දෙවන ලෝක යුද්ධයේදී ආසියාව (තෙවන කොටස) – සිංගප්පූරුව ජපන් හමුදා අතට​

ජපානය දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ වුණේ පැය ගණනක් ඇතුළත ස්ථාන කිහිපයකටම යුධ ප්‍රකාශයකින් තොරව පහර දීමෙන්. පර්ල් හාබර්, හොංකොං සහ පිලිපීනය ඒ අතර වුණා. ජපනුන් ඒ සමඟම පහර දීපු ප්‍රදේශයක් වුණේ මලයා අර්ධද්වීපය යි.

අප කළින් ලිපියක දුටු ආකාරයට බ්‍රිතාන්‍යයන් තමන්ට හොංකොං ආරක්ෂා කිරීම අපහසු බව තේරුම් අරගෙන එහි කුඩා හමුදාවක් පමණක් රඳවන්නට කටයුතු කළා. මේ නිසා 1941 දෙසැම්බර් 8 වනදා හොංකොං වෙත එල්ල වූ මුල් ප්‍රහාරයෙන් සති තුනක් යාමට මත්තෙන් එම ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය හමුදා යටත් වුණා.

(මෙම ලිපි පෙළෙහි කොටස් එක, දෙක, හතර සහ පහ මෙම සබැඳි හරහා ඔබට කියවන්නට පුළුවන්.)

නමුත් මලයාව සහ සිංගප්පූරු දූපත පිළිබඳ බ්‍රිතාන්‍යයන් තුළ විශාල බලාපොරොත්තුවක් තිබුණා. විශේෂයෙන් ම මලක්කා සමුද්‍ර සන්ධිය පාලනය කිරීම සඳහා මෙම ස්ථාන ඉතා වැදගත් වුණා.

එකළ මලයාවෙත් සැළකිය යුතු බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල හමුදා සේනාංක රඳවා තිබුනු අතර සිංගප්පූරුව සළකනු ලැබුණේ ආසියාවේ ජිබ්‍රෝල්ටාව නමින්. ඒ අප්‍රිකාව සහ යුරෝපය අතර පිහිටි ශක්තිමත් බලකොටුවක් මෙන්ම සුවිසල් පර්වතයක් වූ ජිබ්‍රෝල්ටාව සිහි කරමින්. සිංගප්පූරුවේ තනි විශාල බලකොටුවක් නොවූවද කාලතුවක්කු බල ඇණි රඳවා තිබූ කුඩා බලකොටු දහයකට වැඩි ප්‍රමාණයක් එහි තිබුණා. මලක්කා සමුද්‍ර සන්ධිය පාලනය කිරීමේදී එය ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වුණා. මේ බලකොටු බොහොමයක් සමුද්‍රය දෙසින් එන ප්‍රහාරයක් සඳහා තමයි සූදානමින් සිටියේ.

සිංගප්පූරුව පාලනය කිරීම මගින් කලාපය පාලනය කරන්නට හැකි වුණත් යම් ආකාරයකින් මලයාව දෙසින් ප්‍රහාරයක් එල්ල වුවහොත් සිංගප්පූරුව ආරක්ෂා කරගැනීම එතරම් පහසු නොවන බව බ්‍රිතාන්‍යයන් තේරුම් ගත්තා. ඒ හේතුව නිසා ඔවුන් මලයාවේ ද ආරක්ෂාව තර කළේ හමුදා සේනාංක එහි රඳවමින්. කෙසේ නමුත් විශාල ප්‍රහාරයක් හමුවේ මෙම ප්‍රදේශය ආරක්ෂා කිරීමට නම් අමතර ආධාරක හමුදා අවශ්‍ය බවද මෙහිදී පැහැදිලි වුණා.

මේ අතර ජපනුන් කරන්නට බලාපොරොත්තු වූයේ ද බ්‍රිතාන්‍යයන් බිය වූ දෙයමයි. එනම් මලයාව ඔස්සේ සිංගප්පූරුවට පහර දීමයි. ජපනුන් මේ සඳහා කළක පටන් සූදානම් වෙමින් සිටියා. මලයාවේ සිටි බ්‍රිතාන්‍ය විරෝධී කණ්ඩායම් සමඟ සබඳතා ඇතිකරගත් ජපනුන් ඔවුන් මාර්ගයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය හමුදා රැඳී සිටින ස්ථානයක් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත් අතර මලයාවේ හොඳ තත්ත්වයේ සිතියම් ද ඔවුන් පිළියෙල කරගත්තා.

1940 ජූනි මාසයේදී ප්‍රංශය ජර්මනියට යටත් වූ පසු එවකට ප්‍රංශය යටතේ වූ ඉන්දු චීනයට ජපන් හමුදා යවනු ලැබුණා. මේ අනුව නීත්‍යානුකූලව ඉන්දු චීනය තව දුරටත් ප්‍රංශයේ නව රජය යටතේ පැවතුණා. (මෙම රජය හඳුන්වන ලද්දේ විචි ප්‍රංශය යනුවෙන්. එසේ හඳුන්වන ලද්දේ එම නව රජයේ අගනුවර විචි නම් නගරයේ පිහිටවන ලද හෙයින්). නමුත් ජපන් හමුදා එම ප්‍රදේශ නිදහසේ භාවිත කළා.

1941 නොවැම්බර් වනවිට විශාල ජපන් සේනාංක එම ප්‍රදේශය කරා පැමිණෙන බව බ්‍රිතාන්‍යයන්ට ද වාර්තා වුණා. මේ අනුව ළඟදීම මලයාවට පහර දීමක් සිදු වනු ඇතැයි යන බිය ද මතු වුණා.

මේ අතර ජපානය විසින් තායිලන්තයට ද බලපෑම් කර තම යුධ ව්‍යාපාරයට සහය දීමට පොළඹවා ගත්තා. තායිලන්තය ද නිල වශයෙන් ජපානයට යටත් නොවූව ද දෙවන ලෝක යුධ සමයේදී තායිලන්තය හරහා ජපන් හමුදා නිදහසේ ගමන් කළා.

ජපානය විසින් මලයාව ආක්‍රමණය​

ජපන් හමුදා විසින් මලයාව ආක්‍රමණය කරන ලද්දේ 1941 දෙසැම්බර් 8 වනදා යි. මලයාවේ නැගෙනහිර වෙරළේ කොටා භාරු ප්‍රදේශයට ඉන්දු චීනයේ සිට පැමිණි සේනාංක ගොඩ බැස්ස අතර දකුණු දිග තායිලන්තය හරහා ගිය අනෙකුත් සේනාංක බටහිර මලයාවට ඇතුලු වුණා.

මලයාවේ බොහෝ ප්‍රදේශ වනගහනයෙන් යුතු වූ අතර පුලුල් මාර්ග තිබුණේ අඩුවෙනි. එහෙයින් ප්‍රවාහනය අපහසු වුනු අතර මේ හේතුව නිසා ම​, ජපන් හමුදා එතරම් වේගයෙන් මලයාව හරහා එනු ඇතැයි බ්‍රිතාන්‍ය හමුදා බලාපොරොත්තු වුනේ නැහැ​.

නමුත් ජපන් සේනාංක ගමනාගමන අපහසුතා මග හරවා ගැනීමට උපක්‍රමයක් සොයා ගත්තා. ඒ බයිසිකලය යි. ජපන් භටයින් බයිසිකල්වල නැගී පටු මාර්ග ඔස්සේ ද සැළකිය යුතු වේගයකින් ගමන් කළා. ඒ වගේම බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ් ඩලීය හමුදා සිටින ස්ථාන ගැන ඔවුනට අවබෝධයක් තිබුණු නිසා බලාපොරොත්තු නොවූ අවස්ථාවල බලාපොරොත්තු නොවූ ස්ථානවලින් මතු වී ප්‍රහාර එල්ල කරන්නට ජපනුන් සමත් වුණා.

ඔස්ට්‍රේලියානු යුධ ටැංකි නාශක කණ්ඩායමක් මලයාවේ (Public Domain)

ඒ වගේම මලයාවට ඉහළ අහසේ ගුවන් බලය ජපන් ගුවන් හමුදා අතට පත්වීමත් ඔවුනට විශාල වාසියක් වුණා.

1942 ජනවාරි මැද වනවිට බ්‍රිතාන්‍ය හමුදා මලයාවේ දකුණුදිග ජොහෝර් ප්‍රදේශයට පසු බැස්ස අතර මෙම අවස්ථාවේ ඔස්ට්‍රේලියානු 8 වන ඩිවිෂනයේ ආගමනයත් සමඟ ජපන් ප්‍රහාර වේගය තරමක් දුරට අඩාල කෙරුණා. නමුත් එමගින් සැලකිය යුතු තරම් විශාල වාසියක් නම් සැළසුනේ නැහැ.

මලයාවේ සහ සිංගප්පූරුවේ අණදෙන නිලධාරියා වූ ලුතිනන් ජෙනරාල් ආතර් පර්සිවේල් තම හමුදා සිංගප්පූරුව කරා පසු බස්වන්න අවසර ලබාගත්තා. මේ අනුව 1942 ජනවාරි 31 වනවිට අන්තිම පොදු රාජ්‍ය මණ්ඩල සේනාංකයත් සිංගප්පූරුවට පසු බැස්සා. ඉන් පසු සිංගප්පූරුව සහ මලයාව අතර වූ කෝසුවද (Causeway) පුපුරවා දමනු ලැබුණා.

සිංගප්පූරුව යටත් වෙයි

මලයාවෙන් පසු බැස පැමිණි සේනාංක ද සමඟ 85,000 ක පමණ විශාල හමුදා පිරිසක් ඒ වන විට සිංගප්පූරුවට එක් රැස් ව සිටියා. එනම්, පිරිස් ශක්තිය අතින් ඔවුන් ප්‍රබල තත්ත්වයක සිටියේ නැහැයි කියන්නට බැහැ. නමුත් එම සේනාංක සිටියේ බෙහෙවින් අධෛර්යයට පත් වූ මානසික තත්ත්වයකයි. එමෙන්ම ප්‍රදේශයේ නාවික සහ ගුවන් බලය ජපානය අතට පත් වෙමින් පැවතුණ අතර බාහිරින් උපකාර ලබාගැනීමේ ක්‍රමවේදයක්ද තිබුණේ නැහැ.

අඟල් 15 වෙරළාරක්ෂක කාලතුවක්කුවක් (Public Domain)

සිංගප්පූරුවට ජපන් ප්‍රහාරය ආරම්භ වූයේ පෙබරවාරි 8 වනදා යි. ජපන් හමුදා එම දූපතට ගොඩ බැස්ස අතරම බ්‍රිතාන්‍ය හමුදාද කෙමෙන් කෙමෙන් පසු බසින්නට වුණා. පෙබරවාරි 15 වනදා බ්‍රිතාන්‍ය හමුදා ජපානයට යටත් වුණා. මේ අනුව 80,000 ක් පමණ බ්‍රිතාන්‍ය, ඉන්දියානු, ඔස්ට්‍රේලියානු ආදී යුධ සිරකරුවන් පිරිසක් ජපනුන් විසින් අල්ලාගනු ලැබුණා.

එවකට අගමැති වින්ස්ටන් චර්චිල් විසින් මෙම යටත් වීම හඳුන්වනු ලැබුණේ බ්‍රිතාන්‍ය යුධ ඉතිහාසයේ සිදු වූ දරුණුතම ව්‍යසනය ලෙසයි.

නෙදර්ලන්ත ඉන්දීය දූපත් හෙවත් ඉන්දුනීසියාව​

එවකට නෙදර්ලන්තයේ යටත් විජිතයක් වූ වර්තමාන ඉන්දුනීසියාව දෙසට ද ජපන් හමුදා 1941 දෙසැම්බරයේදී ම පහර දුන්නා. එහිදී ද වැදගත් සටන් කිහිපයක් සිදු වූ නමුත් මුල දී ප්‍රධාන අවධානය යොමු වූයේ මලයාව සහ සිංගප්පූරුව වෙතයි​. කෙසේ නමුත් සිංගප්පූරුව යටත් වීමෙන් පසු අවධානය එම ප්‍රදේශයටත් යොමු වුණා.

පෙබරවාරි 27 වනදා සිදු වූ ජාවා මුහුදේ සටන මෙම කලාපයේ සිදු වූ ප්‍රධානම නාවික සටනක් වනවා. එහිදී නෙදර්ලන්ත​, බ්‍රිතාන්‍ය​, ඇමරිකන් සහ ඔස්ට්‍රේලියානු නාවික හමුදාවලට අයත් යාත්‍රා කණ්ඩායමක් ජපනුන් අතින් අන්ත පරාජයක් ලැබුවා. එයින් පසු මෙම ප්‍රදේශය ද පහසුවෙන් ම ජපනුන් අතට පත් වුණා.

මේ අතර මාර්තු මාසයේදී බ්‍රිතාන්‍ය ඉන්දියාවට අයත් වූ අන්දමන් දූපත් ජපන් හමුදා විසින් අත්පත් කරගත්තා. ඉන් පසුව ඔවුන් ගේ ඉලක්කය වූයේ ඉන්දියන් සාගරයේ බලය අල්ලා ගැනීමයි. ඒ සඳහා ඔවුන් සැලසුම් කළේ ලංකාවට පහර දී අල්ලා ගැනීමයි.

ඒ පිළිබඳ මෙම ලිපි පෙළේ ඊළඟ ලිපියෙන් අපි ඔබ වෙත කරුණු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍ර​

wikipedia.org

Cover Image: සතුරු  ගුවන් යානාවකට වෙඩි තැබීමට සැරසෙන ජපන් සොල්දාදුවෙක්  (Getty Images/Hulton Archive)

Related Articles

Exit mobile version