Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිබර්ටි ප්‍රතිමාවේ අන්දරය

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ හරි හරියට කියැවෙන දේ අතරින් ‘ලිබර්ටි’ හෙවත් ‘නිදහසේ ප්‍රතිමාව’ මුල් තැනක ලා සලකන්නට පිළිවන්. ගිනි සිළුවක් අතින් ගත් කාන්තාවක් දැක්වෙන මේ ප්‍රතිමාව පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරයි. මීට වසර සියයකටත් වඩා ඉතිහාසයක් ඇති මෙය හා සබැඳි ඉතිහාස කතාවත් මේ ප්‍රතිමාව තරම්ම අලංකාරයි. එමෙන්ම මෙය ඇමෙරිකාවට ප්‍රංශයෙන් ලැබුණු ත්‍යාගයක් වීමත් විශේෂයි.

ලිබර්ටි ප්‍රතිමාවේ මූලික තොරතුරු

මේ ප්‍රතිමාව දකුණතින් ඉහළට ඔසවාගත් ගිණිසිළුවක්ද, වමතින් ශිලා පුවරුවක්ද දරාගෙන සිටින කාන්තාවක ස්වරූපයෙන් නිමවා තිබෙනවා. වමතෙහි ඇති ශිලා පුවරුවේ රෝම ඉළක්කමෙන් ක්‍රි.ව 1776 ජූලි 4 හෙවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය දැක්වෙනවා. ප්‍රතිමාවේ වම් පාදය අසළ බිඳී ගිය දම්වැලක් නිමවා තිබෙනවා. බිඳී ගිය දම්වැලෙන් නිදහසත්, ගිණි සිළුවෙන් ආලෝකයත් නිරූපණය වෙනවා. ඇගේ හිසෙහි රැස් 7 ක් සහිත ඔටුන්නක් ඇති අතර එමඟින් ලොව මහාද්වීප 7 නිරූපණය වෙනවා.

baltana.com

පාදමේ සිට ඔසවාගෙන සිටින පන්දමේ ඉහළ කෙළවර දක්වා අඩි 305 කුත් අඟල් 6 ක උසකින් සමන්විත මේ ප්‍රතිමාවේ බර ටොන් 225ක් තරම් වෙනවා. මෙහි පාදවල පහළ කෙළවරේ සිට හිස් මුදුන දක්වා උස අඩි 111 කුත් අඟල් 6ක්. එමෙන්ම ඉණෙහි වට ප්‍රමාණය අඩි 35ක්. පසුකාලීනව හෙවත් 1986 වසරේදී ගිණි සිළුවට කැරට් 24 රන් ආලේප කොට තිබෙනවා. මේ ප්‍රතිමාව තඹ ආවරණයක් සහිතව නිමවා ඇති අතර කාලයාගේ ඇවෑමෙන් තඹ මලින වීම සිදු වී එයට අද පවතින ලා කොළ පැහැති වර්ණය ලැබී තිබෙනවා.

ලිබර්ටි ප්‍රතිමාවේ ඉතිහාසය

ලිබර්ටි ප්‍රතිමාව නිපදවීමේ පළමු වස්තු බීජය පහළ වූයේ ප්‍රංශ ජාතිකයෙකු වන එඩුවාර්ඩ් ඩෙ ලෙබුලේ ගේ සිතෙහියි. ඒ 1865 වසරේදී වූ අතර ඔහුගේ සිතැඟි වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ 100 වන නිදහස් සැමරුම වෙනුවෙන් ප්‍රංශය නියෝජනය කරමින් විශේෂ සමරුවක් ලබා දීමයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 100 වන නිදහස් සැමරුම 1876 වසරට යෙදී තිබුණු අතර ඒ වන විට ඒ සඳහා වසර 10ක් වැනි කාලයක් ඉතිරි වී තිබුණු බැවින් අපූර්ව හා දැවැන්ත නිර්මාණයක් කිරීමට ඔහුට අවශ්‍ය වුණා. ඔහු මේ අදහස දක්ෂ මූර්ති ශිල්පියෙකු වන ෆෙඩෙරික් බාර්තොල්ඩි වෙත ප්‍රකාශ කරන අතර බාර්තොල්ඩි වසර 6 ක් ම ගත කරන්නේ එම නිර්මාණය කුමක් දැයි නිසියාකරව සැලසුම් කිරීම හා ස්ථිර කරගැනීම සඳහායි.

එඩුවාර්ඩ් ඩෙ ලෙබුලේ (වමේ) හා ෆෙඩෙරික් බාර්තොල්ඩි (fiveminutehistory.com)

ක්‍රි.ව 1871 වන විට බාර්තොල්ඩි තමන් ඉදි කරන නිර්මාණය කුමක්දැයි තීරණය කර තිබුණා. එය ‘ලිබර්ටි (නිදහස ) – ලෝකය ආලෝකමත් කරනු වස්’ යනුවෙන් නම් කළ ඔහු සැලසුම් කර තිබුණේ ගිණි සිළුවක් අතින් ඔසවාගෙන සිටින විශාල කාන්තා රූපයක් නිර්මාණය කිරීමටයි. මෙය ඇමෙරිකා එක්සත් ජනපදය වෙත දන්වා යැවූ අතර ඔවුන් එයට බොහෝ සතුටු වූවා. අවසානයේ කතිකා වූයේ ප්‍රතිමාවේ වියදම් ප්‍රංශ ජනයා සම්මාදමින් දැරීමට හා එහි පාදම අමෙරිකානු පුරවැසියන්ගේ මුදලින් ඉදි කිරීමටයි.

ඇමෙරිකාවේ යහපත් ප්‍රතිචාරයත් සමඟ ඔද වැඩුණු බාර්තොල්ඩි ඉක්මණින්ම ඇමෙරිකාව බලා නැව් නැග්ගේ එහි ගොස් පාදමේ කටයුතු සඳහා මුදල් එක්කාසු කිරීම්වලට දිරි දී කර්තව්‍යය කඩිනම් කිරීම සඳහායි. ඔහු රැගත් නැව නිව්යෝක් වරායට සේන්දු වත්ම ඒ ආසන්නයේ පිහිටි එලිස් දූපතට යාබදව පිහිටි බෙඩ්ලෝ දිවයිනේ වූ අක්කර 12 ක පමණ හි බිම් කඩක් ඔහු ඇස ගැටුණා. ලිබර්ටි ප්‍රතිමාව ස්ථාපිත කිරීමට සුදුසුම ස්ථානය එය බව ඔහු තීරණය කළා.

බාධා ඔස්සේ ඉදිරියටම

ඇමෙරිකා එක්සත් ජනපදයට සේන්දු වූ බාර්තොල්ඩි ඉදිරි මාස 5 ගත කළේ ප්‍රතිමාවේ පාදම සඳහා වූ ජනතා සම්මාදම් දිරි ගැන්වීම සඳහායි. කෙසේ නමුත් ඔහු නැවත ප්‍රංශයට පැමිණි වහාම ඔහුගේ ව්‍යායාමයට පළමු බාධාව එල්ල වුණා. එවකට ප්‍රංශය පාලනය කළ තුන් වන නැපෝලියන් ඇමෙරිකාවට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ඔහු මේ අදහසට තරයේ ම විරුද්ධ වුණා. තමන් සිපිරිගෙට නියම වීමේ පවා අවදානමක් ඇති බැව් වටහා ගත් බාර්තොල්ඩි කෙටි කාලකට නිහඬ වීමට තීරණය කළා. මෙලෙස ක්‍රි.ව 1874 දක්වා ගත වූ අතර අවසානයේ නැපෝලියන් පාලනය බිඳවැටී ප්‍රතිමාව ඉදිකිරීමේ කටයුතුවලට හිතකර දේශපාලන වාතාවරණයක් ප්‍රංශයේ ගොඩනැඟුණා. ඉක්මණින්ම ක්‍රියාත්මක වූ බාර්තොල්ඩි ෆ්‍රැන්කො-ඇමෙරිකන් එකමුතුව නම් කණ්ඩායමක් ස්ථාපනය කර ප්‍රතිමාවට අවශ්‍ය ප්‍රංශ ජනතා සම්මාදම් එකතු කිරීමේ වැඩ කටයුතු ඇරඹුවා.

ගුස්ටාව් අයිෆල් (biography.com)

මේ අතර ඔහු ප්‍රතිමාව නිපැයීම සඳහා ශක්‍යතාවන් පරාසයක් හිමි කණ්ඩායමක් බඳවා ගත් අතර ඒ අතර පසු කලෙක ප්‍රංශයේ අයිෆල් කුළුණ නිපැයූ ගුස්ටාව් අයිෆල්ද සිටියා.

නිදහස් සැමරුම මඟහැරෙයි

ප්‍රංශයේ දේශපාලන කම්කටොළු මඟ හැරෙන විට ඇමෙරිකාවේ සියවන නිදහස් සමරුව කට ලඟටම පැමිණ තිබූ අතර එදිනට පෙර මේ දැවැන්ත ඉදිකිරීම අවසන් කිරීම ප්‍රායෝගික නොවූ දෙයක් බව සියල්ලන්ටම වැටහී තිබුණා. කෙසේ නමුත් බාර්තොල්ඩි අභියෝගය අත් හැරීමට සූදානම් වූයේ නැහැ. කාල ගැටළුව පසෙක තැබූ ඔහු කවදා හෝ මෙය සාදා අවසන් කරන්නෙමි යන අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට පටන් ගත් අතර සම්මාදම් එක්රැස් කිරීමේ කටයුතු ද දිගටම සිදු කරන්නට යෙදුණා.

ක්‍රි.ව 1876 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ 100 වන සැමරුම පැවැත්වුණු අතර ඒ වන විට ඔහු ලිබර්ටි ප්‍රතිමාව නිපැයීමේ මුල් අදියරටවත් අත ගසා තිබුණේ නැහැ. කෙසේ නමුත් එය පරාජයක් ලෙස නොසැලකූ ඔහු ප්‍රතිමාව නිපැයීමට ඇස්තමේන්තු කරන ලද ඇමෙරිකානු ඩොලර් 400,000 ක මුදල් සම්භාරය සොයා ගැනීමේ අසීරු කර්තව්‍යය සඳහා නව මං සෙව්වා. අවසානයේ ලොතරැයි ක්‍රමයක් අත්හදා බැලීමට ඔහුගේ කණ්ඩායම යෝජනා කළ අතර එය සාර්ථක වුණා.

ලිබර්ටි ප්‍රතිමාවේ හිස ප්‍රදර්ශනයට තබා (New York Public Library)

ඇමෙරිකා එක්සත් ජනපදය තිබුණේ ප්‍රංශයටත් වඩා අවුල් සහගත තත්ත්වයකයි. ප්‍රංශයෙන් ලැබෙන ත්‍යාගය ගැන මුලින් උදම් ඇනුවත් එයට තමන්ගේ පසුම්බිවලින්ද මුදල් ගිලිහෙන බැව් දැනගත් දා සිට මේ ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් දැක්වූයේ පසුගාමී ආකල්පයක්. බොහෝ දෙනා ප්‍රතිමාවක් වෙනුවෙන් සිය මුදල් යෙදවීම නිරර්ථක දෙයක් ලෙස සැලකුවා. ඇමෙරිකානු කොංග්‍රසයද ප්‍රතිමාව නිපැයීම අගය කරමින් කතා කළත් මුදල් යෙදවුම් යෙදවීමේ පනත් සම්මත කරගැනීමට අපොහොසත් වූවා. කෙසේ නමුත් ඉක්මණින්ම බාර්තොල්ඩි ප්‍රතිමාවේ ගිණිසිළුව හා එය දරා සිටින හස්තය නිම කර එය ඇමෙරිකාව වෙත ගෙන ආ අතර එය ප්‍රදර්ශනයට තබා මුදල් යම් ප්‍රමාණයක් උපයාගත්තා. මේ ආකාරයෙන්ම ඊට වසර 2 කට පසු ප්‍රතිමාවේ හිසත් නිපදවා ඔහු එය ප්‍රංශයේ ප්‍රදර්ශනයට තැබුවා. කෙසේ නමුත් මේ ද්විත්වයෙන්ම සිතූ තරම් මුදල් ඉපයීමට බාර්තොල්ඩි සමත් වූයේ නැහැ.

ක්‍රි.ව 1883 දී ප්‍රතිමාවේ පාදම තැනීමේ කර්තව්‍යට ඇමෙරිකානු ඩොලර් 100,000 ක මුදලක් සම්මත කිරීම උදෙසා වූ යෝජනාවක් ඇමෙරිකානු කොංග්‍රසයේදී ප්‍රතික්ෂේප වෙනවා. මීට අමතරව නිව්යෝක් වර්ල්ඩ් පත්‍රයේ හිමිකරු වන ජෝශප් පුලිට්සර්ද මේ සඳහා වූ සම්මාදම් තර කිරීමට උත්සාහ කළත් එයද ව්‍යර්ථ වෙනවා.

ප්‍රතිමාවේ වැඩ කටයුතු නිමවෙයි.

නිපදවෙමින් පවතින ලිබර්ටි ප්‍රතිමාව (1884)-dailymail.co.uk

ක්‍රි.ව 1884 දී හෙවත් මුලින් සැළසුම් කළ දිනට වසර 8 කට පසුව ප්‍රතිමාව සම්පූර්ණයෙන් නිම කර අවසන් කිරීමට බාර්තොල්ඩිට හැකි වෙනවා. කෙසේ නමුත් මේ වන විටත් ඇමෙරිකානුවන් විසින් එහි පාදම සඳහා ඇස්තමේන්තු වූ මුදල සපයාගෙන තිබුණේ නැහැ. මේ වන විට සම්මාදම් එකතු කොට නිව්යෝක් නුවර පාලකයින් හෙම්බත්ව සිටි අතර ඔවුන් තදාසන්න නගරවල පාලකයින් ප්‍රතිමාව සිය නගරයේ ස්ථාපිත කරන ලෙස වූ ඉල්ලීම්ද ගලා එන්නට වුණා. මේ අතර බාර්තොල්ඩි ප්‍රතිමාව කෙලින් කොට ප්‍රංශයේ පිහිටි සිය කලාගාරයේ තැන්පත් කොට තැබුවේ ඇමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනා තුරුයි.

මේ අතර ප්‍රතිමාවේ රසිකයෙකුව සිටි ජෝශ්ප් පුලිට්සර් නැවතත් සිය පත්‍රය ඔස්සේ සම්මාදම් සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට උත්සුක වූ අතර ඒ වන විට ප්‍රදේශයේ ඉතා ජනප්‍රියව තිබූ ඔහුගේ පුවත්පත ඔස්සේ ගෙන ගිය මෙවර ප්‍රවර්ධන උත්සාහය මල්ඵල ගැන්වෙනවා. මෙහිදී වැඩි ආදායමක් ලැබෙන්නේ කුඩා ප්‍රමාණවලින් දායක කරන ලද දුප්පතුන්ගේ මුදල් හරහායි. ඔවුන් වැඩි දෙනෙකු ඇමරිකාවට පැමිණි සංක්‍රමණිකයන්. ඒ නිසා ලිබර්ටි ප්‍රතිමාව ඉදිරි කාලයේ ඇමරිකාව වෙත එන සංක්‍රමණිකයන් පිළිගන්නට සංක්‍රමණිකයන්ගේම මුදලින් ඉදි වූවක් ලෙස සුවිශේෂී වටිනාකමක් ද ලැබුවා.

ඉතා සූක්ෂම හා කලාත්මක ලෙස දියත් වුණු ප්‍රවර්ධන වැඩසටහන නිසා ලිබර්ටි ප්‍රතිමාව පිළිබඳව නව පිබිදීමක් ඇමෙරිකාව තුළ ඇති වූ අතර විවිධ ව්‍යාපාරිකයින්ද එහි පාදම ඉදි කර අවසන් කිරීමට අවශ්‍ය මුදල් ලබා දීමට උත්සුක වුණා. කෙසේ හෝ ක්‍රි.ව 1886 අප්‍රේල් මස වන විට පාදම සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් වෙනවා. මේත් සමඟම ලිබර්ටි ප්‍රතිමාවත් කොටස් වශයෙන් නැව් මඟින් නිව්යෝක් නුවරට ගෙන එනු ලැබුණු අතර එම වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම පහේ බෙඩ්ලෝ දිවයිනෙහි ස්ථාපිත කොට තිබුණා.

ජෝශප් පුලිට්සර් (ibmilwaukee.com)

ලිබර්ටි ලොවට විවර වුණු වගයි!

ක්‍රි.ව 1886 ඔක්තෝබර් මස 28 වන දින මහා ජන ගංගාවක ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ජනපති ග්‍රෝවර් ක්ලිව්ලන්ඩ් ගේ සුරතින් ලිබර්ටි ප්‍රතිමාව විවෘත කරනු ලැබුණා. මේ වන විට කලින් සැළසුම් කල දිනට වඩා දස වසරක් වැඩිපුර ගත් වී තිබුණත් එමඟින් ඇමෙරිකාවට ලැබුණු වටිනාකම බිඳකදු අඩු නොවුණු බව බොහෝ දෙනා ප්‍රකාශ කළා.

ලිබර්ටි ප්‍රතිමාව විවෘත කළ දින (The National Parks Service)

පසු කාලීනව ලිබර්ටි ප්‍රතිමාවේ යම් යම් අළුත්වැඩියා කිරීම් හා වෙනස්කම් සිදු වූ අතර ඉන් විශේෂම එකක් වන එහි පාදමේ ඇති “Give me your tired, your poor, / Your huddled masses yearning to breathe free …” නම් පැදි පෙළ 1903 වසරේදී එක් කෙරුණක්. එය එමා ලාසරස් නම් කිවිඳියගේ පබැඳුමක්. ඇය එහි කතෘ අයිතිය ප්‍රතිමාවේ පාදමට අරමුදල් රැස් කරනු වස් ස්වෙච්ඡාවෙන් පුද කර තිබුණා.

රටකින් රටකට ලැබුණු සුවිශේෂීම තිළිණය ලෙස එදත් අදත් ලිබර්ටි ප්‍රතිමාව ලොව පුරාම ප්‍රසිද්ධයි.

කවරයේ පින්තූරය – Shutterstock

Related Articles