නයිජීරියාවේ දරුණුම බෙදුම්වාදී අරගලය වූ, බියාෆ්‍රා යුද්ධය​

අප්‍රිකාවේ විශාලම ජනගහනයක් වාසය කරන නයිජීරියාවේ විවිධ ජන කොටස්වලට අයත් ජනයා වාසය කරනවා. ආගමික වශයෙන් රටේ ආසන්න වශයෙන් සමාන ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ලබ්ධිකයන් සිටිනවා. නමුත්, ඇතැම් විට ආගමික වෙනස්කම්වලටත් වඩා වැදගත් වන්නේ ජනවර්ග අතර වෙනස යි. මෙම වෙනස නිදහස් නයිජීරියා ඉතිහාසය පුරාවට ම එරට දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කළා. මෙය ඉතා ම පැහැදිලි ලෙස දකින්නට ලැබුණේ බියාෆ්‍රා යුද්ධයේ දී යි.

ජන වර්ග තුනක් සහ දෙසිය පනහක්

නයිජීරියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ 1960 ඔක්තෝබර් 1 වන දා යි. නිදහස ලබන සමය වන විට නයිජීරියාව පළාත් තුනකින් යුත් ෆෙඩරල් රාජ්‍යයක් වුණා. එහි පළාත් තුන අතරේ ප්‍රධාන ජන වර්ග තුන බෙදී තිබුණා.

නයිජීරියාවේ විශාලම සහ ජනගහනය අධික ම පළාත වූයේ උතුරු පළාත යි. රටේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් සහිත වූ එහි වර්ග ප්‍රමාණය සමස්ථ නයිජීරියාවේ විශාලත්වයෙන් තුනෙන් දෙකක් පමණ වුණා. මෙහි ප්‍රධාන ජන කණ්ඩායම වූයේ හවුසා ජනතාව යි.

රටේ නිරිතදිග ප්‍රදේශයේ වූ බස්නාහිර පළාතේ වැඩි දෙනා යොරුබා ජනතාව වුණා. රටේ ගිනිකොණදිග ප්‍රදේශයේ වූ නැගෙනහිර පළාතේ වැඩි දෙනා ඉග්බෝ ජනතාව වුණා.

1960 දී නයිජීරියාවේ පළාත් තුන (Wikimedia Commons)

මෙම ජන කණ්ඩායම් එකිනෙකාට වෙනස් ලක්ෂණවලින් යුක්ත වුණා. හවුසා ජනයාගේ දේශපාලන නායකත්වය ඉතා ප්‍රබල වූ අතර, එහි සාමාන්‍ය ජනයා එම දේශපාලන නායකත්වයට යටත් ව කටයුතු කළා. මෙම දේශපාලන නායකත්වය සුල්තාන්වරුන්, එමීර්වරුන් ආදීන්ගෙන් යුක්ත වුණා. යොරුබා ජනතාව අතර ද මෙවන් සාම්ප්‍රදායික නායකයින් වුණා. ඉග්බෝ ජනතාව අතර එවන් සාම්ප්‍රදායික නායකත්වයන් වූයේ නැහැ. එමෙන්ම පුද්ගල ස්වාධීනත්වය පිළිබඳ අනෙක් ජනවර්ග දෙකට ම වඩා ඉග්බෝවරුන් මුල් තැනක් ලබා දුන්නා.

හවුසා දේශපාලන නායකත්වය නිදහස් නයිජීරියාවේ ප්‍රධානම දේශපාලන බලාධිකාරය බවට පත් වූයේ උතුරු ප්‍රදේශයේ වැඩි ජනගහනය හේතුවෙන්. නමුත් එම ජනයා අතර අධ්‍යාපනය ප්‍රචලිත වූයේ නැහැ. මේ අතර යොරුබාවරුන් වෙළෙඳාම සඳහා වඩා ප්‍රකට වූ අතර, කලක් තිස්සේ බටහිර ජාතීන් සමග ගනුදෙනු කිරීමෙන් ඔවුනගේ සිරිත් විරිත් ද පුරුදු වී තිබුණා. මේ අතර ඉග්බෝවරුන් ඉගෙනීමට දක්ෂයින් වුණා. රටේ සිවිල් සේවයෙහි වඩා ක්‍රියාකාරී වූයේ ඔවුන්. මේ හේතු නිසා රටේ පරිපාලනය තමන් අතින් ගිලිහේ ය යන බිය සැම විට ම උතුරු පළාතේ නායකයින්ට තිබුණා.

මේ ජනවර්ගවලට අමතර ව තවත් ජනවර්ග දෙසිය පනහක් පමණ නයිජීරියාවේ සිටිනවා. මේ පිරිස් පළාත් තුනේ ම බෙදී සිටියා. උතුරු පළාතේ ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් එවන් පිරිස් වුණා. ඔවුන් වැඩි වශයෙන් ජීවත් වුණේ එම පළාතේ පහළ කොටසේ යි. අනෙකුත් පළාත් දෙකේ ද තුනෙන් එකක් පමණ වූයේ සුළු ජාතීන්. ඒ ඒ පළාත්වල මහ ජාතීන් විසින් මෙම සුළු ජාතීන් යටපත් කෙරුණ අතර, මේ නිසා ඒ ඒ පළාත්වල අභ්‍යන්තර ජනවාර්ගික ගැටුම් ද තිබුණා.

1966 කුමන්ත්‍රණය සහ ප්‍රති-කුමන්ත්‍රණය​

කෙසේ වෙතත්, 1960 දී නයිජීරියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වන අවස්ථාවේ එම රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබා තිබුණා. රටෙහි සැලකිය යුතු තරම් ස්වාභාවික සම්පත් තිබුණා. ඒ වෙද්දී ඛනිජ තෙල් පවා සොයාගෙන තිබුණා. එමෙන්ම රටේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කර තිබුණා.

නයිජීරියාව ව්‍යසනය කරා ගෙන ගිය ප්‍රධානම හේතුව වූයේ සියලුළු ජන වර්ග එක් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනොනැඟීම යි. හවුසා, යොරුබා, සහ ඉග්බෝ ජනයාගේ සහායෙන් යුත් ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් රටෙහි ක්‍රියාත්මක වුණා. ඊට අමතර ව තවත් සාපේක්ෂ ව කුඩා දේශපාලන පක්ෂ කිහිපයක් ක්‍රියාත්මක වුණා.

නයිජීරියාවේ තෙල් සම්පත ප්‍රධාන වශයෙන්ම ඇත්තේ පැරණි නැගෙනහිර පළාතට අයත් වූ ප්‍රදේශයේ (Getty Images)

ප්‍රධාන දේශපාලන කණ්ඩායම්වල කුලල් කා ගැනීම් හේතුවෙන් නයිජීරියාව අස්ථාවර තත්ත්වයට පත් වුණා. මේ අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් තමන්ට හිතවත් හමුදා කණ්ඩායම්වල පවා සහාය බලාපොරොත්තු වුණා.

රටේ අස්ථාවර තත්ත්වය වෙනස් කිරීමේ අදිටනින් කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් 1966 ජනවාරි 15 වන දා රජයෙහි බලය අල්ලා ගත්තා. මෙම හමුදා කුමන්ත්‍රණය “මේජර්වරුන්ගේ කුමන්ත්‍රණය​” ලෙස ද හඳුන්වනු ලබනවා. මෙහි දී අගමැති අබුබකර් බලේවා ඇතුළු ප්‍රධාන දේශපාලකයින් පිරිසක් ඝාතනය කෙරුණා. ජොන්සන් අගුයි- ඉරෝන්සි නම් හමුදා නිලධාරියා රටේ බලයට පත් වුණා.

උතුරු පළාතේ ජනයා මෙම සිදුවීම පිළිබඳ ව එතරම් ප්‍රසාදයකට පත් වූයේ නැහැ. හමුදා කුමන්ත්‍රණය ක්‍රියත්මක කළ නිලධාරීන් සියල්ලන් ම පාහේ ඉග්බෝවරුන් වූ අතර, මරා දමන ලද දේශපාලකයින් බහුරතය උතුරුදිග දේශපාලකයන් වුණා.

මේ අතර මැයි මාසයේ දී අගුයි-ඉරෝන්සි විසින් නයිජීරියාවේ ෆෙඩරල් පළාත් අහෝසි කළා. ඒ සමග ම උතුරු පළාතේ දේශපාලන නායකත්වය බිය වූ දේ සිදුවෙමින් පැවතුණා. ෆෙඩරල් ක්‍රමය තිබිය දී උතුරු පළාතේ ඔවුනගේ පාලනයට තර්ජනය කිරීමට දකුණුදිග ජනයාට හැකියාවක් වූයේ නැහැ. නමුත් දැන් සිවිල් පරිපාලනය වඩා උගත් දකුණුදිග ගෝත්‍ර අතට මාරු වන බව හවුසා-ෆුලානි නායකත්වය වටහා ගත්තා.

යාකුබු ගොවොන් (syndicatereporters.com)

මෙහි ප්‍රතිඵලය වූයේ 1966 ජූලි මාසයේ සිදු වූ ප්‍රති කුමන්ත්‍රණය යි. මෙහි දී, උතුරු පළාතේ සුළු ජාතික කණ්ඩායමකට අයත් හමුදා නිලධාරියකු වූ ලුතිනන් කර්නල් යාකුබු ගොවොන් බලය අල්ලා ගත්තා.

නව පාලනය යටතේ ඉග්බෝවරුන්ට එල්ල වන පීඩනය වැඩි වුණා. නැගෙනහිර පළාතෙන් පිටත ජීවත් වූ ඉග්බෝවරුන්ට එරෙහිව ප්‍රහාර එල්ල වීමට පටන් ගත්තා. ඉග්බෝ වැසියන් ජීවත් වූ නැගෙනහිර ප්‍රදේශයේ බෙදුම්වාදය උත්සන්න වූයේ මෙම අවස්ථාවේ යි.

බියාෆ්‍රා යුද්ධය

මෙම පසුබිමේ දී නැගෙනහිර ප්‍රදේශයේ හමුදා ආණ්ඩුකාරයා වූ ලුතිනන් කර්නල් ඔඩුමෙග්වු ඔජුක්වු විසින් 1967 මැයි 30 වන දා එම ප්‍රදේශය​ බියෆ්‍රාව නමින් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළා. අප්‍රිකානු රටවල් කිහිපයක් මෙම නව රාජ්‍යය පිළිගත් අතර, යුද්ධය දිගට ඇදී යද්දී ඇතැම් බටහිර රාජ්‍යයන් බියාෆ්‍රාවට මානුෂීය ආධාර ලබා දුන්නා.

1967 ජූලි මාසය වන විට නයිජීරියානු හමුදා සහ බියෆ්‍රා හමුදා අතර සටන් ඇති වුණා. මුල්කාලීන ව බියෆ්‍රා හමුදා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තා. ඔවුන් මධ්‍ය-බටහිර ප්‍රදේශයට පවා සාර්ථක ප්‍රහාරයන් එල්ල කළා. නමුත් පසුකාලීන ව නයිජීරියානු හමුදා විසින් බියාෆ්‍රා හමුදා එම ප්‍රදේශයන්ගෙන් පසු බස්වා බියාෆ්‍රා ප්‍රදේශයට පහර දුන්නා.

බියාෆ්‍රා ප්‍රදේශය (Wikimedia Commons)

බියාෆ්‍රාවට තිබූ එක් වාසියක් වූයේ නයිජීරියාවේ බොරතෙල් සම්පත තම ප්‍රදේශයේ පිහිටීම යි. මෙම තෙල් නිෂ්පාදන කටයුතුවලින් 1958 සිට නයිජීරියාව ආදායම් ඉපයූ අතර, ​1967 වන විට ෆෙඩරල් රජයේ ආදායමෙන් සියයට 20ක් පමණ එයින් ලැබුණා.

1968 මැයි මාසයේ දී නයිජීරියානු හමුදා විසින් පෝර්ට් හාර්කෝර්ට් අල්ලාගත් අතර, එයින් පසු තෙල් නිෂ්පාදන සහ අපනයන කටයුතු එතරම් සිදුවූයේ නැහැ. එමෙන්ම බියාෆ්‍රාව වටලෑම ද තීව්‍ර​ වුණා.

කර්නල් ඔජුක්වු මාධ්‍ය අමතමින් (Getty Images)

ආහාර සහ ඖෂධ හිඟය බියාෆ්‍රා හි ජනතාවට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ නයිජීරියානු වටලෑම හේතුවෙන්. ආහාර අහේනිය හේතුවෙන් ළමුන් මෙන්ම වැඩිහිටියන් ද දහස් ගණනින් මියගියා. ඇතැම් බටහිර රටවලින් මෙම ප්‍රදේශයට මානුෂීය ආධාර ලැබුණ අතර, ඒවා ගුවනින් රැගෙන ගියේ ස්වේච්ඡා ගුවන් නියමුවන් විසිනුයි. ආගමික සංවිධාන ඇතුළු විවිධ සංවිධාන විසින් මෙවන් මානුෂීය ආධාර යැවීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළා.

ආහාර හිඟයෙන් පීඩා විඳින බියාෆ්‍රා දරුවෙක් (Getty Image)

කෙසේ නමුත්, දිගින් දිගටම එල්ල වන නයිජීරියානු ප්‍රහාර හමුවේ බියාෆ්‍රාව දිනෙන් දින දුර්වල වුණා. බියාෆ්‍රා සෙබළුන්ගේ ප්‍රබල ප්‍රතිරෝධය හේතුවෙන් නයිජීරියාවට ද ඉක්මන් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. නමුත් තම පාලන ප්‍රදේශය වටලෑම හේතුවෙන් අවි ආයුධ ගෙන්වා ගැනීම බියාෆ්‍රා පාලනයට අභියෝගයක් වුණා. ඔවුන් දේශීය ව විවිධ ආයුධ නිපදවීමට උත්සාහ කළා. නමුත් එයින් ඔවුනගේ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට හැකි වූයේ නැහැ.

ජයග්‍රාහකයෙකු නැත​; පරාජිතයෙකු ද නැත​.

බ්‍රිතාන්‍ය ආධාර ලද නයිජීරියානු හමුදා 1969 දෙසැම්බරයේ දී බියාෆ්‍රාවට එරෙහි අවසන් ප්‍රහාරය ඇරඹුවා. මේ වෙද්දී බියාෆ්‍රාව සිටියේ බෙහෙවින් දුර්වල අඩියක යි. සති කිහිපයක දී ඔවුනගේ සේනා පරාජයට පත් කෙරුණා. කර්නල් ඔජුක්වු අයිවරි, කෝස්ට් වෙත පළා ගිය අතර, 1970 ජනවාරි 15 වන දා බියාෆ්‍රා සේනාංක යටත් වුණා.

මෙහි දී මියගිය සංඛ්‍යාවන් පිළිබඳ විවිධ ඇස්තමේන්තු ඇති අතර, හමුදාවල 50,000ත් 100,000ත් අතර පිරිසක් මියගිය බව විශ්වාස කෙරෙනවා. නමුත් ප්‍රධානම ගැටළුව මතු ව තිබුණේ සිවිල් වැසියන්ට යි. යුධ ප්‍රහාර මෙන්ම සාගතය නිසා මියගිය නයිජීරියානුවන් (වැඩිපුර ම බියාෆ්‍රා වැසියන්) සංඛ්‍යාව මිලියනය ඉක්මවන බව විශ්වාස කෙරෙනවා. බියාෆ්‍රා වැසියන්ගේ වගාබිම් විනාශ කොට ළිංවලට වස දැමීමට නයිජීරියානු හමුදා යුද්ධයේ දී ක්‍රියා කළ අතර, ඉන් බොහෝ සාමාන්‍ය වැසියන් පීඩා වින්ඳා.

බියාෆ්‍රාව ආපසු නයිජීරියාව වෙත අන්තර්ග්‍රහණය කිරීම එකල සිදුකළ ඉතා සාර්ථක ක්‍රියාවලියක් ලෙස සැලකෙනවා. යාකුබු ගොවොන් ප්‍රකාශ කරන්නට යෙදුණේ මෙම යුද්ධයේ දී “ජයග්‍රාහකයෙකු නැත​; පරාජිතයෙකු ද නැත” යන්න යි. මෙම​ සංකල්පය ඔස්සේ රටේ සංහිඳියා ක්‍රියාවලිය​ සිදුවුණා. මෙම යුද්ධයේ දී සිදුකළ දක්ෂතා වෙනුවෙන් නයිජීරියානු හමුදා සාමාජිකයන් වෙත පදක්කම් පිරිනැමුණේ නැහැ. බියාෆ්‍රා හමුදා සෙබළුන් යළි ෆෙඩරල් හමුදාව වෙත ඇතුළත් කර ගැනුණා. උතුරු ප්‍රදේශයේ දේපළ අහිමි වූ ඉග්බෝවරුන්ට යළි එම දේපළ ලබා දුන්නා. සිවිල් සේවකයන් ද යළි සේවයෙහි පිහිටුවනු ලැබුණා. මෙම ක්‍රියාවලිය යුද්ධය සමයේ සිදු වූ ක්‍රියාවලියට හාත්පසින් ම වෙනස් ක්‍රියාවලියක් වූ අතර, ඉග්බෝවරුන් අතර බෙදුම්වාදය කලක් යන තුරු ම යටපත් වීමට හේතු වුණා.

මෑතකාලීන ව බියෆ්‍රා බෙදුම්වාදී උද්ඝෝෂණ නැවත මතු ව ඇත​. (Daily Post Nigeria)

එසේ වුව ද​, බියාෆ්‍රා යුද්ධයට හේතු වූ බොහෝ අසමානතා අදට ද ඒ අයුරින් ම පවතින බව චෝදනා එල්ල වන අතර වර්තමානයේ දී ඉග්බෝ තරුණයින් අතර බියාෆ්‍රා බෙදුම්වාදය පැතිර යන බවක් පෙනෙන්නට තිබෙනවා. නයිජීරියානු රජය ද එම පිරිස් මර්දනය කරනු ලබනවා. එක් අවස්ථාවක උද්ඝෝෂකයින් 150ක් පමණ නයිජීරියානු හමුදා ප්‍රහාරවලින් ඝාතනය වූ බවට චෝදනා එල්ල වුණා.

කවරය: කර්නල් ඔජුක්වු, බියාෆ්‍රා සෙබළුන් පිරිසක් පරීක්ෂා කරමින් (thetrentonline.com)

මූලාශ්‍ර​යයන්:

  • The State of Africa by Martin Meredith
  • Biafra at 50: Nigeria’s Civil War Explained (BBC)

Related Articles

Exit mobile version