සිංහල ගීතිකා මුලින් ම ගැයූ බද්දේගම ක්‍රිස්තුදේව පල්ලිය

නත්තල ළඟ ළඟ ම එනවා. මේ නත්තල් කාලෙට කාටත් මතක් වන ගීතිකා අද නම් වැඩිපුර ගායනා කරන්නේ සිංහල භාෂාවෙන්. කලකට පෙර මේ ගීතිකා ගායනා කළේ ලතින් භාෂාවෙන්. මුලින් ම සිංහලෙන් ගීතිකා කියූ පල්ලිය වන්නේ බද්දේගම ක්‍රිස්තුදේව දේවස්ථානය යි.

අසල්වැසි විහාර සමඟත් එදා පටන් ම පල්ලිය හොඳ බැඳීමක් පවත්වා ගෙන යනවා. තවත් විශේෂතා රාශියක් සහිත සුන්දර වටපිටාවක පිහිටි මේ පල්ලියට නත්තල් සමයේ ගොඩ වී බලමු.

රොබට් මේයර් පියනම – Ccbc.lk

වික්ටෝරියා නැවෙන් පැමිණි මිෂනාරිවරු

ලංකාව ඉංග්‍රීසින්ට යටත් වී වසර දෙකකට පසුව 1817 දෙසැම්බර් 20 වැනිදා එංලගන්තයේ සිට වික්ටෝරියා රුවල් නැව ගමන් ඇරඹුවේ ලංකාවේ ක්‍රිස්තියානි දහම ප්‍රචලිත කිරීමට මිෂනාරිවරුන් කණ්ඩායමක් රැගෙන යි. ඔවුන් එංගලන්ත සභාව හෙවත් මිෂනාරී සභාව නියෝජනය කළ පියතුමන්ලා වුණා.  නැව ගාල්ල වරායට පැමිණියේ  1818 ජුනි 29 වැනි දා යි. නැව පදවාගෙන පැමිණියේ එංගලන්තයේ මුහුදු යාත්‍රා ව්‍යාපාරයේ නියුතු පවුලක කෙනකු වුණු ජෝර්ජ් වින්ටර් නම් ඉංග්‍රිසි ජාතිකයා යි. මිෂනාරි කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ රොබට් මේයර් පියතුමා යි.  ඔහුගේ බිරියත් සැමුවෙල්ලැම්බ්‍රක් පියතුමා, ජෝශප් නයිට් පියතුමා හා බෙන්ජමින් වෝඩ් පියතුමා හා මැතිනිය ඇතුළු පිරිසකුත් මේ නැවෙන් පැමිණියා. එංගලන්ත ක්‍රිස්තියානි මිෂනාරී සමාගමේ මව් සභාව රොබට් මේයර් පියතුමා ගාල්ලටත් පත් කර තිබුණා. අනෙක් පියතුමන්ලා රටේ වෙනත් පළාත්වලට යාමට නියමිතව සිටියා.

බද්දේගමට ගිය පියනම  

 බද්දේගම, ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික ගම්මානයක්. 14-18 සියවස්වල බද්දේගම හැඳින්වුයේ “සල්ගමුව” කියල යි.  වර්ෂ 1505දී පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු ව මෙම ග්‍රාමය සහ ඒ අවට බොහෝ ගම් කිතුණුකරණයට ලක් වුණා. අදටත් බද්දේගම අවට විශාල කතෝලික ජනතාවක් වාසය කරනවා.   

කඳු මුදුනේ පල්ලිය ගස්වැල් අතරින් – christ church baddegama facebook page

 රොබට් මේයර් පියතුමා ටික කලකින් මුහුදුබඩ සිට  රට අභ්‍යන්තරයට ගොස් කිතු දහම ව්‍යාප්ත කිරීමට තීරණය කළා. ඔහුත් සමඟ ව්‍යාපාරික වින්ටර් ද එකතු වුණා. මේයර් පියනම තම බිරිය ද, වින්ටර් ද සමඟ ගිංගඟ දිගේ ඔරුවක නැගී යාත්‍රා කරනවා.  එකල හිනිදුම, නාගොඩ සහ බද්දේගම ආදී ප්‍රදේශවල සිට ගාලු වරායට බඩු භාණ්ඩ ප්‍රවාහනය කෙරුණේ ද, ගාලු වරායේ සිට එම ප්‍රදේශවලට භාණ්ඩ ප්‍රවාහනය කෙරුණේ ද ‘ගිං ගඟ’ හෙවත් ඔස්සේ යි. ඒ සඳහා ඔරු-පාරු භාවිත කළා. ගිංගඟ හරහාම බද්දේගම ප්‍රදේශයට පැමිණි ඔවුන්  වින්ටර් තොටුපොළ අසලින් එගොඩ වී දේවස්ථානයක් පිහිටුවීමට ස්ථානයක් සෙවීම ආරම්භ කළා.

පල්ලි කන්දේ පල්ලිය

බද්දේගම ගං ඉවුරට නුදුරින් පිහිටි අලංකාර පරිසරයක් සහිත  කඳුවැටිය පල්ලියක් තැනීමට සුදුසු බව මේයර් සියනම තීරණය කරනවා. ඔහු මේ කන්ද  ‘පල්ලි කන්ද’ යනුවෙන් හඳුන්වනවා. වින්ටර් ද මේ පෙදෙසට ප්‍රිය කරන්න පටන් ගත්තා.

දෙව්මැඳුර ඉදිකරන්නට පෙර රොබට් මේයර් පියතුමා  පල්ලිකන්දට ආසන්න ව දැවයෙන් කුඩා නිවසක් තනා ගෙන  පදිංචි වෙනවා. එතැන හඳුන්වන්නේ තල්ගස්කන්ද කියල යි. ඒ 1818 අගෝස්තු 14 වැනිදා යි.  ටික කලකින් රොබට් මේයර් පියතුමාගේ බිරිය ප්‍රදේශයේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට පන්තියක් ආරම්භ කර තිබෙනවා. පසුව ඒ සඳහා ශාලාවක් ද ඉදි කෙරුණා. එම ශාලාව ආගමික කටයුතු සඳහාත් මුල දී භාවිත කළා. පසුකාලීන ව ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය බවට පත් වුණේ ඒ ඉංග්‍රීසි පන්තිය යි.  ව්‍යාපාරික වින්ටර් ද අද වින්ටර් තොටුපොළ ලෙස හඳුන්වන තැන මන්දිරයක් තැනීම සිදු කළා. එතැන පල්ලිය කන්ද හොඳට පෙනෙන ස්ථානයක්.

දේවස්ථානය ඇතුළත – dioceseofcolombo.lk

 ක්‍රිස්තුදේව දෙව්මැදුර

ක්‍රිස්තුදේව දෙව්මැදුර 1818 දී ඉදිකිරීම් අරඹා අවසන් කිරීමට වසර හතරකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. රොබට් මේයර් පියතුමා සමඟ දේවස්ථානය  ඉදි කරන්නටත් ව්‍යාපාරික වින්ටර් පුරෝගාමී වුණා. ඒ සඳහා ප්‍රදේශයේ ගම්මුලාදෑනින්ගේ සහාය ද ලබාගෙන තිබෙනවා. ගාල්ලේ අතපත්තු මුදලි වූ දොන් ඒබ්‍රහම් ඩයස් අබේසිංහ දෙව්මැඳුර ඉදිකිරීමට මුල්ගල තැබූ බව සඳහන් වෙනවා.

පල්ලිය තැනීමට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ද ආධාර මුදල් පිරිනමා තිබෙනවා. පසුව  1832 දී ආරම්භ කළ සිලෝන් ඔබ්සවර් පුවත්පතේ මුල් කතුවරයා වුණෙත් ජෝර්ජ් වින්ටර්.   වැඩ නිමකළ දෙව්මැදුරේ මුල්ම දේව මෙහෙය පවත්වා තිබෙන්නේ 1822 සැප්තැම්බර් 25 වැනිදා යි.  බද්දේගම ක්‍රිස්තු දේවස්ථානය, 1825 දී කල්කටාවේ බිෂොප්වරයා වූ Reginald Heber අභිෂේක කර තිබෙන බව ඉතිහාසයේ සඳහන්.   

මේ පල්ලිය ආසන්නව පිහිටි ගොතටුව ශ්‍රීපාද චෛත්‍යාරාම විහාරස්ථානයත් සමඟ බැඳීමකින් මුල් කාලයේ සිට කටයුතු කර තිබෙනවා.  අදටත් දෙව්මැදුරේ නත්තල් කැරොල් බැති ගී ප්‍රසංගය මුලින් ම රැගෙන යන්නේ මේ විහාරයට යි.

දේවස්ථාන භූමියට පිවිසෙන තැන තොරණ- Travelblog.org

වේලාව දැනුම් දුන් පල්ලිය

ඒ සමයේ බද්දේගම අවට කොතැනවත් ඔරලෝසු තිබී නැහැ.  ක්‍රිස්තුදේව දේවස්ථානය තැනුවාට පසුව ගැමියන්ට ලැබුණු වාසියක් වුණේ වේලාව දැන ගැනීමට ලැබීම යි. දෙව්මැදුරේ ඝණ්ටාරය ප්‍රදේශවාසී ජනතාවට වේලාව දැනුම් දී තිබෙනවා.

කඳු මුදුනේ තිබූ දෙව්මැදුරේ වූ ඝණ්ටාර හඬ බද්දේගමට පමණක් නොව ඒ අවට ගම් ගණනාවකටත් ඇසීටම පුළුවන්.  උදෑසන 6.00 ට, දවල් 12.00 ට හා සවස 6.00 ට වශයෙන් දවසට තුන් වරක් මේ ඝණ්ටාරය නාද කරනවා. එදා සිට අද දක්වාත්  පල්ලියේ ඝණ්ටාරය නොකඩවා නාද වෙනවා.

ලක්දාස් ද මැල් පියනම සහ සංගීතඥ දේවාර් සූර්යසේන- lakdas de mel college facebook page/ deshaya.lk

මුල් ම සිංහල ගීතිකා

මෙහි මුල් ම සිංහල පියතුමා ලෙස කටයුතු කර ඇත්තේ 1859 සිට 1862 අතර වූ වසර තුනක කාලයකට පත්වූ ඒබ්‍රහම් ගුණසේකර පියතුමා යි.  වර්ෂ 1927 දී දෙව්මැඳුරට පැමිණී ලක්දාස් ද මැල් පියතුමාගේ කාලය දේවස්ථාන ඉතිහාසයේ  විශේෂත්වයක් උසුලනවා.

 ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද හිමි ලක්දාස් මෙල් පියතුමා බද්දේගම ක්‍රිස්තුදේව පල්ලියේ පියතුමා ලෙස වසර දහයක් කටයුතු කළා. ඔහු කුරුණෑගල පළමු බිෂොප්වරයා ද වන අතර කුරුණෑගල ලක්දාස් විදුහලට නම ලබා දී ඇත්තේ ඔහුගේ සේවය සිහිපත් කිරීමට යි.  සිංහල ගැමි වටපිටාවක පිහිටි බද්දේගම පල්ලියට ගිය තරුණ පියනමට සිංහල ක්‍රමයට පල්ලියේ ගීතිකා ඇතුළු කටයුතු කිරීමට අදහසක් පහළ වුණා.   

පල්ලියේ දේව මෙහෙයක්- Sunday observer.lk

ලක්දාස් ද මැල් පියනම

ඒ වනවිටත් ලංකාවේ සියලු ම දෙව්මැඳුරුවල ගීතිකා ගායනා කළේ ලතින් භාෂාවෙන්.  එම ගීතිකා සියල්ල දේශීයත්වයට ගැළපෙන සේ පද රචනා කර  සිංහලෙන් ගායනා කිරීමට ලක්දාස් ද මැල පියනම කටයුතු කළා. එම ගීතිකාවලට තනු නිර්මාණය කර සංගීතය සපයා ඇත්තේ සංගීතඥ දේවාර් සූර්යසේන යි. ඔහුත් එංගලන්තයේ ඉගෙනගත් කෙනෙක්.

සංගීතයට භාවිත කළ පියානෝව වෙනුවට ඊට පෙර භාවිතයට ගෙන නොතිබූ තම්පූරාව, එස්රාජය, වයලීනය හා සර්පිනාව වැනි සංගීත භාණ්ඩ  භාවිතයත් ආරම්භ කළා. පල්ලියේ තවත් විශේෂත්වයක්  නම්  දේශීයත්වයට මුල් තැන දුන් වාස්තු විද්‍යාත්මක සැලසුම් සහිත වීම යි. දෙව්මැඳුර ප්‍රතිසංස්කරණය කිරීමේ දී දේශීය කැටයම් කලාව ද දෙව්මැඳුරේ අලංකාරයට භාවිත කර තිබෙනවා. මේ නිසා දෙව් මැඳුරට ලැබී ඇත්තේ විශාල ආකර්ශනීයත්වයක්.

එක ම සඳකඩ පහණ

ලක්දාස් ද මැල් පියනමගේ ක්‍රිස්තුදේව දෙව් මැදුරේ සිංහල කැටයම් කලාවේ අගනා උදාහරණයක් සපයන්නේ   ප්‍රධාන දොරටුව පාමුල ඇති සඳකඩ පහණ යි. බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිත ව හැරුණුකොට ලංකාවේ සඳකඩ පහණක් ඇති එකම දෙව්මැදුර වන්නේ මේ දෙව්මැඳුර යි.  ආසන්න ව පිහිටි මීමැඩුම ගම්මානයේ ඒ කාලයේ සිටි  දක්ෂ ගල් කැටයම් ශිල්පීන් ලවා මේ සඳකඩ පහණ කරවූ බවයි පැවසෙන්නේ.  එය ගාල්ල දිස්ත්‍රි­ක්කයේ ඇති විසි­තුරු ම සඳ­ක­ඩ­ප­හණ යි. එය අනු­රා­ධ­පුර යුගයේ කලා සම්ප්‍ර­දා­යන් අනුව නිර්මාණ කරන ලද්දක්.  මෙම දේව­ස්ථා­නයේ දැව කැට­යම් අතර ගජ­සිංහ රූප සහ දැව පේකඩ ආදියත් දැකගත හැකි යි.   

පුරාණ කැටයම් ශිල්පය

 දෙව්මැදුරේ ප්‍රධාන දොරටුව මෙන් ම පුරාණ කැටයම් ශිල්පය මතක් කරවන ගල්කණු  උලුවහු මෙන් ම ජනෙල් හා හුළං කවුලු සඳහා ද කලාත්මක ලී කැටයම් භාවිත කර තිබෙනවා. දෙව්මැදුර භාර ව කටයුතු කර ස්වර්ගස්ථ වූ පියතුමන්ලා රැසකගේ සොහොන් ගල් ද අලංකාර කැටයම්වලින් සමන්විත යි.    

 බද්දේගම ක්‍රිස්තුදේව දෙව්මැඳුර තැනීමට මුල්වූ මිෂනාරිවරුන් ලංකාවට පැමිණ වසර 200ක් සපිරීමේ දේව මෙහෙයක් ඇතුළු උත්සවයක් ද පසුගිය 2018 ජුනි 30 දා එහි පැවැත්වුණා.

කවරයේ ඡායාරූපය- බද්දේගම ක්‍රිස්තුදේව දේවස්ථානය- walaspathi.blogspot.com
මූලාශ්‍ර:
Aruna.lk
Silumina.lk
dioceseofcolombo.lk
Sunday observer.lk

Related Articles

Exit mobile version