පුරාණ මිනිපේ අමුණේ විස්මිත වාරි තාක්ෂණය

ලංකාවේ පුරාණ අමුණු අතර පිහිටි වඩාත් පෞරාණික අමුණක් සහ ඇළ මාර්ගයක් වන මිනිපේ අමුණ අපේ වාරි ඉංජිනේරුවන්ගේ කුසලතාව ලෝකයට හෙළිකරන තැනක්. පසුකාලීන ව ප්‍රතිසංස්කරණයට ලක්වුණු මේ අමුණ ගොවිතැනට වුවමනා ජලය අදටත්  බෙදා හරිනවා.  

ලග්ගල කඳු වැටිය පාමුල සිට නැඟෙනහිර මායිමේ  ගලා යන මහවැලි ගඟ දක්වා වූ මිටියාවතේ , කඳු වැටියට සමීප ව පිහිටි මිනිපේ ප්‍රදේශය මැණික් ලැබෙන පෙදෙසක් ලෙස අතීතයේ සිට ප්‍රකට ව පැවතුණා.   මහියංගනයට නුදුරු  ඉතා සුන්දර පෙදෙසකයි මෙය පිහිටා තිබෙන්නේ.

අමුණේ පිහිටීම- yapahuahasa.blogspot.com

මිනිපේ අමුණ

උමා ඔය හා මහවැලි ගග එක්වන තැනට  කිලෝමීටර් තුනක් පමණ පහළින් පිහිටි ස්ථානයක  මණිමේඛලා හෙවත් මිනිපේ පුරාණ අමුණේ නටබුන් දක්නට ලැබෙනවා.

ඓතිහාසික මූලාශ්‍රවල පබ්බතහත ඇළ නමින් ද යක්ඛ ගෝත්‍රිකයන් ඉදි කළ බැවින් යකුන් බැඳි ඇළ ලෙසින්ද මිණිපේ ඇළ හඳුන්වා තිබෙනවා.

 තැනුවේ මහසෙන්

වංසකතාවේ මණිමේඛලා, මිණිමෙවුලා නමින් හැඳින්වූ පුරාණ මිණිපේ අමුණ ඉදි කිරීම පිළිබඳ ප්‍රථමයෙන් වාර්තා වන්නේ ද පළමු වන අග්ගබෝධි (ක්‍රි.ව. 517-604) රජුගේ කාලයේදී යි. 

කෙසේ   පළාතේ පැවති ජනප්‍රවාද අනුව යමින් ආර්. එල්. බ්‍රොහියර් පවසන්නේ එම අමුණ හා ඇළ මාර්ගය ප්‍රදේශයේ වාසය කළ වැදි ජනතාවගේ සහභාගීත්ත්‍වයෙන් දාසෙන්කැළි රජු එය මුලින් ම ඉදි කළ බවක්. දාසෙන්කැළි රජු යනු ධාතුසේන රජු (ක්‍රි.ව. 455-473) ලෙස හඳුනා ගෙන තිබෙනවා.

මිනිපේ පැරණී අමුණ අවට – Geomatics Engineering Consultants PvtLtd facebook page

 මහසෙන් රජු ( 276-303) මෙම වාරි නිර්මාණය කරවූ බවත්  ඔහු විසින් කරවන ලදැයි සඳහන් වන පබ්බතහත ඇළ මෙය බවත් පසුකාලීන ව හඳුනා ගත්තා. ලංකාවේ පුරාණ වාරිමාර්ගවල නියමුවෙක් වන මහසෙන් රජු මහ වැව් 16ක් කරවූ බව මහාවංශය සඳහන් කරනවා. ඒ අතරින් 8ක් හඳුනා ගෙන තිබෙනවා. අප මෙයට පෙර ලිපියක් ඉදිරිපත් කළ ඇළහැර යෝධ ඇළ කරවා තිබෙන්නෙත් මේ රජු යි.

මහසෙන් රජුගෙන් අවුරුදු 275කට පමණ පසු පළමුවන අග්ගබෝධි රජු  ( 575-608) මිනිපේ අමුණ අලුත්වැඩියා කර ඇළ මාර්ගය සැතපුම් 17ක් දක්වා දික්කර තනවා තිබෙනවා.  දෙවැනි සේන රජු (853-887)  මිනිපේ ඇළ මාර්ගය සැතපුම් 47ක් (කි. මී. 75ක් පමණ) දක්වා දිගු කර කුඹුරු ගොවිතැනට ජලය සැපයූ බව   මහාවංශය සඳහන් කරනවා.  මේ ඇළ ජලය හිඟ බින්තැන්න පෙදෙසේ කුඹුරු ගොවිතැනට විශාල පිටුවහලක් වී තිබෙනවා.

1940 දශකයේ ප්‍රතිසංස්කරණය කළ පැරණි අමුණ- gec.lk

 මිනිපේ අමුණ තනා ඇත්තේ මෙසේයි

මිනිපේ ප්‍රදේශයේ දී තැනිතලාවක සෙමින් ගලන මහවැලි ගඟ නැම්මක් ගෙන ගලා යාම අරඹනවා. මෙම ගඟ වක්වූ තැන පටන් ගන්නා ස්ථානයේ ඉවුර අද්දර ම පිහිටි දූපතක් නිසා සෑදී තිබෙන පටු ඇළක් දැක ගත හැකි යි.  අළේ අනෙක් කෙළවරේ පර්වත දෙකක් පිහිටා තිබෙනවා. ගඟෙන් ඇදී යන විශාල ජලස්කන්ධය  ඇළේ අනික් කෙළවරේ තිබෙන ගල් දෙකක් අතරින් ඇති පටු විවරයකින් නැවත ගඟට වැටීමට පෙර තරමක් දුරට  ඇළේ ගබඩා වී පවතිනවා.  

පුරාණ වාරි ඉංජිනේරුවන් මිනිපේ අමුණ නිර්මාණය කර තිබෙන්නේ මෙම පර්වත දෙක යාකර බැම්මක් බැඳීමෙනු යි.  බැම්ම නිසා ස්වාභාවික ඇළට ඇදී ආ ජලය ගඟේ මට්ටමට වඩා බොහෝ සෙයින් ඉහළ නඟින අතර එම ඉහළ නගින ජලය මිනිපේ ඇළට හරවා තිබෙනවා. මිණිපේ ඇළෙන්  මහවැලි ජලය ගගේ මට්ටමට වඩා උස්වූ උතුරු දෙසට ගෙන ගොස් තිබෙන්නේ ඒ ආකාරයෙන්. එය ජල තාක්ෂණය පිළිබඳ පුරාණ දැනුම අපට හෙළිකරන නිර්මාණයක්.

ජලයෙන් පිරී ගිය මිනිපේ නව අමුණ – News.lk

 හෙන්රි වෝඩ් දුටු අයුරු

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ මෙරට සිටි ආණ්ඩුකාර හෙන්රි වෝඩ් (1855-1860)  මිනිපේ ඇළ දුටු අන්දම ඔහුගේ වාර්තාවල සඳහන් කර තිබෙනවා:

 “මනුෂ්‍යයන් විසින් සාදනු ලැබූ මේ ඇළ පොළොන්නරුව දක්වා වැටී තිබේ. එහිදී ඇලහැර ඇළට යාකොට නොතිබුණත් පරාක්‍රම සමුද්‍රය යනුවෙන් දැක්වෙන නැව් ගමනාගමනය සදහා සෑදූ වාරිමාර්ගය හා සම්බන්ධවේ. දකුණු දෙසට හැතැක්ම පනහක් තරම් දික්වූ මේ ඇළ ඉහත කී වාරිමාර්ගයේ ශාඛාවකි. එය ගොවිතැන සඳහා සහ නැව් ගමනාගමනය සඳහාද යොදවන්නට ඇත.” (ආර්. එල්. බ්‍රොහියර්- ලක්දිව පුරාතන වාරිමාර්ග- 10 පිට)

 

මිනිපේ ඇළේ දියදොරක්-  Wonder of Sri Lankan irrigation works facebook page

බ්‍රෝහියර් හඳුනා ගත් මිණිපේ

බ්‍රිතාන්‍ය පාලන කාලයේ සේවය කළ මිනින්දෝරු වරයකු වන ආර්. එල්. බ්‍රෝහියර් මෙරට පුරාණ වාරිමාර්ග ගැන ගවේෂණය කළ නිලධාරියෙක්. ඔහු1935 දී ලියා ඇති Ancient Irrigation Works of Ceylon (ලක්දිව පුරාතන වාරිමාර්ග) කෘතිය ආරම්භ කරන්නේ මිනිපේ ඇළ ගැන විස්තර කිරීමෙන්.   මිනිපේ ඇළ ගැන එයට පෙර විද්වතුන් පළ කළ අදහස් ද, සිතියම් ද මේ පොතට ඇතුළත් කර තිබෙනවා.

මිනිපේ ඇළේ නාම පුවරුවක්- Pead.com

 මිනින්දෝරු අර්ස්කින්

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ වාර්ල්ස් අර්ස්කින් සිතියම් සඳහා මිනුම් ගැනීමට යාමේ දී මිනිපේ  ඇළ දකිනවා. ඔහු මේ පුරාණ වාරිමාර්ගය පරීක්ෂා කරන්නේ  1903 අගොස්තු මස 28 හා 29 යන දිනවලදි යි. 

අමුණේ නෂ්ටාවශේෂ පරීක්ෂාකර කළ අර්ස්කින් ලියූ වාර්තාවක මිණිපේ අමුණ පිළිබද ව සඳහන් කරන අතර ඔහු අමුණ මැන බලා සැලසුම් දෙකක් ද ඇඳ තිබෙනවා.

දකුණු ඉවුරු ඇළෙන් ජලය නිකුත් කරමින් – Pead.com

කල්‍යාණවති බිසවගේ සෙල්ලිපිය

පොළොන්නරුවේ කල්‍යාණවතී බිසවගේ කාලයට අයත් බව සැලකෙන මේ සෙල්ලිපිය හමුවෙලා තියෙන්නේ මහියංගනය වේරගන්තොට පාරේ හත්වැනි සැතපුම් කණුව අසල තිබිලා. මෙය අඩි 5ක් උස සහ අඩි 3ක් පළල යි. මේ සෙල්ලිපිය  ක්‍රි.ව 12 හෝ 13 වැනි සියවසේ බව හඳුනා ගෙන තිබෙනවා.

බුදුන්වහන්සේ පළමු වරට මහියංගනයට වැඩි බව මෙහි සදහන් වෙනවා. මිණිපේ අමුණ සාදා ඇත්තේ පළමු අග්බෝ රජතුමාගේ මේකිත්තා නැත්තම් මේඝ කිත්ත නාග කියන ඇමතිවරයා බව මෙහි සඳහන් වෙන තවත් කරුණක්.  

මිනිපේ ප්‍රතිසංස්කරණ අවස්ථාවක්- mwsip.lk

ප්‍රතිසංස්කරණ

1941 දී කෘෂිකර්ම ඇමැති ඩී. එස්. සේනානායක කාලයේ තමයි නූතන කාලයේ දී මෙහි මුල් ම පුතිසංස්කරණය සිදුවුණේ. එහි දී නටබුන් අමුණ කොන්ක්‍රිට්වලින් තනවා ඇළ සැතපුම් 17ක් දිගට කපා තිබෙනවා. යළිත් 1949 දී අමුණ උස්කර ඉදි කර ඇළ පළල් කර‍ සැතපුම් 30ක් දක්වා දිගු කිරීම සිදු වුණා.

 1949න් පසුව  මිනිපේ අමුණ අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 1980 වසරේදී යි. එය යළිත් 2021 දී  සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වුණා. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ අරමුණු වූයේ ජල කාර්යක්ෂ්මතාව ඉහළ නැංවීම, යළ මහ දෙකන්නයෙහි හිඟයකින් තොර ව ජලය සැපයීම, භූගත ජල ධාරීතාව ඉහළ නැංවීම, වැව් පද්ධතිය මහවැලි ජලයෙන් පෝෂණය කිරීම ආදිය යි. 

මිනිපේ අමුණු වේල්ල එසවීම

දැනට පවතින අමුණ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මිනිපේ ගොවි බිම් සඳහා ජලය අඛණ්ඩ ව සැපයීම පිණිස මිනිපේ අමුණු වේල්ල මීටර 3.5 කින් එසවීම එහිදී සිදුවුණා. එමෙන්ම කිලෝ මීටර 74 ක දිගින් යුතු මිනිපේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම් ද සිදුවුණා.මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 2 6000 ක් බව සඳහන් කර තිබෙනවා. මිනිපේ වාරිමාර්ග බල ප්‍රදේශය මහනුවර දිස්ත්‍රික්කයට අයත් වෙනවා. ගොවි පවුල් 13419ක් එහි කෘෂිකර්ම කටයුතු කරන අතර වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර් 7438ක්. 

කවරයේ ඡායාරූපය- මිනිපේ වේල්ල ජලයෙන් පිරී ගිය අවස්ථාවක් - Iresha Sandaruwan- droneclick   facebook page 
මූලාශ්‍ර:
ලක්දිව පුරාතන වාරිමාර්ග-ආර්. එල්. බ්‍රෝහියර්, පරි. එල්. පියසේන
jstor.org
news.lk
silumina.lk

Related Articles

Exit mobile version