සෑම ඇසළ පෙරහරක දී ම උඩරට සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී දළදා පෙරහරේ තේජස් ආකාරයෙන් ගමන් කරන දියවඩන නිලමේ අපි දකිනවා. ඒ වගේම, දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට රාජ්‍ය නායකයන්, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණි විටත් ඔවුන් සමඟ දියවඩන නිලමේ සිටිනවා. දියවඩන නිලමේ ඇත්තටම කරන්නේ කුමක්ද කියා වැඩිදෙනෙක් දන්නේ නැහැ. අන්න ඒ කාරණය විමසා බලන්නයි මේ ඇසළ මාසේ අපි උත්සාහ කරන්නේ.
දළදා මාලිගයේ ගිහි භාරකරු
දන්ත ධාතූන් වහන්සේ වැඩ වසන කරඬු හතෙන් පළමු කරඬුවේ යතුරේ භාරකාරත්වය තිබෙන්නේ දියවඩන නිලමේවරයා සතුවයි. ඒ, දළදා වහන්සේගේ ගිහි භාරකාරවරයා වන්නේ ඔහු නිසායි. දළදා මාලිගාවේ දෛනික පුද පූජා මෙන් ම වාර්ෂික මංගල්ලයන් ද නිසි ලෙස සිදු කිරීමේ වගකීම ඔහු සතුයි. මාලිගාවේ දේපල ගැන වගකීම් මෙන් ම රාජකාරි හරියට සිදුවේදැයි සොයාබැලීම ද දියවඩන නිලමේගේ රාජකාරියක්. දියවඩන නිලමේ කියන තනතුරක් ගැන ඓතිහාසික පොත්පත්වල නම් සඳහන් වන්නේ නැහැ. එය මුලින් ම හමුවන්නේ මහනුවර යුගයේ ලියවුණු දුනුවිල හටන කියන කවිපොතෙයි.
නිලමේගේ ඇඳුම
දියවඩන නිලමේගේ රාජකාරි ඇඳුම ලෙස සැලකෙන්නේ උඩරට මුල් ඇඳුමයි. තුප්පොට්ටිය, පච්චවඩම, සෝමනය හා කවනිය සඳහා යාර දොළහ බැගින් ගෙන රෙදි යාර හතළිස් තුනකින් මේ මුල් ඇඳුම සකස් කර තිබෙනවා. සාම්ප්‍රදායික මුල් ඇඳුම කොටස් දාහතරකින් යුක්තයි. කුඹල් පෙරහරේ ගමන් කරන විට සුදු පැහැයෙන් තමයි ඔහු සැරසී සිටින්නේ. රන්දෝලි පෙරහරේ දී රන්වන් හෝ උචිත වර්ණයකින් සැරසෙනවා. මුල් ඇඳුම රන් නූලෙන් වියනු ලැබීම ද විශේෂත්වයක්.
රජුට දිය වැඩූ නිලමේ
උඩරට රාජධානි කාලෙ දි මහ දියවඩන නිලමේ, පල්ලෙවාහල දියවඩන නිලමේ, දළදා මාලිගාවේ දියවඩන නිලමේ කියලා දියවඩන නිලමේවරුන් තුන් දෙනෙක් සිටියා. මහ දියවඩන නිලමේගේ රාජකාරිය වුණේ සියලු අවශ්‍යතා වෙනුවෙන් රජුට දිය සැපයීමයි. රජ වාසල මහරජුගේ උල්පැන්ගේ භාර නිලධාරියා වුණේ මහ දියවඩන නිලමෙයි. රජතුමන් ආහාර ගන්නා අවස්ථාවන්හි දී රන් කොතලයෙන් ජලය වැඩීම භාර ව සිටියෙත් මහ දියවඩන නිලමේයි.
ඔහු සමහර විට හළු මණ්ඩපයෙත් රාජකාරි කරලා තිබෙනවා. රජුට ස්නානය කිරීමෙන් පසු සළු හැඳ ගැනීමට සහාය වීම, රජුගේ හිස පීරීම, තෙල් ගැල්වීම වැනි කටයුතුත් ඔහු කළා. මේ සඳහා රජුට විශ්වාසවන්ත කෙනෙක් තමයි පත්කර ගෙන තිබෙන්නේ. ඒ නිලය දළදා වහන්සේ වෙනුවෙන් ද ඇති කළ නිසා දළදා මාලිගාවේ ද දියවඩන නිලමේ තනතුරක් ඇති වී තිබෙනවා. ඒ දළදා වහන්සෙත් රජකු ලෙස සැලකූ නිසා විය හැකියි. දිය නිලමේ කියලත් මේ තනතුර හඳුන්වනවා.
පල්ලෙවාහල දියවඩන නිලමේ කළේ බිසෝවරුන්ගේ සහ කුමාරවරුන්ගේ උල්පැන්ගෙයි රාජකාරියි.
දියවඩන නිලමේ පත් කර ගන්නේ කොහොමද?
රජ කාලෙ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස රජු තෝරාගෙන තිබෙන්නේ අදිකාරම්වරයෙක්. කන්ද උඩරට පාලනය ඉංග්‍රිසින් ලබා ගත් 1815 වන විට දියවඩන නිලමේ තනතුර හෙබවූයේ කපුවත්තේ අදිකාරම්. ඔහු ඒ තනතුරට පත් ව තිබුණේ 1814 දීයි. කපුවත්තේ අදිකාරම් 1824 දක්වා එම නිලය දැරුවා. ඔහුගේ කාලෙදි තමයි 1818 උඩරට කැරැල්ල ඇති වුණේ. ඒ කාලෙදි දළදා මාලිගාවේ තැන්පත් කර තිබුණු දළදා වහන්සේ වාරියපාළ හිමියන් සඟවා ගෙන පලා ගියා. ඉංග්‍රීසීන් පසුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන දළදා වහන්සේ සොයා ගත්තා. 1876 දී බ්‍රිතාන්‍ය පාලකයන් නීතිමය ක්‍රියාවලියක් ඔස්සේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට පත්කිරීම සඳහා ඡන්ද ක්‍රමයක් හඳුන්වා දුන්නා. මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කළ මෙම ක්‍රමය යටතේ රටේ මහත්වරුන්ටත් ඡන්ද බලය හිමිවුණා.
මල්වතු සහ අස්ගිරි මහානායක තෙරුන් වහන්සේලා, මහා භාරකාර මණ්ඩලයේ ලියාපදිංචි වාර්ෂික ආදායම රු.1,000/-ට වැඩි මහනුවර අවට බෞද්ධ විහාර භාරකරුවන් සහ මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශිය ආදායම් නිලධාරින්ට ( අද ප්‍රාදේශීය ලේකම්වරුන්) ද මුල් කාලයේ ඡන්ද බලය හිමි වුණා. මෙම නිලධාරින් බෞද්ධ විය යුතුයි. දියවඩන නිලමේ ගේ නිල කාලය වසර 10 ක් වෙනවා.
කපුවත්තේ අදිකාරම්ගෙන් පසු මේ දක්වා දියවඩන නිලමේවරුන් 19 දෙනෙකු මෙම තනතුර දරා තිබෙනවා. 19 වන දියවඩන නිලමේවරයා වශයෙන් කටයුතු කරන්නේ 2005 දී පත්වුණු ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයායි. ප්‍රදීප් නිලංග දියවඩන නිලමේවරයා 2015 දී දෙවැනි වරටත් එම තනතුරට පත් වුණා.
වර්ෂ 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥාපනතට අනුව දියවඩන නිලමේ තෝරා පත් කර ගැනීම වඩා විධිමත් කරන්නට ඉංග්‍රීසින් ක්‍රියා කර තිබෙනවා. පැරණි උඩරට රාජධානි ප්‍රදේශය ආවරණය වන පරිදි ඡන්ද බල ප්‍රදේශය පුළුල් කෙරුණා. ඒවායේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට, රාජමහා විහාරස්ථාන භාරකාර හිමිවරුන්ට හා බස්නායක නිලමේවරුන්ට ඡන්ද බලය හිමි වුණා. එතෙක් ජීවිතාන්තය දක්වා වූ දියවඩන නිලමේ ධුර කාලය වසර 10කට සීමා වුණා. යළිත් තරග කර හැකිනම් තව වරක් පත්වීමේ අවකාශ ඇති අතර ඉල්ලුම්කරු වයස අවුරුදු 70ට අඩු අයකු වීම අනිවාර්ය කාරණයක්.
ඉතිහාස කතා
දියවඩන නිලමේ නම් වූ නිල නාමය සම්බන්ධයෙන් මූලාශ්‍ර සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටයි. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ “ධාතුරක්ඛකාධිකාරි” නම් තනතුරක් ගැන සඳහන් වෙනවා. කෝට්ටේ යුගයේ දී දළදා වහන්සේට පෘතුගීසි තර්ජන එල්ලවූ කාලේ එය සඟවා ගෙන පලා ගියේ හිරිපිටියේ දියවඩන නිලමේ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. දඹදෙණි අස්නේ දියවඩන්නෝය, සළු වඩන්නෝය ආදී වශයෙන් සඳහන් වෙනවා.
මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් දෝවනයට දිය වැඩීම මෙන් ම දළදා තේවාවට අවශ්‍ය පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේට ම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සඳහන් කර තිබෙනවා. මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්‍යවරයකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරනවා. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ඇති කළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය වුණා. දළදාව රජ්‍යත්වයේ සංකේතයක් ලෙසත් සැලකෙනවා. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන කරුණක්. මෙම ජල වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ බවට පත්වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරනවා.
දියවඩන නිලමේගේ අද කාර්යභාරය
උඩරට රාජ්‍ය කාලේ දළදා වහන්සේගේ භාරකාරත්වය පැවතුණේ රජු සතුවයි. ඉංග්‍රීසින් ක්‍රි.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරුවා. දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉන් පසුවයි. දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ඔහු සැලකෙනවා. දළදා වහන්සේගේ ආරක්ෂාව සැලසීම, දළදා කරඬුවේ රන් යතුර භාර ව සිටීම, දළදා ප්‍රදර්ශන පැවැත්වීම ආදි කටයුතුවලදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ මහානායක හිමිවරුන් සමඟ එක්ව කටයුතු කරන්නේ දියවඩන නිලමෙයි. දළදා වහන්සේට ඉටු කරන චිරාගත පූජා චාරිත්‍ර අඛණ්ඩව පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඔහු කළ යුතුයි. දළදා මාලිගාවේ රාජකාරි නිලකරුවන් පත්කර ඔවුන්ගේ කටයුතු මෙහෙයවීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු මංගලෝත්සව පැවැත්වීම, දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, දළදා මාලිගාවට සේවක කාරකාදීන් පත්කිරීම, ලැබෙන ආදායම් නිසි පරිදි පාලනය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු රාජකාරිවලට අයත් වෙනවා. පෙරහර මංගල්ලය අවසන් වූ පසු ඒ ගැන සඳහන් සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයාට පිළිගන්වන්නේ ද දියවඩන නිලමේවරයයි.
හිටපු දියවඩන නිලමේවරු
කපුවත්තේ අදිකාරම් – 1814-1824
දෙහිගම ලොකු බණ්ඩාර – 1825-1827
කුඩා මොල්ලිගොඩ – 1827-1828
කුඩා දෙහිගම – 1828-1835
මුල්ලේගම අදිකාරම් – 1835-1842
දුල්ලැව අදිකාරම් – 1842-1848
ලොකු බණ්ඩාර දෙහිගම – 1848-1862
කුඩා බණ්ඩා දුනුවිල – 1862-1882
කුඩා මුදියන්සේ ගිරාගම – 1882-1897
සෙනවිරත්න රත්වත්තේ – 1897-1901
කුඩා බණ්ඩාර නුගවෙල – 1901-1916
පුංචි බණ්ඩා නුගවෙල – 1916-1937
ටිකිරි බණ්ඩා රත්වත්තේ – 1937-1947
කුඩා බණ්ඩා නුගවෙල – 1947-1961
හැරිස් ලෙව්කේ රත්වත්තේ – 1961-1964
හීන්බණ්ඩා උඩුරාවන – 1964-1974
ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න – 1975-1985
නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව – 1985-2005
ප්‍රදීප් නිලංග දෑල – 2005 සිට අද දක්වා