යුධ ටැංකිය පළමු වතාවට යුධ පෙරමුණට හඳුන්වා දුන්නේ පළමු ලෝක යුද්ධය අතරතුර 1916 වසරේ දී බ්‍රිතාන්‍යයන් විසින්. ඉන් සුළු කලකට පසුව ප්‍රංශ ජාතිකයන් ද යුධ ටැංකි නිෂ්පාදනය කිරීමට පටන් ගත්තා.
මුල් කාලීන සටන්වල දී යුධ ටැංකිය අසාර්ථක වූ අතර ඒ හේතුව නිසාම යුධ ටැංකිය යුධ පෙරමුණෙන් ඉවත් කිරීමට ද යෝජනා කෙරුණා. මේ අතර 1917 කම්බ්‍රේ සටනේ දී යුධ ටැංකිය නිවැරදිව භාවිතා කිරීමෙන් බ්‍රිතාන්‍යය අති සාර්ථක ප්‍රතිඵල අත් කරගත්තා.
වැඩිදුර කියවන්න: යුධ ටැංකියෙහි අනාගතය විසඳූ ඓතිහාසික සටන – කම්බ්‍රේ
මුල්ම අවස්ථාවන් හි ජර්මනිය යුධ ටැංකිය පිළිබඳ විශාල අවධානයක් යොමු කළේ නැහැ. නමුත් ඔවුන් යුධ ටැංකියක් සඳහා සැලසුම් සකස් කළා. විශේෂයෙන් කම්බ්‍රේ සටනින් පසු ඒ පිළිබඳ ජර්මන් උද්යෝගය ද වැඩි වුණා. නමුත් බ්‍රිතාන්‍යයන් හෝ ප්‍රංශ ජාතිකයන් හෝ මෙන් විශාල ප්‍රමාණයක් යුධ ටැංකි නිෂ්පාදනය සඳහා පළමුවන ලෝක යුධ සමයේ දී ඔවුන් යොමු වුණේ නැහැ.
ජර්මන් යුධ ටැංකිය – A7V
ජර්මන් ජාතිකයන් විසින් යුධ පෙරමුණට එවීම සඳහා නිර්මාණය කරන ලද පළමු යුධ ටැංකිය වූයේ A7V යුධ ටැංකිය යි. මෙය ජෝසෆ් වොල්මර් විසින් සැලසුම් කරන ලද්දක් වුණා. 1917 අවසන් වන විට මෙහි මූලික කටයුතු අවසන් වූ අතර 1918 මාර්තු මාසයේ ඇරඹි ජර්මන් වසන්ත ක්‍රියාන්විතයේ දී මුල් වතාවට යුධ ටැංකි යොදාගත්තා. නමුත් ජර්මානුන් ඉදි කළේ A7V යුධ ටැංකි 20 ක් පමණයි. ඉන් එකක් පමණක් ඉතිරිව ඇති අතර එය මේ වන විට ඇත්තේ ඔස්ට්‍රේලියාවේ යි. එය ද ක්‍රියාත්මක තත්ත්වයේ නැහැ.
බ්‍රිතාන්‍ය යුධ ටැංකිවලට සාපේක්ෂව මේවායේ හි හොඳ මෙන්ම නරක ද තිබුණා. එහි සන්නාහයන් බ්‍රිතාන්‍ය යුධ ටැංකිවලට වඩා ශක්තිමත් වුණ අතර සුළු අවි සහ මැෂින් තුවක්කුවලින් ඊට හානි සිදු වූයේ නැහැ. එමෙන්ම මුල් කාලීන බ්‍රිතාන්‍ය යුධ ටැංකි මෙන් නොව, A7V හි ප්‍රධාන තුවක්කු වූයේ මිලි මීටර 57 අවියක් පමණයි. එය වූයේ යුධ ටැංකිය ඉදිරියෙන් එහි මධ්‍යයට වන්නට යි. බ්‍රිතාන්‍යය මෙකල භාවිතා කළ මාර්ක් IV යුධ ටැංකියේ “පිරිමි” යුධ ටැංකියේ මිලි මීටර 57 අවි දෙකක් වූ අතර ඒවා යුධ ටැංකියේ දෙපසින් පිහිටියා. මාර්ක් IV “ගැහැණු” යුධ ටැංකියේ වූයේ මැෂින් තුවක්කු පමණයි.
නමුත් A7V යුධ ටැංකියේ අඩුපාඩු කිහිපයක්ම තිබුණා. මෙහි ඉහළ කොටස බරින් වැඩි වූ හෙයින් යුධ පෙරමුණේ වළ ගොඩැලි හේතුවෙන් පහසුවෙන් පෙරලීමේ හැකියාව තිබුණා. එමෙන්ම මෙහි ඉදිරිපස සන්නාහයන් තරම් දෙපස සන්නාහයන් ශක්තිමත් වූයේ නැහැ. එමෙන්ම දෙපස බර අවි නොතිබීම අඩුවක් වුණා. යුධ ටැංකියේ දෙපස මැෂින් තුවක්කු දෙක බැගින් තිබුණත්, බ්‍රිතාන්‍ය යුධ ටැංකිවලට බරපතල හානියක් කිරීමට ඒවාට හැකියාවක් තිබුණේ නැහැ.
A7V යුධ ටැංකියකට කාර්ය මණ්ඩලය අවම වශයෙන් දහ අට දෙනකු අවශ්‍ය වුණා. දෙදෙනකු ප්‍රධාන තුවක්කුව මෙහෙයවීමට සහ එයට උණ්ඩ ඇතුල් කිරීමට අවශ්‍ය වුණා. දෙපස සහ පිටිපස වූ සම්පූර්ණ මැෂින් තුවක්කු හයට ද වෙඩි තබන්නා සහ පතුරොම් පුරවන්නා ලෙස දෙදෙනකු බැගින් අවශ්‍ය වුණා. රථය පදවන්නා, අණ දෙන නිලධාරියා, සහ ගියර් සහ අනෙක් හැසිරවීම් කරන්නන් ලෙස අනෙක් පිරිස අවශ්‍ය වුණා.
ජර්මනිය 1918 වසන්ත ක්‍රියාන්විතය දියත් කළේ මාර්තු 21 වන දා යි. එදින පළමු වතාවට A7V යුධ ටැංකිය සටන් සඳහා යොදාගනු ලැබුණා. නමුත් එම යුධ ටැංකිවලට පළමු වතාවට බ්‍රිතාන්‍ය යුධ ටැංකි මුණගැසුනේ ඉන් කලකට පසුව යි.
විලර්ස් – බ්රෙටනෝ සටන
1918 අප්‍රේල් 24 වන දා ජර්මන් හමුදා විලර්ස් – බ්රෙටනෝ ගම්මානය අසලින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. මෙම ගම්මානය ප්‍රදේශයේ උස්බිමක වූ අතර එය අල්ලා ගැනීම උපක්රමික මධ්‍යස්ථානයක් වූ අමියොන් අල්ලා ගැනීම සඳහා ඉතා වැදගත් වුණා. කාලතුවක්කු උණ්ඩ සහ විෂ වායු ප්‍රහාරවලින් පසු ජර්මන් පාබල සේනා ප්‍රදේශයට කඩා වැදුණා.
අප්‍රේල් 24 වන දා උදෑසන මෙම සටන් පෙරමුණේ දුහුවිලි සහ විෂ වායුවලින් නිර්මාණය වූ ආවරණය අතරින් ජර්මන් යුධ ටැංකි තුනක් මතු වුණා. ඒවායෙන් ප්‍රදේශයේ වූ බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියානු හමුදා වෙත වෙඩි ප්රහාරයන් එල්ල වුණා. මෙම යුධ ටැංකි තුනෙන් ඉදිරියෙන්ම පැමිණියේ නික්සි (දිය කිඳුරිය) නම් යුධ ටැංකිය යි.
නික්සි සහ මාර්ක් IV තුන
නික්සි (Nixe) යුධ ටැංකියේ අණදෙන නිලධාරියා වුණේ දෙවන ලුතිනන් විල්හෙල්ම් බිල්ට්ස් නම් 41 හැවිරිදි නිලධාරියා යි. ඔහුගේ යුධ ටැංකියේ ප්‍රහාරවලින් මිත්‍ර පාක්ෂික මැෂින් තුවක්කු කිහිපයක් විනාශ වුණා.
මේ අවස්ථාවේ එම ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය යුධ ටැංකි බලකායේ යුධ ටැංකි තුනක් වුණා. එම කණ්ඩායමේ අණදෙන නිලධාරියා වූ ලුතිනන් ෆ්රෑන්ක් මිචෙල් මාර්ක් IV “පිරිමි” යුධ ටැංකියක සිටි අතර අනෙක් යුධ ටැංකි දෙක මාර්ක් IV “ගැහැණු” යුධ ටැංකි වුණා.
නික්සි වෙතින් එල්ල වූ බර අවි ප්‍රහාර හමුවේ මාර්ක් “ගැහැණු” යුධ ටැංකි දෙකට තරමක අලාභ හානි සිදු වුණා. එම යුධ ටැංකි වෙතින් එල්ල වුණු වෙඩි ප්රහාරයන් හේතුවෙන් නික්සි යුධ ටැංකියේ සන්නාහ තහඩුවට තුවාල සිදු වූ නමුත් එයට බරපතල හානි සිදු වූයේ නැහැ. මේ අනුව මාර්ක් “ගැහැණු” යුධ ටැංකිවලට පසු බසින්න සිදු වුණා.
මේ අවස්ථාවේ මිචෙල්ගේ යුධ ටැංකියේ මිලි මීටර් 57 තුවක්කුවලින් නික්සි යුධ ටැංකියට පහර දුන් නමුත් එයට එම වෙඩි පහර වැදුණේ නැහැ. යුධ ටැංකිය සෙලවෙන අතර එල්ල කරන ප්‍රහාරය සාර්ථක නොවන බව මිචෙල් තේරුම් ගත්තා. මේ අවස්ථාවේ ඔහු යුධ ටැංකියක ප්‍රධාන දුර්වලතාවක් උපයෝගී කරගත්තා. එනම් තම යුධ ටැංකිය ඇලයකට හරවා, නික්සි හි ප්‍රධාන තුවක්කුවේ ඉලක්කයෙන් ඈත් කර, ඒ සමගම නික්සි හි පැත්තක් තම තුවක්කුවට නිරාවරණය කිරීම යි. ඉන්පසු එල්ල කළ වෙඩි පහරින් නික්සි හානියට පත් වුණා. එහි කාර්ය මණ්ඩලය යුධ ටැංකිය අතැර පළා ගියා.
අනෙක් A7V යුධ ටැංකි දෙක මාර්ක් යුධ ටැංකිය සමග සටන් නොකර පසු බැස්සා. මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය මාර්ක් A “විපට්” යුධ ටැංකි හතක් ප්‍රදේශයට කඩා වැදී ජර්මානුන් වෙත පහර දුන්නා. ඉන් තුනක් ජර්මන් කාලතුවක්කු ප්‍රහාරවලින් විනාශ වුණ නමුත් එම ප්‍රහාරයෙන් ජර්මන් පාබල සේනාංක පසුබස්වනු ලැබුණා.
මිචෙල්ගේ යුධ ටැංකිය වෙත ගුවන් යානයකින් සහ ජර්මන් කාලතුවක්කුවකින් ප්‍රහාර එල්ල වුණා. එහි ට්‍රැක් එකකට හානි සිදු වූ විට මිචෙල්ට එය අතැර දැමීමට සිදු වුණා.
මේ අතර ප්‍රදේශයේ සටන් අඩු වූ බව දුටු බිල්ට්ස් සහ ඔහුගේ කාර්යයමණ්ඩලයේ ජීවිත ගලවාගෙන සිටි පිරිස නික්සි වෙත පැමිණ, කෙසේ හෝ එය ආපසු පණ ගන්වා ගැනීමට සමත් වුණා. එය එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ද ඔවුනට හැකි වුණා.
යුධ ටැංකිවල අනාගතය
පළමු ලෝක යුද්ධයේ දී ජර්මානුවන් යුධ ටැංකිවලට විශාල අවධානයක් යොමු කළේ නැහැ. නමුත් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යුධ ටැංකි විශාල ලෙස නිපදවූවා. 1918 වනවිට යුධ ටැංකිය බටහිර පෙරමුණේ තීරණාත්මක ආයුධය වන බව ඔවුන් තීරණය කර තිබුණා. 1918 අගෝස්තුවේ දී යුද්ධයේ තීරණාත්මකම සටනක් වූ අමියොන් සංග්‍රාමයේ දී යුධ ටැංකිය ඉතා වැදගත් වුණා. ඒ වගේම යුද්ධය 1919 වසර කරා ඇදෙනු ඇතැ යි විශ්වාස කළ හෙයින් ඒ සඳහා ද වඩා ශක්තිමත් හෝ වඩා වේගවත් හෝ යුධ ටැංකි නිර්මාණය කෙරුණා.
ජර්මනිය යුධ ටැංකියේ වැදගත්කම හොඳින්ම වටහා ගත්තේ මිත්‍ර පාක්ෂිකයන් එය භාවිතා කළ ආකාරයෙන්. එම පාඩම් ඔවුන් යොදා ගත්තේ දෙවන ලෝක යුද්ධයේ දී යි.