රෝම අධිරාජ්‍යයෙහි හොඳම සෙබලුන්ගෙන් සමන්විත වූ ප්‍රිටෝරියානු ආරක්ෂක හමුදාව අධිරාජ්‍යයාගේ පුද්ගලික ආරක්ෂාව පිණිස කටයුතු කළ බලකාය යි. අධිරාජ සමය ඇරඹීමට ද පෙර කාලය තෙක් මෙහි ඉතිහාසය දිවෙන අතර පසු කලෙක මෙම බලකාය රෝමයේ ඉතා ප්‍රබල සංවිධානයක් බවට පත් වුණා. ඇතැම් අධිරාජයින් එහි බලය සීමා කරන්නත් උත්සාහ කළා. අවසානයේ දී එක් ප්‍රබල අධිරාජයකු ප්‍රිටෝරියානු හමුදාවේ බලය බිඳ දැමීමට සමත් වුණා.
මූලාරම්භය
ප්‍රිටෝරියානු හමුදාවේ ආරම්භය සිදු වූයේ රෝමය සමූහාණ්ඩුවක්ව පැවති සමයේ යි. එහි මූලය කවදාක වීදැ යි පැහැදිලි නැහැ. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස පමණ වන විට යුධ පෙරමුණට යන සෙන්පතියන් තම හමුදාවලින් හොඳම සෙබල පිරිසක් තෝරාගන සිය පුද්ගලික ආරක්ෂක හමුදාව ලෙස යොදවාගත්තා. ඔවුනට සාමාන්‍ය සෙබලුන්ට වඩා වැඩි වැටුපක් ද ගෙවනු ලැබුණා. හැනිබල්ව පරාජය කළ සිපියෝ අෆ්‍රිකානුස්, මෙවැනි බලකායක් පවත්වාගන ගිය බවට ඉතිහාසය සඳහන් කරනවා. පසුකාලීනව ප්‍රිටෝරියානු බලකා පිහිටවුණේ මෙම සංකල්පය ඔස්සේ යි.
මුලින් ඇතැම් සෙන්පතියන් විසින් යොදාගාත් මෙවන් පුද්ගලික ආරක්ෂක බලකායක් පවත්වාගෙන යාමේ ක්‍රමවේදය ජුලියස් සීසර්ගේ ඝාතනයෙන් පසු ඇතිවූ සිවිල් යුධ සමයේ පුරුද්දක් බවට පත් වුණා. එම සමය අවසන, රෝමයේ පළමු අධිරාජ්‍යයා බවට පත් වූ ඔගස්ටස් විසින් ප්‍රිටෝරියානු බලකාය අධිරජයාගේ ස්ථාවර පුද්ගලික ආරක්ෂක හමුදාව ලෙස සංවිධානය කළා. මෙහිදී ඔහු පරාජිත මාක් ඇන්තනිගේ සහ තමාගේ පුද්ගලික ආරක්ෂක බලකායන් ඒකාබද්ධ කර තනි පුද්ගලික හමුදාවක් ස්ථාපිත කිරීම විශේෂත්වයක් වුණා.
ඔගස්ටස් අධිරාජයා ප්‍රිටෝරියානු හමුදාව වෙත සාමාන්‍ය රෝමන් සෙබලෙකුගේ වැටුප මෙන් දෙගුණයක වැටුපක් ගෙවීමට සෙනට් මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. පසු කාලයක දී මෙම වැටුප සාමාන්‍ය සෙබලෙකුගේ වැටුප මෙන් 3.33 ගුණයක් තෙක් ඉහළ නංවනු ලැබුණා.
එමෙන්ම ප්‍රිටෝරියානු බලකායේ සෙබලෙකු සාමාන්‍ය සෙබලෙකු තරම් කල් හමුදා සේවයේ යෙදිය යුතු වූයේ නැහැ. ඔගස්ටස් මුලින්ම නියම කළේ අවම වශයෙන් අවුරුදු 12ක සේවා කාලයක්. එකල සාමාන්‍ය සෙබලෙකුගේ අවම සේවා කාලය අවුරුදු 16ක් වුණා. ඔගස්ටස්ගේ අවසන් කාලයේ දී ප්‍රිටෝරියන් බලකායේ අවම සේවා කාලය අවුරුදු 16 තෙක් ඉහළ නැංවූ අතර සාමාන්‍ය සෙබලෙකුගේ සේවා කාලය අවුරුදු 20ක් ලෙස වෙනස් කෙරුණා.
රෝමයේ ස්ථාවර කාලයන්හි අධිරාජයා සහ ප්‍රිටෝරියන් බලකාය අතර වූයේ සමීප බැඳීමක් බව යි කියවෙන්නේ. ප්‍රිටෝරියානු හමුදා සෙබලෙකු විශ්‍රාම ගනිද්දී අධිරාජයා ඔහුව පෞද්ගලිකවම තමන් හමුවට කැඳවා ස්තූති කිරීමට කටයුතු කළා.
රාජකාරි සහ සංවිධාන ව්‍යුහය
ප්‍රිටෝරියානු හමුදාව මෙසේ විශේෂ සැලකුම් ලැබීමට හේතු වූයේ එය අධිරාජයා ආරක්ෂා කිරීමට බැඳී සිටීම යි. අධිරාජයා රෝමයේ සිටිද්දී ප්‍රිටෝරියානු හමුදාවේ මූලික කර්තව්‍යයන් වූයේ අධිරාජයාගේ මන්දිරය ආරක්ෂා කිරීම, අධිරාජයා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් හෝ නගර සංචාරයේ යෙදෙන විට ආරක්ෂාව සැලසීම සහ කලකෝහාල මැඬීම යි. ඊට අමතරව, රහස් ඔත්තු සේවා මෙහෙයුම්, අධිරාජයාගේ සතුරන් ඝාතනය කිරීමේ රහසිගත මෙහෙයුම් සහ අනෙකුත් විශේෂ මෙහෙයුම් ද ඔවුනට පවරනු ලැබුණා.
මුල් කාලීනව ප්‍රිටෝරියානු ආරක්ෂක හමුදාව බලකායන් දහයකට බෙදුණ 10,000ක පිරිසකගෙන් සමන්විත වුණා. එකල සාමාන්‍යයෙන් ප්‍රිටෝරියානු හමුදාවට බඳවා ගන්නා ලද්දේ ඉතාලි ප්‍රදේශයන්හි වූ යහපත් පවුල් පසුබිමක් සහ යහපත් චරිතයක් සහිතයැ යි නිගමනය කරන ලද වයස අවුරුදු 18ත් 21ත් අතර වූවන්.
ක්‍රි.ව. 23 දී, එවකට එහි අණදෙන නිලධාරියකු වූ ලුසියස් ඒලියස් සෙයිජේනස් විසින් එහි මූලස්ථානය ලෙස කැස්ට්‍රා ප්‍රිටෝරියා නම් කඳවුර ස්ථාපිත කළා. එය රෝමයේ නගර සීමාවෙහි කෙලවරක වූ හෙක්ටෙයාර 17ක භූමියක ඉදි වූ මෙම කඳවුරේ 12,000ක පිරිසක් රැඳවිය හැකි වුණා. මෙසේ එක් ස්ථානයකට කේන්ද්‍ර වීමත් සමග ප්‍රිටෝරියානු හමුදාවේ දේශපාලන බලය ඉහළ නැග්ගා. කෙසේ නමුත් ක්‍රි.ව. පළමු සියවසෙහි සහ දෙවන සියවස අගභාගය වන තුරු පැවති රෝමයෙහි ස්ථාවර කාල පරිච්ඡේදයේ දී (Pax Romana) ඔවුනගේ දේශපාලන බලය එළිපිටම ප්‍රදර්ශනය වූයේ අඩුවෙන්. එහි වෙනසක් සිදු වූ අවස්ථාව වූයේ ක්‍රි.ව. 41 දී ප්‍රිටෝරියානු හමුදාව ද සම්බන්ධ වී කලිගුලා අධිරාජයා ඝාතනය කිරීම යි. කලිගුලා අධිරාජයා මරා දැමීමෙන් පසු ප්‍රිටෝරියන් හමුදා විසින් ක්ලෝඩියස්ව අධිරාජයා ලෙස පත් කළා.
නමුත් සාමාන්‍යයෙන් දක්ෂ අධිරාජයින් යටතේ දී ප්‍රිටෝරියානු හමුදාව තම කාර්යයභාරයෙන් පිට කටයුතු කළේ නම් ඒ ඉතාම විරල අවස්ථාවක බව කිව හැකියි.
මේ අතර මාර්කස් අවුරලිස් අධිරජයාගේ පාලන සමය අවසන් වනතුරු ප්‍රිටෝරියානුවන් අධිරාජයා සමග යුධ පෙරමුණට ද ගිය අතර එහිදී විශේෂ බලකායක් ලෙස ඉතා හොඳ සේවයක් ලබා දුන්නා.
ප්‍රිටෝරියානු හමුදා සිහසුන විකුණති
ක්‍රි.ව. 180 දී කොමඩොස්, තනි අධිරාජයා ලෙස රෝමය පාලනය කිරීමට වුණා. එතෙක් ඔහු හා මාර්කස් අවුරලිස් සම අධිරාජයන් ලෙස වසර කිහිපයක් ගත කර තිබුණ අතර 180 දී මාර්කස් අවුරලිස් මිය ගියා. කොමොඩොස් අධිරාජයා යුධ බිමට යාමෙන් වැළකුණා. යුධ සටන් ද එතරම්ම සිදු වූයේ නැහැ. නමුත් විවිධ කුමන්ත්‍රණ ඔහුට එරෙහිව ක්‍රියාත්මක වුණා. කොමොඩෝස් වඩ වඩාත් ඒකාධිපති ස්වරූපයක් ගැනීමට උත්සාහ කළා. මේ අතර ප්‍රිටෝරියානු හමුදාව වඩ වඩා තම බලය පාවිච්චි කරන්නට වුණා. 192 දෙසැම්බර් 31 වන දා කොමොඩෝස් ඝාතනය කෙරුණා.
නව අධිරාජයා වූ පර්ටිනැක්ස් ප්‍රිටෝරියානු හමුදාවේ විනය යළි ඇති කිරීමට උත්සාහ කළා. එම උත්සාහය නිමා වුණේ 193 මාර්තු 28 වන දා ප්‍රිටෝරියානු හමුදාව විසින් ඔහුව ඝාතනය කිරීමෙන්. ඉන්පසු ප්‍රිටෝරියන් හමුදාව විසින් රෝමන් සිහසුන වෙන්දේසි කළා. එය මිල දී ගෙන අධිරාජයා බවට පත් වූයේ ඩිඩියස් ජුලියස් නමැත්තා යි.
ඩිඩියස් ජුලියස් සති කිහිපයක දී බලයෙන් පහ කිරීමට හමුදා නායකයකු වූ සෙප්ටිමියස් සර්වස් සමත් වුණා. සෙප්ටිමියස් සර්වස් ක්‍රි.ව. 211 වනතෙක් රෝමය පාලනය කළ අතර ප්‍රිටෝරියන් හමුදාව ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු ද උත්සාහ කළා. එහෙත් ප්‍රිටෝරියන් හමුදාව වඩ වඩා දේශපාලනික වීම දිගටම සිදු වුණා. ඔවුන් විසින් තමන්ට අවශ්‍ය අයව සිහසුනට ගෙන ඒම සිදු කළේ එක් වතාවක නොවේ. රෝමයේ වූ සිවිල් යුද්ධවලින් සහ ආක්‍රමණවලින් අධිරාජ්‍යය ගලවාගත් ඕරේලියන් පවා ක්‍රි.ව. 275 දී ඔහුගේම ආරක්ෂකයින් විසින් ඝාතනය කෙරුණා.
ප්‍රිටෝරියන් හමුදාවේ අවසානය
චතුර් පාලකයන් ගේ සිවිල් යුද්ධ (Civil Wars of the Tetrarchy) සමයේ දී, ක්‍රි.ව. 312 වන විට, ප්‍රිටෝරියන් හමුදාව මැක්සෙන්ටියස් අධිරාජයාගේ පාර්ශවය ගෙන සටන් වැදුණා. එම වසරේ දී එම අධිරජයාව කොන්ස්ටන්ටයින් විසින් පරාජය කරනු ලැබුණ අතර කොන්ස්ටන්ටයින් ප්‍රිටෝරියානු හමුදාවල හැකියාවන් දැක ඔවුන් කෙරෙහි ගෞරවයක් උපදවා ගත් බව සඳහන්. ඒ අනුව ඔහු පරාජිත ප්‍රිටෝරියානු හමුදා විනශ කිරීමෙන් වැළකුණ. නමුත් එහි වූ දේශපාලන බලය දුටු හෙයින් කොන්ස්ටන්ටයින් ප්‍රිටෝරියානු හමුදාව විසුරුවා හැර එහි සේනාංක අධිරාජයේ ඈත කෙළවරවල් වෙත පිටමං කළා. කැස්ට්‍රා ප්‍රිටෝරියා බැරැක්ක ද විනාශ කරනු ලැබුණා.
ප්‍රිටෝරියන් හමුදාව වෙනුවට කොන්ස්ටන්ටයින් විසින් ස්කෝලයේ පැලටිනේ (Scholae Palatinae) නම් බලකායක් නිර්මාණය කළා. රෝමන් අධිරාජ්‍යය දෙකඩ වීමෙන් පසු බටහිර රෝම අධිරාජ්‍යය දශක කිහිපයක් ඇතුළත කඩා වැටුණත්, නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බිසන්ටියන් අධිරාජ්‍යය තවත් සියවස් ගණනක් පැවතුණා. ස්කෝලයේ පැලටිනේ බලකාය ද සියවස් කිහිපයක් නැගෙනහිර රෝම අධිරාජ්‍යය තුළ ක්‍රියාත්මකව පැවතියා.