යුරෝපීයයන් මුද්‍රණ කලාව සොයාගැනීමට පෙර පොත්පත් අතින් පිළියෙල කෙරුණා. මුද්‍රණ කලාව දියුණුවීමත් සමග පොත් වැඩි පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කළ හැකි වූ අතර කාමෝද්දීපන ග්‍රන්ථ ද මේ අතර වුණා. පසුව චිත්‍ර කලාවේ විකාශනයත් සමග ඇතැම් ශෘංගාරාත්මක, කාමෝද්දීපන ප්‍රකාශන එම මාධ්‍යය ඔස්සේ ද නිර්මාණය වුණා.
නමුත් මුල් කාලීනව චිත්‍ර අඳින ලද්දේ ධනවතුන් උදෙසා යි. පොත්පත් කියවීමට සාක්ෂරතාවයක් තිබිය යුතු වූ අතර චිත්‍ර සහිත පොතපත තිබුණත් ඒවා නීත්‍යනුකූලව විකිණීමට බාධා තිබුණා. මේ අතර 19 වන සියවසෙහි මැදභාගය වනවිට නව මාධ්‍යයක් දියුණු වෙමින් පැමිණියා. ඒ ඡායාරූප කලාව යි.
19 වන සියවසේ දී චිත්‍ර කලාව මෙන්ම ඡායාරූපකරණය පිළිබඳව ද කේන්ද්‍රය වූයේ ප්‍රංශය යි. කැමරාවකින් ගන්නා ලද පළමු ඡායාරූපය ලෙස සලකනු ලබන්නේ 1826 දී හෝ 1827 දී හෝ නිසෙෆෝර් නීප්ස් විසින් ගන්නා ලද ඡායාරූපයක්. පසුව 1839 පමණ වන විට ලුවී ඩගර්ර විසින් ඩගර්රටයිප් නමින් ප්‍රකට ඡායාරූප තාක්ෂණවේදය (ඩගර්ර ක්‍රමයේ ඡායාරූප තාක්ෂණය) හඳුන්වා දෙනු ලැබුණා. ඩගර්ර ක්‍රමයේ ඡායාරූපවල තත්ත්වය එම වකවානුවේ හැටියට ඉතා උසස් වූ නමුත්, මෙම ඡායාරූපවල පිටපත් නිර්මාණය කළ හැකි නොවූයෙන් මේවා අද වනවිට ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත වනවා. මේ අතර කාමෝද්දීපන ඡායාරූප 800ක් පමණ ඉතිරිව ඇතැ යි විශ්වාස කෙරෙනවා.
චිත්‍ර කලාව සමග සබඳතාව
නිරුවත් මිනිස් සිරුර, විශේෂයෙන්ම නිරුවත් කාන්තා සිරුර චිත්‍ර කලාවේ දී කලක පටන් බහුලව භාවිතා වූ තේමාවක් වුණා. 19 වන සියවසෙහි ප්‍රංශයේ චිත්‍ර ශිල්පීන් ද නිතර කාන්තා නිරුවත් රූප සිය චිත්‍රවලට යොදාගත්තා. එකල පැවති ක්‍රමය අනුව යම් චිත්‍ර ශිල්පියෙකු මහජන ප්‍රදර්ශනය හෝ අලෙවිය සඳහා චිත්‍ර අඳින්නේ නම් ඒවා ලියාපදිංචි කළ යුතු වුණා. මේ අනුව ප්‍රංශ රජයට අවශ්‍යය නම් ඒවා අශ්ලීලයැ යි ප්‍රතික්ෂේප කළ හැකි වුණා. ඡායාරූප ශිල්පය දියුණුවීමත් සමග “ඡායාරූප ඇකඩමියක්” පිහිටවන ලද්දේ මෙවන් ඡායාරූප ලියාපදිංචි කිරීමට යි.
මෙකල නිරූපිකාවක කුලියක් ගෙවා මිල දී ගැනීම වෙනුවට ඡායාරූප ආශ්‍රයෙන් චිත්‍ර නිර්මාණය කිරීමට හැකි වේයැ යි බලාපොරොත්තුවක් ඇති වුණා. නමුත් බොහෝ ඡායාරූප, චිත්‍ර ශිල්පීන්ගේ අවශ්‍යයතාව හා ගැලපුණේ නැහැ. සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පීන් බලාපොරොත්තු වුණේ පරිපූර්ණ ස්ත්‍රී සිරුරක් පෙන්නුම් කිරීම යි. නමුත් මුල්කාලීන ඡායාරූපවල එවන් නිරූපිකාවන් නොවූ සේම ඔවුනට හෝ ඡායාරූප ශිල්පීන්ට එවන් ඡායාරූප සඳහා පෙනී සිටීමේ ඉරියව් පිළිබඳ ද එතරම් අවබෝධයක් වූයේ නැහැ. අනෙක් අතට, ඉරියව් කෙතරම් වෙනස් කළ ද ඡායාරූපවල වූයේ සත්‍ය මිනිසුන් සහ ගැහැණුන් මිස චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ නොවේ. එහෙයින් ඔවුනගේ නිරුවත් සිරුරුවල සැබෑ ස්වභාවයන් මෙම ඡායාරූපවලින් හෙළි වුණා. මෙය එක්තරා ආකාරයක කම්පනයක් කලා ක්ෂේත්‍රය තුළ ඇති කළා.
මුල්කාලීන ඡායාරූපවල එතරම් ලාලිත්‍යවත් බවක් නොවූ අතර මේ හේතුවෙන් චිත්‍ර කලාව සඳහා ඡායාරූපවල වැදගත්කම ඉතා අවම වුණා. මේ හේතුවෙන් නිරුවත් ඡායාරූප ලාලිත්‍යවත් බවට වඩා වෙනත් රසයන් කරා එළඹීමේ සම්භාවිතාව වැඩි වුණා. ඇතැම් විට ඡායාරූප, එකිනෙකාගේ මනසේ ඇඳෙන විවිධ සිතුවිලි නිරූපණය වන මාධ්‍යයක් බවට පත් වුණා. කාන්තාවන් විවිධ ඉරියව්වලින් සිය නිරුවත ප්‍රදර්ශනය කිරීමට වඩා වැඩි යමක් ඇතැම් ඡායාරූපවල වූයේ නැහැ.
මෙම ඡායාරූප සඳහා පුරුෂ පාර්ශවය පෙනී සිටීම සාපේක්ෂව අඩු වූ අතර ඒ ඉදිරිපත් වූවන් ද සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා වයසින් වැඩි අය වුණා. තවද, ඇතැම් අවස්ථාවල කාන්තාව නිරුවතින් ද පුරුෂයා වස්ත්‍ර හැඳගෙන ද ඡායාරූපවල පෙනී සිටිනු දක්නට ලැබුණා.
මේ අතර කලා නිර්මාණ සහ අශ්ලීල නිර්මාණ අතර වන වෙනස පිළිබඳ ප්‍රශ්නය සෑම කල්හි ම මෙන් මෙහි දී ද මතු වුණා. මෙම දෙවර්ගය කෙසේ වෙන් කරන්නේ ද යන නිරපේක්ෂ වූ මායිමක් ගොඩනැගීම කිසිසේත්ම පහසු වූයේ නැහැ.
නමුත් මෙම නව්‍ය ඡායාරූප මුද්‍රණය වීම ඇරඹීමත් සමග රජය විසින් මෙවන් ඡායාරූප අනුමත කිරීමේ ඉඩකඩ ද සීමා සහිත වූ අතර, ඇතැම් ඡායාරූප ප්‍රංශයෙන් පිට අලෙවිය සඳහා පමණක් අවසර දෙනු ලැබුණා. එහෙයින් ප්‍රංශය කේන්ද්‍ර කරගෙන නීති විරෝධී කාමෝද්දීපන ඡායාරූප වෙළෙඳපොලක් නිර්මාණය වුණා.
මානව විද්‍යාව හා නිරුවත් ඡායාරූප
19 වන සියවසෙහි දෙවන භාගය වනවිට ඡායාරූප කලාව මානව විද්‍යාව සඳහා යොදාගැනීම වැඩි වුණා. විවිධ ගෝත්‍රවල ජනතාව ඡායාරූපගත කිරීම මෙකල සිදු කෙරුණ අතර ඒ අතර විවිධ ප්‍රදේශවල වූ අඩ නිරුවත් හෝ නිරුවත් ගෝත්‍රිකයන් ද වුණා. මෙම ඡායාරූපවලට විද්‍යාත්මක මුහුණුවරක් ලැබුණ ද තවකෙකුට මේවා වෙනස් ආකාරයකින් දිස් වීම වැළැක්විය හැකි වූයේ නැහැ.
1870 අග භාගයේ දී සහ 1880 මුල් භාගයේ දී චලිතය පිළිබඳ හැදෑරීම සඳහා එඩ්වර්ඩ් මයිබ්‍රිජ් විසින් ලබාගන්නා ලද අතිවිශාල ඡායාරූප එකතුව අදට ද ප්‍රසිද්ධියක් උසුලනවා. ඔහු සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ද චලිතය දැක්වීමට විවිධ කෝණයන්ගෙන් ඡායාරූප ගණනාවක් ලබාගත්තා. මෙය ද නිරුවත් ඡායාරූප කලාවෙහි එක් සන්ධිස්ථානයක් සේ සැලකෙනවා. විශේෂයෙන්ම මේවාට ඉදිරිපත් වන පිරිමින් සහ කාන්තාවන් නිර්වස්ත්‍රව ඡායාරූප සඳහා පෙනී සිටින්නේ කැමරාවන් තමන් වෙත එල්ල වන බව නොසලකන අයුරින්.
කාමෝද්දීපන සඟරා
කාමෝද්දීපන ඡායාරූප කලාව පොදු ජනතාව අතරට ව්‍යාප්ත වීමට වැඩිම බලපෑමක් එල්ල වූයේ සඟරාවන්ගෙන්ය යි පැවසීම වරදක් නොවේ. මෙය 20 වන සියවස තුළ දී දක්නට ලැබුණු ප්‍රවණතාවයක් වුණා. සඟරාවෙන් කපා බිත්තියේ අලවා ගැනීමට හැකි ආකාරයේ ඡායාරූප සහිත සඟරා (pin-up magazines) විශේෂයෙන් ම දෙවන ලෝක යුධ සමයේ දී ඇමරිකානු සෙබලුන් අතර අතිශයින් ජනප්‍රිය වුණා.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව විවිධ කාමෝද්දීපන සඟරා බිහි වුණා. මේ අතර 1953 දී හියු හෙෆ්නර් විසින් අරඹන ලද ප්ලේබෝයි සඟරාව, රොබර්ට් ගුචියෝනේ විසින් 1965 දී අරඹන ලද පෙන්ට්හවුස් සඟරාව, 1964 දී ප්‍රංශයේ දී පළ කිරීම ඇරඹුණ ලුයී (Lui) සඟරාව, 1965 සිට පළවන ප්‍රයිවට් නම් ස්වීඩන සඟරාව ආදිය ඉතා ප්‍රසිද්ධ වුණා. විශේෂයෙන්ම ඇමරිකාවේ දී ප්ලේබෝයි සහ පෙන්ට්හවුස් අතර වූයේ දරුණු තරගයක්. මේ ඇතැම් සඟරා විවිධ රටවල් සඳහා වෙනස් සංස්කරණයන් පළ කළා. මෙම සඟරා එක් එක් රටවල රුචිකත්වයන් අනුව වෙනස් වුණා. මෙසේ වෙනස් සංස්කරණයන් පළ කිරීමේ දී ද පෙරමුණේ සිටියේ ප්ලේබෝයි සහ පෙන්ට්හවුස් යන සඟරා යි.
රොබර්ට් ගුචියෝනේ සඳහන් කරන පරිදි පෙන්ට්හවුස් සඟරාවන්හි ජනප්‍රියත්වයට හේතු වූයේ එහි වූ නිරූපිකාවන් කැමරාව තමන් වෙත යොමුව ඇතැ යි නොදන්නා පරිදි විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීම යි. මයිබ්‍රිජ්ගේ ඡායාරූප ජනප්‍රිය වීමට බලපෑ හේතුවම වුණා. මේ අතර ආන්දෝලනාත්මක පුවත් පළ කිරීම පිළිබඳව ද පෙන්ට්හවුස් සඟරාව වඩා ප්‍රකට වුණා. මේ හේතුවෙන්ම පසුකාලීනව විවිධ රාජ්‍ය මැදිහත්වීම් ද එම සඟරාව කෙරේ බලපෑවා.
ඉහත සඳහන් සඟරා සාමාන්‍යයෙන් පුරුෂ පාර්ශවය ඉලක්ක කරගත් ඒවා වූ අතර කල්යාමේ දී කාන්තාවන් ඉලක්ක කරගත්, සමරිසි පිරිමින් හෝ සමරිසි ගැහැණුන් හෝ ඉලක්ක කරගත් සඟරා ද පළ වුණා. විශේෂිත ආශාවන් සහිත වූ පුද්ගලයන් වෙනුවෙන් වූ සඟරා ද පළවන්නට වුණා.
පසුකාලීනව වීඩියෝ සහ අන්තර්ජාලය වැනි මාධ්‍යයන් දියුණු වීමත් සමග ඇතැම් සඟරාවලට තම අලෙවිය පවත්වාගැනීම අපහසු වුණා. මේ අනුව ඇතැම් සමාගම් පසුකාලීනව වැඩිහිටියන් සඳහා විවිධ ප්‍රකාශන එළිදක්වන විශාල සමාගම් බවට පත්වූ අතර ඒවා සඟරාවලට අමතරව වීඩියෝ ආදී මාධ්‍යයන් කරා ද එළඹුණා. ඒ පිළිබඳව අප මීළඟ ලිපියකින් සාකච්ඡා කරමු.
මූලාශ්‍රයයන්:
- Pornography: The Secret History of Civilization – Part 3 (Channel 4 Documentary)
- A History of Playboy – Media Arts & Talent (Youtube)
Cover Image: A. K. Nicolas