මේ දිනවල කොරෝනාවෛරසය ලෝකයේ රටවල් රැසක ජනතාව භීතියට පත් කර තිබෙනවා. මුල්මවරට චීනයෙන් වාර්තා වුණු මෙම වෛරසය මේ වන විට යුරෝපයට දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා. එම නිසාම මේ වන විට යුරෝපයේ රටවල් රැසක ජනතාව මරණ බියෙන් ජීවත් වනවා. මීට වසර 673කට පෙරත් යුරෝපය මෙවැනිම දරුණු වසංගත තත්ත්වයටකට මුහුණ දුන්නා. එදා යුරෝපය පුරාම පැතිරී ගිය මහාමාරිය වසංගතය හඳුන්වනු ලැබුවේ කළු මරණය (Black Death) ලෙස යි. එහි දී යුරෝපයේ සිටි මිලියන 20ක ජනතාව මියගිය නිසා මෙය ලෝක ඉතිහාසය තුළ ඇති වුණු දරුණුම වසංගතයක් ලෙසින් සලකනු ලබනවා.
මහාමාරිය රෝගය ඇති වුණු හැටි
මහාමාරිය නම් රෝගය යර්සීනියා පෙස්ටිස් නම් කුඩා බැක්ටීරියාවක් මඟින් ආසාදනය වුණු අතර, මීයන් මත වෙසෙන මැක්කන් විශේෂයක් උන්ගේ ප්‍රාථමික වාහකයා වුණා. එම මැක්කාට බැක්ටීරියාව ආසාදනය වුණු විට උන්ගේ බඩවැල් එම බැක්ටීරියාවෙන් පිරී ගියත් මැක්කාට ඉන් කිසිදු හානියක් වුණේ නැහැ. නමුත්, එලෙස බැක්ටීරියාව ආසාදනය වුණු මැක්කා තමා වෙසෙන මීයාගේ සිරුරින් ලේ උරාබීම ආරම්භ කළ විට උන්ගේ බඩවැල් බැක්ටීරියාවෙන් පිරී තිබීම හේතුවෙන් උරා බිව් රුධිරය රඳවාගත නොහැකිව වමනය කරනු ලැබුවා. එම වමනය සමගින් පිටතට පැමිණි බැක්ටීරියාව, මැක්කා ලේ උරා බිව් සිදුරින් මීයාගේ සිරුර තුළට ඇතුළු වී මීයාව ආසාදනය කළා. එලෙස ආසාදිත තත්ත්වයට පත් වුණු මීයා මත වෙසෙන සියලුම මැක්කන්ට සහ එම මැක්කන් විසින් ලේ උරාබොන සියලුම මීයන්ට ද රෝගය ක්ෂණයෙන් වැළඳුණා. රෝගය වැළඳීමෙන් ටික දිනකට පසුව ආසදිත මීයා මියයාමෙන් පසුව මැක්කා ආදේශකයක් ලෙස මිනිසා සොයා ගියා. මැක්කා මිනිස් ලේ උරා බීමේ දී ද ඉහත ක්‍රියාවලියම සිදුවුණු නිසා රෝගය මිනිසාට ඉක්මනින්ම ආසාදනය වුණා. එම අවධියේ මෙම රෝගයේ රෝග කාරකය මීයන් සහ ඔවුන්ගේ සිරුරුවල සිටි මැක්කන් බව සොයාගෙන තිබුණත්, පසු කලෙක මේ පිළිබඳව අධ්‍යයනයක් කළ ඔස්ලෝ සහ ෆෙරාරා විශ්වවිද්‍යාලවල පර්යේෂක කණ්ඩායමක් පවසා සිටියේ; මිනිස් සිරුරුවල සිටි උකුණන් සහ මැක්කන් වැනි පරපෝෂිත සතුන් ද මෙම වසංගතයට විශාල හේතුවක් වුණු බව යි.
රෝග ලක්ෂණ
අදාළ බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුල් වී දින 2-7 අතර කාලයක් ගත වන විට රෝග ලක්ෂණ මතු වීම ආරම්භ වුණා. එහි දී වසා පද්ධතිය ආසාදනය වීම නිසා පළමුව ඉකිලි සහ කිහිලි ප්‍රදේශවල සියුම් ගෙඩි හට ගනු ලැබුවා. ඉන්පසුව ක්‍රමයෙන් විශාල වුණු එම ගෙඩිවල සැරව පිරීමෙන් පසුව පුපුරා යාම නිසා මහා තුවාල බවට පත් වුණා. එලෙස තුවාල සෑදී ටික දිනකට පසුව අධික ලෙස ලේ වමනය ගොස් මිනිසුන් මියයාම බියුනෝනික මහාමාරිය ලෙසින් හැඳින්වුණා. එලෙස රෝගයට ගොදුරු වුණු පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයේ ද අදාළ බැක්ටීරියාවන් වාසය කළා. එම නිසාම බැක්ටීරියාව කෙළ බිඳිති මඟින් හෝ කැස්සත් සමග අවට සිටින සියලුම දෙනා වෙත පැතිර යාම භයානක තත්ත්වයක් වුණා. එලෙස කෙළ බිඳිති මඟින් රෝගය ආසාදනය වුණු විට එම පුද්ගලයා මත සැරව ගෙඩි හට නොගත් අතර, උග්‍ර කැස්සක් පමණක් අඛණ්ඩව පැවතුණා. එලෙස දිගින් දිගටම පැවති කැස්ස උත්සන්න වීමෙන් පසුව කැස්සත් සමග ලේ පිටව ගිය මහාමාරිය රෝග ප්‍රභේදය නියුමෝනික මහාමාරිය ලෙසින් හැඳින්වුණා. එම මහාමාරිය ප්‍රභේද දෙකටම වඩා වඩාත් දරුණු වුණේ සෙප්ටිසීමික මහාමාරිය යි. එහි දී රෝගය වැළඳුණු පුද්ගලයාගේ රුධිර සංසරණ පද්ධතිය බැකිටීරියාවෙන් පිරී පැවතුණු නිසා ඇඟිලි සහ කකුල් කළු පැහැයට හැරී පණපිටින් සිටිය දී ම කුණු වී හැලී යාම වේදනාත්මක සිදුවීමක් වුණා. එලෙස විශාල වේදනාවකට මුහුණ දෙන ආසාදිත පුද්ගලයා දින කිහිපයකින් මරණයට පත් වන විට කළුගැසී කුණු වී විරූපී තත්ත්වයකට පත්ව සිටි නිසා මෙම මහා වසංගතය කළු මරණය ලෙසින් හැඳින්වුණා.
රෝගය චීනයෙන් ආරම්භ වී පසුව යුරෝපයට ඇතුල් වුණා
ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වන ආකාරයට මෙම වසංගතය උපත ලබා ඇත්තේ චීනයේ යි. ඉන්පසුව චීනයේ සිට නෞකා 12ක් කළු මුහුද හරහා ගොස් ඉතාලියේ සිසිලි වරායට ඇතුල් වුණා. එලෙස ගමන් කළ වෙළඳ නෞකාවල සිටි මීයන් සහ මැස්සන් මඟින් මෙම දරුණු වසංගතය යුරෝපයට ඇතුළු වුණු බවට මතයක් පවතිනවා. එදා මෙම වසංගතය ඉතාලියට ඇතුල්වීමෙන් පසුව මුළු යුරෝපය පුරාම පැතිරී ගියේ ඉතාමත් වේගයෙන්.
රෝගය යුරෝපය පුරාම දරුණු ලෙස පැතිරී යයි
ඉතාලියට ඇතුල් වුණු වසංගතය ඉතාලියේ සිට වයඹට සංක්‍රමණය වී පිළිවෙලින් ප්‍රංශය, ස්පාඤ්ඤය, හා පෘතුගාලය යන රටවල් ගිලගනු ලැබුවා. ඉන් නොනැවතුණු මෙම වසංගතය එංගලන්තය හා ස්කොට්ලන්තය ද විනාශ කරමින් ජර්මනිය හරහා ස්කැන්ඩිනේවියානු රටවල් වෙතට ද පැතිරී ගියා. එලෙස සමස්ත යුරෝපයම භීතියට පත් කළ මෙම වසංගතය 1350 වසර වන විට සමස්ත යුරෝපයම අකර්මණ්‍ය කර තිබුණා.
යුරෝපයේ මිලියන 20කට දිවි අහිමි වෙයි
වසංගතය පැතිරුණු මුල් කාලයේ මියගිය පුද්ගලයන් සමූහ මිනීවලක භූමදානය කරනු ලැබුවා. නමුත්, වසංගතය උත්සන්න වීමෙන් පසුව යුරෝපයේ නගර පුරා මියගිය මිනිසුන් විශාල වශයෙන් දක්නට ලැබුණා නිසා ඔවුන්ගේ භූමදාන කටයුතුවත් හරියාකාරව සිදුකිරීමට නොහැකි වුණා. එම නිසාම එදා සමස්ත යුරෝපයම දිස් වුණේ සොහොන් පිටියක් ලෙසින්. එදා මෙම වසංගතයෙන් මියගිය ගණන ආසන්න වශයෙන් මිලියන 20ක් පමණ වුණා. එය එම අවදියේ යුරෝපයේ වාසය කළ ජනගහනයෙන් 1/3ක් පමණ වුණා.
වසංගතය නිසා යුරෝපයට සිදුවුණු බලපෑම්
මෙම වසංගතය යුරෝපයට දැඩි ආර්ථික, සාමාජීය, මෙන්ම ආගමික බලපෑමක් ඇතිකරනු ලැබුවා. වසර 4ක් පුරාවට අකර්මණ්‍ය වුණු යුරෝපයට යළි නැගී සිටීමට යම් කාලයක් ගත වුණා. මෙම වසංගතයෙන් පසුව විශාල පිරිසක් මියගිය නිසා වැන්දඹුවන් ප්‍රමාණය වැඩි වුණා. එසේම, අනාථ වුණු ධනවත් දරුවන් ද රැසක් යුරෝපය පුරා ඉතිරි වුණා. එලෙස අනාථ වුණු ධනවත් දරුවන් විසින් වැන්දඹුවන්ව විවාහ කර ගැනීම සාමාජීය ප්‍රශ්න ඇති කළා. ඊට අමතරව වසංගතයෙන් පසුව යුරෝපය පුරා ප්‍රචණ්ඩත්වය සහ අශිෂ්ටත්වය වැඩි වීම විශාල සමාජ පරිහානියක් ඇති කරනු ලැබුවා. එසේම, වසංගතය පැවති කාල සීමාව තුළ යුරෝපය පුරා භාණ්ඩ නිෂ්පාදනය පහත වැටුණු නිසා දැඩි ආර්ථික අර්බුදයක් ඇති වුණා. එලෙස ආර්ථික සහ සාමාජීය වශයෙන් පිරිහීමකට ලක් වුණු යුරෝපයට ආගමික කටයුතු සඳහා පූජකයන්ගේ හිඟයකුත් ඇති වුණා.
මහාමාරිය තවමත් විවිධ අවස්ථාවල හිස ඔසවනවා
1347-1351 කාල සමය තුළ මහාමාරිය යුරෝපයේ පැතිරීමෙන් පසුව යළි 1665 වසරේ දී එංගලන්තයේ මහාමාරිය දරුණු ආකාරයෙන් පැතිරී ගියා. එසේම, යළි 19 වැනි සියවසේ දී චීනය ඇතුළු ආසියානු රටවල් කිහිපයක ද මහාමාරිය පැතිරී ගියා. පසුගිය වසර කිහිපය තුළ අප්‍රිකානු මහද්වීපයේ ඇතැම් රටවලින් ද වාර්තා වුණු මහාමාරිය රෝගය තවමත් ලෝකයෙන් තුරන් කර නැහැ.