කෑරගල කියූ විට ම අපේ මතකයට එන්නේ හංස සංදේශය යි. සිංහල සංදේශ කාව්‍ය සාහිත්‍යයේ මුල්තැනක් ගන්නා කෝට්යේ යුගයේ ලියැවුණු හංස සංදේශයේ හංසයා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිට යන්නේ කෑරගල රජමහා විහාරයට යි. හංසයා ගමන නිමා කරන අතර කෑරගල සහ අවට පරිසරය ගැන අලංකාර විස්තරයක් ද මේ පොතෙන් සපයනවා. අදත් පිටිසර ගැමි සුන්දරත්වය තරමක් දුරට සුරැකී පවතින කෑරගල ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තමයි පිහිටා තිබෙන්නේ. පුරාණ බෙදීම් අනුව එය සියනෑ කෝරළේ ගඟබඩ පත්තුවට අයත් විහාරයක්.
පැමිණෙන අයුරු
කොළඹ සිට පැමිණෙන්නේ නම් බියගම ගම්පහ පාරේ පැමිණ වැලිවේරියෙන් හේනෙගම පාරේ ගොස් හේනෙගමින් හැරී කෑරගල පාරේ ගමන් කළ යුතුයි. හංස සංදේශයේ කෑරගල ගම වර්ණනා කරන්නේ මේ ලෙසයි:
පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත් අවට
ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුර ට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙස ට
රසෙයි අමා රසමය ඒ පියස දුට
ජනප්‍රවාද
පාලි රසවාහිනියේ ‘වත්ථුල පබ්බත’ කතා පුවතේ සඳහන් වන්නේ කෑරගල සම්බන්ධ කතාවක් බවට විශ්වාසයක් පවතිනවා. මේ එම කතාවයි:
අනුරාධපුරයේ වළගම්බා රජතුමාගේ කාලයේ ‘බැමිණිතියා සාය’ නමින් දරුණු දුර්භික්ෂයක් පැවතුණා. මේ යුගයේ දානය සොයා යන රහතන් වහන්සේ නමක් වඩින කොට දැකලා තිබෙනවා, අහසට දුම් රොටු නගින ස්ථානයක්. ඒ කෑරගල විහාරයට නුදුරු පර්වතට පිහිටි තැන යි. මේ ස්ථානයේ මිනිස් වාස භූමියක් ඇති යයි තේරුම් ගත් උන්වහන්සේ එතැනට ගමන් කර තිබෙනවා. වියපත් බමුණකුයි බැමිණියකයි එහි ගෙපැලක ඉඳලා තිබෙනවා. මේ ගල අසල විශාල කර ගහක් ද තිබිලා තියෙනවා. ආහාර අහේනිය නිසා මේ බමුණු යුවළ කර කොළ තම්බා ගෙන කාලා තමයි ජීවත්වෙලා තියෙන්නේ. ඒ නිසා කරගල කියලයි ඒ ගලට කියා තිබෙන්නේ.
කර කොළ සියල්ල පණුවෝ කාලා
මේ බමුණු යුවළ රහතන්වහන්සේට වැඩ ඉන්න ආසනයක් පිළියෙළ කර දී තිබෙනවා. ඊට පස්සෙ තමන් කෑමට ගන්නා කරගහ ළඟට ගිහිල්ලා තියෙනවා කරකොළ ටිකක් පිළියෙළ කරලා උන්වහන්සේට වළඳන්න පූජා කරන්නට සිතුවත් කර කොළ සියල්ල පණුවෝ කාලා බව දකිනවා. දැන් රහතන්වහන්සේට පූජා කරන්න දෙයක් ඇත්තේ නැහැ.
බමුණු කාන්තාව තීරණය කරලා තියෙනවා තමන්ගේ කකුලෙන් මස් කෑල්ලක් කපලා ඒක උයලා රහතන්වහන්සේට දානයට දෙන්න ඕන කියලා. බමුණත් ඒ අයුරින් ම තමන්ගේ කකුලෙන් මස් කෑල්ලක් කපා උයලා රහතන් වහන්සේට පූජා කරන්න කියලා හිතලා තිබෙනවා. බමුණු කත පිහියක් අරගෙන කකුලෙන් මස් කෑල්ලක් කපන්න සූදානම් වන විට බමුණා පැමිණ පිහිය උදුරා ගෙන තමන්ගේ ශරීරයෙන් මස් කෑල්ලක් කැපීමට සූදානම් වෙනවා. ඒ අතරේ දොරකඩට පැමිණි මහලු පුද්ගලයෙක් තමන්ගේ අතේ තිබුණ ඇල්හාල් ඇතුළු ඉවුම් පිහුම්වලට අවශ්‍ය භාණ්ඩ ටික බමුණු යුවළට දීලා අතුරුදන් වෙලා තියෙනවා.
ලැබුණ කළමනාවලින් මහරහතන් වහන්සේට ප්‍රණීත අයුරින් දානය පිළියෙළ කරලා පූජා කරන්න මේ බමුණු යුවළට හැකිවෙලා තියෙනවා. රහතන් වහන්සේට දානය දීමෙන් පසු මේ බමුණු යුවළත් ඉතිරි ආහාර පාන අනුභව කරලා අහළ පහළ දුර්භික්ෂය නිසා බඩගින්නෙන් හිටපු අයටත් කන්න බොන්න දීලා තිබෙනවා.
මේ කරගල පසුව කෑරගල වූ බව විශ්වාස කෙරනවා.
කෑරගල පුවරු ලිපිය
විහාරයේ ඉතිහාසය ගැන ඉතා වැදගත් ඓතිහාසික සාධකයක් ලෙස මේ පුවරු ලිපිය වැදගත් වෙනවා. කළුගල් පුවරුවේ දෙපැත්තේ ම සෙල්ලිපි දෙකක් කොටා තිබෙනවා. වැදගත් ම කාරණය නම් මේ සෙල්ලිපි දෙක රාජ යුග දෙකක දී කරවා තිබීම යි. මුලින් ම සෙල්ලිපිය කරවා තිබෙන්නේ දඹදෙණි යුගයේ සිව්වන විජයබාහු රජ කාලෙදි යි. ඉන් සියවස් තුනකට පසු කෝට්ටේ යුගයේ හයවැනි පරාක්‍රමබාහු රජ සමයේ පුවරුවේ අනෙක් පස සෙල්ලිපිය කොටා තිබෙනවා. විහාරස්ථානයේ අනාගත ශාසනික පැවැත්ම සඳහා කෑරගල කුසලාන්ගම හා හැලුම්මහර, පුටුපාගල, නාකඳපොළ ඇතුළු ගෙවතු කුඹුරු නින්දගම් කොට පූජා කළ බව එම සෙල්ලිපියේ කොටා තිබෙනවා.
මුලින් ම මේ සෙල්ලිපිය කියවා ප්‍රසිද්ධ කළේ එඩ්වඩ් මියුලර් ලියා 1873 දී පළ කළ Ancient Inscriptions of Ceylon කියන පොතේ. අඩි 5ක් උසැති පුවරු ලිපිය පළලින් අඩි 3ක්. අද එහි ආරක්ෂාවට කුටියක් තනා තිබෙනවා. සෙල්ලිපිය අනුව අපට පෙනෙන්නේ දඹදෙණි යුගයේ ආරම්භ වූ විහාරය කෝට්ටේ යුගය වන විට තවත් දියුණු වෙමින් මහා විහාරයක් ලෙස ප්‍රකට ව පැවති බව යි.
ඉතිහාස කතා
දඹදෙණි යුගයේ රජු වූ සිව්වන විජයබාහු ( 1271-1273) රාජ්‍ය සමයේ ඉදි කර ඇති බවට විහාර බිමේ පිහිටි පුවරු ලිපියේ සඳහන් වෙනවා. මෙය අලගක්කෝණාර සෙන්පතියාගේ නැගණිය වන පද්මාවතී දේවියට වැඳ පුදා ගැනීම සඳහා ඉදි කර ඇති බවයි එහි සඳහන් වන්නේ. එය ඉදි කරවා ඇත්තේ අත්තනායක සහ දලසෙන්ගමු යන මන්ත්‍රීවරුන් බවත් සෙල්ලිපිය පවසනවා. විහාරය ඉදි කරවා ඇත්තේ විජයබාහුගේ රාජ්‍යත්වයෙන් 11 වැනි අවුරුද්දේදී යි. ඔහු අභිෂේකත්වයෙන් රජ පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 1271 දී වුවත් පියා වූ දෙවැනි පරාක්‍රමබාහු අසනීපයෙන් සිටි බැවින් එයට වසර 10කට පෙර සිට ම රාජ්‍යය විචාරා තිබෙන බව මහාවංශය සඳහන් කරනවා. ඒ අනුව විහාරය 1272 දී ඉදි කළ බවට අනුමාන කළ හැකි යි. මුලින් ම එය ඉදි කරවා තිබෙන්නේ ටැම්පිට විහාරයක් වශයෙන්. දැනට විහාරයේ තිබෙන ගල්කණු පැරණි ටැම්පිට විහාරයට අයත් ඒවා බව සැලකනෙවා.
ඒ කාලෙ වත්තල වනවාසී විහාරයේ නාගසේන මහ තෙරුන්ට විහාරය පූජා කර අවට කෙත්වතු සහ අංගොඩ ඇඹුල්ගම නින්දගම් කොට දී තිබෙන බව සෙල්ලිපියේ සඳහන් වෙනවා.
ක්‍රමයෙන් දියුණුවට පත් විහාරයක් වූ කෑරගල කෝට්ටේ යුගය වන විට රට පුරා ම ප්‍රසිද්ධියට පත් පුදබිමක් ලෙස කැපී පෙනෙනවා. හය වැනි පැරකුම්බා ( 1410-1468) රජුගේ කාලයේ දී මේ විහාරයේ පද්මාවතී නමින් පිරිවෙනක් ආරම්භ කරනවා. ඒ අලගක්කෝනාර මන්ත්‍රීගේ සොහොයුරිය වූ පද්මාවතී සිහිවීමටයි. මේ කාලයේ තොටගමුවේ විජයබාහු, වීදාගම ඝනානන්ද, දෙවිනුවර ඉරුගල් කුලතිලක, පැපිලියානේ සුනේත්‍රාදේවී ආදී පිරිවෙන් මෙන් ම කෑරගල පිරිවෙන ද ප්‍රකට ව පැවතියා. ඒ කාලයේ විහාරයේ නායක හිමියන් ලෙස වැඩවාසය කර තිබෙන්නේ වනවාසී නිකායේ කෑරගල වනරතන මාහිමියන්. මේ වනවාසී සම්ප්‍රදායට අයත් පිරිවෙනෙහි මූලිකත්වය දී තිබෙන්නේ ආගමික විෂයන් කෙරෙහි බව හංස සංදේශයේ විස්තරවලින් පේනවා.
පසුකාලයේ පෘතුගීසි ආක්‍රමණ මෙන් ම සීතාවක රාජසිංහ රජුගේ සංඝ සංහාරය නිසත් පද්මාවතී පිරිවෙන් රජමහා විහාරස්ථානය පරිහානියට පත්වුණා. ජනප්‍රවාද පවසන්නේ පෘතුගීසීන් කැලණිය රජමහා විහාරයට පහර දෙන අවස්ථාවේ මෙම විහාරස්ථානයට ද පහරදී ඇති බව යි.
හංස සංදේශය
වීදාගම ආනන්ද මෛත්‍රී නාහිමියන් හංස සංදේශය රචනා කර එහි දූතයා අත හයවන පැරකුම්බා රජතුමාට හා රට වැසියන්ට ආශිර්වාද කිරීමට මෙම විහාරස්ථානයේ වනරතන නාහිමියන් වෙතට සංදේශය එවා ඇති බව සඳහන් වෙනවා. ජයවර්ධනපුරයෙන් ගමන් අරඹන හංසයා පළමු දින රාත්‍රිය ගතකරන්නේ කැලණිය රජමහා විහාරයේ. පසුදින එහි සිට ගමන් අරඹමින් පමුණුව මහ වනාන්තරය, වෑබඩ, වැලිවේරිය, මාදෙල්ගස්ගම, නාකදපොළ පසුකර කෑරගලට එනවා.
හංස සංදේශයේ කෑරගල ගම වර්ණනා කර ඇත්තේ මේ අයුරින්:
සාරපලය අඹ දඹ රඹද වල්පි ට
මීර ජලය ඇළ දොළ කඳු පිටින් බ ට
නෑර ලොලය වඩවන දුටු දනන්හ ට
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සි ට
වනපෙත්වල අඹ, ජම්බු, කෙසෙල් ආදි සරු පල දරන, ඇළ, දොළ කඳු පිටින් බසින්නා වූ මිහිරි පවිත්‍ර ජලය ඇති දුටු දුටු දනන්ගේ නෙත් සිත් ඇද ගනිමින් කෑරගල නම් ගම වැජඹෙන බව එහි අරුත යි.
නැවත සොයා ගැනීම
1872 දී දෙල්ගොඩ ප්‍රදේශයේ සති පිරිත් දේශනයකට පැමිණි හිටපු පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමියන්ට සහ රත්මලානේ ධම්මාලෝක නාහිමියන්ට අසන්නට ලැබී ඇත්තේ හෙට දානය කෑරගලින් යන පුවත යි. එම ආරංචිය ලද හිමිවරුන් පසුදින කෑරගලට ගොස් විහාරය තිබුණේ යයි සැලකිය හැකි වනගත ඉඩම එළිපෙහෙළි කරවීමට කටයුතු කළා. ඒ වන විටත් ඒ ඉඩම හඳුන්වා තිබුණේ දේවාලේ වත්ත කියල යි. සුදුමල් බණ්ඩාර නම් දෙවිකෙනකු උදෙසා කළ දේවාලයක් ද එහි තිබුණා. අවට සෝදිසි කරන විට වනයට යට වී තිබුණු සෙල්ලිපිය සහ ගල්කණු ද දැකගත හැකිවුණා.
භූමිය එළි කිරීමට කටයුතු කළ හිමිවරුන් දායක සභාවක් ද පිළියෙළ කරවා විහාරය නැවත ගොඩනැංවීමට මුල්වූ බව පැවසෙනවා. කෑරගල විහාරය ඉදිකිරීමට ඒ කාලේ කටයුතු කළ දායකයන් අතර මුල්තැන ගෙන තිබෙන්නේ කෑරගල සෙලන් සහ හැලුම්මහර ලුවිනිස් වෙද මහතා යි. පසුව එම නාහිමිවරුන් පිරිස පැරණි විහාර මන්දිරයට භාවිත කළ ගල් කණු අටක්, ශෛලමය පාදමක් ඇතුළු තවත් ගල් කණු කීපයක් සොයා ගෙන තිබෙනවා. අනතුරුව රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමියන්ගේ උපදෙස් මත මෙහි කුඩා ආවාස ගෙයක් තනා ඇති බව ද පැවසෙනවා.
1900 මුලදි මෙහි කළුගල් භාවිත කර ධර්ම ශාලාව ඉදිකර බෝධියක් රෝපණය කර තිබෙනවා. පසුව ඇඹරළුව පේමරතන නාහිමියන් දාගැබ, ඝන්ඨාර කුලුන, ආවාසගෙය, පොහොය ගෙය සහ දේවාලය ඉදි කර තිබෙනවා. විහාරයේ මූලික පිරිවෙන නැවතත් 1981 වසරේදී පමණ ආරම්භ කළ අතර 1997 වසරේදී එය මහ පිරිවෙනක් බවට පත් ව තිබෙනවා. මේ වනවිට පද්මාවතී පිරිවෙන් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරය දරන්නේ රජාවෙල නන්දරතන නාහිමියන්.
රජමහා විහාර බිම
පුවරු ලිපිය, පැරණි ටැම්පිට විහාරයට අයත් අඩි අටක් උස ගල් කණු අටක්, ශෛලමය පාදමක් සහ බිඳී ගිය ගල් කණු කීපයක් රජමහා විහාරස්ථානයේ පැරණි නටබුන් ලෙස තිබෙනවා. මෑත අතීතයේ ඉදි කළ බුද්ධ ප්‍රතිමා මන්දිරයට පැරණි ගල්කණු ද යොදාගෙන තිබෙන ආකාරය දැකගත හැකි යි. එයට යාබද ව නූතන දාගබක් ද බෝධි වෘක්ෂය ද පිහිටා තිබෙනවා. පැරණි නාගස අසල සුදුමල් බණ්ඩාර නම් ප්‍රාදේශීය දෙවියන් උදෙසා කළ දේවාලය තිබෙනවා.
ඉංග්‍රීසි පාලන කාලෙ කළුගලින් හැදූ ධර්ම ශාලාවක් ද දැකගත හැකි යි. විහාරයට නුදුරින් පිහිටි දනව්කන්ද නම් කඳුවැටිය ද පැරණි නටබුන් පිහිටි ස්ථානයක් ලෙස සැලකෙනවා.