උඩරට රජවරුන්ගේ වැඩවසම් පාලනයේ සුපිරි ජීවිතයට සාධක සපයන තැන් මහනුවර අදත් දක්නට ලැබනවා. රජුගේ අගබිසවට වෙනම වාසයට වෙන්වූ ගොඩනැගිල්ලත්, රජු හිතගිය අන්තංපුර ස්ත්‍රීන් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලත් අදත් අපට නැරඹිය හැකියි. රජ කාලේ දැඩි ආරක්ෂාව යොදා තිබූ මේ ගොඩනැගිලි අද නම් ඕනෑම කෙනෙකුට යා හැකි කටුගෙවල් ලෙස යි පවතින්නේ.
මහනුවර රජ වාසල ගොඩනැගිලි වර්ෂ 1815 දී ඉංග්‍රිසින් උඩරට යටත්කරගත් පසු විවිධ කාර්යාල ලෙස භාවිතයට ගත්තා. මේ නිසා ඒවායේ පැරණි ස්වරූපය තරමක් වෙනස් වුණා.
අගබිසව වාසය කළ මැද වාහල
මෙම ගොඩනැගිල්ල ඉංග්‍රීසින් තැනූ පැරණි කච්චේරි ගොඩනැගිල්ල සහ ජාතික කෞතුකාගාරය අතර පිහිටි තනි මහලේ ගොඩනැගිල්ලක්. බොරදම් බේරූ කළුගල් පාදමක් මත බිත්ති ගොඩනගා තිබෙනවා. මෙහි බිත්ති උසින් අඩු යි. සමචතුරස්‍රාකාර ආකාරයේ ජනෙල් කුඩා යි. ඒවාට බීරළු සහිත පොලූ සවිකර තිබෙනවා. වහලයට පෙති උඵ සෙවිලි කර තිබෙන අතර, වහලයේ මුදුන්වල මැටි කොත් සතරක් දැකගත හැකියි. අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ අගබිසව වාසය කළ මෙම ගොඩනැගිල්ල මහනුවර දක්නට ලැබෙන පැරණි ස්වරූපය වෙනස් නොවූ එකම රාජකීය ගොඩනැගිල්ල වශයෙන් වැදගත්. ඉංග්‍රීසි යටත් විජිත සමයේ ආරෝග්‍ය ශාලාවක් ලෙස ද මෙය යොදා ගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ල මෑතකාලීනව ජාතික කෞතුකාගාර දෙර්තමේන්තුව යටතේ ගැමි කෞතුකාගාරය ලෙස ද, බෞද්ධ කටයුතු අමාත්‍යංශය යටතේ මහනුවර කාර්යාලය පවත්වාගෙන යාමට ද, මධ්‍යම සංස්කෘතික අමාත්‍යංශය යටතේ මහනුවර කාර්යාලය පවත්වාගෙන යාම ද ආදී ලෙස විවිධ අන්දමින් භාවිතයට ගෙන තිබෙනවා.
කටුගෙයක් වෙයි
මෑතක දී එහි රජයේ කාර්යාල ඉවත්කර, පුරාණ ස්වරූපය නැවත දිස්වන සේ සංරක්ෂණය කළා. ඒ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින්. ඊට පසු එය මැද වාසල කෞතුකාගාරය වශයෙන් ජනතාවට විවෘත වුණා. මෙය කටුගෙයක් වුණේ 2016 අවුරුද්දේ මාර්තු 5දා යි. ඒත් වැඩිදෙනෙක් එය නැරඹීමට නම් යන බවක් නම් පෙනෙන්නෙ නෑ. එයට හේතුව හුඟදෙනෙක් ඒ ගැන දැනුවත්ව නොසිටීම බව යි පේන්නේ. එදා රජ වාසල ගොඩනැගිලි අතර රජුට හැර මැති ඇමැතිවරුනට පවා තහනම් ප්‍රදේශයක් ලෙස යි මැද වාසල පැවත තිබුණේ.
වෙන්තක රෙංගම්මාල් බිසව
මෙරට බිසවක වෙනුවෙන් ඉදිකළ එකම මාළිගය වශයෙන් ද මැදවාසල වැදගත් වෙනවා. 1798 වසරේ සිට, 1815 පෙබරවාරි 18 දා දුම්බර බෝමුරේ දී ඉංග්‍රීසින්ට අසුවන තෙක් වසර 17ක් මෙරට රජකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අගබිසව වන්නේ වෙන්කත රංග ජම්මාල් නම් බලබාර් ජාතික බිසව යි. වෙන්කත රංගම්මාල්, වෙන්කත රංගම්මා යන නම්වලින් ද ඇය හැඳින්වෙනවා. ඉංග්‍රීසින් ඇඳි සිතුවමකට අනුව ඇය රූමත් කාන්තාවක් බව පේනවා. රාජධානියේ මහ රජුගේ අග මෙහෙසිය වුව ද, මෙරට තුළ දී රංගම්මාල් බිසව ගතකර ඇත්තේ නිදහස ඇහිරුණු හුදෙකලා ජීවිතයක් බව යි මේ ගොඩනැගිල්ලට පිවිසෙන ඕනෑම අයකුට වැටහී යන්නේ. මැද වාසලට ඇතුළුවන උළුවස්ස විශාල දැව කඳන්වලින් තනා තිබෙනවා. නමුත් දොර පියන ඉතා කුඩයි. චන්ද්‍රවංකය සහිතව නිමවා ඇති දොර සඳහා ලෝහ සරනේරු භාවිත කර නැහැ. උඩරට බොහෝ ගොඩනැගිලි මෙන් දොර උළුවස්සට සවිකර ඇත්තේ ද දැව සරනේරුවලින්ම යි. මෙම දොරටුව නිර්මාණය කර ඇත්තේ එය ඇතුළතින් පමණක් අගුලු දැමිය හැකි පරිදියි. ඇතුළතින් අගුලු ලූ පසු එය පිටතින් විවෘත කිරීමට බැහැ.
සිරියහනට ආරක්ෂක මන්ත්‍ර
මෙම ගොඩනැගිල්ල තරමක් විශාල වුවත් එහි තනා ඇත්තේ එක් කාමරයක් පමණ යි. මෙහි සංරක්ෂණ කටයුතුවලට කැණීම් කිරීමේ දී ඇඳක් තැබීම සඳහා භාවිත කළ කළුගල් කට්ටා කැපුම් ආධාරක හතරක් කුටිය තුළ ගෙබිමේ තිබී හමුවුණා. එයට නුදුරින් කුටිය තුළ දී භාවිත කළ කැසිකිළි ගල දැකගත හැකියි. කළුගල් කට්ටා කැපුම්වල තිබී හමු වූ ආරක්ෂක මන්තරයැ යි උපකල්පනය කළ හැකි තඹ පත්ඉරු හතරක් දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා. ඇඳෙහි කණු හතර තිබූ ස්ථානවල වළවල් හාරා මන්ත්‍ර සහිත පත් ඉරු වළලා තිබුණා. ඒවා කැණීම්වල දී හමුවුණා. ලිංගික කටයුතුවල ආරක්ෂාවට බිසවගේ මෙන්ම රජුගේ සිරියහන්ගැබේ ඒ මන්ත්‍ර වළලන්නට ඇති බව පේනවා. සංරක්ෂණයේ දී බිත්තියේ මතුපිට බදාමයට යටින් රතු පසුබිමේ ඇඳ තිබූ මල් රටා කිහිපයක් ද මතු වුණා.
ලී කැටයම් සහිත දැවකණු, කැණිමඬලකින් යුක්ත පියස්ස, පද්ම බොරදම් සහිත මැදමිදුල, සහ ඒ වටා ඉදිව ඇති කාණු පද්ධතිය වැනි මහනුවර යුගයේ වාස්තු විද්‍යා ලක්ෂණ රැසක් ද මැද වාසලේ දී දැකගත හැකියි.
ශ්රී වික්‍රම රාජසිංහ රජු විසින් වෙන්කත රංගම්මාල් බිසව සැමගෙන් වසන් කෙරී තිබූ බව මහනුවර යුගයේ ඉතිහාස වාර්තා අනුව පෙනෙනවා. ඒ අනුව බිසව දැකගැනීමේ අවස්ථාව උදා වී ඇත්තේ ඇයගේ කිට්ටුම සේවිකාවන්ට පමණ යි.
එලෙස ඇය රඳවා තිබූ ගොඩනැගිල්ල මැද වාසල බවට නිශ්චිතව නිරීක්ෂණය කර ඇත්තේ 1815 දී ටී.බී. කැප්පෙටිපොළ අඳින ලද මහනුවර නගරයේ සිතියමේ. එහි දළදා මාලිගය සහ පල්ලෙ වාහල අතර පිහිටි මැද වාහල දක්වා තිබෙනවා.
හුදෙකලා බිසවක්
මහනුවර රජකම දැරූ වසර 17ක කාලසීමාව තුළ ශ්‍රී වික්‍රම රාජසිංහගේ වැඩකටයුතු ගැන ඉතිහාසයේ සඳහන් වුවත්, රජුගේ අගමෙහෙසිය වූ රංගම්මාල් බිසව ගැන ඒ එක් තැනක හෝ සඳහන් වන්නේ නැහැ. ඉතිහාසයේ ඇය ගැන නැවත සඳහන් වන්නේ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව යි. එවිට බිසෝවරු හඬා වැළපී තිබෙනවා. අත්අඩංගුවට පත් වන අවස්ථාවේ රංගම්මාල් බිසව ද රජු සමග සිටි බව ඉංග්‍රීසින්ගේ වාර්තාවල සඳහන් වෙනවා. එමෙන්ම අත්අඩංගුවට පත් රාජසිංහ රජු සහ රංගම්මාල් බිසවට උඩරට සිංහල ප්‍රධානීන් නොයෙක් වධ හිංසා පමුණුවා ඇති බවත්, ඉංග්‍රීසි නිලධාරින් ඒවා වළක්වා ඇති බවත් සඳහන් වෙනවා. රංගම්මාල් බිසව පැළඳ සිටි කර්ණාභරණ ඔවුන් ගලවා දමා ඇත්තේ ඇයගේ කන් පෙති ඉරීයන ලෙසට යි. ඇය එලෙස වධ හිංසනයට ලක්වන අවස්ථාවේ ඇඳ සිටි ලේ තැවරුණු හැට්ටය කොළඹ කෞතුකාගාරයේ දී අපට දැකගත හැකියි.
මහනුවර යුගයේ වාස්තුවිද්‍යා අංග ලක්ෂණ පෙන්වන දැව කුලුනු සතරක් ගොඩනැගිල්ල තුළ දැකගත හැකි යි. කැටයම් සහිත සිව්රැස් කුලුනු ද්විත්වය මධ්‍යයේ දර්ශනීය කැටයම් හා මල්, ලියවැල් හා මෝස්තරවලින් අලංකාර කර තිබෙනවා. තරමක් කුඩා දැව කුළුණු දෙකක් ද තිබෙනවා. සිවුරැස්ව හා අටැස්ව විහිදී ගිය මෙම කුළුණු එකිනෙකට සමාන සේ දික් වුව ද වෙනස් වූ සියුම් කැටයම් සහිත යි.
මැදවාසල ප්‍රධාන ද්වාරයට අමතරව අභ්‍යන්තර කුටියේ ද චන්ද්‍රවංකය සහිත දොරඋළුවහු දෙකක් පිහිටා තිබෙනවා. අභ්‍යන්තර කුටියට පිවිසීම සඳහා වන ප්‍රධාන ද්වාරය ඇතුළට විවර වන තනි පියනකින් යුක්ත දොරකින් සමන්විත යි.
මැදමිදුල පද්ම බොරදම්වලින් යුක්ත යි. එය කළුගල්වලින් නිමාකර තිබෙනවා. ගෙබිමට ද කළුගල් පුවරු අල්ලා තිබෙනවා. එකතු වන ජලය බැහැර කිරීම සඳහා උතුරු දෙසින් කාණුවක් යොදා තිබෙනවා.
පල්ලේ වාහල
වර්තමානයේ මහනුවර ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යන්නේ එදා රජුගේ අන්තංපුරය පිහිටි පල්ලේ වාහල ගොඩනැගිල්ලේ යි. මහනුවර යුගයේ අතීතය හෙළිදරව් කරන පුරාවස්තු රාශියක් මෙහිදී දැකගත හැකියි. මෙයත් මිටි වහලක් සහිත කුඩා ජනේලවලින් යුක්ත ගොඩනැගිල්ලක්. ජනේලවලට බිරළු සහිත දැව පොලු යොදාගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ මුලින්ම කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා පදිංචිව සිටියායැ යි පැවසෙනවා. පසුව එය රජ බිසෝවරුන්ගේ වාසය සඳහා වෙන් කළ බව පැවසෙනවා.
මෙය මැද වාහලට වඩා තරමක් විශාල ගොඩනැගිල්ලක් වුව ද සමාන ලක්ෂණ බොහොමයක් තිබෙනවා. ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවන්නේ කුඩා ශාලාවකට යි. ඒ දෙපසින් කාමර පේළිවලට යොමු වූ බරාඳයක් තිබෙනවා. හතර පැත්තේම ඇති බරාඳ මැද මිදුලට විවෘත වෙනවා. මේ කාමරවලට රජුගේ අන්තංපුර කාන්තාවන් වාසය කළ බව සැලකෙනවා. පසුකාලීනව ආණ්ඩුවේ කාර්යාල වශයෙන් යොදාගැනීමේ දී ගොඩනැගිල්ලට රටඋළු සෙවිලි කර තිබෙනවා. පල්ලේ වාහලට ඇතුළුවන උඵවස්සට දැව භාවිතා කර තිබුණ ද කැටයම් දක්නට ලැබෙන්නේ නැහැ
උළුවස්ස දෙපස බිත්තියේ කළුගලින් නිම කළ කුඩා සිංහ කැටයම් සහිත පුවරු දෙකක් අල්ලා තිබෙනවා. වහලයේ මැටි කොත් දෙකක් දැකගත හැකියි. සැරසිලිවලින් තොර චාම් ගොඩනැගිල්ලක් ලෙස යි මෙය තනා තිබෙන්නේ.