දෙවන ලෝක යුද සමයේ දී මිත්‍ර හමුදා පාර්ශවයට සහාය සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිතවල සිවිල් වැසියන් හමුදාවට බඳවාගැනීම සිදුකරනවා. මෙසේ බඳවාගත් හමුදා සේනාංක අයත් වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය හමුදාවට යි.
දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාවෙන් ද මේ සඳහා යුද භටයන් බඳවා ගන්නවා. මේ සඳහා ලංකා ගැරිසන් කාලතුවක්කු බල ඇණිය, ලංකා සැහැල්ලු පාබල හමුදාව, ලංකා ස්වෙච්ඡා වෛද්‍ය බලකාය වැනි ඛණ්ඩයන්ගෙන් සමන්විත ලංකා ආරක්ෂක බලකාය නිර්මාණය වෙනවා.
යුද සමයේ ඉන්දියානු සාගරයේ පිහිටි කොකෝස් දූපත්වල රඳවා සිටි ලංකා ගැරිසන් කාලතුවක්කු හමුදාවේ භට පිරිසක් දූපතේ සිටි බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කරනවා. කෙසේ නමුත් ආරම්භ කරන ලද හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වෙන අතර ඊට නායකත්වය දුන් ලංකා හමුදා භටයන් කිහිප දෙනෙකුට බ්‍රිතාන්‍ය අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනවා.
දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව එම හමුදාවේම කොටසක් විසින් ආරම්භ කරන ලද ප්‍රථම කැරැල්ල ලෙස මෙය ඉතිහාසගත වෙනවා.
දෙවන ලෝක යුද්ධය තුළ බලවත් වූ ජපන් අධිරාජයා
1941 වසරේ දෙසැම්බරයේ ජපානය විසින් ඇමෙරිකානු නාවික හමුදා ඉලක්ක කරමින් එල්ල කරන ලද පර්ල් හාබර් ප්‍රහාරයෙන් පසුව ජපානය, පැසිෆික් හා ආසියානු කලාපවල සාගර හා ගොඩබිම්හි බලය අල්ලා ගැනීම වේගවත් කරනවා. දෙසැම්බර් මාසයේ දී ම ඔවුන් විසින් හොංකොංහි සිටි බ්‍රිතාන්‍ය හමුදාවට දරුණු ප්‍රහාරයක් එල්ල කර එහි බලය අල්ලා ගන්නවා. ඉන් ටික දිනකට පසු මලයාව ද යටත් කරගැනීමට ජපන් හමුදා සමත් වෙනවා.
1942 පෙබරවාරි මාසයේ දී එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ සිංගප්පූරුව ද අල්ලා ගැනීමට ඔවුන් සමත් වෙන අතර සිංගප්පූරු පරාජය බ්‍රිතාන්‍යයට තදින් දැනෙනවා. දෙවන ලෝක සංග්‍රාමය තුළ බ්‍රිතාන්‍ය ලැබූ අමිහිරිතම යුද පරාජය මෙය බව එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වන වින්ස්ටන් චර්චිල් විසින් සඳහන් කරනවා.
පෙබරවාරි මාසයේ දී ජාවා මුහුදේ සිදුවන නාවික ගැටුම්වලින් බ්‍රිතාන්‍යයට දැඩි ලෙස අලාභ හානි සිදුවෙන අතර, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදා දරුණු පරාජයන්ට ලක් වන්නේ තමන් සතු යුධ නෞකා ද ගිල්වා ගනිමින්.
ඉන්දියන් සාගරයේ බලය අල්ලා ගැනීමේ අරමුණෙන් යුතුව කටයුතු කරන ජපන් අධිරාජයා 1942 අප්‍රේල් මාසයේ දී ලංකාවේ කොළඹ වරායට හා ත්‍රිකුණාමලය වරායට පහර දී බ්‍රිතාන්‍ය යුද නෞකා ගණනාවක් ගිල්වා දැමීමට කටයුතු කරනවා.
කැරැල්ල සඳහා පසුබිම සකස් වීම
ජපානය මේ ආකාරයට සාර්ථක වීමත් සමග ලංකාවේ සිටි දේශපාලනික වශයෙන් උනන්දු සිවිල් කණ්ඩායම් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගැනීමට ජපානය ලංකාවට මැදිහත් වන්නේ නම් එය ඉතා සුදුසු බව ප්‍රකාශ කරනවා. තව ද ඒ වෙනුවෙන් සංවිධානය වීමට ද පෙළඹෙනවා.
මේ කාලය වන විට තරුණ වියේ සිටි ජේ. ආර්. ජයවර්ධන ජපන් රාජ්‍ය ත්‍රාන්තිකයන් සමග මේ පිළිබඳව රහසේ සාකච්ඡා කරන අතර, ඩි. එස්. සේනානායකගේ මැදිහත් වීම හේතුවෙන් සාකච්ඡා අතරමඟ නැවතෙනවා.
කොකෝස් දූපත්වල දී ඉස්මතු වූ ජපන් හිතවාදීත්වය
ඉන්දියන් සාගරය තුළ සිදුවන ජපන් නාවුක හා ගුවන් ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා උපක්‍රමිකව වැදගත් වූ කොකෝස් දූපත් සමූහය වෙත බ්‍රිතාන්‍ය භට කණ්ඩායම් පිටත් කර හරින්නේ මේ කාලයේ දී යි. බ්‍රිතාන්‍ය පාබල හමුදාවට අනියුක්තව ලංකා ගැරිසන් කාල තුවක්කු බල ඇණියේ සෙබළුන් පිරිසක් ද එම කණ්ඩායම තුළ සේවය කරනවා.
කොකෝස්හි දූපතක් වූ හෝස්බරර්වල ලංකා හමුදා භටයන් 56 දෙනෙකු සේවය කරන අතර, එහි නායකත්වය භාරව සිටියේ බ්‍රිතාන්‍ය හමුදා කපිතාන්වරයෙකු වූ ගාඩිනර් නම් නිලධාරියා යි. මේ අතර ලංකා කාලතුවක්කු බල ඇණියේ සිටි බොම්බඩියර් ග්‍රේෂන් ප්‍රනාන්දු රාජකීය බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව කැරැල්ලක් දියත් කර දූපතේ බලය ජපන් හමුදාවට ලබා දීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කරනවා.
අසාර්ථක වූ කුමන්ත්‍රණය
හමුදා කුමන්ත්‍රණය සඳහා 1942 මැයි 8 වන දින රාත්‍රිය තෝරාගත් අතර ග්‍රේෂන් ප්‍රනාන්දුට සහාය දීම සඳහා දූපතේ සිටි ලංකා හමුදා භටයන් 56 දෙනාගෙන් 30 දෙනෙකු කැමැත්ත ප්‍රකාශ කරනවා.
කණ්ඩායමේ අණදෙන නිලධාරියා වූ බ්‍රිතාන්‍ය කපිතාන්වරයා හා දෙවන අණදෙන නිලධාරී ලුතිතන්වරයා අත්අඩංගුවට ගෙන, බ්‍රිතාන්‍ය හමුදා භට පිරිස් නිරායුධ කිරීම හා ඔවුන් සතු සියලුම අවි ආයුධ ලබාගැනීම සැලසුමේ පළමු අදියර විය. ඉන් අනතුරුව ඉන්දියන් සාගරයේ ඒ අසලම පිහිටි ක්‍රිස්මස් (දූපතේ සිටින ජපන් හමුදාවට කොකෝස් දූපත් භාරදීමට කටයුතු කිරීමට ද සැලසුම් වෙනවා. ජපානය ලවා ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් කරගැනීමට සැලසුම් කිරීම ද මෙම සැලසුමේ දීර්ඝ කාලීන ඉලක්කයක් වුණා.
කැරැල්ල ක්‍රියාත්මක කිරීමේ දී දූපත තුළ දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් හට ගන්නවා. නියමිත පරිදි සැලසුම් නොකිරීම, ඉලක්කවලට නිවැරදි ප්‍රහාර එල්ල කර ගැනීමට නොහැකි වීම, හා මැෂින් තුවක්කු හරි හැටි ක්‍රියාත්මක නොවීම වැනි හේතු නිසා ලංකා කැරලි කණ්ඩායම සටන තුළ දී අසාර්ථක වෙනවා.
වෙඩි හුවමාරුව අතරතුර ලංකා ගැරිසන් කාලතුවක්කු බලකා භටයෙක් වූ සමාරිස් ජයසේකර මරණයට පත්වෙනවා. තව ද භට කණ්ඩායමේ දෙවන අණ දෙන නිලධාරියා වූ බ්‍රිතාන්‍ය ජාතික ලුතිනන්වරයා තුවාල ලබනවා.
කැරැල්ල අසාර්ථක වීමෙන් අනතුරුව ග්‍රේෂන් ප්‍රනාන්දු ප්‍රමුඛ කැරලි කණ්ඩායමට යටත් වීමට සිදුවෙනවා. පසුව කැරැල්ලට සම්බන්ධ සෙබළුන් පිරිස අත්අඩංගුවට ගෙන ලංකාව වෙත පිටත් කර හැරීම සිදුකරනවා.
කැරලිකරුවන් එල්ලා මරා දැමීම
එවකට ලංකාවේ සිටි දේශපාලඥයන් කිහිපදෙනෙක් හා උසස් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් මෙම ක්‍රියාවට සම්බන්ධ වූ ලංකා සෙබළුන්ට සමාව දෙන ලෙස බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉල්ලා සිටියත් එම යෝජනාව ප්‍රතික්ෂේප වෙනවා.
හමුදා අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව 1942 වසරේ අගෝස්තු මාසයේ දින තුනක දී කැරැල්ලට නායකත්වය දුන් ග්‍රේෂන් ප්‍රනාන්දු, කාර්ලෝ ඔගස්ටස් හා බෙනී ද සිල්වා යන ලංකා කාලතුවක්කු සෙබළුන් වැලිකඩ සිර ගෙදර දී වෙන වෙනම එල්ලා මරා දමනවා. කැරැල්ලට සම්බන්ධ වූ තවත් යුද භටයන් 8 දෙනෙකු බරපතළ දඬුවම් සහිතව සිරගත කිරීම සිදුකරනවා.