පළමුවන ලෝක යුද්ධයේ සටන්වලින් වැඩි ප්‍රමාණයක් සිදු වූයේ යුරෝපයේ යි. නමුත් වෙනත් ප්‍රදේශයන්වලත් සටන් පෙරමුණු කිහිපයක්ම ඇති වුණා. ඈත පෙරදිග ප්‍රදේශයේ ජපන් හමුදාවල ක්‍රියාකාරීත්වය යුද්ධයේ මුල් කාලයේ වැදගත් වුණා.
යුද්ධයේ අවසන් මාසවල ජපන් හමුදා යළි සටනට අවතීර්ණ වූයේ රුසියාවේ ව්ලැඩිවොස්ටොක් වෙත ගොඩබැසීම සමග යි. පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුවත් ජපන් හමුදා වසර කිහිපයක්ම රුසියාවේ සිවිල් යුද්ධයට සම්බන්ධ වී සිටියා.
ජපානයේ පරිවර්තනය
ජපානය සියවස් දෙකකට වැඩි කාලයක් තිස්සේ බාහිර ලෝකයෙන් වෙන්ව තිබුණු රාජ්‍යයක් වුණා. මේ තත්ත්වය වෙනස් වූයේ 1853 දී ඇමරිකානු කොමදෝරු මැතිව් පෙරී ජපන් රජයට බලපෑම් කර වරායයන් කිහිපයක් වෙළෙඳාම සඳහා විවෘත කරගැනීම සමග යි. බාහිර ලෝකය සමග සබඳතා වර්ධනය වන විට සමාජය වෙනස් වන්නට වුණා. ඒ සමගම එතෙක් පැවති තොකුගාවා ෂෝගුනේටයේ පාලනයට එරෙහිව අධිරාජයා යළි බලයට ගෙන ඒමේ උත්සාහයක් මතු වුණා. මෙම ක්‍රියාවලිය සිවිල් යුද්ධයකින් කෙළවර වූ අතර තොකුගාවා ෂෝගුනේටය 1868 දී අවසන් වුණා.
කියවන්න: ජපන් අධිරාජ්‍යයා යළි බලයට ගෙනා මෙයිජි ප්‍රතිසංස්කරණ
මෙම ක්‍රියාවලියෙන් පසුව ජපානය නවීකරණය වීම වේගවත් වුණා. 1868 දී අධිරාජ්‍යයීය ජපන් යුධ හමුදාව සහ අධිරාජ්‍යයීය ජපන් නාවික හමුදාව පිහිටුවනු ලැබුණා. මේ සමගම සාම්ප්‍රදායිකව යුද්ධයෙහි යෙදුණ සමුරායි පැළැන්තියෙන් පරිබාහිරව යුධ හමුදාවට සෙබළුන් බඳවා ගැනුණා. රටෙහි වූ ඇතැම් අනෙකුත් වෙනස්කම් ද පැරණි සමුරායිවරුන්ගේ නොසතුටට හේතු වුණා. මේ හේතුවෙන් සමුරායිවරුන් කිහිප විටෙකම විරෝධතා දැක්වූ අතර සත්සුමා කැරැල්ල එහි අවසන් ප්‍රධාන කැරැල්ල ලෙස සලකනු ලබනවා.
කියවන්න: සමුරායිවරුන්ගේ අවසන් සටන: සත්සුමා කැරැල්ල
මෙම සිද්ධීන් ගෙන් පසු ජපන් හමුදා ශක්තිය ඉහළ නංවන ලද අතර එරට කාර්මීකරණය ද වේගවත් වුණා. 1890 දශකයේදී මෙම සංවර්ධනය බෙහෙවින් වේගවත් වුණා.
1894 දී ජපානය සහ චීනය යුද්ධයකට පැටළුණා. එහිදී ජපන් හමුදා විසින් දුර්වල චීන හමුදා පරාජයට පත් කළා. ෆෝර්මෝසා දූපතෙහි බලය ඔවුන් අතට පත් වූ අතර කොරියාවේ ද ජපන් බලපෑම ප්‍රබල වුණා.
ජපානය පළමු වතාවට යුරෝපා රටක් සමග අරක්ෂක සන්ධානයක් ස්ථාපිත කරගනු ලැබුවේ 1902 දී. ඒ බ්‍රිතාන්‍යය සමග යි. මේ අතර මැන්චූරියාවෙහි සිය බලය පැතිරවීමා පිළිබඳව ඇති වූ තරගය හේතුවෙන් 1904 දී ජපානය සහ රුසියාව යුධ වැදුණා. මෙහිදී ජපානය විසින් රුසියාව පරාජය කරන ලද්දේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරින්.
1912 දී ජපානය සහ බ්‍රිතාන්‍යය අතර මිත්‍රත්ව ගිවිසුම තවත් දශකයකට දිගු කරනු ලැබුණා. මේ අනුව පළමු ලෝක යුද්ධය ඇරඹෙන අවස්ථාව වන විට ජපානය සහ බ්‍රිතාන්‍යය අතර හොඳ මිත්‍රත්වයක් ගොඩනැගී තිබුණා.
ජර්මනිය සමග යුද්ධය
පළමු ලෝක යුද්ධය ඇරඹෙන අවස්ථාව වෙද්දී ජර්මනිය සතුව ආසියාවේ සහ පැසිෆික් සාගරයේ යටත් ප්‍රදේශ කිහිපයක් තිබුණා. චීනයේ ට්සිංග්ටාඕ අර්ධද්වීපය මෙයින් ප්‍රධාන වුණා. ජර්මන් නැගෙනහිර ආසියානු නාවික බල ඇණියෙහි මූලස්ථානය වූයේ එය යි. මීට අමතරව ජර්මන් නව ගිනියාව, ජර්මන් මයික්‍රෝනීසියාව (නාවුරු, මාර්ෂල් දූපත්, මරියානා දූපත්, කැරොලයින් දූපත්) සහ ජර්මන් සැමෝවාව ද ජර්මන් යටත් ප්‍රදේශ වුණා.
ජපානය යුද්ධයට සම්බන්ධ වීමට පෙරම නාවික බල ඇණිය ට්සිංග්ටාඕ ප්‍රදේශයෙන් ඉවත්ව ගියා. මෙහි එක් නෞකාවක් වූ එම්ඩන් නෞකාව ඉන්දියන් සාගරයේ මිත්‍ර පාක්ෂික නෞකාවලට පහර දීමට යවනු ලැබුණා. ඉතිරි නෞකා කිහිපය පැසිෆික් සාගරය ඔස්සේ අත්ලාන්තික් සාගරය වෙත පැමිණ එතැනින් ජර්මනිය කරා යාමට දිගු සහ අවදානම් ගමනකට පිටත් වුණා.
යුද්ධය ඇරඹුණ අවස්ථාවේම දකුණුදිග පැසිෆික් සාගර ප්‍රදේශයෙහි වූ ජර්මන් යටත් විජිත ඔස්ට්‍රේලියානු හෝ නවසීලන්ත හෝ හමුදා විසින් අල්ලාගනු ලැබුණා.
ජපානය ජර්මනියට එරෙහිව 1914 අගෝස්තු 23 වනදා යුධ ප්‍රකාශ කළා. චීනයේ ජර්මන් පාලනය යටතේ වූ ට්සිංටාඕ ප්‍රදේශය එම මාසය අවසන් වන විට ජපනුන් විසින් නාවික සම්බාධකයකට යටත් කෙරුණා.
1914 ඔක්තෝබර් 17 වනදා නාවික සම්බාධකය බිඳගෙන යාමට උත්සාහ කළ S-90 නම් ජර්මන් ටෝර්පිඩෝ බෝට්ටුව විසින් තකචිහෝ නම් ජපන් යුධ නැව ගිල්වන ලද අතර 271 දෙනෙක් එම ප්‍රහාරයෙන් මිය ගියා. නමුත් S-90 බෝට්ටුවට සම්බාධකය බිඳගෙන යා හැකි වූයේ නැහැ.
ජපන් පාබල සේනා ගොඩබස්වා ට්සිංටාඕ බලකොටුව වටලනු ලැබුණේ 1914 ඔක්තෝබර් 31 වන දා යි. නොවැම්බර් 6 වනදා ජපන් හමුදා බලකොටුව දෙසට ප්‍රහාරයක් දියත් කළ අතර ඉන් පසුදින ජර්මන් හමුදා යටත් වුණා.
ට්සිංටාඕ සටනේ දී වාර්තා වූ විස්මයජනක කතා පුවතක හිමිකරු වූයේ ගුන්තර් ප්ලූෂොව් නම් ජර්මන් ගුවන් නියමුවා යි. ප්ලූෂොව් ට්සිංටාඕ හි වූ එකම ජර්මන් ගුවන් යානය පදවමින් සිය පිස්තෝලයෙන් වෙඩි තබා ජපන් ගුවන් යානයක් බිම දැමූ බව කියනු ලබනවා. ට්සිංටාඕවලින් ගුවනින් පළා ගිය ඔහු චීනයේ ගොඩබැස, ෂැංහයි සහ ඇමරිකාව හරහා ජිබ්‍රෝල්ටාවට පැමිණි බවත්, එහිදී බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් වූ බවත් සඳහන්. බ්‍රිතාන්‍යයේ සිර කඳවුරකට ගෙනයන ලද ඔහු ඉන් පළාවිත් නෙදර්ලන්තය හරහා ජර්මනියට ළඟා වුණා. පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙකේ දීම බ්‍රිතාන්‍ය භූමියේ වූ සිර කඳවුරකින් සාර්ථකව පළා ආ එකම ජර්මානුවා ප්ලූෂොව් බව යි පැවසෙන්නේ.
ට්සිංග්ටාඕ වගේම පැසිෆික් සාගරයේ බටහිර කොටසෙහි වූ ජර්මන් මයික්‍රොනීසියාවේ දූපත් ද ජපනුන් විසින් අල්ලාගනු ලැබුණා. මේ අනුව පළමු ලෝක යුද්ධයේ දී ආසියා පැසිෆික් කලාපයේ සටන් 1914 අවසන් වෙද්දී නිමා වුණා.
සයිබීරියානු මැදිහත්වීම
1914න් පසු ජපන් නාවික හමුදාව යුද්ධයට යම් සීමාසහිත ආකාරයකින් දායක වුණා. ඔවුන් මිත්‍ර පාක්ෂික වෙළෙඳ නැව් සඳහා ආරක්ෂාව සැපයීමෙහි නිරත වුණා. මුලින් පැසිෆික් සාගරයේ කටයුතු කළ ඔවුන් පසුව මධ්‍යධරණී මුහුදේ ද මෙම කටයුතු සිදු කළා.
ජපන් හමුදාව බටහිර පෙරමුණෙහි සටන් කිරීම පිළිබඳ එතරම් උද්‍යෝගයක් දැක්වූයේ නැහැ. එහෙයින් එහි හමුදා යැවීමට ඔවුන් කටයුතු කළේ නැහැ.
නමුත් 1918 දී ජපන් යුධ හමුදාව යළිත් යුද්ධයට සම්බන්ධ වුණා. ඒ වක්‍රාකාරයෙන්. 1917 දී රුසියාවේ ඔක්තෝබර් විප්ලවයෙන් පසු එම රට යුද්ධයෙන් ඉවත් වුණා. මෙහිදී චෙකොස්ලොවැකියානු යුධ සිරකරුවන් එකතු කර පිහිටුවා තිබූ චෙකොස්ලොවැකියානු ලීජනය රුසියාව මධ්‍යයේ සිර වුණා. ඔවුන් සූදානම් කෙරුණේ මිත්‍ර පාක්ෂිකයන් වෙනුවෙන් යුධ කිරීම සඳහා යි. මෙම අවස්ථාවේ ඔවුනට රුසියාවෙන් පිට වීමට හැකියාව තිබුණ එකම ක්‍රමය ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය දිගේ ව්ලැඩිවොස්ටොක් වෙත පැමිණීම යි.
කියවන්න: එක්සත් ජනපදය රුසියාව ආක්‍රමණය කරයි!
මෙම අවස්ථාවේ ඔවුන්ට සහාය දැක්වීම සඳහා මිත්‍ර හමුදා ව්ලැඩිවොස්ටොක් වෙත ගොඩ බැස්විය යුතුයැ යි ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් යෝජනා කළා. මේ අනුව ඇමරිකානු සහ ජපන් හමුදා එහි ගොඩ බස්වනු ලැබුවා. ජපන් හමුදා සයිබීරියාවේ තරමක් දුර තම බල ප්‍රදේශය ව්‍යාප්ත කළා.
පළමු ලෝක යුද්ධය අවසන් වූ පසුත් ජපනුන් කලක් මෙම ප්‍රදේශයේ රැඳී සිටියා. ඒ බෝල්ශවික් විරෝධී සුදු හමුදාවන්ට සහාය වීමට යි.