කුදිරමලේ කියන්නේ විල්පත්තුව ජාතික උද්‍යානය තුළ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ව පිහිටා තිබෙන සුන්දර මුහුදුබඩ ස්ථානයක්. මුහුදට නෙරා ගිය තුඩුවක් වැනි උස්බිම්කඩක් වූ කුදිරමලේ වටා ගෙතුණු ජනප්‍රවාද රාශියක් පවතිනවා.
එහි භූ විද්‍යාත්මක පිහිටීමත් සුවිශේෂ යි. විල්පත්තුවට සංචාරය කරන සොබාදහමට කැමති පිරිස් අදත් කුදිරමලේ අපූර්වත්වය නැරඹීමට යනවා.
කුදිරමලේ තුඩුව
කොළඹ සිට කිලෝ මීටර් 200 පමණ දුරකින් විල්පත්තු වනෝද්‍යානයේ බටහිර කෙළවරේ පිහිටි කුදිරමලේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉහළ සීමාවේ තමයි පිහිටියේ. එය මුහුදට නෙරා ගිය තුඩුවක් ලෙස පෙනෙන භූ ලක්ණයක්. පුරාණයේ මේ අසල කුඩා නාවික යාත්‍රාවලට සුදුසු තොටක් ලෙස පැවති බවත් පැවසෙනවා. මේ ප්‍රදේශයට අරාබි වෙළෙන්දන් පුරාණයේ සිට යාත්‍රාවලින් පැමිණ මුතු ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය ලබා ගෙන තිබෙනවා.අරාබි සොහානක් යයි පවසන ස්මාරකයක් ද එහි දකින්න ලැබෙනවා.
ඓතිහාසික වටිනාකම් රැසකට උරුමකම් කියනා කුදිරමලේ හැඳින්වීමට, තම්බපණ්නි, තම්මැන්නාව, අශ්ව කන්ද, පෘතුගාල් බොක්ක, හිප්පෝරය ආදි වු විවිධ නාම භාවිත කර තිබෙන බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන්. එදා අපේ රට තම්බපන්නී යනුවෙන් හදුන්වා ඇත්තේ ද පසෙහි ඇති මේ රත් පැහැ ස්වභාවය නිසා බව පැවසෙනවා. අතීතයේ මුතු කර්මාන්තයට කුදිරමලේ සිට වාන්කාලෙයි දක්වා ම ප්‍රකට කලාපයක් සේ පැවතුණා. ඉංග්‍රීසි කාලයේ පවා එහි මුතු කිමිදීම සිදු කළා.
නම හැදුණු හැටි
ග්‍රීක ජාතික ප්ලිනිගේ වාර්තාවකට අනුව ක්‍රිස්තු වර්ෂ 41 – 54 ත් අතර කාලයේ කුදිරමලෙයි ප්‍රදේශය හදුන්වා ඇත්තේ හිප්පෝරස් ලෙස යි. එහි අරුත අශ්ව කන්ද යි. ක්‍රිස්තු වර්ෂ 45 දී රෝම අධිරාජ්‍ය ක්ලෝඩියස් සීසර්ගේ බදු එකතු කරන්නෙක් ඉන්දියන් සාගරයේ යාත්‍රා කිරීමේදී නාවික යාත්‍රාව මෝසම් සුළං ප්‍රවාහයකට හසුව ගසා ගෙන විත් නතර වී ඇත්තේ මේ අසල යි. ඔහු එතැන හඳුන්වා ඇත්තේ හිප්පෝරස් ලෙස යි.
එවකට අපේ රට පාලනය කළ රජු මේ බදු අයකරන්නා සතු ව තිබූ සියලු වස්තූන් සහිත යාත්‍රාව යටත් කර ගෙන රාජසන්තක කර තිබෙනවා. නමුත් සීසර් අධිරාජ්‍යයා ගැනත්, රෝමයේ ආර්ථික දියුණුව ගැනත් ඇසීමෙන් පසු රජු මේ ආගන්තුකයා ආචාරශීලී ව පිළි ගෙන දෙරට අතරේ වෙළෙඳ සම්මුතියකට එළැඹීමට ද කටයුතු කර තිබෙන බව පැවසෙනවා.
විජය – කුවේණි
ආර්යාගමනය සලකුණු කරමින් විජය කුමරු සහ පිරිවර ක්‍රිස්තු පූර්ව 543 දී මෙරටටට ගොඩ බට ස්ථානය ද මෙම ප්‍රදේශය බවයි සැලකෙන්නේ. අවට පැතිර තිබෙන කුවේණිය හා සම්බන්ධ කතාවලින් ද එයට සාධක සපයනවා. විජය කුමරු (ක්‍රිස්තු පූර්ව 543-505) ඇතුළු පිරිස ඉන්දියාවේ සුප්පාරක තොටින් පිටත්ව ලංකාවේ තම්බපණ්නියට ගෙඩබට බව මහාවංශයේ සඳහන් වෙනවා.
නැවෙන් ගොඩ බට පිරිස වැල්ලෙහි වැතිරුණු බවත් ඔවුන්ගේ අත්වල පොළොවේ තඹ පැහැය රැදුණු බවත් ඒ නිසා ඔවුන් මෙරට තම්බපණ්ණිය නමින් හැඳින්වූ බවත් මහාවංශයේ සඳහන් වෙනවා. තම්බපණ්ණිය පිහිටියේ කුදිරමලේ ඉසව්වේ බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ. මේ අවටින් හමුවන පස් තද රතු පැහැයේ සිට තඹ පැහැය දක්වා වෙනස් වෙනවා.
කුවේණි මාලිගය
මෙය අභය භූමියේ කාලිවිල්ලුවට නුදුරින් වනයේ පිහිටි ගල් කණු සහිත ස්ථානය කුවේණි මාලිගය ලෙස ජනප්‍රවාදයේ පැවසෙනවා. මෙහි සමහරක් ගල්කණු බිම ඇද වැටී තිබෙනවා. ඒවා කිසිදු ඔප කිරීමකින් තොර රළු ගල් කණු යි. මෙය කුමන නටබුන් ස්ථානයක් දැයි නිශ්චිත ව පැවසීම අසීරු වන්නේ ඒ ගැන පුරාවිද්‍යා කැණිමක් සිදුව නැති නිස යි. ඒ අවට අද පවා කපුකිණ්ස්ස ගස් තිබෙන බව පැවසුණ ද මෙය කුවේණිය හා සම්බන්ධ කිරීමේ පදනමක් නම් දැකගත නොහැකි යි.
බ්‍රෝහියර්ගේ අදහස
කුදිරමලයට පහළින් තවත් වැළලී ගිය නගරයක සලකුණු 1923 දී දකින්නට ලැබුණ බව බ්‍රෝහියර් සඳහන් කරනවා. පැරණි අඟලේ සිතියමේ එම ස්ථානය පැරණි වරාය, ළිඳ හා නටබුන් ලෙස සටහන් කර තිබෙනවා.
කුණාටු පවතින කාලවල කාරතිව් නම් පුත්තලම කල්පිටියට උතුරින් පිහිටි දූපත් පෙළ මගින් මේ තුඩුව මුහුදු ඛාදනයෙන් ආරක්ෂා කරනවා. එය කුඩා කොරල් පර සහ හුණුගලින් යුත් බිම් තීරුවක්. මේ ගැන ආර්.එල් බ්‍රෝහියර් මෙසේ සඳහන් කර තිබෙනවා:
‘‘වෙරළ තීරුවට සමාන්තර ව දිවයන උස්වූ බිම් තීරුව එහි උතුරු කෙළවරෙන් මුහුදට නෙරා පවතින්නේ එක් පසෙකින් දරුණු රළ පහරේ ප්‍රචණ්ඩත්වය බාල කරමිනි. අනෙක් පසින් ජල ප්‍රවාහ නිසා කොටස් ගැලවී ද ගොස් ඇත. මෙසේ මේ ස්ථානය අර්ධද්වීපයක් බවට පත්ව ඇත. මේ උස්බිමට පහතින් ඇති ප්‍රදේශය කටකතාවලට අනුව අලියරසානි නම් මලබාර් කුමරියගේ මාලිගාව පිටිහි ස්ථානය යි. පැහැදිලි ලෙස ඉදිරියට නෙරා ඇති මේ බිම් තීරුව මලබාර් වහරින් ‘කුදිරමලෙයි’ යනුවෙන් හැදින්වෙන අතර එහි අර්ථය අශ්ව කන්ද යන්නයි.‘‘ ( බ්‍රෝහියර් දුටු ලංකාව- පරි. අභය හේවාවසම්. පිට 32).
ඓතිහාසික පුරාවෘත්තවල පැවසෙන්නේ ‘සුන්දරත්වයේ රැජන’ ලෙස නම් ලද අල්ලිරානි කුමරිය කුදිරමලෙයි අවට පාලනය කළ බව යි. ඇය මුතුවලට විශේෂ උනන්දුවක් දැක්වූ කාන්තාවක්. මුතු කිමිදීම පාලනය කළ ඇය අරාබි වෙළෙඳුන්ට මුතු ලබාදී ඒ වෙනුවට අශ්වයන් ලබාගත් බව පැවසෙනවා. ඇගේ අණසක කුදිරමලෙයි සිට වන්කාලෙයි දක්වා පැතිර තිබූ බවයි ජනප්‍රවාද පවසන්නේ.
රතු පැහැති පස
තඹවන් වැල්ල, රතු මැටි පස සහ මුහුදට ආසන්න උස් භූමිය මෙහි විශේෂ භූ ලක්ෂණයක්. හම්බන්තොට උස්සන්ගොඩත් මෙයට සමාන පිහිටීමක් දැකගත හැකි යි. මෙහි පසේ තද රතු හා තඹ පැහැයට හේතු වී ඇත්තේ පස්වල ලෝහ අඩංගුවීම නිසා යි. ලෝහ සහිත පස් පොළොව මතු පිටට පැමිණීමේ ක්‍රම දෙකක් තිබෙන බව භූ විද්‍යාඥයන් සඳහන් කරනවා.
එකක් නම් ගිනි කඳු විදාරණයකදී යි. දෙවැන්න නම් උල්කා ගැටීමක දී යි. සමහන්රු මත පළ කරන්නේ මෙතැන උල්කා ගැටීමක් සිදු ව තිබෙන බව යි. මෙහි යපස් ගුලි වැනි පාෂාණ කුට්ටි රාශියක් තිබෙනවා. රැලි සහිත භූ රූපණ බහුල යි. මේවා ඉතා අලංකාර ව පිහිටා ඇති අන්දම දැකගත හැකි යි.
කෙසේ වුවත් මේ ගැන වැඩිදුරටත් පර්යේෂණ සිදුව නැහැ.
අශ්ව පිළිරුව
අද මෙහි විද්‍යාමාන වන අශ්වයකුගේ නටබුන් බවට පත් වූ පසුපස පා යුගළක නටබුන් අප තුළ කුතුහලය ජනිත කරවන තවත් තැනක්. ගඩොල් සහ බදාමයෙන් තැනූ බව පෙනෙන එම පිළිරුව කුමන කාලයක තැනූ එකක් දැයි සාධක නැහැ. අශ්වයා තම ඉදිරි පා යුගළ ඉහළට ඔසවා ගෙන සිටින ඉරියව්වෙන් සිටින්නට ඇති බවත්, අශ්වයාගේ පිට මත සත්වයා හසුරුවන වරපට අතින් අල්වා ගත් මිනිසකුගේ රුවක් ද තිබෙන්නට ඇතැයි ද අදහසක් පවතිනවා.
ඉපැරණි අශ්වයකුගේ රුවට අයත් මේ නටබුන් සහ ඉස්ලාම් සාන්තුවරයකුගේ සොහොන තිබූ ස්ථාන දිනෙන් දින විනාශ වෙමින් පවතින බව පසුගිය කාලයේ වාර්තා වුණා.
මෙම ස්ථානය පුරාවිද්‍යා වටිනාකම් රැසක් සහිත යි. නමුත් එතැන කිසිදු සංරක්ෂණයක් සිදු නොකිරීම නිසා එහි පුරාවිද්‍යා වටිනාකම් ද ක්‍රමයෙන් වැනසෙන බවයි වාර්තා වන්නේ.
එම ස්ථානයට යකඩ වැටක් ගසා ආරක්ෂාවක් යොදා ඇති නමුත් එය මේ වන විට විනාශ වී තව නොබෝ දිනකින් මුහුදට බිලිවිය හැකි බව දක්නට ලැබෙනවා.
අශ්ව රුවේ නටබුන්වලට පහළින් ඉස්ලාම් සාන්තුවරයකුට අයත් යැයි සැලකෙන සොහොනක් ද කිසිදු සංරක්ෂණයක් නොමැතිකමින් විනාශ වෙමින් පවතින බව දැක ගත හැකි යි. මෙම ස්ථානයේ විශාල පැරණි ගඩොල් රැසක් ද තැනින් තැන විසිරී පවතිනවා. වර්තමානයේ මේ අවට ප්‍රදේශවල ආරක්ෂාව සැපයීමට නාවික හමුදා නිලධාරීන් පමණක් සිටින ආකාරය දක්නට ලැබෙන අතර වෙනත් කිසිවකු දැකීම අසීරු යි.
කුදිරමලේ පුරාණ ජනාවාස සාධක
මැටි භාණ්ඩවල කොටස්, ගඩොල් කැබලි ආදි නොයෙකුත් සාක්ෂිවලින් මෙම ප්‍රදේශයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පමණ සිට ජනාවාස ව පැවතී ඇති බව තහවුරු කරනවා. මධ්‍ය ශිලා යුග මානව සාධක පවතින ඉරණමඩු සංයුතියට අයත් බොරළු තට්ටු ද මේ කලාපයේ පැතිර පවතිනවා. හුණුගල් තට්ටු අතර මැටි භාණ්ඩ කැබලි තිබෙනු දුටු බවත් ගඩොල් කැබලි, කුඩා ආභරණ, හක්ගෙඩි හා කුඩා සතුන්ගේ ඇටකටු බහුල ව 1920 දශකයේ දුටු බවත් බ්‍රෝහියර් පවසා සිටිනවා.
මෙහි පිහිටි ළිඳ, පුළුස්සා ගත් මැටි වළලුවලින් තනා ඇති අඩි තුනක් විෂ්කම්භය සහිත වූවක් බවත් ඔහු පවසනවා. සියවස් බාගයකට පෙර කුදිරමලයට යට වී තිබෙන මේ නගරය සොයාගත්තන් පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදු ව නැති බවයි ඔහු සඳහන් කරන්නේ. එම කියමනෙන් සියවසක් පමණ ගත වී තිබුණත් කුදිරමලය ගැන සම්පූර්ණ පුරාවිද්‍යා කැණීම් සහිත ගවේෂණයක් තවමත් සිදු ව නැහැ.