1959 වසරේ සැප්තැම්බර් 25 වැනිදා එවකට ලංකාවේ අගමැතිවරයා වූ සොලමන් බණ්ඩාරනායකට සිය නිවසේ දී වෙඩි පහරක් එල්ල වුණා. හැකි ඉක්මනින් රෝහල්ගත කෙරුණු අගමැතිවරයා පැය 8ක ශල්‍යකර්මයකට භාජනය කෙරුනා. නමුත් එමඟින් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවුණේ නැහැ. 1959 සැප්තැම්බර් 26 වැනිදා සොලමන් බණ්ඩාරනායක අගමැතිවරයා අභාවප්‍රාප්ත වුණා. ඔහු, බලයේ සිටිය දී අභාවප්‍රාප්ත වුණු දෙවන ලාංකීය අගමැතිවරයා ලෙසින් ඉතිහාසයට එක් වුණා. ඔහුට පෙර බලයේ සිටිය දී මියගියේ ලංකාවේ පළමු අගමැතිවරයා වුණු මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක යි.
(බණ්ඩාරනායක ඝාතන සිදුවීම ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිය මෙතැනින් කියවන්න: සඟ පරපුරටම නිගාකළ තල්දූවේ සෝමාරාම භික්ෂුව)
බණ්ඩාරනායක ඝාතනයට බලපෑ ආසන්නතම හේතු
බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනයට ලක්වීමත් සමග ලංකාවේ ඇතිවුණේ මහත් කැළඹීමක්. මේ මරණය පිළිබඳව නොයෙකුත් මත ඉදිරිපත් වුණා වාගේම, ඝාතකයින් ඔහුගේ මරණය සිදුකරවන්නට ඇත්තේ ඇයි ද යන්න ගැන උපකල්පනයන් සමාජය තුළ දැඩි කතාබහට ලක්වුණා. එම සිදුවීම්වලින් කිහිපයක් පහත දක්වා තිබෙනවා.
1) එකල සිටි ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදියෙකු වුණු පියල් වීරසිංහ එක්තරා පුවත්පතක් සමග කළ සාකච්ඡාවක දී ඊළඟට ලංකාවේ අගමැතිකම කාන්තාවකට හිමිවන බව පවසා තිබුණා. ඒ වන විට බණ්ඩාරනායක රජයේ සිටි එකම කැබිනට් ඇමතිවරිය වුණේ විමලා විජේවර්ධන යි. ඇය සහ කැළණි පන්සලේ නායක හාමුදුරුවන් වුණු
මාපිටිගම බුද්ධරක්ඛිත අතර සමීප සම්බන්ධයක් තිබුණු බවට මතයක් එකල සමාජගත වී තිබුණා. එවකට අගමැතිවරයා ලෙසින් කටයුතු කළ බණ්ඩාරනායක මියගියහොත් විමලා විජේවර්ධනට එම තනතුර හිමිවනු ඇති බව බුද්ධරක්ඛිත හිමියන්ගේ නිගමනය වුණු බව කියැවුණා.
2) 1956 බණ්ඩාරනායක රජය පැවති කාලයේ බුද්ධරක්ඛිත හිමියන් බුරුමයේ සිට ලංකාවට සහල් ආනයනය කිරීම සඳහා නැව් සේවයක් ආරම්භ කිරීමට අගමැති බණ්ඩාරනායකගෙන් අවසර ඉල්ලා සිටියා. නමුත් එයට අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එනිසා දෙදෙනා අතර තිබුණු හොඳ හිත පළුදු වුණා.
3) බුද්ධරක්ඛිත හිමියන් සහ විමලා විජේවර්ධන ඇමතිවරිය ඉලක්ක කරගනිමින් එකල කැලෑ පත්තරයක් මුද්‍රණය වුණා. එම කැලෑ පත්තරයේ බුද්ධරක්ඛිත හිමියන් නම්කර තිබුණේ “විමලරක්ඛිත” නමින්. උරණ වුණු බුද්ධරක්ඛිත හිමියන් කැලෑ පත්තරය මුද්‍රණය කළ උදවිය සොයා දඬුවම් කරන ලෙස අගමැති බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියත් බණ්ඩාරනායක ඒ පිළිබඳව උනන්දුවක් දැක්වූයේ නැහැ. 1956 මහා මැතිවරණයේ දී බණ්ඩාරනායකව බලයට ගෙන ඒමට බුද්ධරක්ඛිත හිමියන් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වියදම්කර තිබුණා. එනිසා අගමැතිවරයා තමාව නොසලකාහැරීම ගැන බුද්ධරක්ඛිත හිමියන් කෝපයට පත්ව සිටියා.
ඉහත හේතූන් නිසා, තල්දූවේ සෝමාරාම නම් භික්ෂුවක් අගමැති බණ්ඩාරනායකට වෙඩි තැබුවේ බුද්ධරක්ඛිත හිමියන්ගේ අනුදැනුම මත බව ප්‍රසිද්ධ වුණා. එසේම පසු කලෙක ඔවුන් එම චෝදනාවලට වැරදිකරුවන් වී නිසි දඬුවම් ලැබුවා. නමුත් එදා බණ්ඩාරනායක ඝාතනය සැලසුම් කරද්දී සෝමාරාම වෙඩි තැබීමට අපොහොසත් වුණොත් එම කාර්යය සිදුකිරීම සඳහා ඔසී කොරයා නම් අපරාධකරුවාව යොදවා තිබුණු බවට කට කතා පැතිරුණා. එනිසා බණ්ඩාරනායකට වෙඩි තබන ලද්දේ ඔසී කොරයා බවට ද එකල මතයක් පැතිර තිබුණා.
බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව ඇතිවුණු අගමැති හබය
බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනයවීමත් සමග අගමැති තනතුර සඳහා පුරප්පාඩුවක් ඇතිවුණා. එකල අගමැති තනතුර දැරීම සඳහා වැඩියෙන්ම සුදුසුකම් තිබුණේ සභානායක තනතුර දැරූ සී. පී. ද සිල්වා ඇමතිවරයාට යි. නමුත් ඔහු බණ්ඩාරනායක ඝාතනය සිදුවන විට ඔහු ලන්ඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. ඒ, වස දැමූ කිරි වීදුරුවක් වැරදීමකින් පානය කිරීම නිසා යි. එම කිරි වීදුරුව ද බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීම සඳහා සකස් කළ එකක් බවට ද එකල කසුකුසුවක් පැවතුණා.
සී. පී. ද සිල්වාගෙන් පසුව අගමැතිවරයා වශයෙන් පත්කිරීමට යෝජනා වුණේ ටී. බී. ඉලංගරත්නගේ නම යි. නමුත් ඉලංගරත්න වාමාංශික පැත්තට බර කෙනෙකුයැ යි පවසා සමහර ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ඔහුට අගමැතිකම ලබාදෙනවාට විරුද්ධ වුණා. ඊළඟට අගමැතිකම සඳහා යෝජනා වුණේ මෛත්‍රීපාල සේනානායක ඇමතිවරයාගේ නම යි. ඔහු ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙසින් ද කටයුතු කරමින් සිටියා. නමුත් ඔහුට පරිපාලනය පිළිබඳව එතරම් පලපුරුද්දක් නැතැ යි පවසා ඔහු අගමැති තනතුරට පත්වනවාට එක්තරා පිරිසක් විරුද්ධ වුණා. ඉන් අනතුරුව ආර්. ජී. සේනානායකගේ නම යෝජනා වුණත් ඔහුටත් බහුතර පිරිසකගේ කැමැත්ත හිමිවුණේ නැහැ.
දහනායක අගමැති තනතුරට පත්වීම
එලෙස අගමැති තනතුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කෙනෙකු තෝරාගැනීම සඳහා අර්බුදයක් මතුව තිබුණු අවස්ථාවේ දී විපක්ෂයේ සිටි ඇන්. ඇම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන වැනි උදවිය එක්වී තවත් පක්ෂ කිහිපයක සාමාජිකයන් ද එකතු කරගෙන නව අගමැතිවරයෙකු පත්කරගැනීම සඳහා සූදානම් වන බවට ද ආරංචි පැතිර ගියා. එසේම, කොතලාවල යළි අගමැති පුටුවට පත්කරන රහසිගත සැලසුමක් ක්‍රියාත්මක වන බවට ද කටකතා පැතිරුණා. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හැකි ඉක්මනින්ම නව අගමැතිවරයෙකු තෝරාගැනීම සඳහා සාකච්ඡා ඇරඹුවා.
මෙහිදී බොහෝ දෙනෙකුගේ මතය වුණේ විජයානන්ද දහනායක අගමැති තනතුර සඳහා වඩාත් සුදුසු බව යි. ඒ වන විට ඔහු පරිණත දේශපාලඥයෙකු වීමත්, ජනතා ආකර්ෂණය නොඅඩුව ලබාගෙන තිබීමත් එයට හේතු වුණා. දහනායකගේ නම අගමැති තනතුර සඳහා වැඩි දෙනෙකුගේ ඡන්දයෙන් යෝජනා වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් කිහිපදෙනෙකු අග්‍රාණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ ඔලිවර් ගුණතිලකව හමුවී, අගමැති තනතුර සඳහා දහනායකගේ නම ඉදිරිපත් කළා. ඒ අනුව ලංකාවේ 5 වැනි අගමැතිවරයා ලෙස විජයානන්ද දහනායක තේරී පත්වුණා.
දහනායක ආණ්ඩුවේ පැවති අර්බුද
දහනායක අගමැති තනතුර භාරගනිද්දී බණ්ඩාරනායක ඝාතනය පිළිබඳව පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට හැකි ඉක්මනින්ම දඬුවම් ලබාදෙන බවට පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පොරොන්දු වුණා. නමුත් වැඩිකල් යන්නට මත්තෙන් බණ්ඩාරනායක ඝාතනය ගැන පරීක්ෂණ ඇල්මැරුණු ආකාරයට සිදුවන්නට පටන්ගත්තා. එම නිසා මැති ඇමතිවරුන්ගෙන් සැලකිය යුතු පිරිසකට අගමැතිවරයා පිළිබඳව වැඩි ප්‍රසාදයක් තිබුණේ නැහැ. එසේම 1959 නොවැම්බර් මාසයේ මුල් භාගය වන විට දහනායක අගමැතිවරයා අලුතින් පක්ෂයක් හදන්නට යන බව ද ආරංචි වුණා. පක්ෂයේ ජ්‍යොෂ්ඨ සාමාජිකයන් පිරිසක් අගමැතිවරයාගෙන් ඒ පිළිබඳව විමසා සිටි බව කියවෙනවා. එවිට දහනායක අගමැතිවරයා පවසා ඇත්තේ අලුත් පක්ෂයට එක්වීමට කැමති අයට තමා සමග අත්වැල් බැඳගැනීමට හැකි බව යි. ඊට අකමැති උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වී සිටීම සම්බන්ධයෙන් තමාට ගැටලුවක් නැති බව ඔහු පවසා තිබෙනවා.
දහනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට සැරසෙන බව එහි සිටි ප්‍රබල සාමාජිකයන් කිහිප දෙනෙකුට විශ්වාස කළා. ඔවුන් දහනායකට එරෙහිව විරෝධය පළකළා. එහි ප්‍රතිඵලය වුණේ ඔවුන්ව ඇමතිකම්වලින් නෙරපා දැමීම යි. ඒ අනුව ටී. බී. ඉලංගරත්න, මෛත්‍රීපාල සේනානායක, ඒ. පී. ජයසූරිය, පී. බී. ජී. කළුගල්ල, සහ ඇම්. පී. ද සොයිසා යන ඇමතිවරුන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කර දැමුවා. දහනායක ප්‍රිය නොකළ තවත් නියෝජ්‍ය ඇමතිවරුන් කිහිපදෙනෙකුට ද තනතුරු අහිමි වුණා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම
1959 දෙසැම්බර් මාසය වන විට දහනායකට රජය කරගෙන යාමට බැරි තත්ත්වයක් උදාවී තිබුණා. ඒ, විපක්ෂය ක්‍රමයෙන් බලවත් වෙමින් පැවතීම නිසා යි. ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, පීටර් කේනමන්, ඇන්. ඇම්. පෙරේරා වැනි දේශපාලඥයන් දහනායක රජයට විරුද්ධව හඬක් නැගූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද දහනායකගේ ක්‍රියාකලාපයට සිය විරෝධය පළ කළා. එනිසා දහනායක අගමැතිවරයා ඔලිවර් ගුණතිලකට ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා බලය ලබාදුන්නා. ඒ අනුව 1959 දෙසැම්බර් 5 වැනිදා දහනායක රජය විසුරුවා හැරුනා.
ඉන් දින දෙකකට පසු, දෙසැම්බර් 7 වැනිදා, දහනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී කමිටුව වෙත ලිපියක් ලියමින් ප්‍රකාශකර සිටියේ ඔහු පක්ෂයෙන් ඉල්ලා අස්වෙන බව යි. එම ලිපිය නොපිළිගත් කමිටුව දහනායක පක්ෂයෙන් නෙරපා දැමුවා. පසුව දහනායක, “ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය” නමින් නව පක්ෂයක් පිහිටුවාගනු ලැබුවා.
1960 මාර්තු මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබාදීමේ වගකීම සී. පී. ද සිල්වා වෙත පැවරුණා.
1960 මාර්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ජය
1960 මාර්තු 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණු මැතිවරණය සඳහා ජනවාරි 4 වැනිදා නාම යෝජනා භාරදීමට නියමිතව තිබුණා. මුල්ම වරට අවුරුදු 18ට අඩු ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවුණේ එවර මහා මැතිවරණයේ දී යි. ඒ අනුව වෙනදාට වඩා වැඩි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුණා. තව ද, 1959 වෝල්ටර් තල්ගොඩපිටිය සීමා නිර්ණ කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයන්ට අනුව මෙරට මැතිවරණ කොට්ඨාස ප්‍රමාණය 89 සිට 145 දක්වා ඉහළ ගොස් තිබුණා.
එවැනි වටපිටාවක පැවති මැතිවරණයේ දී, එක් එක් පක්ෂවල නායකත්වය දැරූ පුද්ගලයා සහ ඒ ඒ පක්ෂ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ අපේක්ෂකයන් ප්‍රමාණය පහත ආකාරයට දක්වන්නට පුළුවන්.
1) එක්සත් ජාතික පක්ෂය- ඩඩ්ලි සේනානායක- අපේක්ෂකයන් 127 යි
2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- සී. පී. ද සිල්වා- අපේක්ෂකයන් 108 යි
3) ලංකා සමසමාජ පක්ෂය- ඇන්. ඇම්. පෙරේරා- අපේක්ෂකයන් 101 යි
4) ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය- විජයානන්ද දහනායක- අපේක්ෂකයන් 101 යි
5) මහජන එක්සත් පෙරමුණ- පිලිප් ගුණවර්ධන- අපේක්ෂකයන් 89 යි
එවර මහා මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ කිහිපය අතර ආසන බෙදීගියා. එම නිසා කිසිදු පක්ෂයකට බහුතර ආසන ප්‍රමාණයක් හිමිවුණේ නැහැ. නමුත් වැඩි ආසන ප්‍රමාණයක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂයට රජයක් පිහිටුවීමේ වරම හිමිවුණා. එසේ නම් පහත දැක්වෙන්නේ එවර මහා මැතිවරණයේ දී පක්ෂ අතර ආසන බෙදීගිය ආකාරය යි.
එක්සත් ජාතික පක්ෂය- 50
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 46
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය- 15
ලංකා සමසමාජ පක්ෂය- 10
මහජන එක්සත් පෙරමුණ-10
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය- 4
ලංකා කොමියුනිස්ට් පක්ෂය- 3
එදා අළුතින් පක්ෂයක් සාදාගෙන සුපුරුදු පරිදි ගාල්ල අසුනට තරග කළ විජයානන්ද දහනායක එක්සත් ජාතික පක්ෂයේ ඩී. ඇස්. අබේගුණවර්ධන හමුවේ ඡන්ද 483කින් පරාජයට පත්වුණා. එසේම ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මුළු දිවයිනෙන්ම දිනාගැනීමට හැකිවුණේ ආසන 4ක් පමණ යි. කොත්මලේ, අක්මීමන, අකුරණ, සහ කල්මුණේ යන ආසන සඳහා ඉදිරිපත්කර තිබුණු අපේක්ෂකයන් ජයග්‍රහණය කර තිබුණා.
රාජාසන කතාව පරාජයට පත්වීම
1960 මාර්තු 21 වැනිදා ඩඩ්ලි සේනානායක නව රජයේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. ඉන් පසුව පැවති පළමු රැස්වීමේ දී කතානායකවරයා තෝරාගැනීම සඳහා පැවති ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටී. බී. සුභසිංහ ජයග්‍රහණය කළා. එය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට කතානායක තනතුර හිමිවුණු මුල්ම අවස්ථාව යි.
ආණ්ඩුවට කතානායක තනතුර අහිමිවීමත් සමග, ආණ්ඩුවේ ආයුෂ කාලය කෙටි වනු ඇති බවට අනාවැකි පළවුණා. එම අනාවැකි සත්‍ය කරමින් අප්‍රේල් 22 වැනිදා පැවති රාජාසන කතාවේ දී ආණ්ඩු පක්ෂය ඡන්ද 25කින් පරාජයට පත්වුණා. ආණ්ඩුවට පක්ෂව ඡන්ද 61ක් ලැබෙන විට විරුද්ධව ඡන්ද 86ක් ලැබී තිබුණා. ඒ අනුව අප්‍රේල් 23 වැනිදා ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව විසුරුවා හැරියා.
ස්ථාවර රජයක් බිහිවීම
ඩඩ්ලිගේ ආණ්ඩුව බිඳවැටීමෙන් පසුව ජූලි 20 වැනිදා අලුතින් මහා මැතිවරණයක් පැවැත්වීමට තීන්දු වුණා. ඒ සඳහා නාම යෝජනා භාරගැනීම මැයි 20 වැනිදාට යෙදී තිබුණා. එවර මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සටන මෙහෙයවීමේ අවස්ථාව හිමිවුණේ සිරිමා බණ්ඩාරනායකට යි. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසට ජනරැල්ල තල්ලු වන ආකාරය දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලය වුණේ මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවීම යි. එවර මහා මැතිවරණයේ දී එක් එක් පක්ෂය ලබාගත් ආසන ප්‍රමාණයන් මෙසේ යි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ආසන 75 (අපේක්ෂකයන් 98)
එක්සත් ජාතික පක්ෂය- ආසන 30 (අපේක්ෂකයන් 128)
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය- ආසන 16 (අපේක්ෂකයන් 21)
ලංකා සමසමාජ පක්ෂය- ආසන 12 (අපේක්ෂකයන් 21)
ලංකා කොමියුනිස්ට් පක්ෂය- ආසන 4 (අපේක්ෂකයන් 7)
මහජන එක්සත් පෙරමුණ- ආසන 3 (අපේක්ෂකයන් 55)
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය- ආසන 2 (අපේක්ෂකයන් 6)
සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබුණා. එදා අගමැතිනිය වශයෙන් දිවුරුම් දුන් සිරිමා බණ්ඩාරනායක ලොව ප්‍රථම අගමැතිවරිය බවට ද පත්වුණා. නව රජය පත්වීමත් සමගම මෙරට දේශපාලන පිටියේ පැවති අස්ථාවර ස්වභාවයට තාවකාලික නැවතීමක් ලැබුණා.