‍යයෙහි මුරාද් වූ අතර එහි වම්පස යාකොව් ද, දකුණුපස බයසිඩ් ද සිටියා. සේනාවේ ඉදිරිපෙළ දුනුවායන් ස්ථානගත කෙරුණා. ඔවුන් කුඩා ආරක්ෂිත අගලක් සාරා, එහි ලී දඬු සවිකර ආරක්ෂිත වැටක් තනා තිබුණා.
දෙපාර්ශවයේම හමුදා සතුව කාලතුවක්කු තිබුණ අතර, ඒවා සේනාංකයන් හි මධ්‍යයට වන්නට ස්ථානගත කෙරුණා.
1389 ජූනි 15 වන දා කොසොවෝ සටන සටන ඇරඹුණේ සර්බ් කාලතුවක්කු ප්‍රහාරයකින්. එහෙත් දුර හේතුවෙන් එයින් ප්‍රතිවාදියාට හානියක් සිදුවූයේ නැහැ. තුර්කි කාලතුවක්කු ප්‍රහාර ද එලෙසම අසාර්ථක වුණා. මේ අවස්ථාවේ තුර්කි දුනුවායන් ඉදිරියට යැවුණා. සර්බියානු අසරුවන් වේගයෙන් ඔවුන් කරා කඩාවැදී ඔවුන් පසුබැස්සවීමට කටයුතු කළා. මේ අවස්ථාවේ තුර්කි සේනා ඉදිරියට පැමිණ සර්බ් අසරුවන් හා ගැටුණා.
බ්‍රැන්කොවිච්ගේ සර්බ් සේනා යාකුබ්ව පසුබැස්වීමට සමත් වෙද්දී බයසිඩ්ගේ තුර්කි සේනා අපහසුවෙන් වුකොවිච්ව පසුබැස්වීමට සමත් වුණා. මේ අවස්ථාවේ ලසාර් සිය හමුදාව සමග තුර්කි සේනාවේ මධ්‍යය දෙසට පැමිණියා. සටනේ තීරණාත්මක අවස්ථාවක් මෙසේ උදා වුණා. ලසාර් සටනෙහි වැඩි වාසි තමන් අතට ගෙන තිබුණ අතර, මුරාද් චකිතයට පත් වුණා.
මේ අවස්ථාවේ සටන නොසිතූ විරූ දෙසකට යාමට හේතු වූ කරුණු කිහිපයක් සිදුවුණා.
සර්බියාවේ දකුණත පස වූ වුක් බ්‍රැන්කොවිච්, සිය හමුදාව සමග සටනින් ඉවත්ව ගියා. ඔහු තුර්කි සේනා සමග රහස් ගිවිසුමක් අනුව එසේ පසුබැස්සේදැ යි පැහැදිලි නැහැ. ඔහුව විවේචනය කරන්නන් දරන අදහස එය යි. නමුත්, ඔහුව සාධාරණීකරණය කරන්නන් සඳහන් කරන්නේ ඔහු දීර්ඝ සටනක් සඳහා සිය හමුදා ආරක්ෂා කරගැනීමට බ්‍රැන්කොවිච් සමත් වූ බව යි.
කෙසේ වෙතත්, මෙම අනපේක්ෂිත සිද්ධිය සමග සටන කණපිට හැරෙන අවදානමක් මතු වුණා. යාකුබ්ගේ සේනා සර්බ් මධ්‍යයේ වූ ලසාර්ගේ හමුදාවන්ට පසෙකින් පහර දෙන්නට වුණා. කෙමෙන් සර්බ් හමුදාව පසුබස්වනු ලැබුණ අතර, තුර්කීන් ඔවුන්ව වටලන්නට පටන් ගත්තා.
මේ අවස්ථාවේ තවත් අනපේක්ෂිත සිදුවීමක් වුණා. තුර්කි හමුදා සිය සම්පූර්ණ ශක්තියෙන් සර්බ් සේනාංකවලට පහර දෙද්දී මුරාද් අනාරක්ෂිත වුණා. මෙය නිරීක්ෂණය කළ සර්බ් නයිට්වරුන් කිහිප දෙනෙකු සතුරු සේනා මැදින් කපා ගෙනවිත් මුරාද් සිටින ඉසව්වට පැමිණියා. ඔවුන් විසින් මුරාද් මරා දැමුණා.
මෙසේ මුරාද්ව මරා දමන ලද්දේ මිලොස් ඔබෙලිච් බව යි කියවෙන්නේ. ඔබෙලිච් ද එම ප්‍රහාරයේ දී මියගියා.
කෙසේ නමුත්, මුරාද්ගේ මරණයෙන් සටනෙහි ප්‍රතිඵලය වෙනස් වූයේ නැහැ. ඒ වන විට ද සර්බ් සේනා වට කරනු ලැබ තිබුණෙන්, එම සේනා විනාශ කරනු ලැබුණා. ලසාර් ද මෙහි දී මරණයට පත් වුණා.
ලසාර් සහ ඔබෙලිච් යන දෙදෙනාම සර්බියානු ඕර්තඩොක්ස් පල්ලිය විසින් සාන්තුවරයින් ලෙස සලකනු ලබනවා.
කොසොවෝ සටනේ ප්‍රතිඵල
බ්‍රැන්කොවිච්ගේ සේනාංක හැර සම්පූර්ණ සර්බ් සේනාවම මෙම සටනේ දී විනාශ වූ නමුත්, තුර්කීන්ට ද මෙහි දී විශාල ජීවිත හානි සිදුවුණා. සටනින් පසු තුර්කීන් ද කොසොවෝ තැනිතලාවෙන් පසුබැස්සා. යාකුබ්ව ඝාතනය කළ බයසිඩ් ඔටෝමන් කිරුළ තමන් අතට ගත්තා.
ඔටෝමන් පාලනයට අවනත නොවී තිබුණු බොහෝ සර්බ් කුමරුවන් ද ඔවුනට අවනත වුණා. ඔවුන්ට වෙනත් විකල්පයක් වූයේ ද නැහැ. ඔවුන්ගේ හමුදා සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබීම ඊට හේතුව යි. තුර්කීන්ට තවමත් හමුදා ඉතිරිව සිටි අතර, හමුදා බඳවා ගැනීමට ද හැකියාව තිබුණා. සර්බියානුවන්ට එවැනි අවස්ථාවක් වූයේ නැහැ.
මේ අනුව, සටනින් දෙපාර්ශවයටම බරපතල හානි සිදුවුව ද, සර්බියාවට එයින් වැඩි අවාසි සිදුවූයේයැ යි සැලකෙනවා.