ග්‍රීසිය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වීම සිදුවුණේ තරමක් සංකීර්ණ වූ ක්‍රියාවලියක් හරහා යි. මෙය එක් අතකින් රාජාණ්ඩුව ඇතුළු පැරණි සම්ප්රදායයන් ගරු කරන්නන් සහ ලිබරල්වාදී නව සම්ප්රදායයන් ගරු කරන්නන් අතර ගැටුමක් ලෙස ද, අනෙක් අතට මධ්‍ය බලවතුන් සහ මිත්‍ර පාක්ෂිකයන් යන දෙපාර්ශවයට සහාය පළ කරන්නන් අතර ගැටුමක් ලෙස ද ගොඩනැගුණා.
ජාතිකවාදී ප්‍රවණතාව
ග්‍රීසිය සියවස් කිහිපයක් පැවතුණේ ඔටෝමන් පාලනය යටතේ යි. එරට නිදහස් ව්‍යාපාරය 1821 දී ඔටෝමන් පාලනයට එරෙහිව සටන් ඇරඹූ අතර, 1832 දී නිදහස් ග්‍රීක රාජ්‍යයක් බිහි වුණා. නමුත්, එය වත්මන් ග්‍රීසිය තරම් විශාල වූයේ නැහැ. එමෙන්ම, ජනගහනයෙන් බහුතරය ග්‍රීකයන් වූ ප්‍රදේශ අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණේ මෙම ග්‍රීක රාජ්‍යයට එපිටින්. මේ ප්‍රදේශ අතර මැසඩෝනියාව, ක්‍රීටය, ඊජියානු දූපත්, සයිප්‍රසය මෙන්ම බටහිර ඇනටෝලියාව සහ කළු මුහුදු වෙරළේ ප්‍රදේශයන් ද තිබුණා. ග්‍රීසියේ ජීවත් වූවාක් මෙන් සිව් ගුණයක පමණ ග්‍රීකයෝ ඉන් පිටත ජීවත් වුණා.
රටින් පිටත ජීවත් වූ ග්‍රීක ජනතාව තම පාලනය යටතට ගැනීම නිදහස් ග්‍රීසියේ ප්‍රධානම බලාපොරොත්තුවක් වුණා. නමුත්, මුල්කාලීන ග්‍රීසිය කුඩා දුර්වල රාජ්‍යයක් වූ හෙයින් මෙම අවශ්‍යතාව ඉටුවන ලකුණු පෙනුණේ නැහැ. එවන් එක් උත්සාහයක් 1897 දී ගනු ලැබුණා. ඒ ක්රීට දූපත අරබයා ඔටෝමන් අධිරාජ්‍යය සමග ඇති වූ යුද්ධය යි. එයින් මාසයක් තුළ දී ග්‍රීසිය පරාජය වුණා.
1909 දී ග්‍රීසියෙහි තරුණ හමුදා නිලධාරීන් පිරිසක් විසින් දියත් කරන ලද කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස එරට දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරුණා. මෙහි දී සාම්ප්‍රදායික කණ්ඩායම් සහ නවීනත්වය අගයන කණ්ඩායම් අතර ගැටුමක් වර්ධනය වුණා. එහි දී අර්බුදය නිම කිරීම සඳහා නායකත්වය දීමට ක්රීට දූපතේ දේශපාලකයකු වෙත නවීනත්වය අගයන කඳවුර නැඹුරු වුණා.
එලෙෆ්තේරියෝස් වෙනිසේලොස්
දේශපාලන අර්බුදයක් යනු නව නායකයන්ට ඉස්මතු වීම සඳහා කදිම අවස්ථාවක් බව කියනු ලබනවා. 1909 ග්‍රීක කුමන්ත්රණයෙන් පසු මතු වූ අර්බුදය අවස්ථාව සැලසූයේ එලෙෆ්තේරියෝස් වෙනිසේලොස්ට යි.
1897 දී ක්‍රීටය පිළිබඳ ඇති වූ යුද්ධයෙන් ග්‍රීසිය පරාජය වුව ද, යුරෝපා බලවතුන්ගේ මැදිහත් වීම මත ඔටෝමන් පාලනය යටතේ පුළුල් බලතල සහිත ප්‍රදේශයක් බවට ක්‍රීටය පත් කරනු ලැබුණා. මෙම නව ක්‍රීටයේ ප්‍රධාන දේශපාලකයකු වූ වෙනිසේලොස්, 1909 කුමන්ත්රණයෙන් පසු මතු වූ අර්බුදය අතරතුර ග්‍රීසිය වෙත පැමිණෙන්නට තීරණය කළා. ඔහු ලිබරල් පක්ෂය පිහිටවූ අතර, 1910 අගෝස්තු මැතිවරණයෙන් එය පාර්ලිමේන්තුවේ විශාලම පක්ෂය බවට පත් වුණා. ඔක්තෝබරයේ දී වෙනිසේලොස් අගමැති ලෙස පත් කරනු ලැබුණේ ඒ අනුව යි. නමුත්, පාර්ලිමේන්තුවේ තම පක්ෂයට තනි බහුතර බලයක් නොවූයෙන් වෙනිසේලොස්ට නව මැතිවරණයක් කැඳවීමට අවශ්‍ය වුණා. නොවැම්බරයේ දී පවත්වන ලද එම මැතිවරණයෙන් ලිබරල් පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවා.
බෝල්කන් යුද්ධ
1908 යෞවන තුර්කි ව්‍යාපාරයේ විප්ලවයෙන් පසු ඔටෝමන් තුර්කියෙහි ජාතිකවාදී හැඟීම් වර්ධනය වූ අතර, මෙය එරට ජීවත් වූ ක්‍රිස්තියානි ලබ්ධිකයන්ට ගැටළු ඇති කළා. මේ සමග, සර්බියාව සහ බල්ගේරියාව අතර ඔටෝමන් විරෝධී ගිවිසුමක් ඇති වුණා. බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ ද බලපෑම මත මෙයට ග්‍රීසිය ද එක් වුණා. ග්‍රීසියෙහි වැදගත්කම වූයේ එරටට නාවික හමුදාවක් තිබීම යි. මේ අනුව ඔටෝමන් තුර්කියට එරෙහි යුද්ධයක දී එය ඉතා වැදගත් වනු ඇතැ යි අදහස් කරනු ලැබුණා.
1912 දී ඇරඹි පළමු බෝල්කන් යුද්ධයේ දී සර්බියාව, බල්ගේරියාව සහ ග්‍රීසිය ඔටෝමන් තුර්කියට එරෙහිව යුධ වැදුණා. එම යුද්ධය ග්‍රීසියට අතිශයින්ම වාසිදායක වුණා. එරටට මැසඩෝනියාවේ අගනුවර වූ සැලෝනිකාව ඇතුළු එම ප්‍රදේශයෙන් සැලකිය යුතු ප්‍රදේශයක් ද, එපිරස් හි භූමි ප්‍රදේශයෙන් විශාල පංගුවක් ද, ඊජියානු දූපත් ද ලැබුණ අතර ක්‍රීට් දූපතේ ග්‍රීක පාලනය නිල වශයෙන් පිළිගනු ලැබුණා.
සර්බියාව සහ ග්‍රීසිය අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. මේ අතර පළමු බෝල්කන් යුද්ධවලින් ලද භූමි ප්‍රදේශ පිළිබඳ මතභේදයක් හේතුවෙන් බල්ගේරියාව සහ සර්බියාව යුධ වැදුණා. මෙහි දී ග්‍රීසිය ද සර්බියාව පාර්ශවයෙන් යුද්ධයට අවතීර්ණ වුණා. යුද්ධාවසානයේ දී ග්‍රීසියට මැසඩෝනියාවෙහි තවත් කොටසක් ලැබුණා.
පළමුවන කොන්ස්ටන්ටයින් රජු
1913 මාර්තු 18 වනදා පනස් වසරක් ග්‍රීසිය පාලනය කළ පළමුවන ජෝර්ජ් රජු වෙඩි තබා ඝාතනය කරනු ලැබුණා. ඉනික්බිති, ඔහුගේ පුත්‍ර කොන්ස්ටන්ටයින් ග්‍රීසියෙහි රජ බවට පත් වුණා. කෙසේ වෙතත්, ජෝර්ජ් රජු ඒ වෙද්දිත් සිටියේ සිහසුන අත්හරින්න සූදානමින්.
1868 දී උපන් කොන්ස්ටන්ටයින් විවාහ වී සිටියේ ජර්මන් කයිසර් දෙවන විල්හෙල්ම්ගේ සහෝදරිය වූ සොෆියා සමග යි. එහෙයින්, ඔහු ජර්මනියට පක්ෂපාතී බවට සැකයක් වූයේ නැහැ. එමෙන්ම, කොන්ස්ටන්ටයින් ජර්මනියේ හමුදා පුහුණුව ලැබූවකු වුණා. ඔහු 1897 දී ඔටෝමන් සේනාංක සමග යුධ වැදුණ ග්‍රීක හමුදාවෙහි ප්‍රධාන අණදෙන නිලධාරියා ද වුණා. යුද්ධයෙහි පරාජයත් සමග ඔහු සහ රාජාණ්ඩුව විවේචනයට ලක් වූ අතර, 1909 සිදු වූ කුමන්ත්‍රණයට ද එහි යම් දායකත්වයක් ඇතැ යි සැලකිය හැකියි.
රජු සහ අගමැති ගැටුම
ඔස්ට්‍රියා-හන්ගේරියාව විසින් සර්බියාව ආක්‍රමණය කළ පසු ග්‍රීසියෙහි රජු සහ අගමැති අතර මතභේදයක් මතු වුණා. සර්බියාව සමග වූ එකඟත්වය අනුව ග්‍රීසිය එරටට සහාය දැක්විය යුතු වුණා. එමෙන්ම, මිත්‍ර පාක්ෂිකයන් යුද්ධය ජයග්‍රහණය කරනු ඇති බවට වෙනිසේලොස් තදින් විශ්වාස කළා. ඔටෝමන් අධිරාජ්‍යය මධ්‍ය බලවතුන් පාර්ශවයෙන් යුද්ධයට අවතීර්ණ වූ විට, බටහිර ඇනටෝලියාවෙහි ග්‍රීකයන්ට නිදහස දිනා දීම සඳහා එකම මාර්ගය මිත්‍ර පාර්ශවයෙන් යුද්ධයට එක් වීම බව වෙනිසේලොස්ගේ විශ්වාසය වුණා.
නමුත්, කොන්ස්ටන්ටයින් යුද්ධයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළා. මේ අවස්ථාවේ ඔහුට අවශ්‍ය වූයේ නිල වශයෙන් පාර්ශවයක් නොගෙන සිටීමට යි. කොන්ස්ටන්ටයින්ගේ පක්ෂපාතීත්වය වූයේ ජර්මනිය සමග යි. එමෙන්ම, ජර්මනිය යුද්ධය ජයග්‍රහණය කරනු ඇතැ යි ද ඔහු විශ්වාස කළා. නමුත්, ඔටෝමන් හමුදා සහ ග්‍රීසිය එක පාර්ශවයක සිට යුධ වැදීම කිසි ලෙසකින්වත් බලාපොරොත්තු විය හැක්කක් නොවන බව ද කොන්ස්ටන්ටයින් දැන සිටියා. එහෙයින්, වඩා සුදුසු වන්නේ මධ්‍යස්ථව සිටීම බව ඔහු තීරණය කළා.
මෙම අවස්ථාවේ දී 1909 කුමන්ත්‍රණයට සම්බන්ධ වූ තරුණ හමුදා නිලධාරීන් වෙනිසේලොස්ගේ පාර්ශවය ගත් නමුත්, උසස් නිලධාරීන් බොහෝ දෙනා වූයේ කොන්ස්ටන්ටයින්ගේ පාර්ශවයේ යි. මේ අතර ප්‍රතිසංස්කරණ හේතුවෙන් සිය බලය සහ සමාජ තත්ත්වය කෙමෙන් අභියෝගයට ලක්වනු දුටු සාම්ප්‍රදායික ඉඩම් හිමි රදලයන් හා ඕර්තඩොක්ස් පූජකයන් ද කොන්ස්ටන්ටයින්ගේ පාර්ශවය ගත්තා. තරුණයින් සහ වෙළෙඳ ප්‍රජාව වෙනිසේලොස් පාර්ශවය ගත්තා. මේ අනුව රජු සහ අගමැති අතර ගැටුම පන්ති අතර ගැටුමක් සහ සමාජ ක්‍රම අතර ගැටුමක් ලෙස ද පරිණාමය වුණා.
1915 දී ගැලිපොලි යුධ ව්‍යාපාරය සැලසුම් කෙරෙන අවස්ථාවේ, ග්‍රීසියෙහි සහය මිත්‍ර පාක්ෂිකයෝ බලාපොරොත්තු වුණා. ඔවුන් ග්‍රීසියට බටහිර ඇනටෝලියාව ලබාදීමට ප්‍රතිඥා දුන්නා. වෙනිසේලොස් යුද්ධයට අවතීර්ණ වීමට සූදානම් වූ නමුත්, ග්‍රීක යුධ හමුදා ප්‍රධානීන් ඊට විරුද්ධ වුණා. පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර නව මැතිවරණයක් කැඳවනු ලැබුණා.
ගැලිපොලි යුධ ව්‍යාපාරය ක්‍රියාත්මක වන අතරතුර 1915 මැයි මාසයේ දී ග්‍රීක පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ලැබුණා. සිය මැතිවරණ ව්‍යාපාරයේ දී වෙනිසේලොස් ප්‍රතිඥා දුන්නේ යම් හෙයකින් බල්ගේරියාව සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළහොත්, තමන් සර්බියාව සමග වූ එකඟතාවට ගරු කරමින් බල්ගේරියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන බව යි. මෙම මැතිවරණයෙන් ලිබරල් පක්ෂය බහුතර ආසන ප්‍රමාණයක් දිනාගෙන යළි බලයට පත් වුණා. වෙනිසේලොස් මෙම ප්‍රතිඵලය අර්ථ දැක්වූයේ මිත්‍ර පාක්ෂිකයන්ට හිතවාදී වූ තම ස්ථාවරය අනුමත කරන්නක් ලෙස යි.
මිත්‍ර හමුදා සැලෝනිකාවට
රජු සහ වෙනිසේලොස් අතර මීළඟ බරපතල මතභේදයට පාර කැපුණේ 1915 සැප්තැම්බරයේ දී බල්ගේරියාව හමුදා ජංගමගත කිරීමත් සමග යි. ඔවුන් ඒ පියවර ගත්තේ ජර්මනිය ප්රමුඛ මධ්‍ය බලවතුන් සර්බියාවට එරෙහිව දියත් කරන මෙහෙයුමට එකතු වන අදහසින්. මේ අවස්ථාවේ කොන්ස්ටන්ටයින්, සීමිත ජංගමගත කිරීමක් සඳහා වෙනිසේලොස්ට අවසර දුන්නා. නමුත්, කොන්ස්ටන්ටයින්ගේ නියෝගය වූයේ ග්‍රීසිය ආක්‍රමණය කළහොත් පමණක් එරට යුද්ධයට ඇතුළත් විය යුතු බව යි.
මීට පිළිතුරු ලෙස වෙනිසේලොස් දැඩි පියවරක් ගත්තා. සර්බියාවට ආධාර කිරීම සඳහා සැලෝනිකාවට හමුදා ගොඩබැස්වීමට ඔහු මිත්‍ර පාර්ශවයට අවසර දුන්නා. ප්‍රංශ ජෙනරාල් මොරිස් සරේගේ සේනාංක සැලෝනිකාවට ගොඩ බැස්සේ එම අවසරයෙන්. නමුත්, මෙම උත්සාහය සර්බියාව ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවූ අතර ග්‍රීසිය යුද්ධයට අවතීර්ණ වූයේ ද නැහැ. වෙනිසේලොස්ට යළිත් ඉල්ලා අස්වීමට බල කරනු ලැබුණා.
දෙසැම්බරයේ දී පවත්වන ලද මැතිවරණය ලිබරල් පක්ෂය විසින් වර්ජනය කරනු ලැබුණා. මේ අනුව රාජාණ්ඩුවාදී පාර්ලිමේන්තුවක් පත් වුණා. නමුත්, මෙමඟින් රටෙහි සැලකිය යුතු ජන කොටසකගේ නියෝජනයක් සිදුවූයේ නැහැ.
එක රටක්, ආණ්ඩු දෙකක්
1916 ජනවාරියේ දී මොන්ටිනේග්රෝව වැටීමත් සමග බෝල්කන් පෙරමුණෙහි සටන් අවසන් වුණා. නමුත්, මිත්‍ර හමුදා සැලෝනිකාවෙන් ඉවත් කරගනු ලැබුණේ නැහැ. ග්‍රීක රාජාණ්ඩුවාදීන් තර්ක කළේ මෙසේ මිත්‍ර සේනා රැඳී සිටීම මඟින් ග්‍රීසිය යුද්ධයට ඇද ගැනීමට උත්සාහ කරන බව යි. විශේෂයෙන්ම මධ්‍ය බලවතුන් ග්‍රීසිය ආක්‍රමණය කළහොත්, ඔවුන් හා යුද්ධයට ග්‍රීසිය පැටලෙනු ඇත යන්න රාජාණ්ඩුවාදීන් ඉදිරිපත් කළ අදහස වුණා.
නමුත්, මධ්‍ය බලවතුනට ග්‍රීසිය ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මිත්‍ර පාක්ෂිකයන්ට ද හමුදා ඉවත් කරගැනීමේ අවශ්‍යතාවක් වූයේ නැහැ. මෙසේ මාස කිහිපයක් ඇදී ගියා.
මේ අතර මිත්‍ර පාක්ෂිකයෝ සැලෝනිකාවෙහි හමුදා තර කරන්න පටන් ගත්තා. මෙය එක් අතකින් බල්ගේරියාවට තර්ජනයක් ලෙස ද අනෙක් අතට තුර්කියෙහි අගනුවර වූ කොන්ස්තන්තිනෝපලයට තර්ජනයක් ලෙස ද සලකනු ලැබුණා.
මේ අයුරින් පැවති සැලෝනිකා පෙරමුණ ක්‍රියාකාරී වීමට කරුණු දෙකක් හේතු වුණා. එනම්, රුමේනියාව යුද්ධයට සම්බන්ධ වීමේ අවදානම සහ ප්‍රතිසංවිධානය කළ සර්බියානු හමුදා එම පෙරමුණෙහි එක්රැස් වීම යි.
බල්ගේරියානු සේනා අගෝස්තුවේ දී ග්‍රීසිය ආක්‍රමණය කළ ද ග්‍රීක සේනා කොන්ස්ටන්ටයින්ගේ අණ පරිදි පසු බැස්සා. මේ අනුව බල්ගේරියානුවන්ට මුහුණ දුන්නේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, රුසියන්, සර්බියන් සහ ඉතාලි මිත්‍ර සේනාංකයන්. සැප්තැම්බරයේ දී මිත්‍ර පාක්ෂිකයෝ ප්‍රතිප්‍රහාර එල්ල කරමින් බල්ගේරියානුවන් තරමක් පසු බැස්සවූවා.
බල්ගේරියානු හමුදා ග්‍රීසිය ආක්‍රමණය කරන අවස්ථාවේ ග්‍රීසිය ඊට ප්‍රතිචාර නොදැක්වීම වෙනිසේලොස් පාක්ෂික හමුදා නිලධාරීන්ගේ නොසතුටට හේතු වුණා. මධ්‍ය බලවතුන් ග්‍රීසියෙහි සැලකිය යුතු ප්‍රදේශයක් අල්ලාගනු ඇත යන බිය ඔවුන් තුළ ජනිත වුණා. මෙහි ප්‍රතිඵලය වූයේ සැලෝනිකාවේ වෙනිසේලොස් පාක්ෂික හමුදා නිලධාරීන් විසින් විකල්ප හමුදා සංවිධානයක් බිහි කිරීම යි.
1916 අගෝස්තු මාසයේ දී මුල් බල්ගේරියානු ප්‍රහාරය එල්ල වන විට මෙම ජාතික ආරක්ෂක සංවිධානය පිහිටුවා ගත් ග්‍රීක හමුදා නිලධාරීන් පිරිසක් සැලෝනිකාවෙහි විකල්ප රජයක් පිහිටුවීමේ කටයුතු ඇරඹුවා. මීට මිත්‍ර රටවල අනුග්‍රහය ලැබුණි. වෙනිසේලොස් මෙම කටයුතු සඳහා සැලෝනිකාවට පැමිණි අතර 1916 ඔක්තෝබරයේ දී විකල්ප ග්‍රීක රජයක් සැලෝනිකාවේ දී නිල වශයෙන් පිහිටුවා ගනු ලැබුණා. මෙම විකල්ප රජය සති කිහිපයකට පසු මධ්‍ය බලවතුන්ට එරෙහිව යුධ ප්‍රකාශ කළා.
මිත්‍ර පාක්ෂික මැදිහත්වීම
මෙම සිද්ධීන් සිදුවන අතර මිත්‍ර පාක්ෂිකයන් ද සිටියේ කොන්ස්ටන්ටයින් සමග සාකච්ඡා කරමින්. එක් අවස්ථාවක දී, ග්‍රීසිය යුද්ධයට අවතීර්ණ වන්නේ නම් සයිප්‍රසය එරටට ලබාදීමට පවා බ්‍රිතාන්‍යය යෝජනා කළා. එහෙත්, කොන්ස්ටන්ටයින් ඊට එකඟ වූයේ නැහැ.
විකල්ප රජය පිහිටුවා ගැනීමෙන් පසු ග්‍රීක අර්බුදය නිරාකරණය කරගැනීම සඳහා කොන්ස්ටන්ටයින් සහ මිත්‍ර පාර්ශවය අතර සාකච්ඡා ඉක්මන් කෙරුණා. ග්‍රීසිය විසින් සැලෝනිකාව ආශ්රිත ප්‍රදේශයෙන් හමුදා ඉවත් කරගැනීම ද එරට නාවික හමුදාව පවරා දීම ද ආදී වශයෙන් ඉල්ලීම් මිත්‍ර රටවලින් පැමිණියා. වෙනිසේලොස්ගේ විකල්ප රජයට නිල පිළිගැනීමක් නොදෙන ලෙස කොන්ස්ටන්ටයින් ඉල්ලා සිටියා.
1916 ඔක්තෝබරයේ දී කොන්ස්ටන්ටයින් ඇතැම් මිත්‍ර පාක්ෂික යෝජනාවලට එකඟ වුණා. මේ අනුව සැලෝනිකා ප්‍රදේශයේ වූ ග්‍රීක සේනාංක ඉවත් කරගැනීමට සහ නාවික යාත්‍රා සමහරක් පවරා දීමට රජු කැමැත්ත පළ කළා.
නමුත්, ග්‍රීක හමුදා නායකත්වය මෙම එකඟතාව පිළිබඳ අප්‍රසාදයෙන් පසු වුණා. ඔවුනගේ පෙළඹවීම මත කොන්ස්ටන්ටයින් ද එම එකඟතාව අනුව කටයුතු කිරීමෙන් වැළකී සිටියා. මේ අතර ඇතන්ස් හරහා සැලෝනිකා පෙරමුණට ආධාර යැවීම ද ග්‍රීසිය ප්‍රතික්ෂේප කළා.
1916 දෙසැම්බර් 1 වනදා තුන් දහසක බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සේනාංකයක් ඇතන්ස් අගනුවර අසල පිරේයස් වරායට ගොඩ බැස්සා. යොවානිස් මෙටක්සාස් විසින් නායකත්වය දුන් රාජාණ්ඩුවාදී පැරාමිලිටරි සංවිධානයක් ඔවුන් හා ගැටුණා. ඊළඟ දිනයේ උදෑසන මිත්‍ර හමුදා ඉවත්ව ගියා.
(මෙටක්සාස් පසු කලෙක ග්‍රීසියේ ප්‍රකට ෆැසිස්ට් ඒකාධිපතියකු බවට පත් වුණා).
මෙම සිද්ධියෙන් පසු මිත්‍ර පාක්ෂිකයෝ දෙසැම්බර් 8 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රීසියට එරෙහිව නාවික අවහිරතාවයක් දියත් කළා. නමුත්, කොන්ස්ටන්ටයින් ඔවුන් ඉල්ලා සිටි පරිදි යුද්ධයට සම්බන්ධ වීමට සූදානම් වූයේ නැහැ. ඔහු අවසානයේ දී මිත්‍ර පාක්ෂිකයන්ගේ පීඩනයට යටත් වූයේ 1917 ජූනි මාසයේ යි. ජූනි 11 වනදා සිහසුන අතැර දැමූ හෙතෙම රටින් පිටව ගියා.
කොන්ස්ටන්ටයින්ගෙන් පුරප්පාඩු වූ රජකමට ඔහුගේ දෙවන පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් පත් කරනු ලැබුණා. කොන්ස්ටන්ටයින්ගේ පළමු පුත්‍රයා වූ ජෝර්ජ් ද ජර්මන් හිතවාදියකුයැ යි සලකන ලද හෙයින්, ඔහු රාජ්‍යත්වයට පත් කිරීම කෙරෙහි මිත්‍ර රටවල් විරෝධය පළ කළා. මේ අනුව ඇලෙක්සැන්ඩර් රජ වූ අතර වෙනිසේලොස් ඇතැන්ස් නුවරට පැමිණියා. අභිනව රජයෙහි අග්‍රාමාත්‍ය ලෙස ඔහු පත් වූ අතර, ජූනි 30 වනදා ග්‍රීසිය මධ්‍යම බලවතුනට එරෙහිව යුධ ප්‍රකාශ කළා.
ග්‍රීසිය යුද්ධයට ඈඳා ගැනීම සඳහා මිත්‍ර පාක්ෂිකයන් කටයුතු කළේ එරට ස්වෛරීභාවය පිළිබඳව අබමල් රේණුවකුදු නොසලකමිනි. නමුත්, එරට ජනතාවගේ බහුතරයකගේ මතය කොන්ස්ටන්ටයින් විසින් නියෝජනය නොකරන ලද බව කිව හැකියි.
කෙසේ නමුත්, රටක් යුද්ධයකට අවතීර්ණ විය යුත්තේ එහි අනිටු ප්‍රතිඵල පිළිබඳ මනා අවබෝධයකින් යුතුව යි. එසේ නොමැති අවස්ථාවන්හි දී සිදුවිය හැක්කේ විශාල අගතියක්. ග්‍රීසිය ද මුල් අවස්ථාවේම මිත්‍ර පාර්ශවයෙන් යුද්ධයට අවතීර්ණ වූයේ නම්, යුධ ඉතිහාසය කෙසේ වෙනස් වේ ද යන්න අනාවැකි පළ කිරීම අපහසු බව කිව යුතු යි.
කවරයේ ඡායාරූපය: වෙනිසේලොස්ගේ ග්‍රීක අන්තර්වාර රජය විසින් පිහිටවූ සෙරෙස් ඩිවිෂනයෙහි රෙජිමේන්තු ධජ ප්රදානය (Public Domain)