අදින් වසර දහස් ගණනකට පෙර ජීවත් වූ මිනිසුන් ලෝකයේ විවිධ ස්ථානවල ගොඩ නංවන ලද මනස්කාන්ත, ඉතාමත් විශිෂ්ට සහ විස්තීර්ණ නිර්මාණයන් ගැන අපි ‘රහස් සඟවා ගත් ඓතිහාසික ස්මාරක: පළමු දිගහැරුම’ ලිපිය යටතේ කතාබහ කළා.
ගොඩ නැංවූයේ කවුද, කවදා ද, කුමන අරමුණකින් ද හා වඩාත් වැදගත් ලෙස කෙසේ ද යන පැනයන්ට පිළිතුරු ලබා ගැනීමට විද්‍යාඥයන් අපොහොසත් වූ, සියවස් ගණනක් තිස්සේ පිළිතුරු නොලද රහස් සඟවාගෙන සිටින, එවැනි ම තවත් ඓතිහාසික ස්මාරක කිහිපයක් ගැන තොරතුරු යි මේ.
බෝල්ෂෝයි සැයැට්ස්කි දූපතේ ශෛලමය වංකගිරිය (රුසියාව)
රුසියාවේ ආකේන්ජස් නම් මුහුදුබඩ ප්‍රාන්තයේ පාලනයට යටත් සෝලෝවෙට්ස්කි නම් දූපත් සමූහයට අයත් බෝල්ෂෝයි සැයැට්ස්කි දූපත ප්‍රසිද්ධ වී ඇත්තේ එහි දක්නට ලැබෙන ගණනින් 13 ක් හෝ 14 ක් පමණ වන ශෛලමය වංකගිරි නිසාවෙන්. ඒවායේ පෙළගැස්ම, අතීතයේ දී ඒවා යොදාගෙන ඇති චාරිත්‍රමය භාවිතයන් (දැනට පිළිගෙන ඇති මතය වන්නේ මෙම ස්ථානය මිය ගිය අයගේ ආත්මයන් වෙනත් ලෝකයකට රැගෙන යාමේ චාරිත්‍ර සිදු කිරීමට යොදා ගන්නට ඇති බව යි) සහ ඉතිහාසය පුරාවට සූර්ය නිවෘත්තියේ දී (ඍතු භේදය පවතින රටවල හිරු පායා අැති කාලය සහ හිරු සැඟවී ඇති කාලයට සමාන වන දිනයන්) උපරිම උන්නතාංශ දිශාව වෙනස් වී ඇති අයුරු අධ්‍යයනය කළ ශාන්ත පීටර්ස්බර්ග් හි ගවේෂණ කණ්ඩායමක් පවසන්නේ මෙම ශෛලමය වංකගිරි වසර 2,500 ක් පමණ පැරණි බව යි.
මේ අපූරු ගල් රටාවන්ට අමතර ව දූපත තුළ අති විශාල ගල් කුට්ටි 850 ක් පමණ ද, විවිධ හැඩයන්ට සකස් කරන ලද තවත් බොහෝමයක් පාෂාණ ද දක්නට ලැබෙනවා. ශෛලමය වංකගිරි නිර්මාණය කිරීම සඳහා මීටර් 6 – 25.4 දක්වා වූ විෂ්කම්භයකින් යුතු ගල් කුට්ටි යොදාගෙන ඇති අතර ඒවා තැන්පත් කර ඇත්තේ දඟරයක හැඩයට යි. සෑම වංකගිරියකට ම ඇතුළු වීම සහ පිට වීම සඳහා එක් දොරටුවක් පමණක් පිහිටා තිබෙනවා. ඇතැම් වංකගිරි නිර්මාණය කිරීමේ දී එකක් මත එකක් පිහිටන සේ දඟර හැඩ දෙකක් යොදාගෙන ඇති අතර එය තරමක් දුරට එකිනෙකා දෙස බලා සිටින දඟර ගැසුණු සර්පයන් දෙදෙනෙකුගේ හැඩයෙන් යුක්ත යි.
පෙට්‍රා (පෝර්දානය)
නැබටියන්වරු (ක්‍රිස්තු පූර්ව 6 – 4 වැනි සියවසේ දී පමණ උතුරු අරාබියට සංක්‍රමණය වී එහි වාසස්ථාන ගොඩ නැගූ ග්‍රෝතිකයන්) විසින් රාක්මූ යනුවෙන් හඳුන්වන ලද ඓතිහාසික පෙට්‍රා නගරය පිහිටා ඇත්තේ ජෝර්දානයේ දකුණු දෙසට වන්නට යි. එහි දක්නට ලැබෙන පාෂාණයන් කැපීමෙන් නිර්මාණය කරන ලද ගෘහනිර්මාණයන් සහ දිය අගල් පද්ධතිය නිසා එය ලෝක ප්‍රකට වී ඇති අතර එම පාෂාණයන් හි වර්ණය හේතුවෙන් ඇතැම් විටෙක දී එය ‘රෝස නුවර’ ලෙස හඳුන්වනු ලබනවා.
ජෝර්දානයේ ඇති වැඩියෙන් ම සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් ලෙස සැලකෙන පෙට්‍රා නුවර, නැබටියන්වරුන් විසින් ගොඩ නංවා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 312 දී පමණ යි. පෙට්‍රා හි පිහිටීම මත එය වාණිජමය කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කර ඇති නැබටියන්වරුන් වඩාත් ප්‍රසිද්ධ ව අැත්තේ කාන්තාරවල ඉතාමත් සාර්ථක ව ජලය රැස් කිරීම සඳහා දිය අගල් පද්ධති නිර්මාණය කිරීමටත්, ගල් පර්වත ඔප මට්ටම් කර ඒවා කැටයම් කිරීමටත් අපූරු හැකියාවක් තිබූ පිරිසක් විදිහට යි.
1812 දක්වා බටහිර ලෝකයට රහසක් වූ පෙට්‍රා නුවර ස්විස් ජාතික ගවේෂකයෙක් වූ යොහාන් ලුඩ්විග් බර්ක්හාස්ට් විසින් සොයා ගන්නා ලද අතර එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දේ 1985 වසරේ දී යි.
කොස්ට රීකා හි ශෛලමය ගෝල
ස්වදේශිකයන් විසින් ‘ලාස් බෝලෙස්’ යනුවෙන් නම් කරන ලද, ගල් පර්වත කපා ඔප මට්ටම් කිරීමෙන් නිර්මාණය කරනු ලැබූ, ගණනින් 300 ඉක්මවා යන ගෝල එකතුවක් කොස්ට රීකා හි ශෛලමය ගෝල ලෙස හඳුන්වනු ලබන අතර, ඒවා පිහිටා ඇත්තේ කොස්ට රීකා රාජ්‍යයට අයත් ඩික්විස් ඩෙල්ටාව සහ ඊස්ලා ඩෙල් කානෝ දූපත ආශ්‍රිත ව යි. මෙම ශෛලමය ගෝල මේ වන විට අභාවයට ගොස් ඇති ඩික්විස් සංස්කෘතියට (ක්‍රිස්තු වර්ෂ 700 – 1530 අතර කාලයේ පැවති බව සැලකෙන දියුණු ශිෂ්ටාචාරයක්) අයත් ඒවා ලෙස සැලකෙන අතර ඒ නිසා ම ඇතැම් අවස්ථාවල දී ඒවා ඩික්විස් ගෝල ලෙස ද හඳුන්වනු ලබනවා.
ගෝත්‍ර ප්‍රධානීන්ගේ නිවෙස් වට කිරීම සඳහා මේවා යොදා ගන්නට ඇති බව අනුමාන කෙරෙන නමුත් මෙම ගෝල යොදා ගත් සැබෑ අරමුණ තවමත් අනාවරණය කරගෙන නැහැ. 2014 ජූනි මාසයේ දී මෙම ගෝල පිහිටා ඇති ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.
ටෙරා-කොටා හමුදාව (චීනය)
චීනයේ ප්‍රථම අධිරාජ්‍යයා ලෙස සැලකෙන කිං ෂී හ්වාන්ගේ හමුදාව නිරූපණය කරමින් නිර්මාණය කර ඇති ටෙරා-කොටා මූර්ති එකතුවක්, ටෙරා-කොටා හමුදාව ලෙස නම් කර තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 210 – 209 අතර කාලයේ දී කිං ෂී හ්වාන් අධිරාජ්‍යයාගේ අවමංගල උත්සවයේ දී මතු භවයේ දී එතුමන් ව ආරක්ෂා කිරීම සඳහා මෙම ටෙරා-කොටා හමුදාව අධිරාජ්‍යයා සමග භූමිදාන කරන්නට ඇති බව යි සැලකෙන්නේ.
ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී පමණ නිර්මාණය කර ඇති මෙම ටෙරා-කොටා මූර්ති, 1974 වසරේ දී යළි සොයාගෙන ඇති අතර හමුදා නිලයන් අනුව එක් එක් මූර්තිවල උස ප්‍රමාණය තීරණය කර තිබෙනවා. මෙම හමුදාව භටයන්ගෙන්, රිය හමුදාවකින් සහ අශ්වයින්ගෙන් යුක්ත යි. මේ අතරින් උසින් වැඩි ම මූර්ති අයත් වන්කේ හමුදා සේනාධිපතීන්ට වන අතර දැනට මිනී වලවල් 3 ක භූමිදාන කරන ලද මේ ආකාරයේ මූර්ති 8,000 ක් පමණ සොයාගෙන තිබෙනවා.
මොආයි (චිලී)
චීලී රාජ්‍යයට අයත් පාස්කු දූපතේ දී දැක ගැනීමට ලැබෙන, රාපා නුයී ගෝත්‍රිකයන් විසින් කැටයම් කරන ලද ශෛලමය මිනිස් රූ එකතුවක්, මොඅායි (móai) ලෙස නම් කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1250 – 1500 අතර කාලයේ දී නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මේවායේ විශේෂත්වය වන්නේ සෑම මිනිස් රුවකට ම ප්‍රමාණයෙන් විශාල හිස් (සමස්ත මූර්තියෙන් අටෙක් තුනක් පමණ වන) පිහිටා තිබීම යි. 1722 වසරේ දී යුරෝපීයයන් විසින් මුල් වරට සොයා ගන්නා අවස්ථාවේ දී මුහුද වෙරළේ තැන්පත් කරන ලද මෙම මොආයි ප්‍රතිමා සියල්ලක් ම ගොඩබිම දෙසට මුහුණලා තම නිජ භූමිය දෙසට දෑස් යොමාගෙන සිටින බවක් පෙන්නුම් කර තිබුණ ද, 19 වැනි සියවසේ අග වන විට ඒවා සියල්ල ම බිමට කඩා වැටී තිබෙනවා.
පාස්කු දූපත තුළ මොආයි ප්‍රතිමා 900 කට අධික ප්‍රමාණයක් පවතින ඇති අතර සාමාන්‍යයෙන් මීටර් 10 ක පමණ උසකින් යුක්ත මේවා ටොන් 82 – 86 පමණ බරකින් යුතු යි. 1994 වසරේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද මොආයි ප්‍රතිමා පසුව නැවත පෙර පැවති ලෙස සිටුවා තබා තිබෙනවා.
කවරයේ පින්තූරය (youtube.com)
මූලාශ්‍ර :
- brightside.me
- en.wikipedia.org