නැගෙනහිර මුදා ගැනීමේ සටන – හතරවන ඊළාම් යුද්ධයේ ඇරඹුම

1975 ජූලි 27 වන දින යාපනයේ නගරාධිපති ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය වීමත් සමගම ආරම්භ වූ පළමු ඊළාම් යුද්ධය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී 1990 දී යුද හමුදාව හා ගැටෙමින් දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වෙනවා. 1995 අප්‍රේල් 19 වන දින LTTE ත‍්‍රස්තවාදීන් ත්‍රිකුණාමලයේ ඇතුල් වරායේ නැංගුරම් ලා තිබුණු නාවික හමුදාවට අයත් නෞකා දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර විනාශ කිරීමෙන් පසුව ඇරඹෙන්නේ තුන්වන ඊළාම් යුද්ධය යි.

අලුතින් බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හා LTTE ත්‍රස්ත සංවිධානය අතර 2002 පෙබරිවාරි මස අත්සන් කළ සටන් විරාම ගිවිසුම වරින් වර කඩ කළ LTTE සංවිධානය විසින්, එය සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කරමින් 2006 ජූලි 21 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාවිල්ආරු ජල සොරොව්ව වසා දමමින් හතරවන ඊළාම් යුද්ධය සඳහා මාර්ගය සකසනවා. ඔවුන් විසින්ම ආරම්භ කළ හතරවන ඊළාම් යුද්ධයේ දී මාවිල්ආරු පරාජයට පත්වීමෙන් අනතුරුව නැගෙනහිර මෙන්ම උතුරු ප්‍රදේශයෙන් ද පරාජය ලබන්නට LTTEයට සිදුවෙනවා.

හතරවන ඊළාම් යුද්ධයේ ආරම්භය සිදුවෙන්නේ කෙසේ ද? මාවිල්ආරු, තොප්පිගල ඇතුළු මුළු නැගෙනහිර පළාතෙන්ම කොටි ත්‍රස්තයන්ට පරාජය උරුම වූ ආකාරයත්, යුද හමුදාව විසින් නැගෙනහිර බලය අල්ලාගත් අයුරුත් මේ ලිපිය මඟින් ඔබට දැන ගැනීමට පුළුවන්.

ජලය ඇපයට තබා ගත් මාවිල්ආරු සටන

මාවිල්ආරු සොරොව්ව (Flickr)

සටන් විරාම ගිවිසුමට මුවා වී LTTE ත්‍රස්තයන් විසින් 2002 වසරේ සිට තැනින් තැන කුඩා යුද ප්‍රහාර එල්ල කළත්, මහා පරිමාණ ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව වෙත සටනක් සඳහා අනුබල ලබා දෙන්නේ මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් අනතුරුව යි.

මාවිල්ආරු සොරොව්ව වසා දැමීමට ප්‍රථමව යුද හමුදා නායකත්වය දුර්වල කිරීම උදෙසා LTTEය විසින් 2006 අප්‍රේල් මස 25 වන දා එවකට යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් යුද හමුදාපතිවරයා බරපතල තුවාල ලබනවා. නායකත්වය තවදුරටත් දුර්වල කිරීම උදෙසා 2006 ජුනි 26 වැනි දා එවකට ශ්‍රී ලංකා යුද හමුදාවේ තෙවැනියා වූ නියෝජ්‍ය මාණ්‌ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් පාරමී කුලතුංගට පන්නිපිටියේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කරනු ලබනවා.

ඉන් අනතුරුව නැගෙනහිර ප්‍රදේශයේ 30,000ක් පමණ සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාවට හා වගාවට ඇති ජලය ඇපයට තබා ගනිමින් 2006 ජූලි 21 වන දින අැල්ල මහා ව්‍යාපෘතියට අයත් අක්කර 22,000ක වපසරියක් ඇති මාවිල්ආරු ජලාශයේ සොරොව්ව වසා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 30,000ක් පමණ ජලය නොමැතිකමින් කර්කශභාවයට පත්වෙනවා. මෙලෙස ත්‍රස්තයන් විසින් මාවිල්ආරුවේ ජලය ඇපයට තැබූ පළමු අවස්ථාව මෙය නොවන අතර 1991 ජනවාරි 30 වැනි දා ද ඔවුන් මෙම සොරොව්වේ දොරටු තුනක් පුපුරවා හැර ජලය ලබාගැනීමට බාධා එල්ල කරනු ලබනවා.

ජලය නොමැතිකමින් පිඩාවට පත් ජනයාගේ අයිතිය සුරැකීම උදෙසා මාවිල්ආරු සටන ආරම්භ කරන්නට යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ මඟ පෙන්වීම යටතේ මේජර් ජෙනරාල් පරාක්‍රම පන්නිපිටියගේ නායකත්වයෙන් භට පිරිස් යුද්ධය සඳහා අවතීරණය වන අතර, ගුවන් හමුදාව විසින් ත්‍රස්ත ඉලක්ක වෙත ජූලි 26 වන දා දැඩි ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග පාබල හමුදාව 28 වන දා සිට තම ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙනවා. මාවිල් ආරු සටනේ දී කොටි ත්‍රස්තයන්ට අන්ත පරාජයක් ලබාදෙමින් ආරක්ෂක හමුදාව විසින් 2006 අගෝස්තු 15 වන දා වන විට සම්පුරණයෙන් එහි බලය තහවුරු කරගන්නා අතර ජනතාව වෙනුවෙන් දියවර මුදාහැරීම සිදු කරනවා.

මුතූර් හා සාම්පූර් සටන

2006 දී මුතූර් හා සාම්පූර්හි අවතැන් වූ සිවිල් වැසියන්ගේ කඳවුරු (Tamil nation)

මාවිල්ආරු මෙහෙයුම ආරම්භ වීමත් සමගම කොටි සංවිධානය ත්‍රිකුණාමලය නාවික කඳවුරටත් මුතූර් නගරයටත් පහර දී මුළු නැගෙනහිරම අස්‌ථාවර කරන්නට උත්සාහ කරනවා. එහෙත් එම ප්‍රහාර මැඩ පවත්වන්නට ආරක්ෂක අංශ සමත් වෙනවා.

මාවිල්ආරු සටන අවසන් කරනවාත් සමග කොටි සංවිධානය මූතූර්වලින් මුස්‌ලිම් ජනයා පන්නා දමා හමුදාව වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනවා. 2006 අගෝස්තු මාසයේ දී LTTEය විසින් පාලනය කළ සාම්පූර් නගරය අල්ලා ගැනීමට ආරක්ෂක හමුදාවට හැකි වන අතර ත්‍රස්තයන් විසින් සාම්පූර් නගරය භාවිතා කර තිබුණේ ත්‍රිකුණාමලය වරාය සඳහා කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ අංගනයක් ලෙස යි.

සාම්පූර් අල්ලා ගැනීමෙන් මාසයකට පසු දරුණු සටනකින් අනතුරුව සැප්තැම්බර් 4 වන දා සාම්පූර් ආසන්නයේ ඇති මුතූර් නගරය ආරක්ෂක අංශ විසින් අත්පත් කරගනු ලබනවා.

වාකරේ සටන

වාකරේ (Mapio.net)

2006 ඔක්තෝම්බර් 30 වන දා සිට මාස තුනකට අසන්න කාලයක් ත්‍රස්තයන් හා සටන් කිරීමෙන් අනතුරුව මඩකලපු දිස්ත්‍රික්කයට අයත් වාකරේ ප්‍රදේශය 2007 වසරේ ජනවාරි 15 වන දා අල්ලා ගැනීමට ආරක්ෂක හමුදාවට හැකි වන අතර, ජනවාරි 19 වන දා එය සම්පුර්ණයෙන් රජයෙන් පාලනය වන භූමි ප්‍රදේශයක් බවට රජය විසින් ප්‍රකාශ කරනු ලබනවා.

ත්‍රස්තයන් විසින් වාකරේ ජනතාව මිනිස් පලිහක් ලෙස මේ අවස්ථාවේ යොදා ගත් අතර වාකරේ රෝහල් භූමියේ ද දරුණු ගැටුම් ඇති වෙනවා. මෙහි දී ද LTTEය විසින් රෝහල යොදා ගනු ලබන්නේ කාලතුවක්කු ප්‍රහාරක අංගනයක් ලෙස යි.

STF විසින් මෙහෙයවූ අම්පාර – කංචිකුඩිච්චිආරු සටන

කංචිකුඩිච්චිආරු සටනේ විශේෂ කාර්ය බලකාය (Sunday Observer)

2007 ජනවාරි පළමු සතියේ අම්පාර දිස්ත්‍රික්කයේ ආරම්භ වූ මෙම සටනේ පෙරමුණ ගන්නේ ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය යි. ජනක් බේස්, ජීවන් බේස් ඇතුළු ත්‍රස්තයන්ගේ ප්‍රධාන කඳවුරු 20ක් පමණ මෙම ප්‍රදේශයේ පිහිටා තිබුණා.

මෙහි දී යුද උපකරණ ඇතුළු බොහෝ භාණ්ඩ ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලබනවා. GPS උපකරණ, විදුලි ජෙනරේටර්, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා රැස් කර තිබූ ලොරි රථ, හා මෝටර් සයිකල් විශාල ප්‍රමාණයක් ඒ අතර වෙනවා.

“Save the Children” ලෙස සටහන් කර තිබූ විදේශීය NGO සංවිධානයකට අයත් බෝට්ටු ගණනාවක් ද, “Thileepan Memorial Hospital” නම් කොටි රෝහලක දී හමුවෙනවා. එය ත්‍රස්තයන්ට ලබා දී තිබෙන්නේ ZOA Refugee Care නම් විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් මඟින්.

නැගෙනහිර අවසන් සටන – තොප්පිගල

තොප්පිගල (Sunday Times)

1994 සිට තොප්පිගල ප්‍රදේශයේ තම සන්නද්ධ බලය වර්ධනය කරගනිමින් සිටි ත්‍රස්තයන් කරුණාගේ නායකත්වය යටතේ තෝරාබෝරා, මීනගම් හා තේනගම් වැනි ප්‍රබල කොටි කඳවුරු ඉදිකර තිබුණේ 1994 සිට යි. නැගෙනහිර කලාපයේ ප්‍රධානතම LTTE පුහුණු කඳවුර වූයේ තෝරාබෝරා කඳවුර යි.

2007 අප්‍රේල් මස 25 වන දා ආරම්භ කරන ලද නැගෙනහිර මුදාගැනීමේ සටනේ දෙවන අදියරේ අවසාන සටන වන තොප්පිගල මෙහෙයුමට ටැම්පිටිය, මාදුරු ඔය, හා කොහොඹගස් තලාව වැනි ප්‍රදේශ තුළින් ඉදිරියට ඇදුනු ආරක්ෂක අංශවලට තොප්පිගල මුදාගැනීමට ගත වන්නේ ඉතා කෙටි කාලයක්.

කමාන්ඩෝ බලසේනාධිපති බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේගේ මෙහෙයවීමෙන් දෙවන කමාන්ඩෝ බලකාය, පළවන සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, හා ගැමුණු හේවා බල ඇණියේ සොල්දාදුවන් හා නිලධාරීන් සටනට පණ පොවනවා.

මේ ආකාරයෙන් 2007 අගෝස්තු මාසය වන විට සම්පුර්ණයෙන්ම නැගෙනහිර පළාත මුදාගැනීමට ආරක්ෂක හමුදාව සමත් වෙනවා. 1977 පසුව නැගෙනහිර පළාතේ සෑම බිම් කඩකම අයිතිය ශ්‍රී ලංකා රජය සතු වන්නේ මෙම මෙහෙයුමෙන් පසුව යි.

ඉන් අනතුරුව ආරක්ෂක හමුදාව ගමන් කරන්නේ LTTEයේ හදවත බඳු වූ උතුරු පළාතට යි. කිසිදා පරාජය කළ නොහැකියැ යි ඇතැම් දේශීය හා විදේශීය බලවේග විසින් ප්‍රකාශ කළ LTTE සංවිධානය උතුරු ප්‍රදේශයෙන් අතුගා දැමූ වන්නි මෙහෙයුම පිළිබඳව ලියැවුණු ලිපියක් මීට පෙර අප ඔබ වෙත ගෙන අාවා.

කවරයේ ඡායාරූපය – තොප්පිගල මුදාගැනීමෙන් අනතුරුව (thuppahi.wordpress.com)

මූලාශ්‍රයයන්:

Wikipedia, BBC News, The Daily Mirror, The Sunday Times Situation Report, Asian Tribune, Ministry of Defence, Sri Lanka

Related Articles

Exit mobile version