Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුදු ඒජන්තලා පදිංචි ව සිටි හකුරුගල ලෙන් විහාරය

රුවන්වැල්ලට නුදුරින් තිබෙන පුරාණ ලෙන් විහාරයක් ඉංග්‍රීසි පාලන කාලෙ දිසාපතිවරු පදිංචි වී සිට ඇති බව පැරණි වාර්තාවල දැක්වෙනවා. ඔවුන් එතරම් එහි පරිසරයට කැමති වීම එයට හේතුවයි. තවමත් ඒ ගමේ පිටිසර වටපිටාවක් දැකගත හැකියි. ඒ හකුරුගල ලෙන් විහාරයයි. අපි දැන් හකුරුගල බලන්න යමු.

 විහාර බිමට පිවිසුම -Sandun Prabath- yourchoiceway.com

පිහිටීම

හකුරුගල රජමහා විහාරය පිහිටා  ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ලේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් නිකවලමුල්ල ගමේ යි. රුවන්වැල්ලේ සිට ඒ වෙත දුර කිලෝ මීටර් 10.3ක්. රුවන්වැල්ල නගරයේ සිට කැලණි ගඟ හරහා පිහිටි පාලම්ගමුව සංගිලි  පාලම මතින් එතෙර වී කුරුපැත්ත පාරේ ගමන් කිරීමෙන් හකුරුගලට ළඟාවීම පහසුයි.

වාහනයකින් යනවා නම් රුවන්වැල්ලේ සිටඅවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේ කරවනැල්ල නගරයට නුදුරු මාගම්මන දක්වා ආපසු ගමන් කර කුරුපැත්ත පාරේ  කිලෝමීටර් තුනක් පමණ ගමන් කළ යුතු වෙනවා. පුරාණ බෙදීම් අනුව එ’ගම තුන් කෝරළයේ අටුලුගම් කෝරළයට තමයි අයත් වන්නේ. මේ ගම පිහිටා ඇත්තේ නැගෙනහිරින් කැලණි නදියටත්, බටහිරින් කිතුල්ගල ඔයටත් මැදි වූ සාරවත් ගං නිම්නයේ යි.

රුවන්වැල්ල කම්බි පාලම -facebook.com

ඉතිහාසය

මේ ලෙන් විහාරයේ ඉතිහාසයත්බොහෝ ලෙන් විහාර මෙන් වලගම්බා රජු දවසට අයත් බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. නමුත් එය ඔප්පු  කළ හැකි සාධක නම් නැහැ. එච්. සී. පී. බෙල්ගේ 1892 කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ ද හකුරුගල ගැන අපූරු විස්තරයක් ඉදිරිපත් කරනවා.

 විහාර පියගැට පෙළ -facebook.com

උඩරට රාජධානි සමයේ අධ්‍යාපනය බිඳ වැටී පැවතුණු සමයේ මෙම විහාරයේ භික්ෂුන් වහන්සේ අවට වෙසෙන දරුවන්ට  ” අකුරු ” උගන්වා තිබෙනවා. අකුරු කරවූ ගල අකුරු+ගල (අකුරුගල)පසුව හකුරුගල වූ බවට  මතයක් පවතිනවා.

විහාරබිමේ කඳුවැටියක බෑවුමේ අලංකාර ගල්තලා හා ලෙන් කිහිපයක් පිහිටා  තිබෙනවා. කටාරම් කෙටූ ප්‍රධාන ලෙනෙහි විහාරගෙය දැකගත හැකි යි. නිකවලමුල්ල පුරාණ රාජධානි සමයේ සීතාවක හරහා  මහනුවර දක්වා වැටී තිබූ උඩරට රජ මාවත ආසන්නයේ පිහිටි ගමක්.

හකුරුගල ලෙන් අාවාස කුටි – facebook.com

ඉංග්‍රීසි වාර්තා

17 වැනි සියවසේ පටන් මෙතැන පසුකර ගෙන ගිය යුරෝපීයයන් රැසක් මෙම විහාරය ගැන වාර්තා තබා තිබීම විශේෂත්වයයක්. මුලින් u හමුවන්නේ 1680 දී හකුරුගල පසුකර ගෙන ගිය ක්‍රිස්ටෝපර් ෂ්වයිට්සර් නම් ඕලන්ද දූත පිරිසක් සමඟ ගිය නියෝජිතයකු තැබූ සටහනක්. වර්ෂ 1800 දී මහනුවරට දූත ගමනක් යන රොබට් පර්සිවල් ද හකුරුගල ගැන ආකර්ශනීය විස්තරයක් ඉදිරිපත් කරනවා. බෙල් එම වාර්තාව උපුටා දක්වනවා:

‘‘අප කඳවුරු ගැසූ තැනට සැතපුමක් පමණ වූ පෙදෙසෙහි කොළඹ දෙසට බෙහෙවින් අසාමාන්‍ය චිත්තාකර්ශනීය පෙනුමෙන් යුතු වූ කන්දක් පැන නැගී ඇත. මෙය පිහිටා ඇත්තේ ස්වභාව ධර්මයාගේ හස්තයෙන් ඇති කළ කෙසෙල් හා නෙරළු ගසින් තැනින් තැන සමන්විත වූ අතිවිශාලවූත් ප්‍රපාතාකාරවූත් පර්වත මධ්‍යයේය. මේ එක් පර්වතයක් යට ලෙනකි. එහි බුදුන් වහන්සේ උදෙසා ඉදිකළ පන්සලකි.

එහි වූ ලෙන් විහාරයට ඇතුළුවිම සඳහා දිය කඳුරකින් එතෙර වී අඩි 40ක් පමණ ඉහළට වූ ගල්පඩි නැගීමට සිදු විය. එය ද මහ ගස් කඳන් අතරින් රිංගා යමින් අසීරුවෙන් කළ යුත්තකි. ලෙනේ එක් පසෙක භික්ෂුන් වාසය කරන කුටිය විය. පන්සලට පිවිසීමේ දී මුලින්ම දිස්වන්නේ දැවයෙන් කැපූ විශාලප්‍රමාණයේ මිනිස් රුවකි. ( පර්සිවල් පවසන ආකාරයට මෙය දැව පිළිමයක් නොව බදාමෙන් කළ සැතපෙන ප්‍රතිමාවකි) ගල්ඇඳක ගලින්ම නෙළන ලද කොට්ටයක් මත තැබූ දකුණු අත මත හිස  රැඳවූ අඩි 20ක් පමණ දික්වූ එය සැතපෙන බුද්ධ ප්‍රතිමාවකි.

 බෝධි වෘක්ෂය- yourchoiceway.com

 

පන්සල ඇතුළත මුලුමනින්ම රතු සහ කළු වයිරමින් යුතු වන සේ රළු ලෙස වර්ණ ගන්වා ඇත. මෙය පැවිද්දන් දෙදෙනකු විසින් රැකබලා ගන්නා අතර කිසිදු දුෂ්කරතාවයකින් තොරව අපට ඊට පිවිසීමට අවසර ලබාගත හැකි විය. පාවහන් ගලවා ඇතුළුවන ලෙස අපට බල කළේ ද නැත. ඔවුන්ගේ රාජකාරිය වූයේ පිළිමය ඉදිරිපිට රැඳී සිට එය ඉදිරියේ කිසිවිට පහන් දැල්වීමට ඉඩ නොදීමයි. අප මහත් හරසරින් පිළිගැනීමට හේතුව අපගෙන් ලැබිය හැකි පුද පඬුරු බව නිසැකය. පුද පඬුරුවලින් එම සඟුන් මහත් ධනයක් ලබාගන්නා බව අතරම රජු ද ම කොටස බදු මගින් ලබාගන්නා බවට සැකයක් නැත( කෑගලු පුරාවිද්‍යා වාර්තාව – 1892 එච්. සී. පී. බෙල්, 120 පිට).

 සැතපෙන බුදු පිළිමය- – facebook.com

ලෙන් විහාරය

විහාරස්ථානයට පැමිණෙන පැරණි මාර්ගය වන්නේ මහා මාර්ගය අසලින් ඉහළට දිවෙන  ගල් පඩිපෙළ යි. 1946 දී පමණ ඉදිකර ඇති මෙම පඩිපෙළ ගල් පඩි 72කින් සමන්විත යි. මෑතකදී පියගැට පෙළට අමතර ව විහාර මළුවට වාහනයක් යා හැකි සේ මාර්ගයක් ද තනවා තිබෙන බව අප දුටුවා.

විහාර බිමට පිවිසෙන අපට මුලින් ම  දැක ගත හැක්කේ අඩි 150ක් පමණ දිග පර්වතයක කටාරම් කොටා සකසා ඇති ලෙන් විහාරය යි.  නූතන ප්‍රතිසංස්කරණ නිසා ලෙන ඉදිරිපස පියස්ස සහිත ගොඩනැගිල්ල නම් නවීන පෙනුමක් ගෙන තිබෙනවා. 

 ලෙන් විහාර ගෙය- Sandun Prabath- yourchoiceway.com

 

උඩරට රාජධානි කාලයේ ජරාවාස වෙමින් පැවති මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ගම් බිම්  පූජා කර ඇත්තෙත් මත්තමගොඩ දිසාව යි.  ඒ ක්‍රිස්තු වර්ෂ 1811 බව සඳහන්.  විශාල ගල් පර්වත දෙකක ලෙන් කටාරම් කොටවා ඇති ආකාරය දැක ගැනීමට පුළුවවන්. දකුණු පස විශාල ලෙන වෙන්කර ඇත්තේ ප්‍රතිමා මන්දිරයට. මෙහි අද දක්නට ලැබෙන  චිත්‍ර කර්මාන්ත 1961 දි පමණ කළ ප්‍රතිසංස්කරණයක දී කෘත්‍රිම සායමින් ඇඳි සිතුවම්.

විහාර ගෙයි පර්සිවල් සඳහන් කළ අඩි 30ක් දිගින් යුත් සැතපෙන බුදු පිළිමය ද,  අඩි 5 අඟල් 6ක් උස හිඳි බුද්ධ ප්‍රතිමාවක් ද පිහිටා තිබෙනවා. සැතපෙන පිළිමයේ පාමුල අඩි 6ක් පමණ උස විෂ්ණු දේව ප්‍රතිමාවක් තිබෙනවා.

වනගත ලෙන් අතරින්-  facebook.com

 කැප්ටන් ලෝ විසූ ලෙන

හකුරුගල විහාරයේ ආවාස ගෙය  පිහිටා තිබෙන්නේ ද විහාරයට යාබද ගල් ලෙනක යි. ආවාස ගෙය පිහිටි ස්ථානයේ ඇතුළත ලෙන් කුටියක් 1830 දශකයේ රුවන්වැල්ල ආණ්ඩුවේ ඒජන්තවරයා වූ කැප්ටන් ආර්. ලෝ වාසය පිණිස භාවිත කළ බව බෙල් සඳහන් කර සිටිනවා. පසුව රුවන්වැල්ල ඒජන්තවරයා වූ මේජර් බේලි ද මෙහි වාසය කර ඇති බව එෆ්. එස්. ප්‍රයිස්ගේ 1886 ජූලි 16 දින දිනපොත් සටහනකින් පැහැදිලි වෙනවා. එම සටහන බෙල් උපුටා දක්වා ඇත්තේ මෙලෙසයි:

රුවන්වැල්ලේ ඒජන්තවරයා වූ මේජර් බේලි එවකට විහාරාධිපති හිමියන් සමඟ එක්ව වාසය කිරීමට පුරුදුව සිටි හකුරුගල විහාරය නැරඹීමට ගියෙමි. පර්වතය යට මේජර් බේලි විසින් තැනවූ බව කියවෙන කුඩා කුටි කිහිපයකි. පර්වතයෙන් බෙහෙවින් ප්‍රසන්න ජල ධාරාවක් ගලා යයි. මේ හේතුව නිසා ඒජන්ත තැන මෙහි වාසය කිරීමට තෝරාගත් බව වියපත් ගම්වැසියෝ පවසති ( බෙල්ගේ වාර්තාව, 121 පිට).

එය විශාල මිනිසුන්සංඛ්‍යාවක් සිටිය හැකි ලෙනක් බවත් එය පසුකාලීනව වසාදමා ඇති බවටත් මතයක් පවතිනවා. දාන ශාලාව පිහිටා තිබෙන්නේ ද සාමාන්‍ය ප්‍රමාණයේ ගල් ලෙනක් තුළ යි.

විහාර ගෙය අසල ගල්ලෙන ඇතුළෙන් ගලා බස්නා දිය පහර පිරිසිදු ජලයෙන් පිරී පවතිනවා.

 මහා පර්වත -SandunPrabath- yourchoiceway.com

සීතාවක රාජසිංහගේ බිසෝවරු

විහාරය පිටුපසින් වනය ඔස්සේ ඉහළට නැගි විට පිවිසෙන්නේ බිසෝපැන්න ගල නමින් හඳුන්වන පර්වතයට යි.  එම ගල හා බැඳුණු ජනප්‍රවාදයක් අසන්නට ලැබෙනවා:

සීතාවක රාජසිංහ රජුටහත්මත්ත කන්ද නැමති ස්ථානයේ සටනකට යාමට සිදු වුණා. ඒ කාල සීමාවේ සීතාවක රාජසිංහ රජුගේ බිසෝවරු හත්දෙනෙක් මේ විහාරයේ ආරක්ෂාවට නවත්වා ගොස් තිබෙනවා.  රාජසිංහ රජු තම බිසෝවරුන්ට පවසා ඇත්තේ තමා යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් සුදු පැහැති ධජයක්ද, යුද්ධය පරාජය වුවහොත් කාලවර්ණ ධජයක් ද ඔසවන බව යි.

ඉන් පසු බිසෝවරුන් මෙම ගල්තලාවට පැමිණ රජුගේ පණිවිඩය ලැබෙන තෙක් බලා සිට තිබෙනනවා. රජු යුද්ධය ජයග්‍රහණය කර ඇති අතර පණිවුඩකරුවකු අත රජු යුද්ධය ජයග්‍රහණය කළ බව දන්වා එවා තිබෙනවා.  පණිවිඩකරුවා රාබී මත් වී විහිළුවක් කරන්නට හිතා කාලවර්ණ ධජය ඔසවලා. කිසිවක් නොදත් බිසෝවරුන් රජු යුද්ධයෙන් පරාජය වී ඇති බව සිතා මෙම ගල පල්ලට පැන දිවි නසා ගෙන.

 සොහොන් ගැබ්-archaeoloy.lk

මැටි ඔරු සුසානය

නිකවලමුල්ල පූර්ව ඓතිහාසික සුසානය පිහිටා ඇත්තේ මෙම ගල් තලාවට පහළින්. අදින් අවුරුදු 4000ක් පමණ පැරණි සොහොන් එහිදී හමුවුණා. මේ සොහොන් භූමියේ  කැණීම් කටයුතු සිදු කළේ  පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය 2009 දියි.

කැණීමෙන් පසු සුසාන ගර්භ හතරක්‌ හා තවත්එක්‌ සුසාන ගර්භයක සලකුණු හඳුනාගැනීමට හැකි වුණා.

පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන ඇති ආකාරයට එම සුසාන ආකෘතිය මැටි ඔරු සුසානයක්. මැටියෙන් තැනූ ඔරුවක් ආකාරයේ සොහොන් ගැබක භෂ්මාවශේෂ තැන්පත් කර තිබීම නිසා ඒ නම ලබා දී තිබෙනවා. 

මේ සුසාන ගර්භවලින් හමු වූ විශේෂ වළං කැබැලි වර්ගයක්‌ ලෙසට කළු හා රතු මැටිබඳුන් කැබැලි හඳුන්වා දිය හැකි යි. සාමාන්‍යයෙන් මේ මැටි බඳුන් ක්‍රිස්‌තු පූර්ව පළමු සියවසේ සිට ක්‍රිස්‌තු වර්ෂ පළමු සියවසේ මුල් කාර්තුව දක්‌වා කාල පරාසයකට අයත් වන බව පුරාවිද්‍යා මතය වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ දොරවක කන්ද ලෙනේ කළ කැණීම්වලින් සොයා ගත් රතු හා කළු මැටි බඳුන් ක්‍රිස්‌තු පූර්ව 3000 සිට භාවිත කරන්නට ඇති බවට දත්ත ලැබී තිබෙනවා.

කවරයේ ඡායාරූපය- හකුරුගල විහාර බිම -SandunPrabath- yourchoiceway.com

මූලාශ්‍ර:

කෑගලු පුරාවිද්‍යා වාර්තාව - 1892 එච්. සී. පී. බෙල්, පරි. කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ්

Vidusara.com

Awissawella.com

Related Articles