ඊශ්‍රායලය කේන්ද්‍ර කොටගෙන 1960 දශකයේදී මැද පෙරදිග අවිලී ගිය සය දින යුද්ධය පැවතියේ ඉතා කුඩා කාලයක් පමණක් වුවත් එය මැද පෙරදිග දේශපාලනික සිතියම උඩු යටිකුරු කිරීමට සමත් වෙනවා. ඊශ්‍රායලය එදා මෙදා තුර ලබාගත් විශිෂ්ටතම යුධ ජයග්‍රහණයකට පාර කැපූ මේ යුද්ධයේ බලපෑම් අදටත් පවතිනවා. මේ එහි දෙවන දිගහැරුමයි.
යුද්ධයක් අත ළඟ
ක්‍රි.ව 1967 වන විට සිරියාවට හා ඊජිප්තුවට අවි ආයුධ හා ප්‍රහාරක යානා සැපයීමේ ප්‍රමුඛයෙක් බවට පත්ව සිටියේ සෝවියට් දේශයයි. 1967 වසරේ අප්‍රේල් මස 7 වනදා ඊශ්‍රායලය සිරියාවට අයත් ගුවන් යානා බිම හෙලීමත් සමඟ ඊශ්‍රායලය සිරියාව වෙත මහා ප්‍රහාරයක් සඳහා හොඳින්ම සූදානම් වී ඇති බව වැරදියට වටහාගත් රුසියාව මේ බව ඩැමස්කස් නුවරට දන්වනවා. ඊශ්‍රායලය මෙය ප්‍රතික්ශේප කළත් එය පිළිනොගන්නා සිරියාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඊජිප්තුවත් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන්නේ ඊශ්‍රායලයට එරෙහිව යුධ කිරීමට සූදානම් වීම සඳහායි.
සිරියාවේ බස අනුව යමින් 1967 වසරේ මැයි මස 15 වන විට ඊජිප්තු ජනපති ගමාල් අබ්දුල් නසාර් සිය හමුදාව සයිනයි කාන්තාරයේ පිහිටි ඊශ්‍රායල දේශ සීමාව ආසන්නයට මෙහෙයවනවා. මැයි මස 18 වන විට ඔවුන් යුද්ධයකට සූදානම්ව ගෝලාන් උස්බිම් ප්‍රදෙශයටත් ලඟා වී පෙළගැසී සිටිනවා. සූවස් ඇළ සම්බන්ධ අර්බුධය කාලයේ පටන් සයිනයිහි රැඳී සිටි එක්සත් ජාතීන්ගේ හමුදාවට පැය 48 ක් තුල ඉවත් වන ලෙස ජනපති නසාර් මැයි මස 16 වන දා දැනුම් දෙන අතර, මැයි මස 20 වන විට ඊජිප්තු බළමුළු සිටියේ ඊශ්‍රායල දේශ සීමාව පෙණෙන මානයේයි.
ටිරාන් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම
ඊජිප්තුව හා සිරියාව ඊශ්‍රායලය වෙතින් ඉක්මන් ප්‍රහාරයක් බලාපොරොත්තු වුණත් මැයි මස 21 වන විටත් එවැන්නක සේයාවක්වත් තිබුණේ නැහැ. මේ අතර සතුරා අඩපණ කිරීමට ජනපති නසාර්ට කදිම අදහසක් එනවා.
ටිරාන් සමුද්‍රසන්ධිය පිහිටා තිබෙන්නේ ඊජිප්තුව ආසන්නවයි. ඊශ්‍රායලයට ආසියාවේ සිට භාණ්ඩ රැගෙන එන සියළු නෞකා භූ ගෝලීය පිහිටීම අනුව මේ හරහා ගමන් කළ යුතු වුණා. මේ අතරින් වඩා වටිනාම කාරණය වූයේ මෙය අවහිර කළහොත් ඊශ්‍රායලයට ඉරානයෙන් ගෙන එන තෙල් සියල්ල නොලැබී යාමයි. (අද මෙන් නොව එකළ ඉරාන රජය බටහිරට සහ ඊශ්‍රායලයට හිතවත් රජයක් වුණා). එමඟින් යුධමය කටයුතු වලට මරු පහරක් එල්ල වන බව තේරුම් ගත් ඊජිප්තු ජනපති නසාර් මැයි 22 ඊශ්‍රායලය බලා යන සියළුම නෞකා සඳහා ටිරාන් සමුද්‍රසන්ධිය වසා දමනවා.
ඊජිප්තුවට ආසන්න්නව තිබුණත් නීති ප්‍රකාරව එම සමුද්‍රසන්ධිය අවහිර කිරීමට ඊජිප්තුවට බලයක් තිබුණේ නැහැ. ඇමරිකානු ජනපති ලින්ඩන් බී. ජොන්සන් එය නීති විරෝධි බව ප්‍රකාශ කර එය නිරීක්ෂණය කිරීමට අන්තර්ජාතික කමිටුවක් පත් කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැහැ. ඉක්මණින්ම ඊශ්‍රායල අගමැති ලෙවි එශ්කොල් අමතන ජොන්සන් යුද්ධයකට යාමට කලබල නොවන ලෙස අවවාදයක් දෙනවා. සය දින යුද්ධය ඇවිලී යාමේ පළමු වෙඩි මුරය අප්‍රේල් 7 වෙනිදා දැල්වෙද්දී මැයි 22 දා සිදු වූ මේ සිදුවීම යුධ ගිණි ඇවිලී යාමට ආසන්නම හේතුව වූ බව අදටත් විද්වතුන් ප්‍රකාශ කරනවා.
යුද්ධයට පෙර අවසන් දින කිහිපය
ඊශ්‍රායලයට ලැබෙන සැපයුම් කපා හැරි විට ඔවුන් අඩපණ වන බවත්, ඒ නිසා ඉක්මණින්ම ඔවුන් ප්‍රහාර දියත් කරනු ඇති බවටත් ඊජිප්තු ජනපති නසාර් බලාපොරොත්තු වුණා. ‘ඊශ්‍රායලය බිඳ දැමීම තම මූලිකම අරමුණ බවත් ඒ සඳහා සටන් කිරීමට අරාබි ජනතාව සූදානම් බවත්’ මැයි මස 27 වන දා ඔහු ප්‍රකාශ කලා. එසේම තම කිසිදු ලෙසක සාම සාකච්ඡාවකට සූදානම් නැති බවත් ඔහු ප්‍රකාශ කළා.
මැයි 30 වන දා වන විට මෙතෙක් කල් සාමකාමී ප්‍රතිපත්තියක සිටි ජෝර්දානයේ හුසේන් රජුත් අවසානයේ නසාර්ට සහය පළ කිරීමට එක් වෙනවා. මේ අනුව එදින වන විට ඊජිප්තු, ජෝර්දාන, සිරියා හා ලෙබනන හමුදාව ඊශ්‍රායලය හතර වටින් වටකොට තිබුණු අතර සැපයුම්ද ඇණහිට තිබුණු නිසා පිටත සිට බලන්නෙකුට පෙණුනේ ඊශ්‍රායලයට මින් කිසිදු ගැලවීමක් නොලැබෙන බවකුයි. ජුනි මස උදාවන විට ඊශ්‍රායල දේශ සීමාව ආසන්නයේ ඊජිප්තුවට පක්ෂපාතී 465,000 ක බලකායක්ද, යුද ටැංකි 2800ක් ද, ප්‍රහාරක යානා 800ක් ද ස්ථානගතව සිටියේ තව දින කීපයක් තුළ ඊශ්‍රායලය සුන්නද්ධූලි වන බව තව තවත් තහවුරු කරමින්.
දේශ සීමා වල එසේ වෙමින් තිබියදී ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර එකම කඩි ගුලක් බවට පත්ව තිබුණා. සති තුනක් තිස්සේ සැපයුම් අහිමි වී තිබීමත් හතර වටින් කොයි යම් හෝ මොහොතක ප්‍රහාර එලල වීමේ හැකියාවත් නිසා ඊශ්‍රායල අගමැති ලෙවි එශ්කොල් ඉතා දැඩි ආතතියකට ලක් වී සිටීයා. ඔහු හමුදා තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය බළමුළු වල ප්‍රධානී ලුතිනන් ජෙනරාල් යිට්සැක් රාබීන් ට ලබා දී තිබුණා. ඔහු තීරණය කරන්නේ කල් මැරීමෙන් මදින් මද තත්වය තමන්ට අවාසි පැත්තට හැරෙන බව හා ඒ නිසා වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.
යිට්සැක් රාබීන් යුද්ධයට සැරසෙද්දී හිටපු ඊශ්‍රායල අගමැති ඩේවිඩ් බෙන් ගූරියන් ප්‍රකාශ කලේ යුද්ධයකට යා නොදී මෙය විසඳාගත යුතු බවයි. ඔහුට 1956 ඇති වූ සූවස් ඇල සම්බන්ධ යුද්ධය පිළිබඳ අමිහිරි අත්දැකීම තිබුණු අතර, ජනප්‍රිය චරිතයක් වූ ඔහුගේ මේ ප්‍රකාශය ජනතාව අතර යම් දෙගිඩියවක් ඇති කිරීමට සමත් වුණා. මේ අතර බොහෝ දෙනා කියා සිටියේ එශ්කොල්ට ඊශ්‍රායලය පාලනය කිරීම සඳහා නිසි ශකිතියක් නොමැති බවත් ඒ නිසා ඔහු ඉවත් විය යුතුය යන කාරණයයි. එලෙසම ඔවුන් ආරක්ෂක ඇමති ලෙස යුධ වීරයෙක් ලෙස හැඳින් වුණු මෝෂේ දයාන්ව පත් කරන ලෙසයි.
ඉවසීම නිමවෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයත් මේ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සිය උපරිම උත්සාහය දැරුවත් ඒවා ව්‍යර්ථ වී ගියා. අරාබි ලීගය කිසි ලෙසකින් එවැන්නකට සූදානම්ව නොසිටි අතර දිගින් දිගටම රුසියාවෙන් ලැබුණු ප්‍රතිපාදන නිසා දිනෙන් දින ඔවුන් හමුදාවක් ලෙස ශක්තිමත් වුණා. මෙතෙක් කල් ගිරයකට හසු වුණු පුවක් ගෙඩියක් මෙන් සිය රටෙහි ජනතාවටත් විද්වතුන්ටත් මැදිව තීරණයක් ගැනීමට නොහැකිව සිටි අගමැති ලෙවි එශ්කොල්ගේ ඉවසීමේ සීමාව අන්තිම මොහොතේදී ඉක්මවා යනවා. මොහොතින් මොහොත කර වටටම තද වන මේ යුද්ධය ජය ගැනීමේ යම් කිසි හෝ බලාපොරොත්තුවක් තබාගැනීමටනම් සිතා ගැනීමටවත් නොහැකි මොහොතක එක් වරම ක්‍රියත්මක විය යුතු බව සැළසුම් කිරීම සඳහා මේ වෙනවිට ගෙන්වාගෙන සිටි මෝෂේ දයාන් ප්‍රකාශ කරනවා. එය පිළිගන්නා අගමැති එශ්කොල් 1967 ජුනි 5 වෙනිදා සිය හමුදාවට ඊජිප්තුවට ගොස් එයට පහර දෙන මෙන් නියම කරනවා.
සයදින යුද්ධය පිළිබඳව තවත් රසවත් තොරතුරු තෙවන කොටසින් ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්.
කවරයේ පින්තූරය -(bronpancerna /pinterest.com