20 වන සියවසේ ප්‍රසිද්ධ වීරකතා ලේඛක හෙන්රි රයිඩර් හැගාඩ් ගේ පොත්වල නිතර සඳහන් වන “සූලු” නම් ජන කොට්ඨාශය පිළිබඳව තොරතුරු සමහරක් අප මින් පෙර ලිපියකින් ඔබ වෙත ගෙන ආවා. අප්‍රිකානු සූලුවරුන්ගේ ආරම්භයේ සිට නැගීම දක්වා තොරතුරු එම ලිපියේ සඳහන් වුණා. එම ලිපියේම දිගුවක් ලෙස ඔවුන්ගේ වැටීමත්, ඔවුන්ගේ වර්තමාන තොරතුරුත් ඔබට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වනවා. පළමු ලිපිය මෙතනින් කියවිය හැකියි.
කුමාරවරුන්ගේ යුද්ධය
බ්‍රිතාන්‍ය ජාතිකයින් සහ බෝයර්වරුන්ගෙන් සිදු වන හිරිහැර උග්‍රවත්ම 1852 දී ඉම්පෑන්ඩ් ස්වාසිලන්තය ආක්‍රමණය කළා. බෝයර්වරුන්ට හෝ බ්‍රිතාන්‍යයන්ට පැරදී සූලුලන්තය අහිමි වුවහොත් යා හැකි රාජධානිය ලෙස ඔහු ස්වාසිලන්තය තෝරා ගත් අතර, එය දිනාගැනීම සඳහා ආක්‍රමණයක් දියත් කිරීමට සිදු වුණා. කෙසේ නමුත් ඉහළ යන ස්වාසි සරණාගතයින් සංඛ්‍යාව නිසා බ්‍රිතාන්‍යයන් ඉම්පෑන්ඩ්ට දිගින් දිගටම බලපෑම් කළේ ආක්‍රමණය අත්හැර දමන ලෙසයි.
මේ අතර සූලුලන්තයේ සිවිල් යුද්ධයක් හට ගැනුණා. ඒ ඉම්පෑන්ඩ් රජුගේ බිසවුන් දෙදෙනෙකුට දාව ඉපදුණු කුමාරවරුන් දෙදෙනෙකු රජු ජීවත්ව සිටියදීම ඔටුන්න උදෙසා තරඟ වැදීම නිසායි. “සෙච්ශ්වේයෝ” (Cetshwayo) සහ “ම්බයාසි” (Mbuyazi) නම් මේ කුමරුන් දෙදෙනා 1856 දී සිහසුන සඳහා මහා සිවිල් යුද්ධයක් ඇරඹුවා. “න්දන්දකුසුකා” (Ndondakusuka) හි සටන” යනුවෙන් හැඳින්වුණු එහි ප්‍රතිඵලය ලෙස දහස් ගණනක් සූලු සොල්දාදුවන් සමඟ ම්බයාසි කුමරු මරුමුවට පත් වූ අතර, සෙච්ශ්වේයෝ සිය පියා ජීවතුන් අතර සිටියදීම රාජධානියේ පාලනය ගෙන ගියා. රෝගීව සිටි ඉම්පෑන්ඩ් රජු ස්වභාවික හේතූන් නිසා මිය යාමෙන් අනතුරුව ඔහු නීත්‍යානුකූලවම රජකම හිමිකරගත්තා.
සෙච්ශ්වේයෝ ගේ පාලනය
සෙච්ශ්වේයෝ දෙවරක් ඔටුනු පැළඳූ බව කියැවෙනවා. ඒ, වරක් සූලු ජනතාව අතිනුත්, දෙවන වර වික්ටෝරියා රැජිනගේ ඒජන්තවරුන් අතිනුත්. සෙච්ශ්වේයෝ සූලු රජවරුන් බලයේ පිහිටුවීම හා පහකිරීමේ අධිකාරය බ්‍රිතාන්‍ය කිරීටයට ලබාදෙන නීති කීපයකට එකඟ වූ නිසා එසේ සිදු වූ බව පැවසෙතත් මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් දැනගන්න ලැබෙන්නේ නැහැ.
මේ අතර වසංගත තත්ත්වයක් නිසා සූලුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගව පට්ටි මියයෑමට පටන්ගත් බව කියැවෙනවා. මේ හේතුව නිසා සූලු ජාතිකයන් සුදු ජාතික පදිංචිකරුවන්ගේ ගවයින් සොරකම් කිරීමට පටන් ගත් අතර එම නිසා කෝලාහල පවා ආරම්භ වුණා. බ්‍රිතාන්‍ය කිරීටය සෙච්ශ්වේයෝව බලයෙන් පහකිරීමට තීරණය කරන්නේ එ් හේතුවෙන්. 1878 දෙසැම්බර් මස දිනකදී බ්‍රිතාන්‍ය ඒජන්තවරුන් රජුට දන්වා යවන්නේ සොරකම් කළ ගවයින් නැවත බාරදිමටත්, කිරීටයට බදු ගෙවීමටත් සෙච්ශ්වේයෝ එකඟ විය යුතු බවයි. සෙච්ශ්වේයෝ මෙයට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා 1878 වසරේ අවසන් දිනයේ දී සූලුලන්තය ආක්‍රමණය කිරීමට බ්‍රිතාන්‍යයින් පියවර ගන්නවා.
ඉසන්දල්වානා මහ සටන සහ සෙච්ශ්වේයෝ පාලනයේ අවසානය
දෙසැම්බරයේ අග සූලුලන්තය ආක්‍රමණය කළ බ්‍රිතාන්‍ය සෙබලුන් තම විශාලතම පරාජයකට මුහුණ දෙන්නේ 1879 ජනවාරි 22 දා යි. හෙළිවලින් සටන් කළ සූලු සෙබලුන් 25000ක් තුවක්කු සහ උණ්ඩවලින් සටන් කළ බ්‍රිතාන්‍ය භටයින් 1300ක් ඉසන්දල්වානා (Isandlwana) හි දී මරා දමන්න සමත් වුණා. එහිදී පලාගිය සෙබලුන් පවා අල්ලා මරා දැමුණු අතර, සුදු ජාතිකයින් පිරිසක් අප්‍රිකානුවන් අතින් එකල ලැබූ දරුණුතම පරාජයක් ලෙස එය සැලකුණා.
බ්‍රිතාන්‍යයින්ගේ යුධ ශක්තියත්, සූලුවරුන්ගේ නිර්භීතභාවයත් නිසා මාස 6ක් පමණ කාලයක් පුරාවට ඇදී ගිය මෙම යුද්ධය 1879 ජූලි 4 වන දා සෙච්ශ්වේයෝගේ මාළිගාවට ගිනි තැබීමත්, සූලුන්ගේ පරාජයත් සමඟ උලුන්ඩි (Ulundi) හි දී අවසන් වුණා. පණ බේරාගත් රජු තම ඔටුන්න හිමි එකොළොස්වියැති පුතු “ඩිනුසූලු” (Dinuzulu) සමඟ උතුරට පලා ගිය අතර, එයින් සති දෙකකට පසු බ්‍රිතන්‍යයින් සූලුලන්තය ඉතිහාසයට අයත් රාජධානියක් ලෙස සූලු නායකයින්ට දැනුම් දී ඔවුන්ගේ ගවයින් සහ ආයුධ තමාට බාරදෙන ලෙස දන්වා හැරියා.
ඉන් මසකට පසු සෙච්ශ්වේයෝ අල්ලා ගන්නා ලද අතර ඔහුව කේප්ටවුන් ප්‍රදේශයට පිටුවහල් කරනු ලැබුවා. බ්‍රිතාන්‍යයින් විසින් සූලු ප්‍රාදේශීය නායකයින් 13 දෙනෙකුට ප්‍රදේශ පාලනයන් බාරදෙනු ලැබුවත් ඔවුන් අතර සිවිල් යුද්ධයන් හටගෙන අස්ථාවර තත්ත්වයක් ඇති වූවා. 1882 දී සෙච්ශ්වේයෝට එංගලන්තයට ගොස් වික්ටෝරියා රැජින හමුවීමේ අවස්ථාව හිමි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1883 දී සුලුලන්තයේ රජකම නැවතත් ඔහුට පවරනු ලැබුවා. කෙසේ නමුත් ඒ වන විට සූලුලන්තයට අයත් වුණේ ඉතා කුඩා බිම්කඩක් පමණයි.
1883 හි අගභාගයේ උලුන්ඩි ප්‍රදේශයේ දී ඉහත කියැවුණු ප්‍රාදේශීය නායකයින් 13 දෙනාගෙන් එක් අයෙකු විසින් පහරදෙනු ලදුව තුවාල ලත් සෙච්ශ්වේයෝ පලාගියා. 1884 දී වස කැවීම නිසා මරණයට පත්වුණු ඔහුගෙන් අනතුරුව ඔහුගේ 15 හැවිරිදි පුතු ඩිනුසූලු රජකමට පත්වුණා.
ඩිනුසූලු පාලනය සහ රජුන්ගේ වැටීම
ඩිනුසූලු තම පාලනයේ පහසුව උදෙසා බෝයර්වරුන්ගෙන් උපකාර බලාපොරොත්තු වුණා. ඔවුන්ගේ උපකාරයෙන් තම පියා මැරූවන්ගෙන් පළිගත් ඩිනුසූලු එයට ගෙවීමක් ලෙස සූලුලන්තයේ බිමෙන් අඩක් පමණම බෝයර්වරුන්ට ලබාදුන්නා. ඔවුන් එහි රාජ්‍යයක් පිහිටුවා ගැනීම නිසා කලබලයට පත් බ්‍රිතාන්‍යයින් 1887 දී සූලුලන්තය තමාගේ ප්‍රදේශ වලට ඈඳා ගන්න කටයුතු කළා. ඉන් පසු ඩිනුසුලු නාමික රජෙකු පමණක්ම වුණා. 1906 දී කෝලාහලයක් ඇවිලවීමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන 10 වසරක් සිරගෙයට නියම කෙරුණා. දකුණු අප්‍රිකාව නම් රාජ්‍යය අළුතෙන් පිහිටුවීමත් සමඟම බෝයර් නායක ලුවිස් බෝතා එහි ප්‍රථම අගමැති ධුරයට පත් වුණා. තම පැරණි සගයා සිරගෙයින් මුදවාගත් බෝතා, ඔහුව දකුණු අප්‍රිකාවට ගෙන්වාගෙන ට්‍රාන්ස්වාල් ප්‍රදේශයේ ගොවිපලක පිටුවහල්ව වාසය කිරීමට යවනු ලැබුවා. ඩිනුසුලු 1913 දී එම ගොවිපළේ දී මියගියා.
දකුණු අප්‍රිකානු රජය ඩිනුසූලුගේ පුත් සොලමන්ව රජෙකු ලෙස පිළිගත්තේ නැහැ. ඔහු ප්‍රාදේශීය නායකයෙකු වශයෙන් පමණක් හැඳින්වුණා. දිගින් දිගටම ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1951 දී සොලමන්ගේ පුත් “චයිප්‍රියන් භෙකුසූලු” තම පියාට වඩා බලතල සහ පිළිගැනීමක් ලබාගැනීමට සමත් වුණත්, සූලුවරුන් පාලනය පිළිබඳව සැබෑ බලතල තවමත් දකුණු අප්‍රිකානු රජය සතුව තිබුණා.
වර්තමාන සූලුලන්තය
දකුණු අප්‍රිකාවේ වර්ණවාදී රජය තමන් යටතේ සූලුන්ට පාලනය ගෙන යා හැකි කුඩා රාජ්‍යයක් ලබා දී තිබුණා. ක්වසූලු නමින් හැඳින්වුණු මෙහි 1980න් පසු අගනගරය වූයේ උලුන්ඩි යි.
කෙසේ නමුත් 1994 දී ක්වසූලු රාජ්‍යය අහෝසි කර දමන ලද අතර නතාලය සමඟ එක් කොට පාහා ක්වසූලු-නතාල් නමින් පළාතක් පිහිටුවනු ලැබුවා.
වර්තමානයේ සූලු රජ පවුල ක්වසූලු-නතාල් පළාතේ නොන්ගොමා දිස්ත්‍රික්කයේ ජීවත් වන අතර, වර්තමාන රජු වන “ගුඩ්විල් ශ්වෙලිතිනි” 1968 සිට අද දක්වා චාරිත්‍රානුකූල රජකම හොබවමින් සිටිනවා.
ඔබ මෙවැනි තවත් ලිපි වලට කැමති නම් එ් බව අපට දැනුම් දෙන්න. ඔබේ ප්‍රතිචාරය මත මෙවැනි විෂයයන් පිළිබඳව තවත් තොරතුරු ඔබ වෙත සැපයීමට අප බලාපොරොත්තු වෙනවා.
කවරයේ රූපය (KwaZulu-Natal Heritage Preservation Initiative)
මූලාශ්‍ර :
- www.Zulu.org.za
- South African History Onlin