Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමෙරිකානුවන්ට අමිහිරි මතකයක් වූ ඕෂෝගේ රාජ්නීශ්පුරම් නගරය

දෙවැනි කොටස

මෙම ලිපියේ පසුගිය කොටසින් අප එක්සත් ජනපදයට අයත් ඩැල්ස් ප්‍රදේශයේ ආහාර විෂ වීමක් ලෙස සිදු කළ ජෛව ත්‍රස්ත ප්‍රහාරය ගැනත්, ප්‍රහාරය පිටුපස සිටි භග්වාන් ශ්‍රී රාජ්නීශ්ගේ (ඕෂෝ) අනුගාමිකයන් ගැනත්, තොරතුරු ගෙන ආවා. රාජ්නීශ් නම් ආධ්‍යාත්මික නායකයාගේ පසුබිම විමසා බැලීම වැදගත් හෙයින්, ලිපියේ පළමු කොටස ඔහුගේ ජීවිතයේ මුල් අවධිය වෙනුවෙන් වෙන් වුණා. දෙවැනි කොටසින් රාජ්නීශ් අමෙරිකාවේ ඉදි කළ නගරය ගැනත්, එම නගරය තුළ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් ගැනත්, විස්තර ගෙන එනවා.

අමෙරිකාවේ ඉදි වූ මනෝරාජිකය

 ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප වූ පසු රාජ්නීශ් තම ආධ්‍යාත්මික වැඩහටහන අමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් නැවත ගොඩනැඟීමට උත්සහ කළා. අමෙරිකාවේ දී රාජ්නීශ්ගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ක්‍රියා කළේ “මා ආනන්ද් ශීලා” නම් තැනැත්තිය යි. ‍රාජ්නීශ් සහ ආනන්ද් ශීලා, ඉන්දියාවේ එතෙක් පවත්වා ගෙන ගිය සාම්ප්‍රදායික ආශ්‍රමවලින් බොහෝ වෙනස් වූ ව්‍යාපෘතියක් අමෙරිකාව තුළ ආරම්භ කිරීමට තීරණය කළා. “රාජ්නීශ්පුරම්” නමැති යුතෝපියානු සංකල්පයක් මත පිහිටි නගරය ගොඩ නැඟීම ඇරඹුණේ ඒ අනුව යි.

1982 දී රාජ්නීශ්පුරම් හි අනුගාමිකයන් මැදින් රෝල්ස් රොයිස් රථයකින් ගමන් ගන්නා ඕෂෝ – www.neh.gov 

 1981 දී රාජ්නීශ්පුරම් හි පළමු අදියර ඇරඹුණා. ඔරිගන් ප්‍රාන්තයේ වස්කෝ සහ ජෙෆර්සන් යන බල ප්‍රදේශ හරහා විහිදුණු අක්කර 64,229 ක ගොවිබිමක් නගරය ගොඩ නැඟීම සඳහා යොදා ගත් අතර, ගොවිබිමේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 5.75 ක් බව සඳහන්. එම මුදලෙන් වැඩි කොටසක් පරිත්‍යාගශීලින් සහ ආධාරකරුවන් ගෙන් ලබා ගැනීමට රාජ්නීශ්ට හැකි වුණා.

 වෙළෙඳ සංකීර්ණයක්, තැපැල් කාර්යාලයක්, ගුවන් තොටුපළක්, විවිධ මධ්‍යස්ථාන සහ ශාලා, පොදු ප්‍රවාහන පද්ධතියක් මෙන් ම, විවිධ අරමුණු අරභයා සැලසුම් කළ ප්‍රජා ව්‍යුහයන් එම නගරයට ඇතුළත් වුණා. ලෝකයේ බොහෝ ආගම්වලට ශුද්ධ වූ ස්ථානයක් හෝ නගරයක් තිබෙනවා. භග්වාන් ශ්‍රී රාජ්නීශ්ට තමාගේ ධර්මය වෙනුවෙනුත් එවැනි ශුද්ධ වූ ස්ථානයක් අවැසි වුණා. රාජ්නීශ්පුරම් සියලු පහසුකම් සපිරි මනෝරාජිකයක් ආකාරයෙන් ගොඩනැඟීමට ඔහු උත්සහ කළේ ඒ නිසා යි.   

ඇන්ටිලොප්-රාජ්නීශ්පුරම් ගැටුම

 ක්‍රම ක්‍රමයෙන් ඉන්දියාවේ මිනිසුන් මුහුණ දුන් අත්දැකීමට සමාන අත්දැකීමක්, වස්කෝ බල ප්‍රදේශයේ සාමකාමී අමෙරිකානු ප්‍රජාවත් අත් විඳීමට පටන් ගත්තා. රාජ්නීශ්පුරම් නගරය විශාලත්වයෙන් සහ ජනගහනයෙන් එන්න එන්න ම විශාල වූ අතර, රාජ්නීශ්ගේ මනෝරාජික‍යට යාබද ව පිහිටි ඇන්ටිලොප් නගරයේ වැසියන් එය බලවත් තර්ජනයක් ලෙස සැලකුවා. සාම්ප්‍රදායික ක්‍රිස්තියානුවන් ලෙස ඔවුන් රාජ්නීශ් ප්‍රවර්ධනය කළ ඇදහිල්ල හෝ අනුගාමිකයන්ගේ හැසිරීම් රටා රිස්සුවේ නැහැ. ඉන්දියාවේ ආශ්‍රම තුළ සිදු වූ අකටයුතුකම් සහ අවිචාර ක්‍රියා රාජ්නීශ්පුරම් තුළත් සිදු වීම එයට හේතුව යි. විවිධ ආගමික කල්ලි අමෙරිකාව තුළ සිදු කළ විනාශකාරී ක්‍රියා තවමත් ඔවුන්ගේ මතකයේ තිබූ නිසා රාජ්නීශ්පුරම් සහ ඇන්ටිලොප් වැසියන් අතර එදිරිවාදිකමක් ගොඩ නැඟුණා.

රාජ්නීශ්පුරම් නගර පිවිසුමක් – www.buildingutopiapodcast.com 

 වගකීම් සහගත පුරවැසියන් ලෙස අමෙරිකානු නීතිය තුළින් ම පිළිතුරු සෙවීමට ඇන්ටිලොප් වැසියන් උත්සහ ගත්තා. රාජ්නීශ්ගේ අනුගාමිකයන් ද අමෙරිකානු නීතිය භාවිත කොට ඇන්ටිලොප් වැසියන්ට පහර දීමට සැරසුණා. අවසානයේ දී දෙපාර්ශවය අතර සමාජීය සහ දේශපාලනික මුහුණවරක් ගත් ගැටුමක් නිර්මාණය වුණා.

ගැටුමේ දී රාජ්නීශ්ගේ අනුගාමිකයන් අපූරු උපක්‍රමයක් භාවිත කළා. ඔවුන් එක්සත් ජනපදයේ සෑම තැනකින් ම නිවාස අහිමි මිනිසුන් දහස් ගණනක් බස් රථවලින් ගෙනැවිත් රාජ්නීශ්පුරම් හි නවාතැන් ලබා දීමට ක්‍රියා කළා. නගරයට පැමිණි අලුත් පුරවැසියන් ලෙස ඔවුන්ගේ ඡන්දය ඊළඟ ප්‍රාදේශීය මැතිවරණයේ දී ප්‍රයෝජනයට ගැනීම අනුගාමිකයන්ගේ අරමුණ වුණා. රාජ්නීශ්පුරම් සතු ව තිබූ ශක්තිමත් ඡන්ද පදනම නිසා මැතිවරණයේ දී ඇන්ටිලොප් නගර කවුන්සිලයේ බලය අත්පත් කර ගැනීමට රාජ්නීශ්ගේ අනුගාමිකයන් සමත් වූ අතර, ඇන්ටිලොප් නගරය “රාජ්නීශ්පුරම්” ලෙස නම් කිරීමටත් ඔවුන් ක්‍රියා කළා. 

රාජ්නීශ්ගේ අනුගාමිකයන් ඇන්ටිලොප් නගර කවුන්සිලයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු නගරයේ නම වෙනස් කළා – oregonconfluence.com 

දුර්වල වූ රාජ්නීශ්

 ඇන්ටිලොප් වැසියන් ඉදිරියේ රාජ්නීශ්ගේ අනුගාමිකයන් මෙතරම් ශක්තිමත් වූයේ කෙසේ ද? ඒ සඳහා භග්වාන් ශ්‍රී රාජ්නීශ් හෙවත් ඕෂෝගේ අනුග්‍රහය හෝ නායකත්වය ලැබුණා ද?

 සැබැවින් ම එක්සත් ජනපදයට ආ පසු ඉන්දියාවේ මෙන් ක්‍රියාශීලී ව කටයුතු කිරීමට තරම් ශක්තියක් රාජ්නීශ්ට නොතිබුණු බව කියවෙනවා. වයස්ගත වීමත් සමඟ පැන නඟින විවිධ සෞඛ්‍ය ගැටලු සමඟ සටන් වැදීමට සිදු වූ හෙයින්, ඔහු බොහෝ කාලයක් ‍හුදෙකලාව කාලය ගත කළ බව සඳහන්. ඉන්දියාවේ දී මුහුණ දුන් සංස්කෘතිකමය සහ නීතිමය ගැටලු ඒ හුදෙකලා බව තවත් තීව්‍ර කිරීමට හේතු වුණා. වසර කිහිපයක් ඔහු දේශනවලින් විවේක ගත්තත්, ඔහු වටා එක්රැස් වූ ධනයේ නම් අඩුවක් වුණේ නැහැ. මෙම කාලය තුළ රාජ්නීශ් සතු ව රෝල්ස් රෝයිස් වාහන 93 ක් තිබූ බව සඳහන්. ඔහුගේ ගෝලයන්, ආධාරකරුවන් සහ අනුගාමිකයන් තම ආධ්‍යාත්මික නායකයාට ගෞරවය දැක්වූයේ ඔහුගේ රෝල්ස් රොයිස් එකතුවට තවත් වාහන එක් කරමින්. 

ඕෂෝ සමඟ සිටින මා ආනන්ද් ශීලා –  www.dnaindia.com 

 හුදෙකලාව සිටි කාලය අතරතුර තීරණ ගැනීමේ වැඩි බලය නගරයේ මාතෘ මූලික ප්‍රජා කවුන්සිලය වෙත පවරන්න රාජ්නීශ් ක්‍රියා කළා. ඔහු තම පෞද්ගලික ලේකම්වරිය වූ මා ආනන්ද් ශීලා මත වැඩි විශ්වාසයක් තැබූ අතර, මෙම කාලයේ දී ඇය “රාජ්නීෂ් ජාත්‍යන්තර පදනමේ” සභාපතිනිය ලෙස කටයුතු කරමින් විශාල බලයක් තමා වටා ගොඩනඟා ගැනීමට සමත් වුණා.

අවසාන ප්‍රතිඵලය වුණේ ආනන්ද් ශීලා සහ රාජ්නීශ්පුරම් හි ප්‍රජා නායකයන් අතර යම් මතභේදාත්මක වාතාවරණයක් ඇති වීම යි. ඇන්ටිලොප් නගරයෙන් පැන නැඟුණු විරෝධය පවා මැඩ පවත්වන්න නායකත්වය දුන්නේ ඇය යි. නමුත්, සියලු අකටයුතුකම්වල වගකීම  භග්වාන් ශ්‍රී රාජ්නීශ්ගේ ගිණුමට බැර වන බවක් පෙනෙන්න තිබුණා.

ආක්‍රමණය තවදුරටත්..

 ඇන්ටිලොප් නගරය අත්පත් කර ගැනීමෙන් පසු රාජ්නීශ් වටා සිටි බලවතුන්ගේ ඊළඟ අභිප්‍රාය වුණේ වඩාත් පුළුල් වස්කෝ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම යි. වඩාත් තරගකාරී වන ඊළඟ මැතිවරණයේ දී ආසන තුනෙන් දෙකක බලය ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වුණා. රාජ්නීශ්පුරම් නගරයට ප්‍රබල විරෝධයක් ගොඩනැඟී තිබූ නිසා මා ආනන්ද් ශීලා ඇතුළු අනෙකුත් ප්‍රජා නායකයන් මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා විවිධ සැලසුම් සිදු කළා. කුඩා ජනගහනයක් ඇති ඇන්ටිලොප් නගරය පහසු ඉලක්කයක් වුණත්, මුළු වස්කෝ බල ප්‍රදේශයේ ම බලය අත්පත් කර ගැනීම පහසු නොවන බව ඔවුන්ට අවබෝධ වුණා. ‍

ඕෂෝ, රාජ්නිශ්පුරම් හි අනුගාමිකයන් සමඟ – www.pinterest.com 

රාජ්නීෂ් අනුගාමිකයන්ට අසල්වැසි අමෙරිකානුවන් සමඟ එතෙක් පැවති දේශපාලනික ගැටුමට වඩා එහා ගිය ප්‍රබල සාධකයක අවශ්‍යතාව පැන නැගුණේ එවිට යි. අවසාන ප්‍රතිඵලය ලෙස “මා ආනන්ද් ශීලා” ඇතුළු ප්‍රජා නායකයන් වස්කෝ ප්‍රදේශයේ ජනාකීර්ණ ම ප්‍රදේශය වන ඩැල්ස් හි ඡන්ද දායකයින් අකර්මණ්‍ය කිරීමේ භයානක සැලසුමක් ක්‍රියාත්මක කිරීමට තරම් බලයෙන් අන්ධ වුණා. 1984 වර්ෂයේ අගෝස්තු සහ ඔක්තෝබර් අතර රාජ්නීශ් විරෝධි ඡන්ද දායකයන් බහුතරයක් හදිසියේ ම ආහාර විෂ වීමකට ලක් වුණේ ඒ සැලසුම නිසා යි.

ආන්දෝලනාත්මක සිදුවීම් වල වගකීම සම්පූර්ණයෙන් බැහැර කිරීමට රාජ්නීශ්ට හැකි වුණේ නැහැ –  au.rollingstone.com 

මහා පරිමාණ ආහාර විස වීම්වලට රාජ්නීශ්ගේ ඊනියා ආධ්‍යාත්මික නගරය වගකිව යුතු බව බොහෝ දෙන සැක පහළ කළා. මැතිවරණ දිනයේ දී රාජ්නීශ් අනුගාමිකයන්ගේ මැතිවරණ ජයග්‍රහණය වැලැක්වීම සඳහා වස්කෝ ප්‍රදේශයේ අමෙරිකානුවන් ප්‍රබල ව පෙළ ගැසුණා. රාජ්නීශ් විරෝධි අමෙරිකානුවන් එහි දී සාර්ථක වූ අතර, ඔවුන්ගේ දැඩි ප්‍රතික්‍රියා හමුවේ රාජ්නීශ් අනුගාමිකයන්ගේ අපේක්ෂකයන් මැතිවරණයෙන් ඉවත් වුණා.

සියලු පහසුකම්වලින් සපිරි රාජ්නීශ්පුරම් හි තාවකාලික නිවාස – www.neh.gov 

නිහඬතාව බිඳ දැමූ ඕෂෝ

 විමර්ශනවල දී සැල්මොනෙල්ලා ප්‍රහාරය පිටුපස රාජ්නීශ්පුරම් හි අනුගාමිකයන් සිටින බව එකවර ඔප්පු වුණේ නැහැ. ප්‍රදේශයේ අවන්හල්වල ආහාර දූෂිත වීම පිටුපස ඔවුන් සිටින වග තහවුරු කිරීමට තරම් සාක්ෂි නොමැති වීම ඊට හේතුව යි. කෙසේ නමුත්, මැතිවරණ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පැතිර ගිය කටකතා එක හෙළා ම බැහැර නොකිරීමට බලධාරීන් වග බලා ගත්තා.

මාස කිහිපයකට පසු, එනම්, 1985 පෙබරවාරි 28 වැනිදා ඔරිගන් ප්‍රාන්තයේ කොන්ග්‍රස් සභික ජේම්ස් හොවාර්ඩ්, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී ඩැල්ස් හි ආහාර විෂ වීම සම්බන්ධයෙන් කතා කළ අතර, එහි වගකීම භගවාන් ශ්‍රී රාජ්නීෂ් ඇතුළු අනුගාමිකයන්ට භාර ගත යුතු බව ප්‍රකාශ කළා.  

 මෙම කාල පරාසය පුරා ම භගවාන් ශ්‍රී රාජ්නීශ් නිශ්ශබ්ද ව සිටි බවක් පෙනෙන්න තිබුණා. 1985 ජූලි වනවිට අප්‍රසිද්ධ ජීවිතයෙන් නැවත එළියට පැමිණ ඉගැන්වීම් වලට දායක වෙන්නට රාජ්නීශ් තීරණය කළා. ඒ වනවිට මා ආනන්ද් ශීලා සහ ඇයගේ සහචරයන් රහසේ ම යුරෝපයට පිටත් ව ගොස් තිබූ නිසා ආන්දෝලනාත්මක සිදුවීමේ සැබෑ ඇතුළාන්තය හෙළිදරව් කිරීමට කාලය පැමිණ ඇති බව රාජ්නීශ් තේරුම් ගත්තා.

රාජ්නිශ්පුරම් වැසියන්ට ආරක්ෂාව සපයන නිලධාරීන් – www.pinterest.com 

 ජෛව ත්‍රස්ත ප්‍රහාරය

 ජෛව ත්‍රස්ත ප්‍රහාරය ඔහුගේ අනුදැනුමකින් තොරව සිදු වූ බවත්, ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ඝාතනය කිරීමට මා ආනන්ද් ශීලා ඇතුළු ඇයගේ සහචරයන් උත්සහ කළ බවත්, රාජ්නීශ් මාධ්‍යට හෙළි කළ බව සඳහන්. රාජ්නීශ්පුරම් තුළ සිටි වෙනත් අධිකාරී පුද්ගලයන්ට විෂ ශරීරගත කිරීමේ උත්සාහයක් ගැනත් කියවුණා. ඒ අනුව තමාට එල්ල වූ සියලු චෝදනාවල මූල හේතුව මා ආනන්ද් ශීලා බව භග්වාන් ශ්‍රී රාජ්නීශ් ප්‍රකාශ කළා.

 රාජ්නීශ්ගේ නිර්දෝෂීභාවය මහජන සැකයට හේතු වුණත්, එක්සත් ජනපද බලධාරීන් සිදු කළ වැඩිදුර පරීක්ෂණවල දී ඔහුගේ ප්‍රකාශවල සත්‍යතාවක් ඇති බව තහවුරු වුණා. පර්යේෂකයන් රාජ්නීශ්පුරම් හි වෛද්‍ය සායනවලින් සැල්මොනෙල්ලා රෝපණ සොයාගත් අතර, ඒවා ඩැල්ස් හි අවන්හල්වලින් ලබාගත් සාම්පල සමඟ ගැළපෙන බවත් සොයා ගත්තා. ඉන්පසු යුරෝපයට පැන ගිය මා ආනන්ද් ශීලා සහ ඇයගේ සහචරයන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඇරඹුණා.

ඩැල්ස් ප්‍රදේශයේ අවන්හල් කිහිපයක “සැලඩ් බාර්” ලෙස හඳුන්වන කොටසේ ආහාර සැල්මොනෙල්ලා වලින් දූෂිත ව තිබුණා – www.nydailynews.com 

චෝදනා හමුවේ භග්වාන් ශ්‍රී රාජ්නීශ් යම්තාක් දුරකට නිර්දෝෂ වුණත්, ඔහුට අත් වූ අගෞරවය එයින් සමහන් වුණේ නැහැ. රාජ්නීශ් කෙරෙහි අනුගාමිකයන්ට තිබූ විශ්වාසය වේගයෙන් වියැකෙන්නට පටන් ගත් අතර, ඔවුන් රාජ්නීශ්ගේ ඉගැන්වීම් අඩංගු පතපොත පවා ගිනිබත් කළා. ඔවුන් පැළැඳ සිටි තැඹිලි පැහැ ඇඳුම් ද විනාශ කර දැමුවා. සිය ගණනක් වූ අනුගාමිකයන් රාජ්නීශ්පුරම් හැර ගිය අතර, බලධාරීන් රාජ්නීශ්ගේ මනෝ රාජ්‍යය සඳහට ම වසා දැමුවා.

 නිල වශයෙන් “ඕෂෝ” වූ රාජ්නීශ් 

රාජ්නීශ් එතෙක් අත්කර ගෙන තිබූ කීර්තිය සහ ප්‍රසිද්ධිය වේගයෙන් වියැකී යෑමත් සමඟ ඔහුට තිබූ එකම සහ හොඳ ම විසඳුම වුණේ හැකි ඉක්මනින් එක්සත් ජනපදයෙන් පිටවීම යි. ජෛව ත්‍රස්ත ප්‍රහාරය සහ ‍රාජ්නීශ්පුරම්වල සිදු වූ අනෙකුත් අකටයුතුකම්වල වගකීමෙන් ඔහු සම්පූර්ණයෙන් නිදහස් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. රාජ්නීශ්ට වසර දහයක අත් හිටවූ සිර දඬුවමක්, වසර පහක පරිවාස කාලයක් සහ විශාල දඩයක් නියම වුණා.

මා ආනන්ද් ශීලා – www.nydailynews.com 

 1985 නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපදයෙන් පිටමං වූ භග්වාන් ශ්‍රී රාජ්නීශ්, ඉන්දියාවට නැවත පැමිණියා. ඉන්දියාවට පැමිණි පසු තම සත්‍ය නාමය වෙනුවට පසුකාලීන ව කා අතරත් ප්‍රසිද්ධ වූ “ඕෂෝ” ‍යන අන්වර්ථ නාමයෙන් ඔහු නැවතත් පැරණි ආශ්‍රමයේ සිට දේශන ඇරඹුවා. 1990 ජනවාරි 19 වැනිදා මේ ආන්දෝලනාත්මක ආධ්‍යත්මික නායකයා සිය අවසන් හුස්ම වා තලයට මුසු කළා.

මා ආනන්ද් ශීලා අත් අඩංගුවට ගත් පසු ඇයට වසර 59 ක සිර දඬුවමක් නියම කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කළා.  යහපත් කල් ක්‍රියාව නිසා මාස 29 ක් ඇතුළත නිදහස ලබා ගැනීමට ඇය සමත් වුණා. මා ආනන්ද් ශීලා ඉන්පසු ස්විස්ටර්ලන්තයට සංක්‍රමණය වූ බව පැවසෙනවා. ඕෂෝ ගේ  අදහස් සහ වැකි අදටත් ලෝකයේ ප්‍රසිද්ධ යි. එහෙත්, ඕෂෝ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයට ඇත්තේ අමිහිරි මතකයක්.

පළමු කොටස මෙතැනින් කියවන්න.

රාජ්නීශ්ගේ වැටීමත් සමඟ සතුටු වූ ඇන්ටිලොප් හි වැසියන් – www.pinterest.com 

කවරයේ ඡායාරූපය: භග්වාන් ශ්‍රී රාජ්නීශ් (ඕෂෝ) - www.dnaindia.com

 මූලාශ්‍ර:

pacsentinel.com

www.vice.com

www.ncbi.nlm.nih.gov

www.sannyas.wiki 

Related Articles