ගාලු මුවදොර අරගලයේ ජයග්‍රහණය සටහන් කිරීමට පසුගිය පූලි 9 දා කොළඹට රටේ සිව්දිගින් පැමිණි මිලියනයකයට අධික ජනතාවගේ සහයෝගය ලැබුණා. තරුණ පිරිස් කඳුළු ගෑස් හා වෙඩි ප්‍රහාර මැද” ජනාධිපති මන්දිරය ආරක්ෂක හමුදා වෙතින් අත්පත් කර ගත් අතර ඉන්පසු පොලිසීයේ හා හමුදාවේ විරෝධය නොතකා ජනාධිපති ලේකම් කාර්යාලයත් අත්පත් කර ගත්තා.
මෙම වත්මන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලේ මුලින් ම පැවතුණේ අප රටේ පාර්ලිමේන්තුව යි. පසුව එහි ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටවූවා. අත්පත් කර ගත් පසු මේ ගොඩනැඟිල්ලත් අරගලයේ කොටසක් බවට පත්වුණා. අරගල බිමේ කූඩාරමක පැවති පුස්තකාලය මේ ගොඩනැඟිල්ලට රැගෙන යාමටත් තරුණ පිරිස් ක්‍රියා කළා. සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් වූ ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල නැරඹීමට ජනතාව අද දිනපතා පැමිණෙනු දකින්නට පුළුවන්. මේ ප්‍රතාපවත් පැරණි ගොඩනැඟිල්ලේ ඉතිහාසයත් හරි ම රසවත්.
අරගලයේ කේන්ද්‍රය
ගාලු මුවදොර තරුණ ජන අරගලය ආරම්භ වුණේ පසුගිය අප්‍රෙල් 9 වැනි දා යි. වත්මන් ජනපතිගේ පාලනය අවසන් කිරීම තේමා කරගෙන කොළඹට මිලියනයක් නමින් තමයි එය ආරම්භ කළේ. රටේ හතර දෙසින්, පැමිණි තරුණයන් මුල්කර ගත් ජනතාවගෙන් ගාලු මුවදොර ප්‍රදේශය පිරී ගියා. හැම දෙනාගේ ම විරෝධය අවසානයේ ගොනුවූයේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යි. එය ජනපතිගේ පරිපාලන කේන්ද්‍රය වුණා.
විශාල වශයෙන් ජනතාව එහි ප්‍රධාන දොරටුව අසල මාර්ග බාධක මත නැඟ අරගල බිමේ දී තම විරෝධය පෑවා. එදා සිට අද දක්වාත් ගාලු මුවදොර අරගලයේ කේන්ද්‍රය ලෙස සැලකෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රධාන දොරටුව යි. පසුගිය දා මෙහි පිටුපස දොරටුව අවහිර කරමින් විරෝධතා පළ කිරීම නිසා අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර පසු ව ඔවුන්ට ඇප ලබා දීම සිදුවුණා.
ගොඩනැඟිල්ලට ලේසර් සටන් පාඨ
විරෝධය අතරතුර අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල වෙත ලේසර් කිරණ යොදා සිය විරෝධය ඩිජිටල් පින්තූර ලෙසින් ප්‍රක්ෂේපණය කළා. එය ආරක්ෂක අංශ පවා පුදුමයට පත්කළ සිදුවීමක්. ඒ බව දැනගත් හමුදාව සහ පොලීසිය මැදිහත් වී ලෑලි තබා ලේසර් ආලෝක ධාරා ප්‍රතිරූපනය අවහිර කළ අයුරු දැකගන්නට ලැබුණා.
ඒ වනවිටත් ගෝටා ගෝ හෝම් ඇතුළු පාඨ එහි පතිත වී අවසන්. පසුව මෙම පින්තූර මෙන්ම වීඩියෝ ද අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා විසුරුවා හැරුණා. මෙරට ජනමාධ්‍ය මෙන්ම විදෙස් ජනමාධ්‍යත් මෙම අවස්ථාව ගැන විශේෂ උනන්දුවක් දැක්වූ බව පෙනුණා.
පාර්ලිමේන්තුවට අලුත් තැනක්
1900 වන විට මෙරට ක්‍රියාත්මක වූ යටත් විජිත ආණ්ඩුව රටේ පාලන කේන්ද්‍රය හැඳින්වුයේ ව්‍යවස්ථාදායක සභාව සහ විධායක සභාව කියල යි. ඒ සඳහා භාවිත කළේ කොටුව ජනාධිපති මන්දිරය අසල පිහිටි දැන් විදේශ කටයුතු අමාත්‍යංශය පිහිටි ජනරජ ගොඩනැඟිල්ල යි. එහි ඉඩකඩ මඳවීම නිසා අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කළා.
1912 වනවිට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ධුරය දැරූවේ හෙන්රි මැකලම්. ඔහු නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලක අවශ්‍යතාව පිළිබඳ ව අදහස් පළ කළා. පසුව ඒ සඳහා ගාලු මුවදොර මුහුදට ආසන්න අලංකාර බිම්කඩක් තෝරා ගෙන තිබුණා. ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණ සැලසුම සකස් කළේ ගෘහ නිර්මාණ ශිල්පී ඔස්ටින් වුඩ්සන්.
ඔහු එවකට රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙසයි කටයුතු කරමින් හිටියේ. අයෝනියානු වාස්තු විද්‍යාත්මක ශෛලියෙන් එය සැලසුම් කර තිබුණා. එය බාහිර පෙනුමින් ග්‍රීසියේ ඇතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ පිහිටි “ඇතීනා” නම් දෙවඟන වෙනුවෙන් ඉදිකොට ඇති ප්‍රධාන දෙව්මැදුර වන “ පාතිනන්” ගොඩනැඟිල්ලට සමානත්වයක් උසුලනවා. මෙහි පිහිටි විශාල රවුම් කුලුණු ග්‍රීක ගොඩනැඟිලිවල බහුල යි.
කළුගල් ගෙනාවේ කැලණි ගඟ දිගේ
ගොඩනැඟිල්ල ඉදි කරන්නට වැයවූ මුදල රුපියල් හාර ලක්ෂ පනස්දහසක් ලෙස සඳහන් වෙනවා. අද නම් ඒ මුදලින් හොඳ මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමටත් අපහසු යි. ගොඩනැඟිල්ලේ බිත්ති, කුලුනු සහ පියගැට ආදී ප්‍රධාන අංග තනා තිබෙන්නේ කළුගල්වලින්. ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා කළුගල් සපයා ගෙන ඇත්තේ රුවන්වැල්ලේ පිහිටි ගල් වළකින්. අද මෙන් මාර්ග පහසුකම් හෝ වාහන පහසුකම් ඒ කාලයේ තිබුණේ නැහැ.
රුවන්වැල්ලේ සිට ගාලු මුවදොර භූමිය දක්වා කළු ගල් රැගෙන විත් තිබෙන්නේ පාරු ඔස්සේ යි. ගල් වළ පිහිටා තිබුණේ කොළඹ සිට කිලෝමීටර් 65 ක පමණ දුරකිනු යි. රුවන්වැල්ලේ ගල් වළේ සිට කැලණි ගඟ හරහා ශක්තිමත් පාරු භාවිත කරමින් කළුගල් ප්‍රවාහනය කර තිබෙනවා. කැලණි ගඟ දිගේ රැගෙන එන ගල් කුට්ටි කැලණි ගඟත් බේරේ වැවත් සම්බන්ධ කළ ඇළ මාර්ගයක් ඔස්සේ ප්‍රවාහනය කරමින් බේරේ වැව අද්දර ගාලු මුවදොර වැඩ බිම වෙත රැගෙන විත් තිබෙනවා.
මුහුදේ ශබ්දය වලක්වන උපක්‍රම
වර්තමානයේ මෙම ගොඩනැඟිල්ලේ කවුළු වසා වායුසමීකරණය කර තිබෙන නිසා එතුළට පිටත ශබ්ද ඇසෙන්නේ නැහැ. 1930 දශකයේ භාවිත වුණු මේ ගොඩනැඟිල්ලට මුහුද රළ නගන ශබ්දය නිරන්තරයෙන් ඇසුණා. මේ නිසා ඇතුළත රැස්වීම් ශාලාවට පිටත ඝෝෂාව නෑසෙන පරිදී පාර්ලිමේන්තු අභ්‍යන්තරය සකස් කිරීමට සැලසුම් ශිල්පියා කටයුතු තිබෙනවා. බිම් මහල සහ තවත් මහල් දෙකකින් ගොඩනැඟිල්ල සමන්විත යි.
ගොඩනැඟිල්ල විවෘත වෙයි
පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල 1930 ජනවාරි 29 වන දින විවෘත කෙරෙනවා. එවකට ආණ්ඩුකාරවරයා ලෙස සිටි ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි තමයි එය විවෘත කරන්නේ. හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා ඉදිරිපස කොඩි කණුවේ බ්‍රිතාන්‍ය ධජය ඔසවමින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කිරීම සිදු කළා.
ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ආචාර්ය පෝල්. ඊ. පීරිස් ඇතුළු විශාල පිරිසක් එම උත්සව සභාව නියෝජනය කර තිබෙනවා.
ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පිහිටි නව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත 1982 අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුව රැගෙන යන තුරු එම රැස්වීම් පැවැත්වුණේ මෙම ගොඩනැඟිල්‌ලේ යි. නව රජයක් පත්වූ විට ඇමැති මණ්ඩලයේ සමූහ ඡායාරූප ලබා ගත්තේ එහි ඉදිරිපස පියගැට පෙළේ සිටගෙන යි. 1948 දී ලංකාවට නිදහස ලැබීමෙන් අනතුරුව සෙනෙට් සභා ගොඩනැඟිල්ල ලෙසත් මෙය හැඳින්වුණා.
ව්‍යවස්ථාදායක සභාව, රාජ්‍ය මන්ත්‍රණ සභාව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ජාතික රාජ්‍ය සභාව යනුවෙන් විවිධ කාලවල හැඳින්වූ මේ ගොඩනැඟිල්ල පාර්ලිමේන්තුව ලෙස 1978 සිට හැඳින්වීමට පටන් ගත්තා. අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් සිටියත් මුලින් ම පැවති ව්‍යවස්ථාදායක සභාවේ සිට ඇත්තේ මන්ත්‍රීවරුන් 49 යි.
ගොඩනැඟිල්ලේ විවිධ අංග
ගාලු මුවදොර පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ වේත්‍රධාරිගේ කාර්යාලය, පිළිගැනීමේ කවුන්ටරය, ආපන ශාලාව සහ සන්නිවේදන හුවමාරු මධ්‍යස්ථානය පිහිටා තිබුණා. විපක්ෂ නායක කාර්යාලය මෙන් ම පාර්ලිමේන්තු සභානායකවරයාගේ කාර්යාලය ද පිහිටියේ බිම් මහලේ යි. පාර්ලිමේන්තුව රැස් වූ සභා ගර්භය, කථානායක කාර්යාලය, නියෝජ්‍ය කතා නායක කාර්යාලය, අගමැතිගේ කාර්යාලය සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්යාලය පිහිටා තිබුණේ පළමු මහලේ යි.
ඉහළ මාලය වෙන්කර තිබුණේ පුස්තකාලය, භාෂා පරිවර්තකවරුන්ගේ කාර්යාලය සහ පාර්ලිමේන්තුව නරඹන්නන් සඳහා වෙන්කර ඇති මහජන ගැලරිය සඳහා යි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇරඹුණු සමානුපාතික මැතිවරණ ක්‍රමයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී නියෝජනය වැඩි වුණා. මේ නිසා ගාලු මුවදොර පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉඩකඩ මදි නිසා කෝට්ටේ නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම අරම්භ කළා. පාර්ලිමේන්තු කටයුතු කෝට්ටේ නව ගොඩනැඟිල්ලට මාරු වීමෙන් පසු හිස් වූ ගාලු මුව දොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලය ලෙස භාවිත කරනවා. එවකට පාර්ලිමේන්තු සභා ගර්භය ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාව බවට පත් ව තිබෙනවා.
පළමු ඇමති මණ්ඩලය
1947 පැවති පළමු මහ මැතිවරණයෙන් බලයට පත්වන්නේ එජාප නායක ලෙස සිටි ඩී. එස්. සේනානායක යි. එවකට පැවතියේ නාම මාත්‍රික අග්‍රාණ්ඩුකාර පදවියක්. අගමැතිට තමයි බලය තිබුණේ. මෙම ගොඩනැඟිල්ලේ රැස්වුණු පාර්ලිමේන්තුවේ ඇමති මණ්ඩලය නිදහස් ලංකාවේ පළමු ඇමති මණ්ඩලය වුණා. එදා ඇමතිවරු හිටියේ 14 දෙන යි.
අගමැති ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක, සී. සුන්දරලිංගම්, ටී.බී. ජයා, සී. සිත්තම්පලම්, ජොර්ජ් ඊ. ද සිල්වා, ඊ. ඒ. නුගවෙල, සර් ඔලිවර් ගුණතිලක, සර් ලලිත රාජපක්ෂ, සර් සෙනරත් ගුණවර්ධන එම පිරිස යි. මේ කිසිවකුට වංචා දුෂණ චෝදනා එල්ල නොවීමත් විශේෂයක්. මේ නිසා පිරිස කුඩා වුණත් අවම පහසුකම් යටතේ රටට අද දක්වා කතාබහට ලක්වන වැඩකොටසක් කිරීමට ඔවුන්ට හැකි වුණා.
පසුකාලීන ව පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ අංගනයේ අගමැති ඩී. එස්. ඇතුළු ජාතික නායකයන් කිහිප දෙනකුගේ ප්‍රතිමා පිහිටුවා තිබෙනවා.