දර්ශනවාදයේ ඉතිහාසය පිරික්සා බලන විට එය සංවිධානාත්මක ලෙස ආරම්භය සනිටුහන් කරන ලද්දේ ග්‍රීසිය මූලික කරගෙන බව පෙනී යයි. ලෝකය පිළිබඳ සත්‍යය අවබෝධ කරගැනීමේ උත්සාහය පිළිබඳ සටහන් හමුවන්නේ මෙසේ පංති සමාජය බිහිවීමත් සමග යි. එනම් වහල් සමාජය තුළ දී ය. මිනිසා යනු නිරන්තර කුතුහලයකින් පෙළෙන සත්ත්වයෙකි. ආරම්භයේ පටන් ම මෙසේ සිය කුතුහලය සංසිඳුවා ගැනීමට වෙහෙසුණු මිනිසා ලෝකය පිළිබඳව විග්‍රහ කිරීම මූලික ක්‍රම දෙකක් ඔස්සේ සිදුකරන ලදී. එනම් භෞතිකවාදී ව සහ විඥාණවාදී ව. ග්‍රීසියේ දී අපට මුලින්ම හමුවන ස්වභාවික දාර්ශනිකයන්ගේ පටන් අද දක්වා ම ලෝකයේ දර්ශනවාදය බෙදා වෙන්කරනු ලබන මූලික නිර්ණායකය මෙය යි. ස්වභාවික දර්ශනවාදයේ අවසානයෙන් පසු ව සොක්රටීස් ද ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ යන දාර්ශනිකයන් ද පිළිවෙලින් අපට මුණගැසේ. මොවුන්ගේ දාර්ශනික ඉගැන්වීම් තනි පුද්ගල ක්‍රියා වෙනුවට දාර්ශනික සම්ප්‍රදායන් ලෙස ගොඩනැගුණු අතර, නව පරම්පරා විසින් මුල් දාර්ශනික අදහස් සංවර්ධනය කරමින් ද වෙනස් කරමින් ද ඉදිරියට පවත්වාගෙන යන ලදී.
ක්‍රි. පූ. 359 – 336 දක්වා ග්‍රීසිය පාලනය කළ මෙසඩෝනියාවේ රජු වූ දෙවන පිලිප් ව ඝාතනය කිරීමෙන් පසු ව බලයට පත් ඔහුගේ පුතු වූ මහා ඇලෙක්සැන්ඩර් ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වාත්, ඊජිප්තුව දක්වාත් දිවගිය දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩනගන ලදී. අපගේ අවධානයට ලක්වන හෙලනිස්තික යුගය නම් ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේදය වන්නේ ක්‍රි.පූ. 323 දී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මියගිය පසු ව කැඩී බිඳී වෙන් ව ගිය පශ්චාත් ග්‍රීක අධිරාජ්‍යයේ යුගය යි. මෙහි දී හෙලනිස්තික සහ හෙලනික ලෙස යුග දෙකක් ඇත. හෙලනික යුගය ලෙස හඳුන්වනු ලබන්නේ ග්‍රීසියේ 5 වන සියවසේ ප්‍රජාතන්ත්‍රවාදය උපත ලැබීමේ සිට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය යුගය දක්වා කාල පරිච්ඡේදය යි. ඇලෙක්සැන්ඩර්ගේ මරණයේ සිට රෝම අධිරාජ්‍යය බිහි වූ ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයට දශක 3කට පෙර යුගය හෙලනිස්තික යුගය ලෙස හඳුන්වනු ලබයි. එනම් ග්‍රීක-රෝම අධිරාජ්‍යයන් අතර පැවති යුගය යි.
පශ්චාත් ඇලෙක්සැන්ඩර් යුගය තුළ දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණය වූයේ දේශසීමා බාධකයන්ගෙන් තොර ව සංස්කෘතික මුසුවීමක් දක්නට ලැබීම යි. සංස්කෘතික, විද්‍යාත්මක, දාර්ශනික කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ පුරාණ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය යි. ඉහත සඳහන් කළ පරිදි ම මෙම යුගයේ දාර්ශනික කතිකාවන් තුළ ආදී දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් තවදුරටත් සංවර්ධනය කරමින් ඉදිරියට රැගෙන ගොස් තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකි ය. එසේ ප්‍රචලිත ව පැවති දාර්ශනික ගුරුකුල කිහිපයක් ගැන සොයා බලමු.
සිනික්වාදීන්
සිනික්වාදී දාර්ශනික සම්ප්‍රදාය අරඹන ලද්දේ සොක්‍රටීස්ගේ ශිෂ්‍යයෙකු වූ ඇන්ටිස්තීනිස් විසිනි. ජීවිතයේ සැපත ලබාගත හැක්කේ කෙසේ ද පිළිබඳ ව හැදැරූ මෙම දාර්ශනික කණ්ඩායමේ නිගමනය වූයේ ජීවිතයේ සතුට ද්‍රව්‍යමය දෙයින් ලබාගත නොහැකි බව යි. දිළිඳු පැල්පත් හෝ කුස පුරවා ගැනීමට පමණක් ප්‍රමාණවත් නීරස අහරකින් හෝ සතුට ලබාගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ඔවුන්ගේ විශ්වාසය විය. ඒ නිසාම ඔවුන් ඉතා සරල චාම් ජීවිත ගතකරන්නට විය. මෙසේ සරල දිවිපෙවෙතක් අනුගමනය කිරීමෙන් අයෙකුට ජීවිතයේ සැබෑ සැපත උදා කර ගත හැකි බව විශ්වාස කළ ඔවුන් කිසිවිටෙකත් පුද්ගලයෙකු එසේ ලබාගත් සැපත අන් කිසිවෙකුටත් අහිමි කළ නොහැකි බව ද පැවසීය. සැපත පවතින්නේ මිනිසා තුළ ම නිසාත්, ඔහුගෙන් උදුරා ගැනීමට ද්‍රව්‍යමය සම්පත් නොවන නිසා අහිමි වීමට ද්‍රව්‍යමය දේ ද ඔහුට නැත. එම නිසා බියක් ඇති වීමට කිසිදු හේතුවක් නොවේ.
සිනික්වාදය මත පදනම් වූ ජීවන දර්ශනය ඉතාමත් හොඳින් ප්‍රකට කළ දාර්ශනිකයා වූයේ ඇන්ටිස්තීනිස්ගේ ශිෂ්‍යයෙකු වූ ඩයිජීනිස් ය. ඔහු ජීවත් වූයේ ඉවත දැමූ පීප්පයක ය. නිරුවත වසා ගැනීමට ලෝගුවක්, පොත් මල්ලක් සහ සැරයටියක් පමණක් ඔහු සතුව තිබුණි. නමුත් ඔහු සතුටින් සිටියි.
සතුට පිළිබඳ ව පවතින සංවාදය තවමත් ඉදිරියට යන්නකි. නූතන ධනවාදය තුළ දී වැඩි වැඩියෙන් පාරිභෝජන භාණ්ඩ පරිහරණය මඟින් සතුට උදාකර ගැනීමට පොළඹවන අතර පාරිභෝජන භාණ්ඩ අවම වූ පැරණි සමාජය තුළ මිනිස් අවශ්‍යතා ද සීමිත විය. අවශ්‍යතා සීමිත මිනිසෙක් සහ අධික අවශ්‍යතා සහිත සංකීර්ණ ජීවන රටාවක් පවතින මිනිසුන් දෙදෙනෙකුගෙන් වඩා පහසුවෙන් සතුටට පත් කළ හැක්කේ කුමන පුද්ගලයා ද?
කෙසේ නමුත් සිනික්වාදය තුළ පැවති තවත් විශ්වාසයක් වූයේ රෝග පීඩා වේදනා විඳීම් හෝ මරණයට පත් වීම පවා පුද්ගලයකුගේ සතුටට බාධාවක් කරගත යුතු නැති බව යි. එසේම අනෙකාගේ දුක් වේදනා නිසා තමන් දුකට පත්වීමේ අවශ්‍යතාවයක් ද නොමැති බව යි. මෙවැනි අදහස් නිසා ම පසු කලෙක ඉංග්‍රීසි භාෂාවට Cynicism (නරුමවාදය) ලෙසින් වචනයක් ද බිඳී එයි.
ස්ටොයික්වරු
මෙම දර්ශන සම්ප්‍රදාය ආරම්භ වන්නේ ක්‍රි. පූ. 330 දී පමණ ඇතැන්ස් නගරයෙනි. සයිප්‍රසයේ සිට පැමිණි සීනෝ මුලින් සිනික්වාදීන් හා එක්වන අතර, පසු ව ඔහු විසින් වෙන ම දාර්ශනික සම්ප්‍රදායක් ලෙස ස්ටොයික්වාදය ආරම්භ කරන ලදී. මෙම දර්ශනයට අනුව ස්වභාවික යුක්ති ධර්මයක් පවතියි. මිනිසා විසින් පනවාගෙන ඇති විවිධ රටවල ක්‍රියාත්මක වන නීති රීති ද එම ස්වභාවික නීතියේ ම අසම්පූර්ණ කොටස් ය. මානවවාදය යන සංකල්පය මුලින් ම ඉදිරිපත් කළ සිසරෝ ද ස්ටොයික්වාදියෙක් වූ අතර ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ද විය.
ඔවුන්ගේ ස්වභාවික යුක්ති ධර්මය පිළිබඳ විශ්වාසය නිසා රෝග පීඩා මරණය වැළැක්විය නොහැකි ස්වභාවික නීතින් බවත් අවධාරණය කරන ලදී. සියලුම දේ ඉරණම අනුව සිදුවන්නේ හේතු සහිත ව ය. එම නිසා අප කළ යුත්තේ අපගේ ඉරණම සොයාගැනීම ය. අපට එය වළක්වාගත නොහැකි වූවත් අවබෝධ කරගත හැකිය. සිදුවන සිදුවීම් නිසා සසල වීම අරුත්සුන් ක්‍රියාවක් වන අතර ප්‍රීතිමත් අවස්ථාවන් ද ඉවසීමෙන් යුතු ව දරාගත යුතු යි. ස්ටොයික්වරුන්ගේ ඉගැන්වීම එසේ යි. මෙම අර්ථ ගැබ්වන නිසා පසු ව ඉංග්‍රීසි බසට Stoicism (උදාසීන) ලෙස පැමිණේ. (රසායන විද්‍යාවේ දී හමුවන ස්ටොයික්යෝමිතික සමීකරණවලට එම නම ලැබුනේ ද මේ බිඳී ආ වචනයෙනි)
එපිකියුරියන්වරු
එපිකියුරස් යනු ක්‍රි.පූ. 341 සිට 270 දක්වා ඇතැන්ස් නුවර ජීවත් වූ දාර්ශනිකයෙකි. ඔහුගේ අනුගාමිකයන් ව හැඳින්වූයේ එපිකියුරියන්වරු ලෙස යි. එපිකියුරස් විසින් ඇරිස්ටිපස්ගේ සතුට මුල්කර ගත් ආචාර විද්‍යාව දියුණු කරන ලදී. එය ඩෙමොක්‍රිටස්ගේ පරමාණුකවාදය සමග සම්බන්ධ කරන ලදී. ඔවුන්ගේ ඉගැන්වීම අනුව යම්කිසි ක්‍රියාවකින් ඇති වන සතුට සෑමවිට ම එහි අතුරුඵල සමග සන්සන්දනය කර බැලිය යුතු ය. කෙටිකාලීන ව ඇතිවන සතුටක් නිසා දීර්ඝකාලීන ව ඇති වන ඵල පිළිබඳ අනිවාර්යෙන් ම සලකා බැලිය යුතු ය. මෙසේ තුලනාත්මක ව කෙටිකාලීන සහ දිගුකාලීන සතුට පිළිබඳ ව සලකා බැලීම තුළින් වඩා හොඳින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි බව එපිකියුරියන්වරුන්ගේ විශ්වාසය විය.
මිනිසුන්ගේ මරණයට ඇති බිය තුරන් කිරීම සඳහා එපිකියුරස් උපකාරී කරගනු ලැබුවේ ඩෙමොක්‍රිටස්ගේ පරමාණුකවාදයේ එන ආත්ම පරමාණු නම් සංකල්පය යි. එනම්, මරණයෙන් පසු ව සිදුවන්නේ අපගේ ආත්මය එය සෑදී ඇති ආත්ම පරමාණු ලෙස විශ්වයට එක්වීම බව ය. ‘ මරණය අපට වැදගත් වෙන්නෙ නෑ. මොකද, අපි ජීවත් වන තාක් මරණය මෙහි නොමැති අතර මරණය සැබෑ ලෙස ම පැමිණි විට අප මෙහි නැත.’ එපියකියුරස් පැවසුවේ එසේ යි. මෙම දර්ශනයේ තවත් විශේෂත්වයක් වූයේ මේ තුළ දේශපාලනය හෝ සමාජය පිළිබඳ ව අවධානයට ලක් කර නොතිබීම යි. ඔවුන් හුදෙකලාව සිටීම අනුමත කරන ලදී. කාමසුකල්ලිකානු ජීවිත ගත කිරීම අවධාරණය කළ ඔවුන්ගේ ආදර්ශ පාඨය වූයේ ‘මේ මොහොතේ ජීවත් වන්න’ යන්න යි. මේ නිසා ම පසු ව Epicurean (සුඛවාදියා) ලෙසින් ඉංග්‍රීසි බසට වචනයක් ද පැමිණේ.
ඉතිහාසය තුළ හෙලනිස්තික කාලච්ඡේදය ඉතා වැදගත් ස්ථානයක් උසුලන්නේ මේ යුගය සංස්කෘතික ආගමික දාර්ශනික විද්‍යා මුසුවීම් සහ සංවාදයන් නිසා ලෝකය නවමු යුගයක් කරා පියමැන්න නිසා ය. ක්‍රිස්තු වර්ෂය ආරම්භ වීමට වසර 30කට පෙර එනම්, ක්‍රි. පූ. 31 දී හෙලනිස්තික යුගය සම්පූර්ණයෙන් ම අවසන් ව රෝම අධිරාජ්‍යයේ බලය තහවුරු විය. ඊටත් වසර 17කට පෙර එනම් ක්‍රි. පූ. 48 දී ඇලෙක්සැන්ඩ්‍රියා මහා පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදී.
කවරයේ පින්තූරය: twcenter.net
මූලාශ්‍රයයන්:
සොෆීගේ ලෝකය (යුස්ටයින් ගෝඩර්)