1840 මුඩුබිම් පනත නිසා ලාංකිකයන්ට වුණු හානිය

18 වන සියවසේ අග භාගයේ දී ඉංග්‍රීසි ජාතිකයන් මෙරට මුහුදුබඩ පළාත්වල බලය අල්ලාගනු ලැබුවා. ඉන් පසුව ඔවුන් මාන බැලුවේ උඩරට රාජ්‍යයේ බලය අල්ලා ගැනීමට යි. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු වුණු ෆෙඩ්‍රික් නෝත් 1803 වසරේ දී උඩරට ආක්‍රමණය කළත් එය සාර්ථක වුණේ නැහැ. එම ආක්‍රමණය අසාර්ථක වුණත් ඉංග්‍රීසින් උඩරට අල්ලා ගැනීම සඳහා විවිධ උපාය මාර්ග අනුගමනය කළා.

ඉංග්‍රීසින් උඩරට අල්ලා ගැනීම සඳහා ක්‍රමයක් සොයමින් සිටි අවස්ථාවක උඩරට රජතුමා සහ සිංහල රදළ ප්‍රධානීන් අතර ගැටුම් ඇති වුණා. එසේම රජතුමා ලබා දුන් කෲරතර තීන්දුවලට ජනතා අප්‍රසාදය එල්ල වුණා. ඉන් ප්‍රයෝජන ලබාගත් ඉංග්‍රීසීන් උඩරට රදළ ප්‍රධානීන්ගේ සහාය ද ඇතිව උඩරට රාජ්‍යයේ බලය ලබාගත්තා. 1815 වසරේ මාර්තු 2 වැනිදා ඉංග්‍රීසින් සහ උඩරට රදළ ප්‍රධානීන් අතර අත්සන් කළ උඩරට ගිවිසුමෙන් පසුව ලංකාවේ පාලන බලය ඉංග්‍රීසීන්ට හිමි වුණා. 

ඉංග්‍රීසින්ට එරෙහිව දියත් කළ මුල්ම කැරැල්ල 

1815 වසරේ මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඬුවේ දී ඉංග්‍රීසීන් සහ උඩරට ප්‍රධානීන් අතර අත්සන් කළ ගිවිසුම උඩරට ගිවිසුම ලෙසින් ප්‍රසිද්ධියට පත් වුණා. එලෙස අත්සන් කරන ලද ගිවිසුමෙන් උඩරට රදළ ප්‍රධානීන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් සුරකින බවට ඉංග්‍රීසීන් පොරොන්දු වුණා. නමුත් ටික කලක් යන විට ඉංග්‍රීසීන් එම පොරොන්දු කඩ කරන බව දුටු සිංහලයන් ඉංග්‍රීසීන්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළා. එදා ඌව පළාතේ වෙල්ලස්ස ප්‍රදේශය ආශ්‍රිතව ඇති වුණු මෙම කැරැල්ල ප්‍රසිද්ධ වුණේ වෙල්ලස්සේ කැරැල්ල ලෙසින්. 1818 වසරේ දී ඌව-වෙල්ලස්ස ප්‍රදේශයෙන් ඇරඹුණු එම කැරැල්ල අවසන් වුණේ සිංහල වීර සෙන්පතියන් කිහිප දෙනෙකුට මරණය උරුමකර දෙමින්. වෙල්ලස්ස කැරැල්ල සාර්ථකව මැඩ පැවැත්වූ ඉංග්‍රීසි ජාතිකයන් ක්‍රමයෙන් වැවිලි බෝග වගාවට යොමු වුණා. ඒ අනුව ඉංග්‍රීසින් මෙරට කොපි වගාව ආරම්භ කළේ 1824 වසරේ දී යි.

වෙල්ලස්ස කැරැල්ලේ අවස්ථාවක් (Prasanna Weerakkody Paintings)

ලංකාව තුළ කෝපි වගාව ආරම්භ වීම 

බ්‍රිතාන්‍යයන් මුලින්ම කෝපි වගාව ආරම්භ කිරීමට උත්සාහ කළේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව යි. නමුත් එය අසාර්ථක වුණේ වගාවට හිතකර දේශගුණික ලක්ෂණ එම ප්‍රදේශවල දක්නට නොලැබුණු නිසා යි. එකල බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ සිටි නිලධාරියෙකු වුණු ජෝජ් බර්ඩ් යළි මෙරට තුළ කෝපි වගාව ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගත්තා. ඒ අනුව ඔහු 1824 වසරේ දී ගම්පොල සිංහපිටිය ප්‍රදේශයේ තුළ සාර්ථකව කෝපි වගාව සිදුකරනු ලැබුවා. ඉන් පසුව කෝපි වගාව මෙරට තුළ සීඝ්‍රයෙන් පැතිරයන්නට වුණා. එම අවධියේ දී මෙරට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙසින් කටයුතු කළ එඩ්වඩ් බාන්ස් කෝපි වගාව දියුණු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නා. එදා ඉංග්‍රීසි වැවිලිකරුවන් රැසක් කෝපි වගාව සඳහා යොමුවන විට ජෙරෝනිස් ද සොයිසා නම් ලාංකිකයා මහා පරිමාණයෙන් කෝපි වගාව ආරම්භ කළ පළමු දේශීය ව්‍යාපාරිකයා බවට පත්වුණා.

කෝපි ඉඩම්වල සේවය කළ අය (Lankapura.com)

රාජකාරි ක්‍රමය අහෝසි කිරීම 

ලංකාව තුළ කෝපි වගාව ක්‍රමයෙන් දියුණු වීමත් සමගම මෙරට තුළ කෝපි වගා කළ බිම් ප්‍රමාණය වැඩි වුණා. කෝපි වගා කරන බිම් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඒවායේ වැඩ කිරීම සඳහා කම්කරුවන් සොයාගැනීමට අපහසු වුණා. ඒ රාජකාරි ක්‍රමය එම අවධිය තුළ මෙරට ක්‍රියාත්මක වුණු නිසා යි. රාජකාරී ක‍්‍රමයේ දී පුද්ගලයා ඉඩමට බැඳී කටයුතු කළ අතර තමා කැමති වෘත්තියක නිරතවීමේ අවස්ථාව එමඟින් ඇහිරී ගියා. එම නිසා අනිවාර්ය රාජකාරිය වහල් ක‍්‍රමයක් ලෙස හඳුන්වා දුන් බි‍්‍රතාන්‍යයන් 1833 වසරේ දී ඉදිරිපත් කළ කෝල්බෘක් ප්‍රතිසංස්කරණ මඟින්  රාජකාරී ක‍්‍රමය අහෝසි කළා. එදා ඔවුන් රාජකාරි ක්‍රමය අහෝසි කිරීම මඟින් බලාපොරොත්තු වුණේ වතු වගාවන්ට අවශ්‍යය නිදහස් ශ‍්‍රමිකයන් නිර්මාණය කිරීම යි.

කෝපි වගාව දියුණු වීම 

එදා බ්‍රිතාන්‍යය වැවිලිකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් කෝපි වගාව සඳහා යොමුව සිටියා. කෝපි වගාව සඳහා රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලැබුණු නිසා ඉන් ලැබුණු අස්වැන්න ද ක්‍රමයෙන් වැඩි වුණා. එලෙස කෝපි අස්වැන්න වැඩිවන විට ප්‍රවාහන අවශ්‍යතාවයන් ද මතු වුණා. එම නිසා ලංකාවේ මහා මාර්ග පද්ධතිය ද දියුණු වුණා. බ්‍රිතාන්‍යයන්ට කෝපි වගාවෙන් විශාල ආදායමක් ලැබුණු නිසා ඔවුන් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට කල්පනා කළා. නමුත් වගා කිරීම සඳහා ඉඩම් සොයාගැනීම ඔවුන්ට විශාල ගැටළුවක් වුණා. එම කාල සමය තුළ කෝපි වතුවල වැඩ සඳහා ශ්‍රමික හිඟයක් ද පැවතුණා. රාජකාරි ක්‍රමය අහෝසි කිරීම මගින් ලාංකිකයන් වතුවල වැඩ කිරීම සඳහා යොදාගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. බොහෝ විට ගැමියන් සතුව සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් තිබුණු නිසා ඔවුන් ඒවායේ වගා කටයුතු සිදුකරමින් හොඳ ආදායමක් ලබාගත්තා. එනිසා දේශීය ගැමි ජනයාට කෝපි වතුවල වැඩ කිරීමට යාම සඳහා අවශ්‍යතාවයක් මතු වුණේ නැහැ.

ලංකාවේ පැරණි මාර්ගයක් (Explore Sri lanka)

කෝපි වගාව සඳහා ඉඩම් ලබාගැනීමට ඉදිරිපත් කළ අසාධාරණ පනත 

කෝපි වගා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ඉඩම් නොමැති වුණු නිසා ගැමියන් සතුව තිබුණු ඉඩම් රජයට පවරා ගත හැකි ක්‍රමයක් පිළිබඳව බ්‍රිතාන්‍ය ආණ්ඩුව කල්පනා කළා. ඒ අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද 1840 අංක 12 දරණ පනත මඟින් ගැමියන් විසින් භුක්ති විඳිමින් සිටි ඉඩම්වල අයිතිය තහවුරු කිරීම අනිවාර්ය වුණා. පැරණි රාජාණ්ඩු ක‍්‍රමය යටතේ නින්දගම්, දේවාලගම්, හා විහාරගම් වශයෙන් ඉඩම් ප‍්‍රදානය කර තිබුණත් විශේෂ අවස්ථාවක දී පමණක් සන්නස්, තුඩපත් මඟින් එම ඉඩම් ප්‍රදානය කළා. එම නිසා එලෙස ප්‍රදානය කළ බොහෝ ඉඩම්වල අයිතිය පෙන්වීමට ලියවිල්ලක් තිබුණේ නැහැ. එසේම  සාමාන්‍ය ජනතාව භුක්ති විඳි බොහෝ ඉඩම් සඳහා ද නෛතික ලියවිල්ලක් නොතිබීම නිසා ඔවුන් අසරණ තත්ත්වයකට පත් වුණා. 

ඉඩම් රැසක් බ්‍රිතාන්‍යයන්ට අයිති වෙයි 

එදා සැලකිය යුතු පිරිසකට භුක්ති විඳිමින් සිටි ඉඩමේ නෛතික අයිතිය පෙන්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. එම නිසා ඔවුන්ගේ ඉඩම්වල අයිතිය බ්‍රිතාන්‍යයන්ට හිමි වුණා. ඒ සමගම බොහෝ පිරිසකට වගාවන් කිරීම සඳහා ඉඩම් නැති වී ගියා. එසේම ගැමියන් සතුව සිටි ගවයන්ට තෘණ කැවීමට තිබුණු ඉඩම් පවා අහිමිව ගියා. එලෙස ඉඩම් අහිමි වීම නිසා මෙරට සිටි මිනිසුන් අසරණ වන විට බ්‍රිතාන්‍ය රජය එම ඉඩම් කෝපි වැවිලිකරුවන්ට විකුණා දැමුවා. එමඟින් රජයට විශාල ආදායමක් ලැබුණා. එසේම ගැමියන්ගේ ඉඩම් පනතක් මඟින් අයිති කරගැනීමෙන් පසුව ගැමියන්ට ජීවත් වීම සඳහා ආදායම් මාර්ගයක් නොමැති වුණු නිසා ඔවුන් කෝපි වතුවල වැඩට එනු ඇති බව බ්‍රිතාන්‍යයන්ගේ අනුමානය වුණා. නමුත් ඔවුන් බලාපොරොත්තු වුණු තරම් ලාංකිකයන් පිරිසක් කෝපි වතුවල වැඩට පැමිණියේ නැහැ. එම නිසා පසුකලෙක බ්‍රිතාන්‍ය රජය විසින් දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් මෙහි ගෙන එනු ලැබුවා. ඔවුන්ගේ පසු පරම්පරාවල පිරිස් අදටත් ලංකාවේ ජීවත් වනවා. 

1848 කැරැල්ල ඇතිවීමට මෙම පනතත් හේතුවක් වුණා 

බ්‍රිතාන්‍ය රජය විසින් අසාධාරණ ලෙස සිදුකළ ඉඩම් කොල්ලකෑමෙන් පසුව අසරණ වුණු ගැමියන්ට කිසිදු පිළිසරණක් ලැබුණේ නැහැ. ඇතැම් උදවිය ධනවත් අයගේ ඉඩම් බද්දට ගෙන වගා කටයුතු සිදු කළා. නමුත් බොහෝ පිරිසක් සිය ජීවිකාව අහිමි වීම නිසා දුක සේ ජීවිතය ගත කරනු ලැබුවා. එලෙස මුඩුබිම් පනත මඟින් ඉඩම් කොල්ලකෑමෙන් වසර කිහිපයක් ගතවුණු පසු ටොරිංටන් නම් ආණ්ඩුකාරයා බලයට පත් වුණා. එම ආණ්ඩුකාරයා ජනතාවගෙන් අසාධාරණ ලෙස බදු අය කළා. ඒ වන විට ගැමියන් විශාල පිරිසක් ඉඩම් අහිමිව අසීරුවෙන් ජීවත්වෙමින් සිටි නිසා ඔවුන්ට බදු ගෙවීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ඒ පිළිබඳව තැකීමක් නොකළ බ්‍රිතාන්‍ය පාලකයන් බදු නොගෙවන ගැමියන්ට හිංසා පීඩා කළා. අසරණ මිනිසුන්ට හිරිහැර කිරීම නිසා කුපිත වුණු වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා වැනි නායකයන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කළා. 1848 මාතලේ කැරැල්ල නමින් ප්‍රසිද්ධ වුණේ එම කැරැල්ල යි. මුඩුබිම් පනතෙන් ඉඩම් අහිමි වුණු අයගේ ඉඩම් යළි ලබාගැනීම, අසාධාරණ බදු ඉවත් කිරීම ඇතුළු හේතු ගණනාවක් නිසා ආරම්භ කළ එම කැරැල්ල අවසානයේ දී පරාජයට පත් වුණා. එදා මාතලේ කැරැල්ල පරාජය වුණත් එය මෙරට මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් කළ වීර සටනක් ලෙස හැමදාමත් ලක් ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී තිබෙනවා.

කවරයේ ඡායාරූපය- ලංකාවේ ගැමියන් (gettyimages)

මූලාශ්‍රයයන්- ශ්‍රී ලංකාවේ ඉතිහාසය- සිවුවන කොටස 

 

Related Articles

Exit mobile version