Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් ක්‍රීඩාවේ Most famous Ducks ලිස්ට් එකේ රසවත් අවස්ථා පහක්

ක්‍රිකට් ක්‍රීඩාව, ජාත්‍යන්තර ක්‍රිකට්හි වැදගත් සිදුවීම් හා සම්බන්ධිත ලිපි කිහිපයක් පසුගිය දින කිහිපය තුළදී ඔබ වෙත ගෙන ආවා. අද අපි අදහස් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන්  විසින් තාරාවන් ලබා ගත් අපූරු අවස්ථා කිහිපයක් ඒ කියන්නේ Most famous Ducks ලිස්ට් එකේ රසවත් අවස්ථා පහක් ගෙන එන්නට යි.

තරගයේ හෝ තම පෞද්ගලික ක්‍රීඩා දිවියේ විශේෂ අවස්ථා වලදී බලාපොරොත්තු සුනුවිසුණු කරගනිමින් පිතිකරුවන් බින්දුවට දැවී ගිය තවත් ප්‍රසිද්ධ අවස්ථා තියෙනවා නම් අපත් සමඟ බෙදා ගන්නට අමතක කරන්න එපා.

ගෝල්ඩන් ඩක් – ඇලිස්ටෙයාර් කුක්

කුක්ගේ දැවී යාම (sportskeed)

තමන් සහභාගී වන 100වන ටෙස්ට් තරගයෙදී බිංදුවට දැවී ගිය ප්‍රථම ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක් වන්නේ එංගලන්ත ටෙස්ට් නායකයෙක් වන ඇලිස්ටෙයාර් කුක් ය.

2013 දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හි පැවති ටෙස්ට් තරගාවලියේ හතරවන තරගයේදී යි. ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසෙන කුක් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙක් වන Ryan Harris එවූ ප්‍රථම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී යනවා. ඕස්ට්‍රේලියානුවන් විසින් මෙම තරගය ලකුණු 150කින් ජය ගැනීමට කුක් බිංදුවෙන් දැවී යාම ප්‍රධාන හේතුවක් ලෙස දක්වන්නට පුළුවන්.

මෙම සිදුවීම කුක්ට මෙන්ම ටෙස්ට් තරග ඉතිහාසයට ඉතා සුවිශේෂී වන්නේ ඔහු ඊට ප්‍රථම ක්‍රීඩා කළ ටෙස්ට් තරග 99න් එකදු ටෙස්ට් තරගයක හෝ බිංදුවට දැවී ගොස් නොතිබීම යි.

අවසන් ඉනිමේදී බිංදුවට දැවී ගිය සෞරව් ගංගුලි

ගංගුලි දවාගැනීමෙන් අනතුරුව (sportskeed)

ඉන්දියාවේ හිටපු දක්ෂ පිතිකරුවෙක් මෙන් ම නායකයෙක් වන සෞරව් ගංගුලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්නේ 2008 වර්ෂයේ Border-Gavaskar Trophy තරගාවලියේදී යි. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාවේ Vidarbha Cricket Association පිටියේ පැවති හතරවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී යි.

මේ වන විටත් ඉන්දියාව තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කර තිබුණි. හතරවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසෙන නායක ගංගුලි ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙක් වන Jason Krejza එවූ පළමු පන්දුවෙන් ම ඔහු අතට ම උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී යනවා.

මේ බලාපොරොත්තු නොවූ දැවී යාමෙන් නාගපූර් ක්‍රීඩා ලෝලීන් මොහතකට නිහඬ වෙනවා. නමුත් මොහොතක් ගත විය. මුළු ප්‍රේක්ෂකාගාරයම එක්වරම ප්‍රීතිඝෝෂාවෙන් පිරී ඉතිරී යන්නට පටන් ගන්නවා. එලෙස එක්වරම ප්‍රීති ඝෝෂා නගන්නට හේතුව වූයේ ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ පිතිකරුවෙකුගේ වෙන්ව යාම හේතුවෙන්.

මනින්ද්‍ර සිං බිංදුවට දවා ටෙස්ට් තරගය සමකළ ඕස්ට්‍රේලියනුවෝ

මනින්ද්‍ර සිං බිංදුවට දැවී යාම (sportskeed)

මෙය ටෙස්ට් ඉතිහාසයේ අපූරුතම රසවත් තරගය ලෙස හඳුන්වන්නට පුළුවන්. ටෙස්ට් තරග හෝ තරගාවලි බොහෝ දුරට ජය පැරදුමකින් තොරව නිම වෙන අවස්ථා අප ඕනෑ තරම් දැක තිබුණත් එක්දින තරගයක මෙන් දෙපිල ම සම ලකුණු ලබාගන්නා අවස්ථා ඉතා විරලයි.

1986 වසරේ සැප්තැම්බර් මාසයේ ඉන්දියාවේ මදුරාසියේදී ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී යි මෙසේ ලකුණු සම වෙන්නේ.

බෝඩර්ගේ නායකත්වයෙන් යුතුව පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පළමු ඉනිමේදී ලකුණු 574ක් රැස් කර තරගයේ දෙවන දිනයේ පන්දුවට පහර දෙන්නට කපිල් දේව් ප්‍රමුඛ ඉන්දියානු පිතිකරුවන්ට ආරාධනා කරනවා. කඩුළු 7ක් දැවී ලකුණු 397ක් රැස් කරන ඔවුන් නැවතත් ඕස්ට්‍රේලියානුවන්ට දෙවන ඉනිම සඳහා ආරාධනා කරනවා. එහිදී ලකුණු කඩුලු 5කට ලකුණු 170ක් රැස් කරන්නට ඔවුන් සමත්වෙන අතර තරගයේ අවසන් දිනයේ පිටියට පිවිසෙන ඉන්දියානු ක්‍රීඩකයන්ට තරගය ජය ගැනීම සඳහා ලකුණු 348ක් රැස් කළ යුතුව තිබුණා.

අවසන් දිනයේ තරගය අවසන් වීමට පන්දු තුනකට ප්‍රථම ව අවසාන පිතිකරු ලෙස මනින්ද්‍ර සිංව ඉන්දියානු කණ්ඩායම මුළු ලකුණු 347ක් ලබා තිබියදී දවා ගන්නට ඕස්ට්‍රේලියානුවන් කටයුතු කිරීම මනින්ද්‍ර සිංගේ දෑස් කඳුළින් තෙත් කරන්නට සමත් වෙනවා.

ලකුණු නොලබා සිටි ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව්ස් එවූ 8 වන පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී යනවා. මෙම දැවී යාම එදා මෙදා තුර ටෙස්ට් තරගයක ජයග්‍රහණය අභියස බිංදුවට දැවී යාම් අතරින් ප්‍රමුඛ තැනක් ලබාගෙන තිබෙනවා.

ලෝක කුසලාන අවසන් තරගයේදී ඉයන් බෝතම්ට තාරාවෙක්

බෝතම්ගේ දැවීයාම (sportskeed)

ඉයන් බොතම් ගැන මීට පෙර කීප අවස්ථාවකදී අපි කථා කර තිබෙනවා. මේ කථාවත් සම්බන්ධ වෙන්නේ එංගලන්තයේ හිටපු දක්ෂ පිතිකරුවෙක් මෙන් ම නායකයෙක් වන සර් ඉයන් බොතම්ටයි.

1992 වන තුරුත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා ගන්නට නොහැකි වුණා. 1992 වනවිට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක් ලෙස කැපී පෙනුණු ඉයන් බොතම් ප්‍රමුඛ අනෙක් ප්‍රබල ක්‍රීඩකයන් එවර ලෝක කුසලානයේ අවසන් තරගය දක්වා තම පිළ රැගෙන එන්නට සමත් වෙනවා.

බෙන්සන් හා හෙජස් ලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වෙන්නේ මාර්තු 25 වනදා මෙල්බන් වලදීයි. අවසන් තරගය සඳහා එංගලන්තය සමඟ පකිස්ථාන කණ්ඩායම සුදුසුකම් සපුරා තිබුණා.

පළමුවෙන්ම පන්දුවට පහරදෙන පාකිස්තානුවන් පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 249ක් රැස් කරනවා. ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ අරමුණින් පිටියට ආරම්භක පිතිකරුවෙක් ලෙස පිවිසෙන ඉයම් බොතම් පන්දු 6කට මුහුණ දී ලකුණු නොලබා දැවී යනවා. ඒ වසීම් අක්‍රම්ගේ පන්දුවක් හමුවේ යි.

ඉයම් බොතම් ලකුණු නොලබා දැවී යාම එවර ලෝක කුසලානය එංගන්තයට හිමි නොවීමට ප්‍රධානතම හේතුව ලෙස ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් ම ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පකිස්තානු කණ්ඩායම ලකුණු 22ක ජයග්‍රහණයක් සමඟින් 1992 ලෝක කුසලානය තමන් සතු කර ගන්නවා.

ටෙස්ට් තරගයක සාමාන්‍යය ලකුණු 100ක් කරගැනීමට නොහැකිව අවාසනාවන්ත ලෙස සමුගත් සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්

බ්‍රැඩ්මන්ගේ අවාසනාවන්ත දැවී යාම (sportskeed)

සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් යනු ටෙස්ට් ක්‍රීඩා පිටියේ අසමසම පිතිකරුවා ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔහුගේ ටෙස්ට් සාමාන්‍ය ලකුණු 99.94ක් වෙනවා. එය කවදාවත් බිඳ දැමීමට හැකි පිතිකරුවෙක් පහළ වේයැයි සිතිය නොහැකි බවයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ. දෙවන ස්ථානයේ පසු වන්නේ ටෙස්ට් සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 61.87 ක් රැගෙන ඇති ඇඩම් චාල්ස්ය. ඉතින් ටෙස්ට් සාමාන්‍ය 99කට කිට්ටු වීම තාමත් සිහිනයක් පමණයි.

1948 වසරේ අළු බඳුන ටෙස්ට් තරගාවලිය යටතේ අගෝස්තු මාසයේදී ලන්ඩන් හි පැවති පස්වන ටෙස්ට් තරගය සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ අවසන් ටෙස්ට් තරගය විය. ඔහුට ටෙස්ට් ලකුණු සාමාන්‍ය 100ක් කරගැනීමට අවශ්‍ය ව තිබුණේ මෙම තරගයේදී ඉතා කුඩා ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම පමණයි. ලකුණු 7000 සීමාව සඳහා අවශ්‍ය ව තිබුණේ තවත් 4ක් පමණයි. නමුත් සියළුම බලාපොරොත්තු සුනුවිසුණු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව පසක් කරමින් එංගලන්ත පා දඟ පන්දු යවන්නෙක් වන Eric Hollies එවූ පන්දුවක් හමුවේ බ්‍රැඩ්මන් ලකුණු නොලබා දැවී යන්නේ සියළුම ක්‍රිකට් ලෝලීන්ගේ දෑසට කඳුළක් එක කරමින්. කදුළු පුරවාගත් බ්‍රැඩ්මන් නැවතත් ක්‍රීඩා ගාරයට පියමනින්නේ දහසක් ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් මැද්දේයි. ප්‍රේක්ෂකයන් කම්පාවට පත් වූ ටෙස්ට් තරගයක් ලෙස මෙය ඉතිහාසයට එක් වී තිබෙනවා.

විශේෂ තරග අවස්ථා වලදී මෙසේ අවාසනාවන්ත ලෙස දැවී ගිය දක්ෂ පිතිකරුවන් පිළිබඳව තවත් අවස්ථා ක්‍රිකට් ඉතිහාසයෙන් සොයා ගන්නට පුළුවන්. ඒ පිළිබඳව ඔබ දැනුවත්නම් comment එකකින් සටහන් කර යන්නත් පුළුවන්.

මුලාශ්‍ර:

  1. espncricinfo.com
  2. wikipedia
  3. thatscricket.com
  4. sportskeeda.com

Related Articles