පරංගීන්ට කෝට්ටේ යාමට සැලැස්වීම හා බොරු ඇළ බොරැල්ල වූ අයුරු

පාසල් යන අවධියේ පටන් අද වන තුරුම සමාජයේ බහුලව භාවිත වන ප්‍රස්ථාව පිරුළක් විදිහට පරංගියා කෝට්ටේ ගියා වගෙයි යන්න හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම පිරුළ හා බැඳී තිබෙන කතා පුවතක් ලෙස බොරැල්ල යන නගරයට එම නම ලැබීමද දක්වන්නට පුළුවන්. ඒ අනුව මේ දෙක අතර පවතින සබඳතාවය ගැන මෙම ලිපියෙන් දැනුවත් වීමට හැකි වෙනවා.

එකල ලංකාවේ වෙළෙඳ කටයුතු

ලංකාවේ තිබුණ ප්‍රධාන වෙළඳ වරාය වූයේ කොළඹ වරායයි. ඒ වගේම ඒ කාලයේදීත් ආනයන අපනයන වෙළඳාම තිබුණ බව නටඹුන් අතරින් හමුවී තිබෙන විවිධ කාලවල කාසි, පබළු, පෝසිලේන් නිර්මාණ හා ආභරණ මඟින් තහවුරු වනවා.

ඒ වගේම මෙම කාලයේ එනම් ක්‍රි.ව. 1500 දී පමණ කොළඹ වරාය ආසන්න පෙදෙස්වල වෙළඳ ආධිපත්‍ය ගැන කතා කිරීමේදී එය පතුරුවා තිබුණේ මුස්ලිම් වෙළෙන්දන් විසින් බව සඳහන් වනවා. ඒ අනුව මෙම වෙළෙන්දන් ඇත්දළ, මුතු මැණික්, කුළු බඩු ආදී දේවල් පිටරටට අලෙවි කර තිබෙනවා.

පරංගීන්ගේ පැමිණීම

ලොරෙන්සෝද අල්මේදා ඇතුළු පිරිස නැව් නැගීම සිදු කරනු ලැබූ අතර ඔවුන්ගේ ගමන් මාර්ගය සකස් වී තිබුනේ ඉන්දියන් සාගරය හරහායි. ඒ ක්‍රි.ව. 1505 දී පමණ. මෙලෙස ගමන් කළ ඔවුන්ට සුළි කුණාටුවකට මුහුණ දීමට සිදු වූ අතරම, ඉන් බේරීමට අහම්බයෙන් කොළඹ වරායට සේන්දු වූවා. මේ ආකාරයට නැව් 09ක් පමණ පැමිණි බව සඳහන් වනවා.

නමුත් මේ ආකාරයට හදිසියේ  පැමිණි නන්නාදුනන පිරිස් හා නැව දුටු එකල වෙළඳාමේ යෙදුණු මුස්ලිම් වෙළෙන්දන් තරමක් කලබලයට පත් වුණ බව සඳහන් වනවා. ඒ මොවුන් කවුරුන්ද, පැමිණියේ කුමකටද, කොහි සිට පැමිණියේද යන්න හිතා ගන්න බැරි වූ නිසායි.

රජුට පුවත් සැල කිරීම

youtube.com

පරංගීන් පැමිණි කාරණය හරි හැටි දැන ගැනීමට මුස්ලිම් වෙළෙන්දන්ට නොහැකි වුණත්, අක්‍රමවත්ව සොයා ගත් කරුණු සියල්ලම රජතුමාට සැල කළ යුතු බව සිතා කෝට්ටේ රජු මුණ ගැසුණා. ඒ වන විට කෝට්ටේ රාජධානිය පාලනය කළේ අටවැනි පැරකුම්බා රජතුමායි. ඔවුන් රජුට ප්‍රකාශ කළේ පැමිණ සිටින පිරිස ඉතාමත් භයානක වගේම ඔවුන් මෙරට සිටීම තර්ජනයක් විය හැකි බවයි.

නමුත් රජු වෙළෙන්දන් පැවසු තතු එකහෙළාම පිළි නොගෙන සැබෑ විස්තර සෙවීම සඳහා දූතයෙක් පිටත් කරනු ලැබුවා. මේ වන විට ලංකාවේ ස්වභාව සෞන්දර්ය ගැනත්, මුස්ලිම් වෙළෙන්දන් වෙළඳාම් කරන ආකාරය ගැනත් අවබෝධයක් ලබා ගැනීමට පරංගීන්ට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම වෙළඳාම මඟින් මෙරට තිබෙන ස්වභාවික සම්පත් ගැන වැටහීමක් මොවුන්ට ලැබුණා.

ලක්දිව ගැන වික්ෂිප්ත වී සිටි සුදු මිනිසුන්ට අවශ්‍ය වූයේ සිංහල රජු සමඟ කුමන ආකාරයකට හෝ මිතුදමක් ඇති කර ගැනීමයි. මෙසේ සිතමින් සිටින විට රජු විසින් එවනු ලැබූ රජ දූතයා මොවුන්ට හමු වුණා. ලොරෙන්සෝ ද අල්මේදා ඔහුව සාදරයෙන් පිළිගැනීමට අමතක කළේ නැහැ. ඒ වගේම ඔවුන්ට සිදු වූ සිදුවීමත්, එනම් කුණාටුවක් හේතුවෙන් අහම්බයක් ලෙස මෙරටට පැමිණි බවත්, වෙළඳ සම්බන්ධතා පවත්වා ගැනීමට කැමති බවත්, රජුගේ කැමැත්ත ලැබේ නම් සතුරන්ගෙන් වෙරළ තිරය ආරක්ෂා කර දිය හැකි බවටත් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ වගේම දූතයාගේ සිත දිනා ගැනීමට හැකි වූ අතර, රජුටද තෑගි බෝග යැවීම සිදු කරා.

රජු මුණ ගැසීම

කොටා පාර (lankadeepa.lk)

දූතයාගේ විස්තර ඇසීමෙන් හා තෑගි ලබා ගැනීමෙන් පසුව රජු පරංගීන්ට තමන් බැහැ දැකීමට අවස්ථාව සලසා දීමට කටයුතු කළා. ඒ අනුව එම කටයුත්තට නැවත දූත පිරිසක් පිටත් කර යැවුවා. නමුත් මෙම දූතයින් ඉතාමත් උපක්‍රමශීලීව කටයුතු කළා. එසේ ප්‍රකාශ කිරීමට හේතුව වන්නේ, කොළඹ සිට කෝට්ටේ රාජධානියට යෑමට ළඟ පාරවල් තිබියදී පරංගීන් මුලා කරමින් ඉතාමත් දුෂ්කර මාර්ගවලින් කෝට්ටේ රාජධානියට රැගෙන යාමට කටයුතු කිරීමයි. ගිරිදුර්ග, ගංගා පසු කරමින් පරංගීන් කැඳවා ගෙන යාමට ඔවුන් කටයුතු කරා.

මේ වකවානුවලදී බොරැල්ල ඉතාමත් සුන්දර ප්‍රදේශයක් කියලයි සඳහන් වෙන්නේ, එනම් වර්තමානයේ ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශයක් වුණත්, එකල ඇළදොළ දිය කඩිතිවලින් යුක්ත සුන්දර ප්‍රදේශයක් විදිහටයි තිබිලා තියෙන්නේ.

කොහොම වුණත් පරංගීන් කොළඹදී හමු වීමෙන් අනතුරුව කෝට්ටේ දක්වා රැගෙන යාමේ කටයුත්ත දූතයන් ආරම්භ කළා. දිගු මාර්ග ඔස්සේ රැගෙන යා යුතු නිසා අද බොරැල්ල යනුවෙන් හඳුන්වන ප්‍රදේශයේ යම් යම් මිත්‍යාවන් ප්‍රසිද්ධ කරනු ලැබුවා. එනම් දිය පිරුණු අගලක් පෙන්වමින් එහි මිනී කන කිඹුලන් සිටින බවට බොරු ප්‍රකාශ කියා සිටියා. මෙයින් බය වූ පරංගීන් වෙනත් මාර්ගයකින් යාමට කතා කර ගත් බව සඳහන් වනවා.

මේ ආකාරයට දූතයන් ඔවුන්ගේ සැලැස්ම ඔස්සේ යමින් කෝට්ටේ රාජධානියට යාමට  දවස් තුනක් පමණ ගනු ලැබුවා. තෑගි බෝග ලබා දී රජුගේ සිත් දිනා ගැනීමට ඔවුන්ට හැකි වුණා. ඒ වගේම පසුකාලීනව වෙරළබඩ ප්‍රදේශ ආක්‍රමණය කිරීමටද මොවුන් කටයුතු කළා. පරංගියා කෝට්ටේ ගියා වගෙයි යන කියමන ඉතිහාස ගත වී තිබෙන්නේ මේ ආකාරයටයි.

බොරැල්ල යන නම ලැබීම

බොරැල්ල වෙළඳාම් කටයුතු (lankapura.com)

මිනී කන කිඹුලන් සිටින බව දුතයන් ප්‍රකාශ කළේ කටුක මාර්ග ඔස්සේ පරංගීන් රැගෙන යාමේ වුමනාව මතයි. ඒ වගේම එසේ මිනී කන කිඹුලන් සිටින බවට වූ ප්‍රකාශය බොරුවක්, නැතිනම් මිත්‍යාවක්. මේ ආකාරයට පරංගීන් රැවටූ නිසා එම ඇළ බොරු ඇළ යනුවෙන් ප්‍රචලිත වුණා. ඒ වගේම පසුකාලීනව මෙසේ පරංගියා රැවට්ටූ බොරු ඇළ බොරැල්ල යනුවෙන් ප්‍රසිද්ධ වුණා කියලා ජනප්‍රවාදයේ එන බවට සඳහන් වෙනවා. ඒ අනුව වර්තමානයේ ඉතාමත් ජනාකීර්ණ නගරයක් වෙන බොරැල්ල හා පරංගින් අතර පවතින්නේ කිට්ටු සබඳතාවයක්.

කවරයේ පින්තුරය: Wings of Time

Related Articles

Exit mobile version