පළමු ලෝක යුද්ධය සමය වන විට අශ්වාරෝහක හමුදාවල වැදගත්කම කෙමෙන් පහළ යමින් තිබුණා. එනමුත් බල්ගේරියානු ජෙනරාල්වරයකු වූ ඉවාන් කෝලෙව් සිය අසරු සේනාංකය නවීකරණය කරමින් යුද්ධයේ දී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ජර්මන් හමුදා නායකත්වය වෙතින් ද මහත් වූ ගෞරවයට ලක් වීමට ද කෝලෙව් සමත් වුණා.
අශ්වාරෝහක නිලධරයා
ඉවාන් කෝලෙව්ගේ කුඩා කාලය එතරම් විශේෂිත වූයේ නැහැ. 1863 සැප්තැම්බර් 15 වන දා බෙසරේබියා ප්‍රදේශයේ ගමක උපන් ඔහු අධ්‍යාපනය ලැබූයේ බෙසරේබියාවේ බල්ගේරියානුවන් ගේ ප්‍රධාන නගරය වූ බොල්ග්‍රාඩ් නගරයේ යි. ඔහු 1884 දී බල්ගේරියාවේ අගනුවර වූ සොෆියා වෙත පැමිණ එහි අධිකරණ ලිපිකරුවකු ලෙස රැකියාවක් ලබාගත්තා.
1885 දී බල්ගේරියාව සහ සර්බියාව අතර කෙටි යුද්ධයක් ඇති වුණා. මේ අතර කෝලෙව් සොෆියා හි මිලිටරි ඇකඩමියට ඇතුල් වුණා. ඔහුට එහිදී බල්ගේරියානු කාලතුවක්කු බලකායට ඇතුල් වීමට අවස්ථාව ලැබුණා. නමුත් ඔහු දැඩි ලෙස කියා සිටියේ තමන්ට අවශ්‍ය අශ්වාරෝහක සේනාවට ඇතුල් වීම බව යි. අසුන් පිට යාමට ඔහු දැක්වූ කැමැත්ත ඊට හේතු වුණා. අවසානයේ දී ඔහුගේ ඉල්ලීමට බලධාරීන් එකඟ වුණා.
කෝලෙව් කලක් ටියුරින් නගරයෙහි මිලිටරි ඇකඩමියෙන් ද පුහුණුව ලද අතර, ඉන්පසු කපිතාන්වරයකු ලෙස උසස්වීමක් ලැබුණා. 1907 දී ඔහු කෙටි කලකට ඔස්ට්‍රියානු හමුදාවෙහි සේවය කළා. ආපසු බල්ගේරියාවට පැමිණි පසු ඔහුව කර්නල්වරයකු ලෙස උසස් කෙරුණා.
කෝලෙව් පළමු සහ දෙවන බෝල්කන් යුද්ධවල දී සටන් කළා. සාමාන්‍යයෙන් ඔහුගේ නිලයේ ස්වභාවයේ හැටියට ඔහු ඉදිරිපෙළ සටන් කිරීම අවශ්‍ය වූයේ නැහැ. නමුත් කෝලෙව් බොහෝ විට ඉදිරිපෙළ සටන් කරනු දකින්න ලැබුණා.
අසරු හමුදා නවීකරණය
බල්ගේරියාව පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වූයේ 1915 ඔක්තෝබරයේ දී යි. අශ්වාරෝහක හමුදා නවීන යුද්ධ උපක්‍රම සඳහා එතරම් වැදගත් නැතැ යි යන අදහසක් ඒ වෙද්දී ඇතිව තිබුණා. බටහිර පෙරමුණේ සටන් සිදු වූ අයුරු, මැෂින් තුවක්කුව වැනි නවීන ආයුධවල ආගමනය ආදිය මීට හේතු වුණා.
කෝලෙව් අශ්වාරෝහක සේනා නවීකරණය කිරීමට කටයුතු කළා. ඔහු එම සේනාංකයන්ට ආධාරක පාබල බලකා එක් කළ අතර ඔවුන්ට මැෂින් තුවක්කු ලබා දුන්නා.
1916 අගෝස්තුවේ දී රුමේනියාව යුද්ධයට ඇතුල් වූ මුල් දිනවල ටුට්‍රකාන් බලකොටුව වෙත එල්ල වූ ප්‍රහාරය අවස්ථාවේ කෝලෙව්ගේ සේනාංක වැදගත් කාර්යයභාරයක් ඉටු කළා. මෙම ප්‍රහාරය සඳහා ජර්මන් සහ බල්ගේරියානු සේනා සහභාගී වූ අතර ජර්මන් ෆීල්ඩ් මාර්ෂල් ඕගස්ට් ෆොන් මැකෙන්සන් එම සමස්ථ හමුදාවේ අණදෙන නිලධාරියා වුණා. කෝලෙව්ගේ සේනාංක විසින් වඩා විශාල රුමේනියානු සේනාවකින් එල්ල වූ ප්‍රහාරයක් මැඩලනු ලැබුණා.
බල්ගේරියානු හමුදා විසින් දෙවන බෝල්කන් යුද්ධයේ දී ඔවුනට අහිමි වූ දොබ්රුජියා ප්‍රදේශ යළි අල්ලා ගැනීමට පටන් ගැනුණා. මේ අවස්ථාවේ රුමේනියාවේ සහායට රුසියානුවන් පැමිණියා. රුසියානුවන් සමග සටන් කිරීම පිළිබඳ කෝලෙව්ගේ ඇතැම් නිලධාරීන් අතර වූයේ දෙගිඩියාවක්. සාමාන්‍යයෙන් එකල බල්ගේරියානු සහ රුසියානු ජනතාව අතර මිත්‍රශීලී ආකල්පයක් තිබුණා. බල්ගේරියාව තුර්කි පාලනයෙන් නිදහස ලැබුයේ රුසියාවේ ආධාරයෙන් වීමත්, ආගමික වශයෙන් වූ සම්බන්ධයත් ඊට හේතු වුණා.
මෙහිදී කෝලෙව් සිය හමුදා අමතමින් රුසියානුවන්ට බුරුලක් නොදෙන ලෙස කියා සිටියා. “ඔවුන් අපට නිදහස ලබාගැනීමට උපකාර කිරීම පිළිබඳ මම ස්තූතිවන්ත වනවා. එහෙත් අපගේ දොබ්රුජියාවේ ඔවුන් කුමක් කරන්නේ ද? බල්ගේරියාවේ නිදහසට අකුල් හෙලන අන් ඕනෑම සතුරකුට කරන අයුරින් අප සටන් බිමේ දී ඔවුන්ව ද පරාජය කළ යුතු යි” යනුවෙන් ඔහු කියා සිටියා.
කෝලෙව්ගේ අශ්වාරෝහකයින් රුසියානු සහ රුමේනියානු සේනාංක පරදමින් දොබ්රුජියාව හරහා ඉදිරියට ඇදුණා. මෙම ජයග්‍රහණ හේතුවෙන් කෝලෙව්ට ජර්මනියෙන් යකඩ කුරුසය පදක්කම ප්‍රදානය කෙරුණා. මෙය ඔහු වෙත පළඳවන ලද්දේ මැකෙන්සන් විසින් 1916 සැප්තැම්බර් 30 වන දා යි. “මෙතෙක් බොහෝ දෙනා සිතා සිටියේ පාබල සේනාංකවලට පහර දීමට අශ්වාරෝහක සේනාංකවලට නොහැකි බව යි. ඔබ එය අසත්‍යයක් බව පෙන්වා තිබෙනවා” යනුවෙන් මැකෙන්සන් සඳහන් කළා.
කෝලෙව්ගේ හමුදා දිගටම ඉදිරියට ඇදුණා. කොන්ස්ටන්සා නගරයට මුලින්ම ඇතුල් වීමට සමත් වූ මධ්‍ය බලවතුන්ගේ හමුදා සේනාංකය වූයේ කෝලෙව්ගේ සේනාව යි. ඔහුගේ ඉදිරි ගමන 1917 ජනවාරියේ ඔහුගේ ප්‍රහාරය නවතා දමන ලද්දේ ටුල්සියා නම් නගරය අල්ලා ගැනීමෙන් පසුව යි.
කීර්තිය සහ අපකීර්තිය
මේ වනවිට කෝලෙව් දොබ්රුජියාවේ විමුක්තිදායකයා ලෙස බල්ගේරියානුවන් විසින් සමරනු ලැබුණා. එහෙත් මේ අතර ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය වූයේ යහපත් තත්ත්වයක නොවේ. ඔහුට ක්ෂය රෝගය වැළඳුණ අතර මාර්තුවේ දී ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රියා-හන්ගේරියාවේ වියානාව වෙත ගියා. නමුත් එම ප්‍රතිකාර සාර්ථක් වූයේ නැහැ. 1917 ජූලි 29 වන දා ඉවාන් කෝලෙව් මියගියා.
කෝලෙව්ගේ සිරුර බල්ගේරියාවේ සොෆියා අගනුවරට ගෙනවිත් සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මිහිදන් කෙරුණා. ඔහුගේ සොහොනට අචාර කිරීම සඳහා සෑම වසරකම බල්ගේරියානු හමුදා විසින් උත්සවයක් පවත්වනු ලැබුණා. ඔහුගේ නම සහ ක්‍රියාවන් සාහිත්‍යය තුළ පවා සාකච්ඡා කෙරුණා.
මෙම සියල්ල වෙනස් වූයේ 1944 දී සෝවියට් හමුදා බල්ගේරියාවට පැමිණි පසුව යි. බල්ගේරියානුවන් විසින් රුසියානුවන් පරාජය කළේ ය යන කරුණ සාකච්ඡා කිරීම සෝවියට් බලධාරීන්ගේ කැමැත්තට හේතු වූයේ නැහැ. මේ අනුව පළමු ලෝක යුද්ධයේ ඉතිහාසය සංස්කරණය කරනු ලැබුණා. සෝවියට් බලධාරීන්ගේ අනුමැතිය ලද ඉතිහාස කතාවට අනුව බටහිර රටවල් රුසියානුවන් සහ බල්ගේරියානුවන් අතර ගැටුමක් ඇති කිරීමට උත්සාහ කළ ද බල්ගේරියානුවන් විසින් රුසියානුවන් හා සටන් කිරීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් වුණා.
මෙම නිල ඉතිහාසය අනුව රුසියානුවන් සමග සටන් කළ කෝලෙව්ට තැනක් තිබුණේ නැහැ. එහෙයින් ඔහුව කෙමෙන් අමතක කරන ලද අතර ඔහුගේ සොහොන පවා අමතකව ගියා. එය ආපසු සොයා ගන්නා ලද්දේ 2009 දී යි.