මත්ද්‍රව්‍ය විකිණීමේ නිදහස වෙනුවෙන් බ්‍රිතාන්‍යය යුධ වැදීම​: පළමු අබිං යුද්ධය​

පොපි මලෙන් නිෂ්පාදනය කෙරෙන අබිං යනු මත්ද්‍රව්‍යයක්. 19 වන සියවසේ දී අබිං ඉතා ප්‍රසිද්ධ මත්ද්‍රව්‍යයක් වුණා. එකල අබිං නිෂ්පාදනය කෙරුණ ප්‍රධානම ප්‍රදේශයක් වූයේ බ්‍රිතාන්‍ය ඉන්දියාව යි. ප්‍රධානම වෙළෙඳපොලක් වූයේ චීනය යි.

චීනය සහ බ්‍රිතාන්‍යය අතර ඇති වූ පළමු යුද්ධය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ පළමුවන අබිං යුද්ධය යනුවෙන්. චීනයට බාධාවකින් තොරව අබිං විකිණීම සඳහා බ්‍රිතාන්‍යයන්ට තිබුණ අවශ්‍යතාව මෙම යුද්ධය ඇති වීමට මූලික හේතුව වුණා. මෙය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදී යුද්ධවලින් සාර්ථකම නමුත් අපකීර්තිමත්ම යුද්ධයක් ලෙස සලකන්නට පිළිවන්.

සංවෘත වූ චීනය​

චීනය 18 වන සියවස එළඹෙද්දී සංවෘත වූ රටක්. බටහිර රටවල් සමග වෙළෙඳ සබඳතා ගුවන්ජෝ හෙවත් කැන්ටන් නගරය ආශ්‍රිතව සිදු වූ අතර වෙනත් වරායයන් ඒ සඳහා නිදහස් කෙරුණේ නැහැ.

1757 ප්ලැසී සටනින් පසුව බෙංගාලය බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ පාලනයට නතු වුණා. මේ අනුව ප්‍රදේශයේ අබිං නිෂ්පාදනයත් මෙම වෙළෙඳ සමාගමේ පාලනයට යටත් වුණා. 1833 වනතුරු අබිං වෙළෙඳාම පිළිබඳ සමාගම ඒකාධිකාරයක් පවත්වාගෙන ගියා.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ ප්‍රදේශ දැක්වෙන 1767 දී ඉන්දියාවේ සිතියමක් (Alexander J. Arbuthnot)

මෙසමයෙහි බ්‍රිතාන්‍ය වැසියන් අතර තේ සඳහා පුදුමාකාර ඉල්ලුමක් ඇති වී තිබුණා. තේ වැඩියෙන්ම සපයනු ලැබුවේ චීනය විසින්. මේ අනුව චීනය සහ බ්‍රිතාන්‍යය අතර විශාල වෙළෙඳ පරතරයක් ඇති වුණා. තේ සඳහා වැය වන විදේශ විනිමය සපයා ගැනීම බ්‍රිතාන්‍යයට ප්‍රශ්නයක් වුණා.

මීට විසඳුමක් වූයේ අබිං. නමුත් ප්‍රශ්නය වුණේ චීන අධිරාජ්‍යය අබිං එරටට ආනයනය පිළිබඳ නොසතුටින් පසුවීම යි. අබිංවලට ඇබ්බැහි වීමෙන් චීනුන් දුර්වල වන බවත්, අබිං ගෙන ඒම අධිරාජ්‍යය දුර්වල කිරීමට වන උපක්‍රමයක් බවත් චීන පාලක පැලැන්තිය විශ්වාස කළා.

අබිං ජාවාරම

මේ අනුව ඔවුන් චීනයට අබිං ගෙන ඒම තහනම් කළා. යම්කිසි රටක හෝ වෙළෙඳ සමාගමක නෞකාවක අබිං ගෙන ආ බව ඔප්පු වුවහොත්, අදාළ පාර්ශවය සමග වෙළෙඳ ගනුදෙනු පවා නවතා දැමීමේ තර්ජනයක් පැවතුණා.

පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම මෙම අවදානමට මුහුණ දුන්නේ පුද්ගලික නැව්වලට අබිං විකිණීමෙන්. යම් හෙයකින් චීන බලධාරීන්ට අබිං ගෙනයන නැව් හසුවුවත්, ඒවා සමාගමට අයත් නොවන හෙයින් සමාගම අවදානමට පත් වූයේ නැහැ.

1765 දී චීනය (CIA)

මේ අතරවාරයේ දී වෙරළ ඔබ්බෙහි වූ නැව්වල සිට අබිං ගොඩබිමට ගෙනයාමට චීන ජාවාරම්කරුවන්ට අයත් බෝට්ටු යොදා ගත්තා. ඔවුන් කැන්ටන් වෙනුවට වෙනත් ස්ථානයන්ගෙන් අබිං ගොඩ බා බෙදා හැරියා.

චීන අධිරාජ්‍යය ද මුලින් මේ ජාවාරම බරපතල ලෙස මර්දනය කරන්නට උත්සාහ කළේ නැහැ. චීන ජාතික අබිං ජාවාරම්කරුවන් ඒ සඳහා බටහිර ජාතිකයන්ට ගෙවූයේ රිදීයෙන්. එවිට බටහිර ජාතිකයන් වඩා වැඩියෙන් තේ සහ වෙනත් චීන භාණ්ඩ මිලට ගත්තා. එය චීන රජයට මූල්‍යමය වාසිදායක් වුණා.

කැන්ටන් හි යුරෝපීය වෙළෙඳ සංකීර්ණ හෙවත් ෆැක්ටරි (William Danielle)

කල්යාමේ දී චීන ජාතිකයන් වැඩි වැඩියෙන් අබිංවලට ඇබ්බැහි වීම සමාජයීය ප්‍රශ්නයක් බවට පත්වුණා. මේ අතරවාරයේ කැන්ටන් නගරයට එන නෞකාවල ද අබිං ගෙනවිත් ඒවා විකිණීමට වෙළෙන්දන් ක්‍රියා කළා. ප්‍රාදේශීය නිලධාරීන් දූෂිත වීම මෙය වඩාත් පහසු කළා. මෙයට යම් පියවරක් ගත යුතුය යි චීනය තීරණය කළා.

ලින් සෙෂූ

මේ අනුව 1839 දී චීන අධිරාජ්‍යය විසින් අබිං වෙළෙඳාම පාලනය කිරීම සඳහා ලින් සෙෂූ නම් වූ නිලධාරියා පත්කර එවනු ලැබුවා. ඔහු ඉන් පෙර හුනාන් සහ හුබෙයි ආදී ප්‍රදේශයන්හි අබිං ජාවාරම වැළැක්වීමට ගත් පියවරයන් නිසා අධිරාජ්‍යය තුළ නමක් දිනාගත් අයෙක්.

ලින් කැන්ටන් වෙත පැමිණියේ 1839 දී යි. ලින් වික්ටෝරියා රැජිණ වෙත විවෘත ලිපියක් ලියමින් ප්‍රශ්න​ කළේ චීනය විසින් බ්‍රිතාන්‍යයට තේ, පෝර්සිලේන් වැනි වටිනා භාණ්ඩ ලබාදෙද්දී බ්‍රිතාන්‍යය විසින් චීනයට විෂ සැපයීම කෙතරම් සදාචාරාත්මක ද යන්න යි. ඔහු චීන ජාතික අබිං වෙළෙන්ඳන් 1700ක් පමණ අත්අඩංගුවට ගත් අතර බටහිර වෙළෙඳ සමාගම් සතු අබිං, තේ වෙනුවට හුවමාරු කරගැනීමට උත්සාහ කළා. එය අසාර්ථක වූ තැන කැන්ටන්හි විදෙස් වෙළෙඳුන් රැඳී සිටි ප්‍රදේශයට කඩා වැදී අබිං ටොන් 1200ක් පමණ රාජසන්තක කළා. ජූනි මාසයේ දී ලින් එම තොග හුණු සහ ලුණු සමග මිශ්‍ර කොට පර්ල් නදියට විසි කළා. තව ද, මෙම මෙහෙයුමේ දී චීන පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකළ බටහිර ජාතිකයන්ව තමන්ට බාර දෙන ලෙස ද ලින් ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප කෙරුණා.

අබිං තොග විනාශ කරන අයුරු නිරීක්ෂණය කරන ලින් (Public Domain)

මේ අවස්ථාවේ බ්‍රිතාන්‍යයන් කළේ කැන්ටන්වලින් ඉවත්ව චීනයට එරෙහි වෙළෙඳ සම්බාධකයක් පැනවීම යි. චීනයට බටහිර රටවල් සමග වෙළෙඳාම අහිමි වීමෙන් වන හානිය බරපතල වනු ඇතැ යි බ්‍රිතාන්‍යයන් අදහස් කළා. අනෙක් අතට​, වෙළෙඳාම පිළිබඳ විශේෂ ඇල්මක් නොවූ කොන්ෆියුසියානු චීන නිලධාරීන් විශ්වාස කළේ බ්‍රිතාන්‍යය තුළ ද වෙළෙඳ ප්‍රජාව රාජ්‍ය පරිපාලනයේ දී එතරම් ප්‍රමුඛ නොවන බව යි. වෙළෙඳ අර්බුදයක් හේතුවෙන් යුද්ධයක් කරා බ්‍රිතාන්‍යය එළඹෙනු ඇතැ යි චීනයේ පාලකයන් විශ්වාස කළේ නැහැ.

සටන් ඇරඹෙයි

මේ අනුව විදෙස් නෞකා චීනය සමග වෙළෙඳාම නවතා දැමුවා. නමුත් ඇතැම් වෙළෙඳ නැව්වලට එම සම්බාධක බිඳ දමා වෙළෙඳාම සිදුකිරීමට අවශ්‍ය වුණා. මේ අතර 1939 නොවැම්බර් 3 වන දා රෝයල් සැක්සන් නම් වෙළෙඳ නෞකාව කැන්ටන් වෙත ගමන් කිරීමට උත්සාහ කළා. බ්‍රිතාන්‍ය නාවික හමුදාව එම නැවට අනතුරු ඇඟවීමට වෙඩි තැබූ අතර චීන නෞකා එහි ආරක්ෂාවට පැමිණියා. මේ අනුව බ්‍රිතාන්‍ය නැව් සහ චීන යුධ “ජන්ක්” නැව් අතර සටනක් ඇති වුණා. මෙය පළමු චුඑන්පි සටනයැ යි හඳුන්වනු ලබනවා. එම සටනේ දී චීන නැව් හතරක් විනාශ වුණා.

පාර්ලිමේන්තු විවාද​

කෙසේ වෙතත් අබිං වෙළෙඳාම වැනි කරුණක් සම්බන්ධයෙන් යුධ වැදීම කෙරෙහි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශාල විරෝධයක් පැණ නැගී තිබුණා. මෙල්බෝර්න් සාමිගේ රජයට එරෙහිව ටෝරි සහ ලිබරල් දේශපාලකයන් පෙළ ගැසුණා. 1840 අප්‍රේල් මාසයේ මුල දී රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වූ අතර එය ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් පරාජය කෙරුණා.

කෙසේ නමුත් මේ යුද්ධය සඳහා මුදල් සම්මත කිරීමට පාර්ලිමේන්තුව පහසුවෙන් එකඟ කරගැනීමට හැකි වූයේ නැහැ. අවසානයේ දී එම උත්සාහය සාර්ථක වූයේ 1840 ජූලි මාසයේ දි යි. ඒ වන විට චීනයේ යුධ තත්ත්වය බරපතල වී තිබුණා.

යුද්ධ මෙහෙයුම්

1840 ජූනි මාසයේ දී අමතර බ්‍රිතාන්‍ය හමුදා ප්‍රදේශයට ළඟා වුණා. ජූලි 5 වන දා ඔවුන් චෞෂාන් දිවයිනෙහි ඩින් ගායි වරාය අල්ලාගත් අතර එය මීළඟ ප්‍රහාර සඳහා මූලස්ථානය බවට පත්වුණා. ඉන්පසු එක් හමුදා කණ්ඩායමක් පර්ල් නදිය අසල මෙහෙයුම්වල නිරත වන විට තවත් නෞකා කණ්ඩායමක් උතුරු දෙසට ගමන් කළා.

1941 වසරේ බරපතල සටන් ගණනාවක්ම සිදු වුණා. ජනවාරි 7 වන දා සිදු වූ දෙවන චුඑන්පි සටනින් චීනය නැවතත් පරාජය වුණා. එයින් පසු බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිත චාර්ල්ස් එලියට් සහ චීන නියෝජිත චිෂාන් ජනවාරි 20 වන දා චුඑන්පි ප්‍රඥප්තිය අත්සන් කළ අතර, හොං කොං දූපත බ්‍රිතාන්‍යයට පවරා දීමට එම ප්‍රඥප්තියෙන් යෝජනා කෙරුණා. නමුත් මෙම ප්‍රඥප්තිය දෙරටේම මධ්‍යම රජයන් විසින් ප්‍රතික්ෂේප වූ අතර ඊට අත්සන් කළ නිලධාරීන් දෙදෙනාම ඔවුන්ගේ තනතුරුවලින් පහ කෙරුණා.

බ්‍රිතාන්‍යයන් විසින් චුඑන්පි අල්ලාගැනේ (Alamy)

බ්‍රිතාන්‍ය නවීන නෞකා හමුවේ චීන නාවික හමුදා සහ වෙරළබඩ බලකොටු පරාජයට පත් වුණා. මේ අනුව 1842 දී යුද්ධය අවසන් වූයේ චීනය අන්ත පරාජයකට පත්වෙමින්. 1842 අගෝස්තු 29 වන දා නැන්කිං ගිවිසුම අත්සන් කිරීමත් සමග යුද්ධය නිමා වුණා.

ප්‍රතිඵල​

නැන්කිං ගිවිසුම අනුව හොං කොං දූපත බ්‍රිතාන්‍යයට පවරා දෙන ලද අතර, වෙළඳාම සඳහා වරායයන් පහක් විවෘත කිරීමට චීනය එකඟ වුණා. මේ සමගම චීනයට අබිං සැපයීම බ්‍රිතාන්‍යයන්ට වඩාත් පහසු වුණා. අබිංවලට ඇබ්බැහි වූ චීන ජාතිකයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

මෙම යුද්ධයේ තවත් ප්‍රතිඵලයක් වූයේ චීන අධිරාජ්‍යය හමුදාමය වශයෙන් කෙතරම් දුර්වලදැ යි හෙළිවීම යි. මෙහි ප්‍රතිඵල දෙකක් වුණා. එකක් නම්, විවිධ බටහිර රටවල් හමුදාමය තර්ජනයන් කිරීම මඟින් චීනයෙන් විවිධ සහන ලබාගැනීම යි. බටහිරින් එන මෙම බලපෑම්වලට මුහුණදීම චීනයට පහසු වූයේ නැහැ. මෙවන් ගිවිසුම් චීන ජාතිකයන් විසින් “අසමාන ගිවිසුම්”ය යි හඳුන්වන අතර, නැන්කිං ගිවිසුම එවැනි ගිවිසුම් අතුරින් පළමුවැන්න බවත් සලකනවා.

නැන්කිං ගිවිසුම​. කපිතාන් ජෝන් ප්ලැට් විසින් අඳින ලද සිතුවමක් (Public Domain)

චීනය අබිං යුද්ධයෙන් පසු එළඹුණ මෙම සමය තුළ එරට ස්වෛරීත්වය අමු අමුවේ උල්ලංඝනය වුණා. එරට වර්තමාන කොමියුනිස්ට් පාලනයට අනුව 1949 කොමියුනිස්ට් රජය බිහි වන තුරුම චීනයේ ස්වෛරීභාවය තර්ජනයට පත්ව තිබුණා. එහෙයින් 1842-1949 කාලය ඔවුන් හඳුන්වන්නේ “ලජ්ජාසහගත ශතවර්ෂය” නමින්.

චීන අධිරාජ්‍යය දුර්වල බව හෙළිවීමේ අනෙක් ගැටළුව වූයේ ස්වදේශීය වශයෙන් එම පාලනය පිළිකෙව් කළ පිරිස් ඊට එරෙහිව නැගී සිටීම යි. මීට පෙර අධිරාජයේ හමුදාවලට එරෙහිව කැරලි ගැසීමට ජනතාව පෙළඹුණේ අඩුවෙන්. නමුත් එය පළමු අබිං යුද්ධයෙන් පසුව වෙනස් වුණා. එයින් වසර කිහිපයක් තුළ ටයිපිං කැරැල්ල නම් දරුණු සිවිල් යුද්ධයක් ඇති වීමට අබිං යුද්ධය බලපෑවා.

මධ්‍යම රජය දුර්වල වීමට කැරලි බලපෑ අතර​, එවිට බටහිර රටවල්වලට පහසුවෙන් මධ්‍යම රජය නැටවීමට ද අවස්ථාව ලැබුණා. මීළඟ සියවසක පමණ කාලය මුළුල්ලේ චීනය යනු පෙනුමට දැවැන්ත වූ ද අභ්‍යන්තරිකව කැඩී බිඳී ගියා වූ ද රාජ්‍යයක් වුණා.

කවරයේ පින්තූරය: අමෝයිහි සටන (Michael Angelo Hayes)

මූලාශ්‍රයයන්:

  1. Restless Empire by Odd Arne Westad
  2. Opium War by Brian Inglis

Related Articles

Exit mobile version