වෙසක් තොරණේ එදා රැව් දුන් ග්‍රැමෆෝන් ගී

සියවසකට තරමක් වැඩි ඉතිහාසයක් ඇති ලංකාවේ ග්‍රැමෆෝන් ගීත කලාවේ මුල් තැන ලැබුණේ බෞද්ධාගමික ගීතවලට යි. ඒ කාලයේ වෙසක් හා පොසොන් තොරණ, වෙසක් කූඩු මෙන් ම දන්සල් අසලත් ග්‍රැමෆෝන් ගී වාදනය කළේ අසල ගස්වල ගැට ගැසූ ලවුඩ්ස්පීකර් මඟින්. පසුකාලයේ පන්සල්වල පිංකම්වලදීත් මේ ගීත වාදනය වුණා. අදටත් ජනප්‍රිය මේ ගීත අසමින් වෙසක් බැලීමට යාම ඒ කාලේ මෝස්තරයක් වී තිබුණා. අද අතීතයට එක්වී ඇති සිතේ බොදු බැතිය ඔප් නංවන ග්‍රැමෆෝන් ගීත ගැන විමසා බැලීම මෙහි අරමුණ යි.

 ග්‍රැමෆෝන් යන්ත්‍ර ගැන දැන්වීමක් – nostalgia facebook page

ලංකාවේ ග්‍රැමෆොන් ගී

වර්ෂ 1905 හෝ 1906 දී වර්ෂයේ දී ග්‍රැමෆෝන් යන්ත්‍රය ලංකාවේ ව්‍යාප්ත වුණු බව සැලකෙනවා. එවකට අප රටේ පැවති සමාගම් විවිධ භාෂාවලින් යුත් ග්‍රැමෆෝන් තැටි ආනයනය කර ශ්‍රී ලංකා රසිකයන්ට ශ්‍රවණය කිරීමට ඉඩ සලසා තිබෙනවා.

පසුව මෙරට ජනප්‍රියව පැවති නූර්ති නාට්‍යවල ගීත තැටිගත කිරීම අරඹා තිබෙනවා.  ලංකාවේ සිංහල ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යයක් ආරම්භ වන්නේ 1917 දී බව මහාචාර්ය සුනිල් ආරියරත්න ග්‍රැමෆෝන් ගී යුගය පොතේ සඳහන් කරනවා.

 නීතිඥ ජෝන් ද සිල්වා සහ නූර්තියක්-theleader.lk

මුල් කාලයේ ග්‍රැමෆෝන් බොදු ගී

1900 මුල් කාලයේ බෞද්ධ ගීත කලාවේ ප්‍රගමනයට විශාල දායකත්වයක් දුන්නේ නීතිඥ ජෝන් ද සිල්වාගේ සහ චාල්ස් ඩයස්ගේ නාට්‍යවල නූර්ති ගීත යි. මුලින් ම ලංකාවේ ග්‍රැමෆෝන් තැටි සඳහා ම වෙන්වූ ගීත නිෂ්පාදනය වුණේ නැහැ. එවකට ජනප්‍රිය නූර්තිවල ගීත තැටිවලට නංවා අලෙවි කෙරුණා. වෙස්සන්තර, සිරිසඟබෝ වැනි නාට්‍යවල බහුල ව එවැනි බෞද්ධ තේමා සහිත ගීත තිබුණා.

සී. දොන් බස්තියන්, ආර්. ජෝන් පොරේරා, ඇල්. පී. ද සිල්වා මේ නුර්ති ගීත ලියූ කිහිපදෙනෙක්. නීතිඥ ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නූර්තියේ ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා‘ මෙන්ම දුටුගැමුණු නූර්තියේ ‘සුවඳ පද්ම ඕලු ආදි නොයෙක පුෂ්පයෙන් සැදී ‘ආදී ගී අදටත් වෙසක් පිංකම්වලදි අපට අසන්නට ලැබෙනවා. මෙම ගීත නූතන ගායක ගායිකාවන් නැවත ගායනා කර තිබෙනවා. සිරි සංඝබෝධි මාලිගාවේ දි, මගේ මන්ද්‍රි නම් බිසොගේ ඇතුළු බෞද්ධ ගීත රාශියක් නූර්තිවලින් තැටිවලට පිවිසුණා.

 සිංහල ග්‍රැමෆෝන් තැටි- සිංහල ග්‍රැමෆෝන් ගී යුගය-facebook page

මුල් කාලයේ බොදු ගීත සාහිත්‍ය කලාව ගැන තොරතුරු සෙවීමේ දී පෙනී යන්නේ බොහෝ බොදු ගීත ගායනා කොට ඇත්තේ ඉස්ලාම් ආගමිකයන් බව යි. ඒ. එම්. යූ.රාජ්, ඒ. ජේ. කරීම්, ලක්ෂ්මිබායි එසේ ගීත ගායනයෙන් මුල් ම කාලයේ දායකත්වය ලබා දී තිබෙනවා. සිළුමිණ සෑය වඳිම්, අඩු කුලේ කියාලා, මහ බෝධි මුලේ ඒ කාලයේ තැටිගත කළ ස්වාධීන ග්‍රැමෆෝන් ගීත කිහිපයක්.

නූර්ති නාට්‍යවල ගීත තැටිගත කිරීමේ දී වඩාත් ජනප්‍රිය ව සිටියේ ඇන්. රොම්ලස් ද සිල්වා, ඇනී බොතේජු, සුසිලා ජයසිංහ, සෝම කාන්තා වැනි කිහිප දෙනෙක් පමණ යි. එකල මේ ගීත තැටි විශාල වශයෙන් අලෙවි වූ බව වාර්තා වෙනවා.

එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් -silumina.lk

 

ග්‍රැමෆෝන් ගීත කලාව

නූර්ති නාටකවල ගීත වෙනුවට වෙන ම ගීත ගායනා කර තැටිවලට නැංවීම 1920 වනවිට ක්‍රමයෙන් වර්ධනය වන්නට වුණා. වර්ෂ 1913 දී චාල්ස් ඩයස්ගේ ඉල්ලීම පරිදි ආනන්ද රාජකරුණා ග්‍රැමෆෝන් තැටි සඳහා බෞද්ධ ගීත රචනා කළ බව සඳහන්. එම ගීත අතරින් සොළොස්මස්ථානය වැඳිය යුතු පිළිවෙළ කියවෙන ‘සිරි ඝන මුනිවර ‘නම් ගීතය ඉතා ජනප්‍රිය වී තිබුණා. 1930 සිට 1950 අතර කාලයේ ග්‍රැමෆෝන් සඳහා වෙනම ගීත කලාවක් බිහි වුණා. මේ වනවිට ගුවන් විදුලි සේවය ආරම්භ කර පැවතීම නිසා ගීත තැටි නිෂ්පාදනය සඳහා උනන්දුවක් ඇතිවී තිබුණා.

එච්. එම්. වී. සහ කොලොම්බියා තැටි නිෂ්පාදන සමාගම් බිහි වී තිබුණා. තැටි සඳහා වැඩිපුර ම සංගීතය සපයා ඇත්තේ එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්. කොලොම්බියා තැටි සඳහා දායක වුණේ සංගීතඥ මොහොමඩ් ගවුස්. එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සහ රුක්මණි දේවි ගැයූ “සිරිබුද්ධ ගයා විහාරේ” යන බොදු ගීතය අද දක්වා ජනප්‍රිය යි. බොදු තැටි ගීත කලාවේ අදටත් ජීවමාන ගායකයා වූයේ අල්හාජ් මොහිදීන් බෙග්. අංගුලිමාල චිත්‍රපටයට ගැයූ බුද්ධං සරණං ගච්ඡාමි යන ගීතය ග්‍රැමෆෝන් ගීත අතර අදටත් නිතර අසන්නට ලැබෙනවා

ජනප්‍රිය ග්‍රැමෆෝන් ගීත කිහිපයක් අසා බලමු:

‘‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවණැල්ලෙන් හිරු රශ්මිය භංගේ//

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ//
අනුරාධ නගරය දැන් පෙනේ බෝ සේ//‘‘

 ටවර් හෝල් රඟහලේ පැරණි නූර්ති නාටකයක්-towerhall.lk

ගීතයෙන් කියවෙන්නේ සිරිසඟබෝ රජ කාලයේ අනුරාධපුර නගරයේ පූජනීය පරිසරය යි. ශ්‍රාවක සිතේ අලංකාර චිත්ත රූප මැවෙන පද මාලාවක් එයට යොදා ගෙන තිබෙනවා. මෙය 1903 දී රංගගත වූ නීතිඥ ජෝන් ද සිල්වාගේ සිරිසගබෝ නූර්තියේ සිංදුවක්. එය මෙරට අදටත් ඉතා ජනප්‍රිය යි. එය ලංකාවේ ජනප්‍රියත ම නූර්ති ගීතය කියන්නත් පුළුවන්. මෙය රචනා කළෙත් නාට්‍ය අධ්‍යක්ෂ ජෝන් ද සිල්වා ම යි. මෙහි සංගීතය විශ්වනාත් ලව්ජී නිර්මාණය කර තිබෙනවා.

1940 දශකයේ දී මෙය එච්. එම්. වී. තැටියක් සඳහා ගායනා කර ඇත්තේ හියුබට් රාජපක්ෂ යි. නූර්තිය සඳහා මේ ගීතය හර්මන් රාජපක්ෂ, ඩබ්ලිව්. ඒ. පෙරේරා, ඩබ්ලිව්. ඒ. අප්පුහාමි, ඩබ්ලිව්. ඩී. එස්. ජේමිස් වැනි නූර්ති ශිල්පීන් ගයා තිබෙනවා. පසුකාලීන ව සරල ගීතයක් ලෙස රුක්මණී දේවි, ආචාර්ය අමරදේව, නන්දා මාලනී වැනි ගායක ගායිකාවන් ද එය ගායනා කළා.

 සිළුමිණි සෑයේ කල්පිත සිත්තමක්- path to nairvana facebook page

 

සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ

ග්‍රැම‍ෆෝන් තැටියකට අහමඩ් මොහිදීන් මේ ගීතය ගායනා කර තිබෙනවා. මෙම මධුර ගීතය පසුකාලීන ව බොහෝ අය ගායනා කළ අතර මෑතක දී සමිතා මුදුන්කොටුව ගායන ශිල්පිනිය ගායනා කළා. බුදු වන්නට ගිය බෝසත් සිරිතේ පළමු පියවර චමත්කාරජනක ලෙස ගීයකට නැංවූ අවස්ථාවක් තමයි මේ. මෙහි සංගීතය ටිමී බරන්ගේ වන අතර පද රචකයා ගැන විස්තර සොයා ගැනීම අපහසු යි. 1937 දී තිරගත වූ අදිකාර් චිත්‍රපටයේ ගීයක තනුව ආශ්‍රයෙන් මේ ගීතය ලිය වී තිබෙනවා.

‘‘සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ
ගලනා මිණි කඳ සේ නිල් සිසිල් ජලෙන් හොබනා
ලංකාර වූ අනොමා හා
ලංකාර වූ අනොමා ගංගා තීරෙ දී එදිනා

සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ //
තමන් හිසකේ……
සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ
මම මතු බුදු වේ නම් රැඳේව යි සිතා තුසිනී
අහසේ දැමු කෙස දා සක් රජුන් මහත් බැතිනා
රැගෙනා සන්තොසිනේ රම්‍ය තව්තිසා භවනේ
සිළුමිණි සෑය සදා කේස දා නිදන් කරලා //‘‘

 ගායිකා විවියන් ද සිල්වා බොරලැස්ස – dinamina.lk

සම්බුදු මංගල්ලේ

1956 දී උදා වූ බුද්ධ වර්ෂ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් තමයි මේ ගීතය නිර්මාණය කර තිබෙන්නේ. එය එච්. එම්. වී තැටියකට ගැයූ ගීතයක්. මෙය මුල් වරට ප්‍රචාරය කරන්නේ එදා අසන්නන් අතර ඉතාම ජනප්‍රිය ව තිබූ ලංකා ගුවන් විදුලි සේවය හරහා යි. බුදුන් වහන්සේගේ ලෝක සේවාව සිහියට නංවමින් මේ ගීතය ගායනා කළේ ඉතා ජනප්‍රිය ගායිකාවක වුණු විවියන් ද සිල්වා බොරලැස්ස යි. පද රචනය සරත් විමලවීර ගෙන් වන අතර සංගීතය පී. ඩී. වින්සන් පෙරේරා නිර්මාණය කර තිබෙනවා.

‘‘ආලෝකය මේ යැයි – පවසන දිනයයි
සම්බුදු මංගල්ලේ
ජය ජය ශ්‍රී නාදෙනි තුටුවෙමු සැම දෙන
සම්බුදු මංගල්ලේ
ළඟම එන සම්බුදු මංගල්ලේ
සාමෙනී පේවී පේමෙන් – සංගීතවත් වී සැමා
සිල් සුවඳ දසතේ විහිදා – පාප ජලාසේ සෝදා
බුදු සිරිය මවා පාමින්
දම් සිලිලේ ඔප නෑවී
සැරසෙමු මඟුලට බුදු හිමිගේ
ආලෝකය මේ යැයි….
සැනසීම සොයා ඒ දිනයේ
රසයේ රසේ මවලා
පේවී ප්‍රබෝදෙනී පේවී
පිං බලයෙන් සැරසීලා
හෝ…. සන්සුන්ව විවේකිනි බුදු මඟුලට
සැරසෙමු කෝ
විනෝදේ නිවනව සිත ඈඳා
ආලෝකය මේ යැයි….”

8 ගායක ඒ. එම්. යූ. රාජ්-youtube.com

බුදු බව පතනා – වෙසතුරු නිරිඳා

මෙම ගීතය ගායනා කළේ ඒ.එම්.යු.රාජ් ගායකයා යි. ස්වාධීන ග්‍රැමෆෝන් ගීයක් වන මින් වෙස්සන්තර ජාතකයේ සිද්ධි රමණීයව විස්තර කෙරෙනවා. මෙම ගීතය මුලින්ම ඔහු ගායනා කර ඇත්තේ කොලොම්බියා තැටියකට වර්ෂ 1954 දි යි. ගීත රචනය එම්.එම්. පෙරේරාගෙන්.මේ එම ගීතයේ කොටසක්:

‘‘ බුදු බව පතනා – වෙසතුරු නිරිඳා
තම සියලු ධනය – දුගියට දෙමිනා
පෙනී ගියේ මතු බුදුවන බවකිය
හැර දා තම පුර වනගත වෙමිනා
වංකගිරියෙ තම අසපුව සාදා
ධ්‍යානෙ වඩා බුදු වන සේ…‘‘

බොහෝ ග්‍රැමෆෝන් ගීත මුල් ආකාරයෙන් ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ ග්‍රැමෆෝන් ගීත යු ටියුබ් චැනලයෙන් ඔබට අසන්නට පුළුවන්. 

කවරයේ ඡායාරූපය -  වෙසක් තොරණට නැතුවම බැරි වූ ග්‍රැමෆෝන් ගී -vectorstock.com/ lankaeepa.lk 

මූලාශ්‍ර:

ග්‍රැමෆෝන් යුගය දකිමු -සමරු කළඹ සංස්කෘතික කටයුතු දෙපා.
ග්‍රැමෆෝන් ගී යුගය- සුනිල් ආරියරත්න
සිංහල ග්‍රැමෆෝන් ගී යුගය facebook page
Dinamina.lk

Related Articles

Exit mobile version