රුහුණු කතරගම දේවාලයේ 2022 වර්ෂයේ ඇසළ මංගල්‍යය මේ දිනවල පැවැත්වෙනවා. පසුගිය ජුලි 29 වැනි දින කඳකුමරුවන්ගේ සහ වල්ලි මාතා දෙවඟනගේ විවාහ මංගල්‍යය සමරමින් ප්‍රථම පෙරහර ආරම්භ වුණු අතර අගෝස්තු 11 වැනි දින දක්වා පෙරහර පැවැත්වෙනවා.
අගෝස්තු 12 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසුව ඇසළ මංගල්ලය නිමා වෙනවා. කතරගම යන බොහෝ දෙනෙක් නොදන්නා, කඳ කුමරුගේ ප්‍රේම කතාවට සම්බන්ධ තැනක් ගැන කීමටයි අපි මේ සැරසෙන්නේ.
කඳ කුමරුගේ රන් ඔරුව
ජනප්‍රවාදයක සඳහන් වන ආකාරයට කතරගම දෙවියන් බවට පත්වූ කඳ කුමරු ඉන්දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩැ බැස ඇත්තේ ඔකඳ වෙරළින්. එහි දී කුමරුන්ට රූමත් වල්ලි නම් වැදි තරුණීය හමුවෙනවා. ඇය සමඟ පෙමින් බැඳුණු කඳ කුමරු වල්ලිත් කැටු ව කුමන යාල හරහා කතරගමට පැමිණෙන්නේ ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දුවීමෙනු යි. කඳ කුමරුන් සෙල්ලකතරගමට ගොස් වල්ලි විවාහ කර ගන්නා අතර ඇය බැතිමතුන්ගේ ගෞරවයට ලක්වන්නේ වල්ලි අම්මා ලෙස යි.
කඳ කුමරුන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ රන් ඔරුවක බව යි පැවසෙන්නේ. මිනිසුන් මෙම රන් ඔරුව ලබා ගැනීමට කලහ කරන්නට වූ නිසා කඳ කුමරුන් එය ගල් බවට පත් කර කතරගමට පිටත් වූ බව ජනප්‍රවාදයේ සඳහන්. ඔකඳ වෙරළේ පිහිටි ඔරුවක හැඩැති ගල්කුල එම ගල්ඔරුව බවයි බැතිමතුන් විශ්වාස කරන්නේ. එය හඳුන්වන්නේ රන් ඔරුගල නමින්. අදත් බැතිමතුන් එතැනට බාරහාර වීම සිරිතක්. පසුව අදින් සියවස් දෙකකට පමණ පෙර මෙම රන්ඔරුගලට නුදුරින් දේවාලයක් තනා තිබෙනවා.
ඔකඳ දේවාලය
නැගෙනහිර වෙරළේ පිහිටි ඔකඳට කොළඹ සිට දුර කිලෝ මීටර 388ක්. එයට පොතුවිල් සිට පානම හරහා ගමන් කළ යුතු වෙනවා. පානමින් පසු ඇත්තේ යාල නැගෙනහිර ( කුමන) වනෝද්‍යානයට අයත් වනාන්තරය යි. පානම සිට තවත් කිලෝ මීටර 17ක් වනමැදට වන්නට ඔකඳ ගම්මානය පිහිටා තිබෙනවා. එයට අම්පාර නගරයේ සිට දුර කිලෝ මීටර 105ක්.
මෙය මුහුදු වෙරළට ආසන්නවයි පිහිටා තිබෙන්නේ. දේවාල බිම අවට ගල්පර්වත බහුල යි. ඒ අසල වෙරළෙත් විවිධාකාරයේ ගල්කුළු දැකගත හැකි යි. වාහනයක් යා හැකි පරිදි ගුරු පාරක් ඔකඳ දක්වා වැටී තිබෙනවා. කුමන වනෝද්‍යායට පිවිසෙන ප්‍රවේශ පත් කාර්යාලයත් ඔකඳට ආසන්නව පිහිටා තිබෙනවා. ඔකඳ සිට කතරගම දක්වා යාල වනය හරහා ගමන් කළ හැකි යි.
ශ්‍රී ලංකාවේ නන් දෙසින් සුප්‍රසිද්ධ පාද යාත්‍රාවේ පැමිණෙන හින්දු භක්තිකයන් හා වෙනත් බැතිමතුන් යාල වනාන්තරය ඔස්සේ ගමන් කිරීමට පෙර හමුවන අවසාන නවාතැන විදිහටයි ඔකද දේවාලය සැලකෙන්නේ. එය විශාල නුග ගසක් යට පිහිටා තිබෙනවා. ඔවුන් දේවාලයෙන් ආශිර්වාද ලබා ගෙන විවේකයක් ගෙන වනයට ඇතුළුව පාද යාත්‍රාව ආරම්භ කරනවා ( මේ පාද යාත්‍රාව ගැන අපේ පෙර ලිපියක විස්තර ඇතුළත්).
‘‘ඔකඳ විහාර බිමේ කතරගම දේවාලය ආරම්භ වූයේ 1800 දී පමණ පානම් පත්තුවේ රටේ මහතා වූ සියාතුගේ මූලිකත්වයෙන්. එහි ආවතේව කටයුතු සම්පූර්ණයෙන් කරන ලද්දේ සිංහලෙනි. 2002.04.27 දින දක්වා ඔකඳ දේවාලය නමින් දැන්වීම් පුවරුවක සඳහන් කර තිබුණ ද පසුව එය ඉවත්කර ඔකඳ මුරුගන් කෝවිල බවට පරිවර්තනය කර තිබේ‘‘ ( එල්ලාවල මේධානන්ද හිමි- නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ බෞද්ධ උරුමය – 94 පිට).
මෙහි අවට පිහිටි නටබුන් අනුව පෙනෙන්නේ අනුරාධපුර මුල් යුගයේ මෙහි පැරණි විහාරයක් පැවති බව යි.
ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි පිහිටි කොට්ටදැමූ හෙල පර්වතය පිහිටා තිබෙන්නේ ඔකඳට නුදුරින් වනාන්තරයෙ යි. තරගම පාලනය කළ ක්ෂත්‍රිය වංශික රජ පරපුරක් ගැන මේ සෙල්ලිපිවල සඳහන්.
කොටි කරදර
1970 වන විට මේ ප්‍රදේශය අවට සම්පූර්ණයෙන් ම වාගේ සිංහල ජනතාව පදිංචි වී සිටි බව යි පැවසෙන්නේ. වනගත ගම්මානවල පදිංචි ව සිටි ඔවුන් හේන් ගොවිතැනත් කුඹුරු ගොවිතැනත් කළා. ඉන් අනතුරුව එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදීන්ගේ හිරිහැරකම් හා ඝාතන නිසා එම ජනතාව වෙනත් ප්‍රදේශවලට පිටත් වී පදිංචි වී තිබෙනවා.
ඔකඳ ප්‍රදේශයේ සිටි ජනතාවත් වගාබිම් අතහැර පිටත් ව ගියා. පානම ගම්මානය පමණක් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය එක්ක මේ ප්‍රදේශයේ නතර වුණා. පානම ගම්මානයේ සිට ඔකඳ දේවාලය බලා යනකොට සමහර තැන්වල පාර දෙපැත්තේ වන පඳුරුවලින් වැසුණු පැරණි නිවාසවල බිත්ති අදත් දකින්නට පුළුවන්.
ජාති භේදයක් නැහැ
ඔකඳ කියන්නෙත් කතරගම වගේ ම ජාති ආගම් බේද නැති තැනක්. හින්දු බැතිමතුන්, බෞද්ධයන් වගේම මුස්ලිම් බැතිමතුනුත් ඔකඳ දේවාලයට පැමිණෙනු දකින්නට ලැබෙනවා. වැඩිදෙනෙක් දේවාල බිමට ඒමට පෙර මස් මාංශ ආහාරයට නොගෙන පේවීම සිදුකරනවා. අවමඟුල් අවස්ථා වැනි කිලි ඇතැයි සැලකෙන තැන්වලට යන්නෙත් නැහැ. දින හතක් හෝ දින තුනක් සමහරුන් දින විසි එකක් එසේ පේවෙනවා. එසේ පේවීම සිදුකරන්නේ දේව උදහසට ලක් නොවී තමන්ගේ පැතුම් ඒ ලෙසට ඉටුකර ගැනීමේ විශ්වාසයෙන්.
මනස්කාන්ත නැගෙනහිර වෙරළේ පිහිටි වනගත පූජනීය ස්ථානයක් වන ඔකඳ දේවාලය කතරගම පෙරහර සමය වන විට බැතිමතුන්ගෙන් පිරුණු වනගත සැණකෙළි බිමක් බවට පත් වෙනවා. බැතිමතුන් සිය දහස් ගණනක් දේවාලයේත්, පිටතත් සැරිසරනු දකින්න පුළුවන්. ගස්වලට සවිකර ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලින් දෙමළ බැති ගී අසන්නටත් ලැබෙනවා.
වල්ලිමාතා දේවාලය
දේවාලයට නුදුරින් පිහිටා ඇති විශාල ගල්පර්වතය මත ස්වභාවික ගල් පොකුණූ කිහිපයක් දැක ගත හැකි යි. පර්වතයට නැගීමට ගලේ පියගැට කපා තිබෙනවා. එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ 1978 දක්වා ගල මත පැරණි දාගබක ශේෂ සහ පුරාණ ගොඩනැඟිලිවල නටබුන් පැවති බව යි.
පසුව එම නටබුන් විනාශ කර ගල් පර්වතය මත කතරගම දෙවියන්ගේ බිරිය සිහිපත් කිරීමට වල්ලිමාතා දේවාලය ඉදිකළ බව පේනවා. එය තනා තිබෙන්නේ මෑත අතීතයේදි යි. හින්දු බැතිමතුන් වල්ලි මාතාවගෙන් ආශිර්වාදය ලබා ගැනීමට එහි එනවා.
ගල් තලාව මත පිහිටි පොකුණුවලින් වල්ලි දිය නෑ බව බැතිමතුන්ගේ විශ්වාසය යි. අදත් මෙම පොකුණුවලින් සමහර වන්දනා කරුවන් දිය නා ගන්නවා. එය ‘තීර්තම්’ නමින් හැඳින්වෙනවා. තිර්තම් නාන්නේ වල්ලි මාතාවගේ ආශිර්වාදය ලබා ගැනීමට යි.
පිරිසුදු මිරිදිය හිඟ ඔකඳ දේවාලයේ ආඬි ළිං කිහිපයක් තනා තිබෙනවා. බැතිමතුන් ස්නානය කර පිරිසුදු වන්නේ මෙම ආඬි ළිංවලින්. පාද යාත්‍රාවට එක්වන වන්දනාකරුවන් ද ස්නානය සඳහා මෙම ළිං භාවිත කරනවා.