ලංකාවේ නම ලෝකයට ගෙන ගිය තවත් සුද්දන්

දීපවංශය, මහාවංශය, රාජාවලිය, රාජරත්නාකරය ආදී වශයෙන් අපේ ඓතිහාසික කෘති කිහිපයක්ම තිබෙනවා. නමුත් ඒවායේ මුලිකව සදහන් කර තිබෙන්නේ බෞද්ධ ආගමික කටයුතු සහ රජවරුන්ගේ සිද්ධි පමණ යි. මේ නිසා සාමාන්‍ය ජනජීවිතය හා පුරාණ  සිරිත් විරිත් ගැන දැනගැනීමට අපට උදව් වන්නේ විදේශිකයන් ලංකාව  ගැන ලියූ පොත්. ලංකාවේ නම ලෝකයේ සටහන් කළ එම කෘති අදත් සම්භාවනා ලබනවා. පෙර ලිපියකින් එවැනි පොත්පත් ලියූ සුද්දන් කීපදෙනෙකු ගැන තොරතුරු අප ඔබ වෙත ගෙන ආවා. මේ තවත් එවැනි කිහිපදෙනෙක් ගැන විමසා බැලීමක්.

ලංකාවේ පුරාවෘත්ත සෙවූ බැල්ඩියස්

පිලිප්පුස් බැල්ඩියස් – Wikipedia.org

සිංහලයෝ නොයෙක් හස්ත කර්මාන්තයෙහි ප්‍රවීණත්වයක් ඇති කදිම ජනතාවකි. ඔවුහු රන්, රිදී වැඩ, ඇත්දත් හා කළුවර කැටයම්, යකඩ වැඩ දනිති. ඔවුහු තුවක්කු තැනීම සදහා යකඩ තැලීමේ හෙවත් කම්මල් වැඩට දක්ෂයෝය. යකඩ අවි ආයුධවලට විසිතුරු රිදී අලංකාර සැරසිලි යෙදීමට ද ඔවුහු හපන්නුය. 

(බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය, xii පිට).

ශ්‍රී ලංකාව ගැන එසේ වර්ණනා කරන පිලිප්පුස් බැල්ඩියස් කියන්නේ ලන්දේසි දේවගැතිවරයෙක්. වර්ෂ 1656 දී ලන්දේසින් කොළඹ යටත්කරගත් පසු බැල්ඩියස්ට බතාවියේ සිට ලංකාවට ගොස් ආගමික කටයුතුවල යෙදීමට නියෝග ලැබුණා. ඔහු මුලින්ම නැවෙන් පැමිණ ඇත්තේ ගාල්ලට යි. 1658 වන විට ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශ සියල්ලම ලන්දේසින් විසින් යටත් කර ගන්නවා. ලන්දේසි හමුදා දකුණු ඉන්දියාව යටත් කර ගැනීමේ දී ඉන්දියාවට ගිය බැල්ඩියස් යළිත් ලංකාවට පැමිණ 1658 දී යාපනයේ පෘතුගීසි  ප්‍රදේශවල සිටි දෙමළ ජනතාව ලන්දේසි රෙපරමාදු ආගමට හරවා ගැනීමේ කටයුතු ආරම්භ කරනවා. ඔහු 1665 දක්වා යාපනයේ ජීවත්වන අතර තම ආගමික කටයුතුවල සාර්ථකත්වය සදහා දෙමළ භාෂාව ද ඉගෙන ගන්නවා. ඒ අතර ලංකාව දෙස බැලූ නිරීක්ෂණ ඇතුළත් කරමින් ඔහු ලියූ True and Exact Description of the Great Island of Ceylon ග්‍රන්ථය සත්‍ය කරුණුවලින් යුත් කදිම පොතක් ලෙස සැලකෙනවා. මේ පොත “බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්ත” නමින් බී. එන්. ආර්. ජයසේන සිංහලට පරිවර්තනය කර තිබෙනවා. 

යාපනේ ජන ජීවිතය බැල්ඩියස්ගේ පොතෙන්- abebooks.com

උතුරු ප්‍රදේශයේ ජන ජීවිතය, ඔවුන්ගේ කුල, ගොවිතැන් ක්‍රම, උඩරට රාජධානිය සමග ලන්දේසින් හා පැවති සම්බන්ධතා, දෙවැනි රාජසිංහ රජු ගැන මෙන්ම එවකට ලංකාවේ ජනතාව ගැනත් ඔහු සියුම් නිරීක්ෂණවලින් කරුණු විස්තර කරනවා. වෙනත් මූලාශ්‍රයකින් ලබාගත නොහැකි සත්‍ය කරුණු රාශියක් අපට මෙම කෘතියෙන් ලබාගත හැකියි. යාපනේ දෙමළ ජනයා පිළිබදව ඔහු විස්තර කරන්නේ කුළුපග මිතුරකු ආකාරයෙන්. 

බැල්ඩියස්ගේ සමයේ ලංකාව – Wikipedia.org

ලංකාවේ වසර 9ක් ගතකර සිටි බැල්දියස් සිය සේවා කාලය නිමකර ඕලන්දයට යන්නේ 1666 දී යි. ඒ වෙනන්බර්ග් නෞකාවෙන්. මව් රටට ගිය ඔහු හේහ් නගරයේ සිට තම අත්දැකීම් ලේඛනගත කරනවා. ඔහු 1671 හෝ 1672 මුල දී, ඔහුට වයස අවුරුදු 40 දී මියයන්නට ඇති බව යි සැලකෙන්නේ. ඔහු ලියූ පොත ලන්දේසි භාෂාවෙන් ඕලන්දයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ දී 1672 දී පළ වෙනවා. එය ජර්මන් භාෂාවෙන් ද ඒ අවුරුද්දේ දීම පළ කෙරෙන අතර ඉංග්‍රීසි බසට පෙරළා 1703 දී එංගලන්තයේ මුද්‍රණය වෙනවා.

ජෝන් ඩේවි දුටු ලංකාව  

වෛද්‍ය ජෝන් ඩේඩි- Wikipedia.org

බෞද්ධ රීතිය යන නම ලැබීමට සුදුසු සිංහලයන්ගේ ආගමික රීතිය හැම අතින්ම බොහෝ ඇල්ම උපදවන විෂයයකි. එමතු ද නොව රටවාසීන්ගේ චරිතය හැඩ ගැසීමෙහි ලා එහි බලපැවැත්ම ද එහි පිළිගත් පෞරාණිකත්වය එය පැතිර පවත්නා ප්‍රදේශයේ විශාලත්වය එහි ගැබ්ව ඇති මනහර විශේෂතා යන කරුණු නිසා ද එය අපගේ අවධානයට යොමුකරනු ලැබීමට සුදුසුය. 

(ජෝන් ඩේවි- ඩේවි දුටු ලංකාව 175 පිට)

ලංකාවේ ඉංග්‍රීසි පාලන යුගයේ මුල් සමය ගැන විශ්වසනීය විස්තර ලබාගැනීමට ඉතා වැදගත් කෘතියක් ලෙස ජෝන් ඩේවි ලියූ An Account of the Interior of Ceylon and of its inhabitants, with Travels in that Island පොත සැලකෙනවා. මෙම කෘතිය “ඩේවි දුටු ලංකාව” මැයෙන් සිංහලට පරිවර්තනය කෙරී ඇත්තේ ඇල්ලේපොල එච්. එම්. සෝමරත්න විසින්. 

බොහෝ සුද්දන් ලංකාව ම්ලේච්ඡ මිත්‍යාදෘෂ්ටික ජනකොටසක් ජීවත් වන රටක් ලෙස සැලකුවත්, 1821 දී එංගලන්තයේ දී ඩේවිගේ පොත පළවූ පසු සුද්දන් ලංකාව ගැන වඩාත් කුතුහලයෙන් බලන්නට පටන්ගෙන තිබෙනවා.

ඩේවිගේ පොතේ දළදා මැදුර – medium.com

1790 දී උපන් ජෝන් ඩේවි වෛද්‍යවරයකු ලෙස අධ්‍යාපනය ලබා බ්‍රිතාන්‍ය හමුදා වෛද්‍යවරයකු බවට පත්වෙනවා. ඔහු මියයන්නේ 1868 දී යි. කීර්තිමත් රසායන විද්‍යාඥ හම්ප්‍රි ඩේවි ඔහුගේ වැඩිමල් සොහොයුරා යි. ජෝන් ඩේවිගේ පොත ඉංග්‍රීසි යුගයේ උඩරට රාජධානිය පිළිබද වඩාත්ම විශ්වසනීය මූලාශ්‍රය බවට පත්ව තිබෙනවා. 1818 කැරැල්ල අවදියේ ලංකාවේ සිටි ඩේවි කැරැල්ලට පෙර හා පසු එකතුකරගත් තොරතුරු රාශියක් ඉතා රසවත්ව තම කෘතියේ පෙළ ගස්වා තිබෙනවා. ඔහු එවකට ආණ්ඩුකාර සර් රොබට් බ්‍රවුන්රිග්ගේ වෛද්‍යවරයා වූ නිසා ඔහුත් සමග ලංකාවේ බොහෝ පෙදෙස්වල සංචාරය කර තිබෙනවා. සිංහලේ පළාත්වල විසූ භික්ෂූන්වහන්සේලා මෙන්ම නිලමේවරුන් ද ඔහු හඳුනාගෙන ආශ්‍රය කර තිබෙන බව සඳහන්. තම කෘතියේ ලා ඔහු තමාට උදව් කළ සරම් මුදලි, වෙල්ලස්සේ හා ඌව දිසාපති දුනුවිල ආදීන් ගැන පොතේ සදහන් කරන්නේ ගෞරවයෙන්.

උඩරට ප්‍රධානින් සහ භික්ෂු නමක් ඩේවිගේ කෘතියෙන්- medium.com

ඔහු තම පොත ගැන පෙරවදනේ මෙසේ දක්වා තිබෙනවා:

මේ ග්‍රන්ථය මා සම්පාදනය කරන ලද්දේ 1816 අගෝස්තු මාසයේ සිට 1820 පෙබරවාරි මාසය දක්වා ලංකාවේ යුද්ධ කාර්යමණ්ඩලයේ සේවයෙහි යෙදී සිටිය දී රැස්කොටගත් කරුණු පදනම් කොටගෙනය. දිවයිනේ ස්වභාවික තත්ත්වය හා ප්‍රාණි විද්‍යාවේ ඇතැම් විශේෂ ශාඛා පිළිබද මුල් පරිච්ඡේද තුන මා කළ පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල මත ගොඩනැගිණි

(ඩේවි දුටු ලංකාව, පිට 21)

පැරණි සිංහල පාලන ක්‍රමය, බුද්ධාගම, සාහිත්‍යය හා කලාශිල්ප, ගෙදරදොර සිරිත් හා ස්වදේශිකයන්ගේ චරිත ස්වභාවය ගැන මෙන්ම සිංහලේ චාරිකා ගැනත් ඔහු විස්තර කරන්නේ පාඨකයා තුළ කුතුහලය වැඩෙන අන්දමින්. කොළඹ සිට සමනළ කන්දට ගිය ගමන, පැරණි නුවර පාර ඔස්සේ මහනුවරට ගිය චාරිකාව, ඌව බලා පිටත් වීම, කොත්මලේට ගිය ගමන ආදිය ඔහු ශූර ලේඛකයෙක් පරිදි විස්තර කරනවා.

දාගැබ්වල වයස සෙවූ හෙන්රි පාකර්      

පාකර්- sirimunidasa.wordpress.com

බ්‍රිතාන්‍ය ඉංජිනේරුවකු වූ හෙන්රි පාකර් Ancient Ceylon (පුරාණ ලංකාව) පොත ලියූවේ 1909 දී යි. ඔහු 1873 සිට 1904 දක්වා ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග සහායක ලෙස සේවය කළා. සේවා කාලය තුළ පුරාණ වාරිමාර්ග ගැන ඔහු අධ්‍යයනය කළේ පුරාවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින්. එමෙන්ම අප රටේ මහා දාගැබ්, නටබුන් ගැනත් ඔහු සොයා බැලුවා. 

Ancient Ceylon (පුරාණ ලංකාව) පොත ලන්ඩනයේ Luzac & Co සමාගමේ ප්‍රකාශනයක් ලෙස එළි දකින්නේ ඔහුගේ මේ ගවේශනවල ප්‍රතිඵලයක් ලෙස යි. මේ පොත නිස්සංක පෙරේරා විසින් “පුරාණ ලංකාව” නමින් සිංහලට පෙරළා තිබෙනවා.

ඔහු සිය කෘතියේ මෙලෙස සදහන් කරනවා:

දාගැබ් ඉදිකිරීමේ මූලික සංකල්පය මෙරටට පිවිසීමෙන් නොබෝ කලකින්ම රසඥතාවයෙන් පිරිපුන් අතිදක්ෂ ලාංකික කලා ශිල්පීන් විසින් ශත වර්ෂයක් ගතවන විට ඒ ශිල්පය ලෝකයෙහි අන් කිසිම තැනක දක්නට නොලැබෙන සේ දියුණු අඩියකට ප්‍රවර්ධනය කරගෙන තිබිණි. ඒ නිර්මාණ අතුරින් ප්‍රමුඛස්ථානය ගන්නා ප්‍රධාන දාගැබ් ඊජිප්තුවෙහි වැදගත්ම පිරිමිඩ සමග පවා සංසන්දනය කළ හැකි තරම් උසස් නිර්මාණ වෙත්

(පුරාණ ලංකාව,  320 පිට)

හෙන්රි පාකර් ආඩම්බරයෙන් සදහන් කරන අපේ  දාගැබ් ගැන එච්. සී. පී. බෙල් පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් එකල ගවේෂණය කළ අතර පාකර්ට ඔහුගේ බලපෑම ද ලැබෙන්නට ඇති බව සිතිය හැකියි. පාකර් වැඩි උනන්දුවක් දැක්වූයේ දාගැබ්වල පෞරාණිකත්වය ගඩොල්වල මිනුම් අනුව නිර්ණය කිරීමටයි. විවිධ දාගැබ්වල ගඩොල් මැන සැසඳූ වගු ඔහුගේ කෘතියේ දක්නට පුළුවන්.

පාකර් ලියූ පොත් -Kusumsiri Wijayawardhana

ආදි යුගයේ සහ මෑත කාලීන වැද්දෝ, ලංකාවේ ආරම්භක දේව ඇදහිලි, වැව් හා දාගැබ්, අතුරුදන්වූ නගර, පෞරාණික වාරි කර්මාන්ත ආදී වශයෙන් ඔහුගේ ගවේශන තොරතුරු පොතේ ඇතුළත්. තිස්සමහාරාම ප්‍රදේශයේ පුරාවස්තු හා නටබුන් ගැන විස්තර ඇතුළත් කර තිස්සමහාරාම පුරාවිද්‍යාව නම් කෘතියක් ද ඔහු ලියා තිබෙනවා. අපේ ජනකතා ගැන පළවූ හොදම කෘතිය වශයෙන් සම්භාවනාවට පත්ව ඇත්තෙත් ඔහු වෙළුම් දෙකක් ලෙස පළ කළ Village Folk Tales of Ceylon පොත යි. අපේ පුරාණ වැව් ප්‍රතිසංස්කරණය කර ගොවිතැන නගා සිටුවීමේ වැදගත්කම දුටු පාකර් දැදුරුඔය ගැන සංවර්ධන ව්‍යාපෘතියක්  1889 දී ලිවීමෙන්ම ඔහුගේ දුර දැක්ම අපට පැහැදිලි වෙනවා. මන්නාරම යෝධ වැව ප්‍රතිසංස්කරණයට ද මුල් වුණේ පාකර්.

විල්හෙල්ම් ගයිගර් දුටු මහාවංශය

ගයිගර් සැමරූ තැපැල් මුද්දරය- clonet. com

සිංහලයන්ගේ ඉතිහාසය හැදෑරීමේ නිරතව සිටින්නා වූ උගතුන්ගේ අදහස් දැන් ප්‍රධාන වශයෙන් ඒකමතිකත්වයක් දරයි. සමස්ත වශයෙන් ගත්කල මහාවංශය විශ්වසනීය වංශ කතාවකි. එහි කර්තෘහු සත්‍යය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වූහ. එහෙත් ඔවුන් බෞද්ධ භික්ෂුන්ගේ ඒකපාර්ශ්වීය බුද්ධියක් නියෝජනය කරන බැවින් පරිස්සමෙන් කෙරෙන සම්‍යක් විවේචනය මෙහිලා මඟහැර ලිය නොහැක්කේමය. 

(විල්හෙල්ම් ගයිගර්- මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය  x iv පිට)

විල්හෙල්ම් ගයිගර් ජර්මන් ජාතික ශාස්ත්‍රඥයෙක්.  ඔහු  සිංහල සහ පාලි භාෂාවන් පිළිබඳව සුවිශේෂ උනන්දුවකින් කටයුතු කළ විද්වතෙක් වශයෙන් අදත් ගෞරව බහුමානයෙන් සැලකෙනවා. 1856 ජුලි 21 දා ජර්මනියේ නියුරෙම්බර්ග්හි උපන් ඔහු 1861 දී නියුරෙම්බර්ග්හි මිලෑන්ක්කොන් පාඨශාලාවෙන් අධ්‍යාපනය අරඹා 1873 දී අපරදිග භාෂා පිළිබඳව හැදෑරීමට එර්ලන්ගන් සරසවියට ඇතුළත් වී 1876 දී දර්ශනවාදය පිළිබඳව  සම්මාන සහිත උපාධියෙන් පිදුම් ලබනවා. එර්ලන්ගන් සරසවියේ දර්ශනවාදය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස පත්වීම ලැබ දෙවරක්ම (1901-2 සහ 1912-3) එම සරසවියේ උපකුලපති ධූරයටත් පත් වෙනවා.

ලංකාවේ රොඩී කාන්තාවන්-  lankapura.com

මේ පඬිවරයා 1895 දෙසැම්බර් 6 වැනිදා කොළඹට ළගා වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණීමටත් පෙර ගයිගර් ජර්මනියේ දී, දොන් මාර්ටිනෝ ද සිල්වාගෙන් සිංහල භාෂාව යම් තරමකට හදාරා තිබුණු  බව සඳහන්.  1896 ජනවාරි 11 දින ගයිගර්, ශ්‍රී ලංකාවේ දී සිය ප්‍රථම පර්යේෂණය ආරම්භ කරන්නේ කවුරුත් උනන්දු නොවන රොඩී භාෂාව පිළිබඳව යි.

1925 සහ 1931 දී ද ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ භාෂා පර්යේෂණවල නිරත වෙනවා. 1943 සැප්. 02 දින ජර්මනියේ මියුනික්‌ අසල නොයිබිබර්ග්හි දී මිය යන්නේ 87 හැවිරිදි වියේ දී යි. ඔහු විසින් ලියා පළ කෙරුණු පොත් සංඛ්‍යාව 100කට අධික යි. ඒ අතරින් සිංහල භාෂාව ගැනත්, මහාවංශය ගැනත් පොත් රාශියක් ජර්මන් හා ඉංග්‍රීසි භාෂාවලින් ලියා තිබෙනවා.

ලංකාව ගැන ගයිගර් ලියූ පොතක්-  abebooks.com

මහාවංශයේ ඉංග්‍රීසි පරිවර්තනය 1908 දී පළ කළ ඔහු අපේ වංශකතාව ජාත්‍යන්තර අවධානයට යොමුකරවනවා. චූලවංශය ජර්මන් බසට පරිවර්තනය කරන්නේ 1927 දී යි. රසවාහිනි සහ සංයුක්ත නිකාය පරිවර්තනය කරන ඔහු සිංහල භාෂා ව්‍යාකරණ, සිංහල භාෂා ශබ්ද කෝෂය, සිංහල භාෂා නෛරුක්තික විශ්වකෝෂය, මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය ආදී පොත් ඉංග්‍රීසියෙන් පළ කරනවා. ජිවිතයේ අවසන් කාලය සම්පුර්ණයෙන්ම සිංහල ශබ්දකෝෂය වෙනුවෙන්ම කැප කළ බව පැවසෙනවා. ලෝක භාෂා වර්ගීකරණයේ දී සිංහල භාෂාවේ ‍‌ආර්යය අනන්‍යතාවය නිවැරදිව තහවුරු කරමින්, සිංහල භාෂාව ද්‍රවිඩ භාෂා මූලයකින් පැවතෙන්නක්ය යනුවෙන් බටහිර රටවල තිබූ සැකසංකා දුරු කළේ ඔහු යි. 1989 දී ඔහු කළ සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තැපැල් මුද්දරයක්  ද නිකුත් කළා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

https://www.divaina.com/2014/09/10/badada02.html

බැල්දියස්ගේ ලංකා පුරාවෘත්තය පරි. බී. එන්. ආර්. ජයසේන

විල්හෙල්ම් ගයිගර්- මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය  පරි. ආචාර්ය ඇම්. බී. ආරියපාල

ඩේවි දුටු ලංකාව- ජොන් ඩේවි, පරි. ඇල්ලේපොල එච්. එම්. සෝමරත්න

පුරාණ ලංකාව- හෙන්රි පාකර්, පරි. නිස්සංක පෙරේරා

කවරය-  දළදා මාලිගාවේ පැරණි චිත්‍රයක්- lankapura.com

Related Articles

Exit mobile version