හිට්ලර්ට වංචා කළ මළසිරුර

අනාදිමත් කාලයක සිට සටන්බිමේ දී අසත්‍ය ප්‍රචාරණයන් මඟින් සතුරාගේ අවධානය වෙනතක යොමුකරවා පහරදීම විවිධ අවස්ථාවල දී යොදාගැනුනා. එසේ වුවත් ඒ සම්බන්ධ ඉතාම සාර්ථක උදාහරණයක් එන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයෙන්. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය විසින් දියත් කරන ලද එම මෙහෙයුම හැඳින්වෙන්නේ Operation Mincemeat නමින්. එම මෙහෙයුම පිටුපස රසවත් කතාවක් තිබෙනවා.

සිසිලිය ආක්‍රමණය හා මිත්‍ර හමුදාවේ අභිලාෂයන්

1942 එල් ඇලමේන් සටනින් ෆීල්ඩ් මාෂල් අර්වින් රොමෙල්ගේ නට්සි ඇෆ්රිකානු සේනාංක (Afrika Korps) වෙත මරුපහරක් එල්ල කිරීමට ෆීල්ඩ් මාෂල් මොන්ට්ගොමරි යටතේ මිත්‍ර හමුදාවන් සමත් වුණා. ඉන්පසුව ඉතා පැහැදිලිව පෙනුනු පරිදි මිත්‍ර හමුදා අභිලාෂය වූයේ මධ්‍යධරණී මුහුද තරණය කොට, එවකට අක්ෂයේ ප්‍රධාන රටක් වූ ඉතාලිය ආක්‍රමණය කිරීම යි. මිත්‍ර හමුදාවන් ගොඩබැසීමට වඩාත් පහසුම ස්ථානය වූයේ සිසිලි දිවයින යි. නමුත් ජර්මානු හමුදා එම දිවයින් කෙරෙහි දැඩි අවධානයක් යොමුකර තිබුණු නිසා ඔවුන්ගේ අවධානය වෙනතකට යොමුකරවා ගැනීම අවශ්‍ය වුණා. එය සාර්ථකව සිදුකිරීමට, මිත්‍ර හමුදාවන් කෝර්සිකා දිවයින හෝ සාර්ඩිනියා දිවයිනෙන්, සහ ග්‍රීසියේ ප්‍රධාන භූමියෙන් එම ආක්‍රමණය ආරම්භ කරන බව ජර්මන් නායකත්වයට ඒත්තු ගැන්වීම අවැසි වුණා.

මේ සඳහා සුදුසු සැලැස්මක් තැනීමේ වගකීම පැවරුනේ බ්‍රිතාන්‍ය අන්තර් රහස් ඔත්තුසේවා වල නියෝජිතයන්ගෙන් සමන්විත විස්සේ කමිටුව යි. 1939 වසරේ දී නාවික රහස් ඔත්තු සේවයේ කමාන්ඩර් ඉයන් ෆ්ලෙමින් (පසුව ජේම්ස් බොන්ඩ් නවකතා කතෘ) විසින් යෝජනා කරන ලද සැලැස්මක් ඇසුරින් පියාසර ලුතිනන් චාල්ස් චොම්ලි ඉතා සූක්ෂම සැලැස්මක් ඉදිරිපත් කළා.

මින්ස්මීට් ක්‍රියාන්විතය මෙහෙයවූ කණ්ඩායම (The Telegraph)

ලුතිනන් චොම්ලිගේ සැලැස්ම

චොම්ලිගේ සැලැස්ම වූයේ මළසිරුරක ඇඳුම් තුළ බොරු සැලැසුම් හා සිතියම් සඟවා, ඒවා ජර්මන් හමුදා වෙත ලැබෙන්නට සැලැස්වීම යි. කෙසේ වුවත් මේ සඳහා හොඳින් ගැලපෙන මළසිරුරක් සොයාගත යුතු වෙනවා. එය හමුදා සේවයට ගැලපෙන වයසක සිටින, මනාව වැඩුණු තරුණයෙකුගේ විය යුතු යි. සැලැස්මේ විශ්වාසනීත්වයට එය අත්‍යවශ්‍ය සාධකයක්. ගුවන් යානයක ආක්‍රමණයට අවශ්‍ය සැලසුම් ආදිය රැගෙන ගමන් කරන පණිවිඩකරුවෙක්, ස්පාඥ්ඥ වෙරළ සමීප ප්‍රදේශයේ ගුවන්යානය අනතුරට ලක්වීම නිසා ජීවිතක්ෂයට පත්වී එම සිරුර ජර්මන්වරුන් අතට පත්වුණු බව ඔවුනට හැඟවීම මේ සැලැස්මේ අරමුණ වුණා.

මළසිරුරක් සොයාගැනීමේ කාර්යය භාරගත්තේ විස්සේ කමිටුවේ සාමාජිකයෙක් වූ, නාවික රහස් ඔත්තු අංශයේ ලුතිනන් කමාන්ඩර් එවන් මොන්ටේගු විසින්. අවශ්‍ය මළමිනියේ හැඩරුව සම්බන්ධයෙන් ලෝක ප්‍රකට ව්‍යාධිවේදියෙකු වූ ශ්‍රීමත් බර්නාර්ඩ් පිල්ස්බරි සමග සාකච්ඡා කළ මොන්ටේගු, සාන්ත පැන්ක්‍රාස්හි මරණ පරීක්ෂක කාර්යාලය වෙත පැමිණියා. මොන්ටේගුගේ පැරණි මිතුරෙක් වූ මරණ පරීක්ෂක බෙන්ට්ලි පර්චේස් අවශ්‍ය මළසිරුර සපයා දෙනු ලැබුවා. ඒ, එදින රාත්‍රියේ මී පාසානම් ගෙන සියදිවි නසා ගත් වේල්ස ජාතික තරුණයෙකුගේ සිරුරක්. වයස අවුරුදු 34ක තරුණ කම්කරුවෙකු වූ ග්ලින්ඩ්වර් මයිකල් මානසික පීඩාවලින් පෙළුණු අයෙක්.

මේජර් “මාර්ටින්” ගේ නාවික හැඳුනුම්පත  medium.com

චොම්ලිගේ සැලැස්ම හැඳින්වූයේ මින්ස්මීට් මෙහෙයුම නමින්. මියයන “හමුදා පණිවිඩකරුවා” මේජර් මාර්ටින් ලෙස නම් කරනු ලැබුවා. මළසිරුර වියළි අයිස් සහිත කුටීරයක තැන්පත් කරන ලද්දේ ක්ෂුද්‍රජීවී බලපෑම් නිසා දිරායාම වැළැක්වීමට යි. මේ අතර විස්සේ කමිටුව මඟින් “මේජර් මාර්ටින්”ගේ අනන්‍යතාවය නිර්මාණය කිරීමේ කාර්යය කරගෙන ගියා. ඔහු පෑම් නම් තරුණියක හා විවාහ ගිවිසගෙන සිටින බව හැඟවීමට රහස් ඔත්තු සේවයේ සිටි හෙස්ටර් ලෙගර්ට් නම් ලේකම්වරියක් විසින් “මේජර්වරයාගේ” ඇඳුම් තුළ තිබීමට අවශ්‍ය පෙම් හසුන් ලියනු ලැබුවා. එසමයේ හමුදා භටයන් සිය පෙම්වතියන්ගේ ඡායාරූප ළඟ තබාගැනීම සිරිතක් වූ බැවින්, තවත් ලේකම්වරියක් වූ ජීන් ලෙස්ලී විසින් තමන් පිහිනන ඇඳුමකින් ගත් ඡායාරූපයක් “පෑම්” ලෙස දැක්වීමට ලබා දෙනු ලැබුවා. “මේජර් මාර්ටින්”ගේ අනන්‍යතාවය තවත් ශක්තිමත් හා ස්වභාවික කරලීම සඳහා ඔහුගේ බැංකුවේ කළමණාකාරවරයාගෙන් යැයි සැලකෙන සැර ලිපියක් ද, සිය පියාගෙන් ලැබුවායැ යි පෙන්වන තද ලිපියක් ද, බිල් පත් කිහිපයක් ද, සහ තවත් යතුරු, නාට්‍ය දර්ශන සඳහා ටිකට් පත් ආදිය ද ඇඳුම් තුළ අඩංගු කරලීම සඳහා දක්ෂ ලෙස නිර්මාණය කරනු ලැබුවා.

අවසාන වශයෙන් “මේජර් මාර්ටින්” කතෝලිකයෙකු බව, ඔහුව මුලින්ම සොයාගනු ඇතැයි සැලකූ ස්පාඤ්ඤ ජාතිකයන්ට ඒත්තු ගැන්වීම සඳහා කර වටා කුරුසියක් ද පළඳවනු ලැබුවා. එවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ කතෝලික රටක් වන ස්පාඤ්ඤය සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමේ සම්භාවිතාව මේ නිසා අඩුවනු ඇතැයි බලාපොරොත්තුවෙන්. “මේජර් මාර්ටින්”ගේ බ්‍රීෆ්කේසය තුළ තිබුනේ මිත්‍ර හමුදාවන් විසින් සාර්ඩිනියා දිවයින ඔස්සේ හා ග්‍රීසියේ ප්‍රධාන භූමිය ඔස්සේ  ඉතාලිය ආක්‍රමණය කිරීමේ සැලසුම් විස්තර කරන ලියකියවිලි යි.

මේජර් “මාර්ටින්” ගේ පෙම්වතිය වන “පෑම්” ගේ ඡායාරූපය medium.com

මේජර් මාර්ටින්ගේ ඉරණම

1943 අප්‍රේල් 30 වැනි දින සෙරෆ් නම් බ්‍රිතාන්‍ය සබ්මැරීනය ස්පාඤ්ඤයේ නිරිතදිග වෙරළ ආසන්නයෙන් යාත්‍රා කළා. එදින සබ්මැරීනයේ කාර්යය මණ්ඩලයට අමතරව විශේෂ අමුත්තෙක් ද සිටියා. ඒ, බ්‍රිතාන්‍ය රාජකීය මැරයින් සේනාංකයේ මේජර් විලියම් මාර්ටින්. මේජර් මාර්ටින් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නිලධාරියෙක්. ඉතාම නිහඬ පුද්ගලයෙක් වූ ඔහු සිටියේ තම කුටිය තුළමයි. සබ්මැරීනයේ ටෝපිඩෝ උණ්ඩ ගබඩා කර ඇති ප්‍රදේශයේ විශේෂයෙන් සකස් කළ වානේ කුටීරයක් තුළ කපිතාන් මාර්ටින් සාමකාමී ලෙස සැතපී සිටියා.

හිමිදිරිය ළඟාවත්ම සෙරෆ් සබ්මැරීනය, මසුන් මරන ඔරු ඇණිය යටින් ගමන් කොට වෙල්වා වරාය අසල දී ජලය මතුපිටට පැමිණියා. ඉන්පසුව ‍මේජර් මාර්ටින්ගේ ජීවිතාරක්ෂක ජැකට්ටුවක රැඳි  සිරුර ජලයට මුදා හරිනු ලැබුවා. පැය කිහිපයකට පසු එම සිරුර සොයාගන්නා ලද්දේ හෝසේ අන්තෝනියෝ නම් අන්දොලුසියානු මසුන් මරන්නෙකු විසින්. බ්‍රිතාන්‍ය හමුදා ඇඳුම් හැඳ, බ්‍රීෆ්කේසයක් තම ඉණපටියට බැඳ සිටි එම මළසිරුර හෝසේ විසින් ස්පාඤ්ඤ බලධාරීන් වෙත භාරදෙනු ලැබුවා. බලධාරීන් විසින් බ්‍රීෆ්කේසයක් සහිත මේ මළසිරුර ගැන ජර්මන්වරුන් දැනුවත් කරනු ලැබුවා. වෙල්වාහි මෝචරිය තුළ දී බ්‍රීෆ්කේසයේ යතුර මේජර් මාර්ටින්ගේ ඇඳුම් තුළින් හමුවීම නිසා එහි ලියැවිලි පරීක්ෂා කිරීමේ හා ඡායාරූපගත කිරීමේ  අවස්ථාව අබ්වෙයර් නොහොත් ජර්මානු හමුදා රහස් ඔත්තු සේවයට ලැබුනා. ඉන්පසු මේජර් මාර්ටින්ගේ සිරුර සහ බ්‍රිෆ්කේසය බ්‍රිතාන්‍ය බලධාරීන්ට භාර දෙනු ලැබුවා. මතුපිටින් කිසිම අමුත්තක් නොපෙනුනනත් අන්වීක්ෂ යොදා පරීක්ෂාවේ දී බ්‍රිතාන්‍යයින්ට දක්නට ලැබුණේ බ්‍රීෆ්කේසයේ ලියකියැවිලි කලින් පරීක්ෂා කර ඇති බවයි. අබ්වෙයර් විසින් නිරීක්ෂණය කරන බව දන්නා නිසා යුද්ධයේ දී සිදුවූ මරණයක් ලෙස ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ ද මේජර් මාර්ටින්ගේ මරණය වාර්තා කෙරුණා. මේ අතර මාර්ටින්ගේ සිරුර සියලු හමුදා ගෞරවාචාර මැද වෙල්වා නගරයේදීම භූමදාන කෙරුනා.

1943 වසර වනවිට  මධ්‍යධරණි ප්‍රදේශය දක්වන  සිතියමක් http://africaaxisandallied.blogspot.com

මෙහෙයුමේ සාර්ථකත්වය

1943 මැයි 12 දින ඇඩොල්ෆ් හිට්ලර් නියෝග කළේ සාර්ඩිනියා දිවයිනේ හා ග්‍රීසියේ ප්‍රධාන භූමියේ ආරක්ෂාව තර කිරීමට අනික් සෑම කරුණකටම වඩා ප්‍රමුඛතාව දිය යුතු බවට යි. හිට්ලර්ගේ නියෝගයන් අනුව ප්‍රංශයේ ස්ථානගත කොට සිටි පැන්සර් බලඇණියක් ග්‍රීසියට යවන ලද අතර, අමතර වෆන් එස් එස් බලකායක් ද ග්‍රීසියට යවනු ලැබුවා. මෙලෙස සාර්ඩිනියා හා ග්‍රීසියේ ආරක්ෂාව තර කළත්, සිසිලිය කෙරෙහි ජර්මානු අවධානයක් යොමුවූයේ නැහැ. 1943 ජූලි 9 වැනි දා මිත්‍ර හමුදාව සිසිලියේ දකුණු කෙළවරට ප්‍රහාර එල්ලකොට, එහි සිටි ඉතාලි හමුදාව පහසුවෙන් යටත්කොට ජර්මානුන් මෙසිනා දක්වා පසුබැස්වූවා. ඔවුනට අවශ්‍ය අමතර පිරිස් ලැබුනේ ද නැහැ. හිට්ලර් කෙතරම් මේ උපක්‍රමයට රැවටී සිටියා ද කියතොත් සිසිලි ප්‍රහාරය අවධානය වෙනතක යොමු කරවීමේ ප්‍රහාරයක් ලෙස දුටු ඔහු, ග්‍රීසියට හා සාර්ඩිනියාවට එල්ල වේයැ යි සැලකූ සැබෑ ප්‍රහාරයට මුහුණ දීමට ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල් සාර්ඩිනියාවට යැව්වා. හිට්ලර්ව රැවටූ මළ සිරුරක් නිසා මිත්‍ර හමුදාවන්ට මසක් ඇතුළත සිසිලිය යටත් කරගත හැකි වුණා.

මූලාශ්‍රයයන්:

Medium.com

කවරයේ ඡායාරූපය: weebly

Related Articles

Exit mobile version